බාත් ටවල් එකක් හරියට පාවිච්චි කරන්නේ මෙහෙමයි!

ටවල් එකක් හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත්? ඕකත් ප්‍රශ්නයක්ද දොරේ, ටවල් එක ගත්තා, මූණ පිහිදැම්මා, අනෙක් පාට්ස් එහෙමත් පිහිදැම්මා, වේලෙන්න දැම්මා. සිම්පල්. මාසයක් විතර ගිහින් පොඩ්ඩක් ගඳක් වගේ එනකොට, පොඩ්ඩක් කලුපාට ගැහීගෙන එනකොට හෝදලා දානවා. ඉන්පස්සේ වේලුනාට පස්සේ ආයෙමත් මාසෙකට රෙඩී. එහෙම නේද හිතන්නේ? එහෙම හරියන්නෙ නෑ. ටවල් එකක් පාවිච්චි කරන එකත් සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන. ආන්න ඒ නිසා අපි කියලා දෙන්න හදන්නේ පිරිසිදුව ඉන්න හරි විදියට ටවල් එකක් පාවිච්චි කරන විදිය.

 

1. බාත් මැට්

Image Source – homedepot.com

මේක කෙලින්ම තුවායට අදාළ නැහැ තමයි. හැබැයි බාත් රූම් එකේ නම් නාන්නේ, බාත් රූම් එකේ බිම බාත් මැට් එකක් තියෙන එක වටිනවා. බාත් මැට් එකක් කියන්නෙ පාපිස්සක් වගේ, හැබැයි වතුර උරාගන්න විදියට රෙදි වලින් හදපු එකක්. දැන් එළියේ නානවා නම්, එතනත් වතුරෙන් ගොඩ එන තැන ඔය විදියේ රෙදි කෑල්ලක් හරි, පරණ ගෝනි කෑල්ලක් හරි තියෙනවා නම් වටිනවා. ඒකෙන් සරලවම කකුල් වල තියෙන තෙතමනය උරාගන්නවා. එතකොට කකුල් තෙත මාත්තු කරගෙන එන්න පුලුවන්.

 

2. ටවල් කීයක්ද?

Image Source – coincasa.it

මොන විකාර ප්‍රස්නද මෙව්වා නෙහ්? ඇයි අපි නං ඕනම දෙයක් පිහිදාගන්න පාවිච්චි කරන්නේ එක ටවල් එකයිනේ. හැබැයි සමහරු, විශේෂයෙන් දිග කොණ්ඩ තියෙන ඈයෝ කොණ්ඩෙට එක ටවල් එකයි, ඇඟ පිහිදන්න තව ටවල් එකයි ටවල් දෙකක් පාවිච්චි කරනවා. ඇත්තටම ටවල් කීපයක් තියෙන එක කරදර වුනත් ඒකේ වාසියකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ටවල් දෙකක් තියෙනවා නම් හොඳටම ෂේප්. එක ටවල් එකක් නාලා ආවහම ඇඟපත, ඔලුව පිහිදගන්න. තව ටවල් එකක් ඔය වොෂ් රූම් ගිහින් වැසිකිලි කැසිකිලි අවශ්‍යතා සිදුකරගෙන එන එන සැරේට ඇඟපත පිහිද ගන්න. කොණ්ඩේට ඕන නම් තවත් තුන්වෙනි ටවල් එකක් පාවිච්චි කළත් අපි මොකුත් කියන්නෙ නෑ. හැබැයි මේ ටවල් හරියට වෙන් වෙන්ව තියාගන්න ඕන.

 

3. ටවල් එකෙන් කොහොමද හරියට ඇඟ පිහිදන්නේ?

Image Source – coincasa.it

කවදා හරි හිතලා තියෙනවද කොහොමද හරියට ඇඟ පිහිදන්නේ කියලා? ඇත්තටම මේක රොකට් සයන්ස් නෙවෙයි. අපි ගොඩක් දෙනෙක් මේක නෛසර්ගිකවම දන්නවා. සරලවම ගත්තොත් මුලින්ම ඔලුව පිහිදානවා. ඉන් පස්සේ මූණ, ඉන් පස්සේ පපුව, අත් සහ පිට ප්‍රදේශය. ඉන් පස්සේ යටිකය. එතනින් පස්සේ කකුල්. හැබැයි කකුල් යටිපතුල් ඒ තුවායෙන් පිහිදාන්නේ නෑ. අන්න ඒ නිසා තමයි අපි බාත් මැට් එකක් ගන්න කියලා මුලින්ම කිව්වේ.

සාමාන්‍යයෙන් ඇඟ පිහිදාන ක්‍රමය තමයි උඩ ඉඳලා යටට. කොහොමටවත් යට ඉඳලා උඩට නෙවෙයි. එතකොට ගොඩක් දෙනෙක් නාලා පිහිදගන්න එක යටිකයෙන් නතර කරනවා. ඒ කියන්නේ කකුල් පිහිදන්නෙ නෑ. හැබැයි කකුල් හොඳින් අතුල්ලලා කුණු යන්න හෝදගෙන නම් තියෙන්නේ, අනිවාර්‍යයෙන්ම කකුලුත් පිහිදාන්න ඕන.

 

4. ඇඟ පිහිදුවට පස්සේ?

Image Source – daringgourmet.com

ඇඟ පිහිදුවට පස්සේ ටවල් එක ගුලි කරලා කොහේ හරි මුල්ලකට විසික් කරලා හරියන්නෙ නෑ. ඇඳුම් රැක් එකේ කොණක එල්ලලා තියන එක හරියන්නෙත් නෑ. හරි නම් හොඳම වැඩේ තමයි එළියේ තියෙන වැලක ටවල් එක පාවිච්චි කළාට පස්සේ දිග ඇරලා දාන එක. මද අව්වෙන් හෝ හුළඟෙන් වේලලා ගත්තහම හරි. අනික ඔය ගොඩක් දෙනෙක් තමන් වාඩි වෙන පුටුවක ටවල් එක දිගෑරලා දානවා. අන්න ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද ඔය ප්ලාස්ටික් හෝ ලී පුටු වල නම් තෙත ටවල් කාලයක් දාලා තිබ්බහම පැල්ලම් හැදෙනවා. තෙත ටවල් එක ඇඳේ දිග ඇරලා දැම්මහමත් ටවල් එකේ තෙත ඇඳ රෙද්දට තමයි උරා ගන්නේ!

අන්න ඒ නිසා ටවල් එක දාන්න රෙදි වැලම යොදාගන්න එක හොඳයි. හැබැයි ටවල් එක තුන්තිස් පැයේ අව්වට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමී රෙදි වැලේ තියලා හරියන්නෙත් නෑ! එහෙමත් නැතිනම් ටවල් එක කාමරේ ඇතුළේ රෙදි රැක් එකේ හොඳට දිග ඇරලා දාලා, ජනේලයක් ඇරලා තියන්නත් පුලුවන්.

 

5. ටවල් හෝදන්නේ කොච්චර කාලෙකින්ද?

Image Source – bobvila.com

ඇත්තටම ගොඩක් අය ඩෙනිමක් මාස දෙකක් ඇඳලා හේදුවත් ටවල් එක හෝදන්නේ නෑ. හැබැයි ඒකෙන් වෙන්නේ ටවල් එක කළු ගැහිලා, ගඳ ගහන්න පටන් අරගෙන බල්ලෙක්ටවත් ආයෙ පාවිච්චි කරන්න බැරි ලෙවල් එකකට එන එකයි. අනෙක මෙහෙම ටවල් එකක් පාවිච්චි කරන එකෙන් සෞඛ්‍ය ගැටළු පවා ඇතිවෙන්න පුලුවන්.

ඒ නිසා ගොඩක් එක්ස්පර්ට්ලා නිර්දේශ කරන්නේ ඇඟ පිහිදන ටවල් එකක් දවස් තුනකට හෝ හතරකට සැරයක් හෝදන්න කියලා තමයි. ඒ කියන්නේ දිනපතාම නාන හෝ ඇඟ හෝදන කෙනෙක්ගේ ටවල් එකක් කියලා උපකල්පනය කළොත්. උපරිම ඕන නම් දවස් පහක් අදින්න පුලුවන්. ඒ කියන්නේ උපරිම දවස් පහක සතියකට වරක් අනිවාර්‍යයෙන්ම නාලා හෝ ඇඟ හෝදලා පිහිදගන්න ටවල් එකයි, වොෂ් රූම් ගිහින් ඇවිත් පිහිද ගන්න ටවල් එකයි දෙකම හෝදන්න දාන්න ඕන. ඒක හෝදලා වේලලා ගන්න කල් අල්මාරියේ තියෙන දෙවෙනි ටවල් සෙට් එක පාවිච්චි කරන්න පුලුවන්.

 

6. ඔක්කොම සමගියෙන් එක ටවල් එක!

Image Source – yourbestdigs.com

මෙන්න මේක නම් අපි තරයේ එපා කියන වැඩක්. ඒ තමයි ගෙදර හැමෝම සමගියෙන් එක ටවල් එකක් පාවිච්චි කරන එක. ඇයි? එකක් තමයි ටවල් එකක් තුන් හතර පාරක් පාවිච්චි කළහම හෝදන්න දාන්න ඕන කියන එක අපි දවස් තුනක් හතරක් කියන්නේ, මනුස්සයෙක් දවසකට එක පාරක් නානවා හරි ඇඟ හෝදනවා හරි කියලා උපකල්පනය කරලා. හැබැයි ගෙදර හැමෝම එක ටවල් එක පාවිච්චි කළොත්, දවසකට දෙකකට සැරයක් ටවල් එක හෝදන්න වෙනවා.

අනික් කාරණාව ඔය චර්ම රෝග වගේම සෙම්ප්‍රතිෂ්‍යාව එහෙමත් බෝ කරගන්න පුලුවන් සාර්ථකම ක්‍රමයක් තමයි එකම ටවල් එක හවුලේ පාවිච්චිය.

අන්න ඒ නිසා වඩාත් සුදුසු දේ තමයි ගෙදර එක් එක් කෙනෙක්ට තම තමන්ගේ වෙනම තුවා තියෙන එක. මේවා වෙන් වෙන්ව අඳුන ගන්න නම් පාට පාටින් ටවල් ගන්න පුලුවන්. එහෙම නැතිනම් නම ගහලා තිබ්බත් ප්‍රශ්නයක් නෑ.

 

7. හොටෙල් එකක වගේ ටවල්ස් තියාගමුද?

Image Source – amazon.com

මේක හැබැයි ගොඩක් දෙනෙක් ඉන්න ගෙදරක කරන්න අමාරුයි. ඒත් දෙන්නා දෙමාල්ලෝ විතරක් ඉන්න තැනක හෝ තනිකඩයෙක් ඉන්න තැනක නම් ලේසියෙන්ම කරන්න පුලුවන්. ඒකට මුලින්ම බාත් රූම් එකේ ටවල් රැක් එකක් හදාගන්න ඕන. දැන් අපි කිවුවනේ ටවල් එකක් පාවිච්චි කළාට පස්සේ හොඳින් වේලගන්නවා කියලා. එහෙම හොඳින් වේලාගත්තට පස්සේ ටවල් එක හරියට නවලා, ගෙනැල්ලා තියෙන්න ඕන ටවල් රැක් එකේ. හෝදලා, වේලලා ගත්තට පස්සේ වුනත් එමම තමයි.

මේ විදියෙන් ටවල් එකක් පාවිච්චි කරන වැඩේ හරි පිළිවෙලකට සිද්ධ වෙනවා. ඒ වගේම ටවල් එක තියන්න විශේෂිත තැනකුත් තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *