පහුගිය ලිපියකින් අපි කතා කළේ තමන්ටම කියල නිවහනක සිහිනය සැබෑ කරගන්න හිතන අයට කොහොමද ඒ සිහිනයට මුල පුරන්නෙ කියන එක ගැන. අද අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ සිහිනයට මුල පුරපු අයට වැදගත් වෙන කරුණු ටිකක්. නිවසක් ගොඩනගනකොට සැලකිලිමත් වෙන්න ඕන මොනව ගැනද කියන එක ගැන තමයි මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
1. අමුද්‍රව්‍ය ලබාගැනීම

Image Source – kshs.org
කොන්ත්‍රාත් ආයතනයකට නිවස ගොඩ නැගීම බාර නොදෙනවා නම් කොන්ත්‍රාත් බාස්ට හෝ දවසේ කුළියට වැඩ කරන බාස්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම කරන්නට වෙන්නෙ ඔබටමයි. සිමෙන්ති, වැලි, ගඩොල් සහ කළුගල් වගේ මූලික අමුද්‍රව්‍ය වගේම කම්බි, වයරින් වගේ දේවල් පවා ඔබට සපයන්නට වෙනව. වඩාම පහසු නිවස හදන ස්ථානය අවට තියෙන තොග සැපයුම් කරන හාඩ්වෙයාර් කීපයක මිල ගණන් සහ අමුද්‍රව්‍ය වල තත්ත්වය ගැන අවබෝධයකට එන එක. නිවසට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම එකම සැපයුම්කරුවෙක්ගෙන් ලබාගන්නව නම් කතා බහ කරල ඩිස්කවුන්ට් එකක් ලබාගන්න බැරි නැහැ. නිවස හදන ස්ථානයට ළඟින්ම මෙහෙම තැනක් හොයාගන්න එක ප්‍රවාහන වියදම් වලට වාසියක්.
2. බාස්ගෙ මිල ගණන්

Image Source – credibly.com
කොන්ත්‍රාත් බාස්ල එක්ක වැඩ කරනකොට තමා මේ ගැන විශේෂයෙන් මතක තියාගන්න ඕන. වැඩේ බාර දෙන්න කලින්ම මිල ගණන් ලිඛිතව ලබාගන්න. නැත්නම් ගේ හදාගෙන යන කොට “අයවැයෙන් අරහෙම උනා, මෙහෙම උනා දැන් මේ ගණන් වලට අමාරුයි” වගේ ලොවෙත් නැති හේතු කියල වැඩේ පටන් ගත්තු ගාණට වඩා ගලක් බඳින ගාණ රුපියල් පහක් දහයක් වැඩි කරනව. මේ නිසා අනිවාර්යයෙන් මිල ගණන් සියල්ලම ලිඛිතව ගන්න වගේම ඒ මිල ගණන් ඔයාලට වැඩේ අවසානයේ දෙන බිල්පත එක්ක සසඳල බලන්න. ඒ වගේම ඔය මිල ගණන් දෙන දික් අඩි, වර්ග අඩි වගේ දේවල් වල අපහැදිලි තැනක් තියෙනව නම් මිල ගණන් සටහන ගත්තු වෙලේම අහල පැහැදිලි කරගන්න.
3. පොතක් ගන්න

Image Source – credibly.com
නෝට්ස් දාන්න නානාප්‍රකාර ඇප් තිබ්බට මේ වැඩේට පොතක් ගන්න එක සාර්ථකයි. දිනපතා යන සෑම වියදමක්ම සහ බාස්ලට කරන හැම ගෙවීමක් ගැනම සටහනක් තියාගන්න. ගන්න බඩු වල බිල් ඒ ඒ අදාළ පිටු වලටම ස්ටේප්ලර් කරල අමුණගන්න. හැමදෙයක්ම මතකයේ තියාගන්න තරම් අපේ ඔළු වලට නිදහසක් නෑනෙ. ඇප් එකකට මේ නෝට්ස් ඇඩ් කළත් ගන්න බඩුවක බිල් වල ප්‍රශ්නයක් උනොත් අපිට බිල් ටික හොයාගන්න පහසු විදියට පිළිවෙලකට සකස ගන්න.
4. ගේ හදන්නෙ ඉන්න තැනින් දුරකද?

Image Source – pinterest.com
තමන් ඉන්න ළඟපාතින්ම ගේ හදාගන්න පහසුව හැමෝටම නෑනෙ. දැන් පදිංචි වෙලා ඉන්න තැනින් ඈතක ගේ හදනවනම් මෙන්න මේ ගැන ඔයාලට හිතන්නම වෙනව. ඒ තමයි ඔයාල සපයන අමුද්‍රව්‍ය නිවස හදන්න හරි විදියට පාවිච්චි වෙනවද කියන එක. සිමෙන්ති කොට්ටයක් දෙකක් කම්බි ටිකක් එහෙ මෙහෙ කරල ගාණක් අතට ගන්න බාස්ල හෝ අවට හොරු නැතුවාම නෙවෙයි නිසා සපයන බඩු වලට ඉන්වෙන්ට්‍රියක් තියාගන්න. දවසකට කරන වැඩ ප්‍රමාණෙට කොච්චර අමුද්‍රව්‍ය වැයවෙනවද කියන එක ගැනත් අවබෝධයෙන් ඉන්න. හවස පහ හය වෙනකොට වැඩ ඉවර කරල ගෙදර යන්න බලන් ඉන්න බාස්ල ඔය ඉතුරු බදාම ටික වැලි අස්සෙ හංගන අවස්ථා වලට මුහුණ දෙන්න එතකොට සිද්ධ වෙන්නෙ නෑ.
5. ඇඩ්වාන්ස් දෙන කොට කල්පනාවෙන්

Image Source – moneycrashers.com
අර උඩ කිව්ව පොත මෙන්න මේ වෙලාවෙදි වැදගත්. කොන්ත්‍රාත් බාස්ලා හුඟක් වෙලාවට වැඩේට යන මුළු මුදලෙන් කොටස් කොටස් විටින් විට ඇඩ්වාන්ස් විදියට ගන්නව. මෙන්න මේ නිසා ඔයාල කොන්ත්‍රාත් දුන්න වැඩේට යන දළ ගාස්තුව කොච්චරක්ද කියන එක වැඩේට කලින්ම සටහන් කරන් ඇඩ්වාන්ස් දෙන කොට සැලකිල්ලෙන් දෙන්න. සමහර වෙලාවට කරපු වැඩේට වඩා මුදලක් බාස්ල ලබාගෙන තියෙන්නත් පුළුවන්. නැත්නම් වැඩේට හරි යන ගාණ ඇඩ්වාන්ස් විදියට අරන් නිසා වැඩේ අතගගා කල් අදින්නත් පුළුවන් වගේම බාස්ව හොයාගන්න බැරි වෙන්නත් පුළුවන්.
6. අමතර වැඩ

Image Source – familyhandyman.com
ගෙයක් හදන් යන කොට අපිට වගේම බාස්ලටත් එක එක අදහස් එනව ගෙදරට එකතු වෙන්න ඕන දේවල් ගැන. මෙන්න මේ එන අදහස් ඇත්තටම ඔබේ අවශ්‍යතාවක්ද නැද්ද කියන එක ගැන කල්පනාකාරී වෙන්න. බිල හදල ඉවර වෙනකොට වර්ග අඩි ගාණක් වැඩි කරගන්න එක බාස්ගෙ අරමුණ වෙන්න පුළුවන්. එහෙම වෙනස්කමක් කරන එකෙන් ඔයාලට ඇත්තටම වැඩක් වෙන්නෙ නැත්නම් එහෙම දේවල් හැම එකටම ඔළුව වනල ඉන්නෙ නැතුව කතා බහ කරල තේරුම් කරන්න.
7. මේ බිත්තිය බැන්දෙ කොහෙද?

Image Source – allpointsprintingnj.com
වැඩේ අවසානයේ කොන්ත්‍රාත්කරු දෙන බිල මුල ඉඳන් අගට පරික්ෂා කරන්න වෙනම දවසක් දාගන්න. මේ ඔයාලගෙ සිහින නිවස. අහසින් වැටිච්ච මුදල් නෙවෙයි මහන්සියෙන් හම්බ කරන මුදලුයි වියදම් කරන්නෙ. අන්න ඒ නිසා ගෙවන හැම සතයක්ම සාධාරණ විදියට වියදම් වෙනවද කියන එක හොයන එක වටින්නෙ ඔයාලටමයි. ගෙයි බිත්ති ටික මනින්න. ඒ වර්ග අඩි ගාණ ආසන්නම වශයෙන් හරි බිලේ සඳහන් වර්ග අඩි ගාණට සමානද කියල බලන්න. අඩියක් දෙකක් එහෙ මෙහෙ උනාට කමක් නෑ නමුත් ගෙයි කොයි තැනකවත් බැඳල නැති බිත්තියක් ඉබේ මතු වෙන්න පුළුවන් බිල් එකෙන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ උඩින් කිව්ව හැමදෙයක්ම ඔයාලට අවධානයෙන් ඉන්න කියපු දේවල් මිසක් බාස්ලා හොරු කියන අදහස දෙන්න කියපුවා නෙවෙයි. හැම බාස් කෙනෙක්ම මක බාස් කෙනෙක් වෙන්නෙ නෑ. බාරගන්න වැඩේ තිතට ඉවර කරන අවංක බාස්ලා ඕන තරම්. ඒත් ඔය කියපු විදියේ අත්දැකීම් ලබපු අයත් ඕන තරම් ඉන්නව. තමන්ගෙ සිහිනය ගොඩ නගන මනුස්සය දිහා හොරෙක් ගාණට බලන්න එපා. ඒක හරියට තමන් කෑම කන හෝටලේ කෝකියා තරහ කරගන්නව වගේ භයානක වැඩක්.
Leave a Reply