ඇය තාම තනිකඩයි – විවාහය අහිමි වුණු සිනමා නිළියෝ

විවාහය කියන දේ ගැන ආසියාතික රටවල සංස්කෘතිය ඉතාම සංවේදියි. පිරිමියෙක් තනිකඩ ඉන්නවාට වඩා ගැහැනු කෙනෙක් තනිකඩ ඉන්න එක වළක්වන්න එයාගේ වටේ ඉන්න දෙමවුපියෝ, නෑදෑයෝ, යාළු මිත්‍රයෝ උත්සාහ කරනවා. සමහර අවස්ථාවක විවාහයක් කරගන්න කාන්තාවකට දෑවැද්ද,කුලය වගේ දේවල් බලපානවා. ඒත් කාන්තාව රූමත් නම් වෙන ප්‍රශ්න කිසිවක් අදාළ වෙන්නේ නෑ කියලයි අපි හිතන්නේ. ඒත් මේ කතාව හැම තැනටම ඇත්තද? විශේෂයෙන් කලා ලෝකයට සම්බන්ධ වුණු අයගේ, නිළියන්ගේ?මේ වෙද්දි නම් අපිට අහන්න ලැබෙන්නේ නිළියක් අද බැන්දා, හෙට දික්කසාද වුණා, අනිද්දා තවත් කෙනෙක්ව බැන්දා කියලා. ඒත් නිළියක් විදිහට ජනප්‍රිය වුණු ඇතැම් අය තනිකඩ ජීවිත ගෙනියනවා. අපි අද හිතුවා එහෙම තනිකඩ ජීවිත ගෙනියන නිළියන් කීප දෙනෙක් ගැන කතා කරන්න.

 

1. ස්වර්ණා කහවිට

Image Source -facebook.com

මුවන්පැලැස්ස කියන්නේ අපේ රටේ ඉතාම ජනප්‍රිය වුණු ගුවන් විදුලි නාට්‍යයක්. මේ ගුවන් විදුලි නාට්‍යය ලබා ගත්ත අසීමිත ජනප්‍රියත්වය නිසාම මේ කතා තේමාව “බිනරමලී” කියන චිත්‍රපටිය බවටත් පත් වෙනවා. මේ බිනරමලී චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟ පාන්නේ ගැමි පෙනුමක් තියෙන ලස්සනම ලස්සන කෙල්ලෙක්. තමන් රඟපාපු පළවෙනි චිත්‍රපටියෙන්ම මේ කෙල්ල සරසවි සම්මාන උලෙළෙදි හොඳම නිළිය බවට පත් වෙනවා. ඒත් එක්කම “රන්ඔංචිල්ලා, පූජිතයෝ, අබිරහස, ලස්සන දවසක්, හරියන කොට ඔහොම තමයි, සිරිල් මල්ලි, හරිම බඩු තුනක්, ඔන්න බබෝ බිල්ලෝ එනවා, සසර නිවෙන ගින්න” වගේ චිත්‍රපටි රාශියක ප්‍රධාන චරිතය රඟපෑමේ අවස්ථාව ඇයට ලැබෙනවා. මේ කෙල්ලට විවාහ යෝජනාවලින් නම් අඩුවක් වෙන්නේ නෑ. කොටින්ම විජය කුමාරතුංගත් ඇයට විවාහ යෝජනාවක් ගේනවා. ඒත් ඇය සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. ඇගේ හිත නැවතිලා තියෙන්නේ තමන්ට ආදරය කරපු වෛද්‍ය ශිෂ්‍යයෙක් ගාව. ඒත් ඇගේ මව කුල ප්‍රශ්නයක් නිසා ඒ යෝජනාවට විරු‍ද්ධ වෙනවා. ඒ නිසාම නැවත විවාහයක් ගැන ඇය හිතන්නේ නෑ. දිගු කාලයක් ජපානයේ ගත කරන ඇය මේ වෙනකොට ලංකාවෙ ජීවත් වෙනවා. බිස්කට් දැන්වීමක චන්ද්‍රකුමාරගේ අම්මා විදිහට දැන් අපි කියපු කෙල්ලව ඔබට මුණ ගැහෙනවා. ඒ කෙල්ලගේ නම් ස්වර්ණලතා කහවිට. ඇය දැන් වියපත්. නමුත් විවාහයක් සිදු නොකර ගැනීම ගැන දැන් ඇය උපේක්ෂාවෙන් බලන්නේ.

 

2. ක්ලැරිස් ද සිල්වා

Image Source – facebook.com

ක්ලැරිස් ද සිල්වා සිංහල සිනමාවට නැටුම ගෙනාපු නිළිය විදිහට සලකන්න පුළුවන්. මාතලන් චිත්‍රපටියට ඇය ඉදිරිපත් කරපු නැටුම් ජවනිකා විශාල ආකර්ෂණයක් ලබාගත්තා. ඇය හින්දි සිනමාවට වුණත් ගැලපෙන මුහුණක් සහිත නිළියක් විදිහට රසිකයෝ වගේම විචාරකයොත් පිළිගත්තා. “අල්ලපු ගෙදර” චිත්‍රපටියේ ඉඳන් “කොහොමද වැඩේ, උතුම් ස්ත්‍රී, අටවැනි පුදුමය” වගේ චිත්‍රපටි කීපයක ඇය ජෝ අබේවික්‍රම සමග පෙම් ජවනිකා මැව්වා. බොහෝ දෙනෙක් ඇය සහ ජෝ අබේවික්‍රම විවාහ වෙනු ඇතැයි සිතුවා. නමුත් දෙදෙනාම එවැනි සම්බන්ධයක් ගැන ප්‍රතික්ෂේප කළා. ජෝ විවාහ වුණත් ක්ලැරිස් කවදාවත් විවාහ වුණේ නෑ. ඇය අද වෙන කොට කලා ලෝකයෙන් බැහැර වෙලා නිහඬ ජීවිතයක් ගත කරනවා.

 

3. උදුලා දාබරේ

Image Source – films.lk

සිංහල සිනමාවේ පෙම්වතියගේ වගේම විකට චරිත නිරූපණය කිරීමටත් දක්ෂ ඇය සිනමාවට පිවිසුණේ කැලෑ හඳ චිත්‍රපටියේ සුළු චරිතයකින්. “වරද කාගෙද, දුප්පතාගේ දුක, නළඟන, සුවිනීත ලාලනී, දරුවා කාගෙද, සීගිරි කාශ්‍යප, සූරයන්ගේත් සූරයා” වගේ චිත්‍රපටි රාශියක රඟපාපු ඇයට විවාහය අහිමි වුණේ ඇගේම මව නිසා. වරක් ඇගේ පෙම්වතා සමග විවාහ වී විදේශ ගත වෙන්න උත්සාහ කරද්දි ඇගේම මව කියලා තියෙන්නේ “මට ආදරේ නම් පාස්පෝට් එක ඉරන්න දුවේ” කියලා. ඇයට මුළු ජීවිතයම මව ඇතුළු පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප කරන්න සිදු වුණා. ඒ නිසා විවාහය ඇගෙන් මග ඇරුණා.

 

4. මැණික් කුරුකුලසූරිය

Image Source – info.shalanka.com

සිංහල සිනමාව වර්ණවත් කරපු කුරුකුලසූරිය සොහොයුරියන්ගෙන් බාලයා ඇය. ඒ වගේම එම සොහොයුරියන් අතරින් ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට පිවිසුණෙත් ඇය පමණයි. සුසීමා ටෙලි නාට්‍යයෙන් ඇය රසිකයෙක්ගේ “දෑස පියාගත් කල මැවෙන රුව” බවට පත් වුණා. ඇගේ සියලුම සොහොයුරියන් සාර්ථක විවාහ ජීවිත ගත කළත් ඇයට විවාහ වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. දැනට ක්ෂේත්‍රයෙන් ඈත් වුණත් ඇය විවිධ කලා උත්සව සඳහා තමන්ගේ සහභාගීත්වය දක්වනවා. ඒ වගේම අවුරුද්දෙන් කොටසක් තමන්ගේ සොහොයුරියන් ජීවත් වෙන ඕස්ට්‍රේලියාවේත් කාලය ගත කරනවා.

 

5. චන්දි රසිකා

Image Source – gossip9.com

ඇය අමරනාත් ජයතිලක මහතාගේ “අරුණට පෙර” චිත්‍රපටියෙන් සම්මානයට ලක් වෙනවා. “යුවතිපති” චිත්‍රපටියෙන් තවත් ජනප්‍රියත්වයට පත් වෙනවා. ඒත් “ඇගේ වෛරය” චිත්‍රපටිය නිසා ඇගෙ ජීවිතයම වෙනස් වෙනවා. ඒ පිළිබඳව ඇය කියන්නේ වෙනස් කතාවක්. ඒ ඇයව රැවටීමකට ලක් කරලා “සමනල දඩයම” නමින් ඇය නිෂ්පාදනය කරන්න ආරම්භ කරපු චිත්‍රපටිය “ඇගේ වෛරය” නමින් වෙනස් කළා කියලා. නමුත් මේ නිසා විශාල අපවාදවලට ඇයට ලක් වෙන්න සිද්ධ වෙනවා. අවසානයේදි පෙම්වතා පවා ඇයව හැර යනවා. මේ වෙනකොට ඇය කෙටි කෑම ව්‍යාපාරයක් කරමින් ජීවිකාව ගෙන යනවා.

 

6. සනෝජා බිබිලේ

Image Source – gossip99.com

සනෝජා කලා ලෝකයට පිවිසෙන්නේ තමන්ගෙ පියා වුණු සුමිත් බිබිලේගේ පියවර අනුව යමින්. ඇය “මංගල තෑග්ග, සහරාවේ සිහිනය, කිණිහිරියා මල්” වගේ චිත්‍රපටි රැසක රඟපෑවා. ඒ වගේම “නෝනාවරුනි මහත්වරුනි” විකට ටෙලි නාට්‍ය මාලාවේ “මාලී නන්දනී” චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. පසුගිය දවසක ඇය, ලෝකල් මිස්ටර් බීන් විදිහට ජනප්‍රිය වුණු මිස්ටර් බීන් එක්ක විවාහ වුණා කියලා ගොසිප් වෙබ් අඩවි වාර්තා කරලා තිබ්බත් අවසානයේ හෙළි වුණේ ඒක කලා නිර්මාණයක ප්‍රචාරක කටයුතු සඳහා පළ කළ ප්‍රවෘත්තියක් පමණයි කියලා.

 

7. යශෝධා විමලධර්ම

Image Source – youtube.com

ඇය “අග්නිදාහය, ගරිල්ලා මාකටින්, සමනල සංධ්වනිය” වගේ චිත්‍රපටිවල විශිෂ්ට රඟපෑම්වල නිරත වුණත් ඇය අපිට හැමදාම පුංචි තිරයේ කඳුළු බිංදුවම තමයි. “දූ දරුවෝ, නෑදෑයෝ, සත් පුර වැසියෝ” වගේ ටෙලි නාට්‍යයවල ඇය සිදු කළ රඟපෑම් භාවාතිශය වුණත් ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳ ගත්තා. නවක වධය නිසා සරසවිය හැර ගියත් ඇය තම උසස් අධ්‍යාපන කටයුතු අත් ඇරියේ නෑ. නමුත් ඇයට මේ වෙනතෙක් ඇයට හිමි සහකාරයා නම් මුණ ගැසී නෑ.

වෙනදා වගේම අදත් ඔබේ අදහස් උදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. ඒ වගේම ෂෙයාර් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *