ලෝක ක්‍රිකට් කරළියේ පෙරළියක් ඇති කළ ඉතිහාසයේ හොඳම පුහුණුකරුවන් 7දෙනා

කෝච් කෙනෙක්, එහෙමත් නැත්නම් ක්‍රිකට් පුහුණුකරුවෙක් කියන්නේ කණ්ඩායමක තිරය පිටුපස්සේ ඉඳන් ලොකු කාර්යභාරයක් ඉටු කරන කෙනෙක්. ඉස්සර කාලේ නම් ජාත්‍යන්තර කණ්ඩායමක පුහුණුකරුවෙක්ට කියල කරන්න ලොකු වැඩ කොටසක් තිබ්බෙ නැහැ. ඒත් අද වර්තමානයේ කණ්ඩායමකට ක්‍රීඩා කරන්න තියෙන විශාල තරඟ ප්‍රමාණය නිසාත්, මාධ්‍ය සමග නිරතුරුවම ගනුදෙනු කරන්න සිදුවීම නිසාත් ක්‍රීඩකයන් මත පැටවෙන බර සැහැල්ලු කරන්න පුහුණුකරුවාගේ සහාය වැඩි වැඩියෙන් උවමනා වෙනවා. ඒ් වගේම රටක ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමේ පීඩනයත් පුහුණුකරුවෙක් මත වැටෙනවා. දැන් බලන්න බංග්ලාදේශ කණ්ඩායමේ පෙරළියක් සිද්ධ කරපු අපේ චන්දික හතුරුසිංහ මහත්තය ලංකාවේ කණ්ඩායමේ පුහුණුකරු විදිහට ආවහම අපේ බොහොමයක් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු අහස උසට ඉහළ ගියා. ඒත් තවමත් හතුරුසිංහ මහතාට අපේ කණ්ඩායමේ සැළකිය යුතු වෙනසක් කරන්න හැකියාවක් ලැබිල නැහැ. පුහුණුකරුවෙක් විදිහට රටවල් කීපෙකම සාර්ථකත්වය ලබන එකත් ලේසි පාසු වැඩක් නෙමෙයි. කොච්චර දක්ෂ කණ්ඩායමක් වුණත් ජයග්‍රාහී මාවතක රඳවගන්නව කියන එකත් හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි.

හැබැයි එහෙම වුණා කියලා මේ අපහසු රාජකාරිය ඉතා සාර්ථකව ඉටු කරපු අයත් නැත්තෙ නෑ. අපි මේ කියන්න යන්නේ ඒ විදිහට ලෝක ක්‍රිකට් කරළිය ඇතුළේ පෙරළියක් සිද්ධ කරන්න සමත් වෙච්ච අතිදක්ෂම පුහුණුකරුවන් 7 දෙනෙක් ගැන.

 

1. බොබ් වූල්මර්

Image Source – twitter.com

ඉන්දියාවෙ ඉපදිලා, එංගලන්තයට ක්‍රිකට් ක්‍රීඩා කරපු බොබ් වූල්මර් ජාත්‍යන්තර කණ්ඩායමක පුහුණුකරුවෙක් හැටියට කරළියට එන්නෙ 1994 දි දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හැටියට. ඒ වෙද්දි දීර්ඝ කාලයක් තිස්සේ පැනවිලා තිබුණු ක්‍රිකට් තහනමින් පස්සේ දකුණු අප්‍රිකානුවන් තමන්ගේ රිද්මය හොයා හොය හිටපු කාලයක්. හා හා පුරා කියලා දකුණු අප්‍රිකාවෙ පුහුණුකරු හැටියට තේරී පත්වෙච්ච වූල්මර්ට තිබ්බෙ ක්‍රිකට් ගැන සෑහෙන අනාගතවාදී දැක්මක්. යල්පැන ගියපු පුහුණු ක්‍රමවේද වලින් ඈත්වෙච්ච පුද්ගලයෙක් වෙච්ච වුල්මර් ඒ කාලෙ නවීන තාක්ෂණේ යොදාගෙන ක්‍රිකට් පුහුණු කරන්නට පෙළඹුනා. ලැප්ටොප් එකක් භාවිතා කරල ක්‍රීඩකයන්ව විශ්ලේෂණය කරන්න පටන්ගත්ත මුල්ම පුහුණුකරුවාත් බොබ් වූල්මර් තමයි. වූල්මර්ගෙ තාක්ෂණ විප්ලවේ කොච්චර දුර දිග ගියාද කියනවනම් 1999 ක්‍රිකට් ලෝක කුසලානෙ තරඟයකදි එවකට දකුණු අප්‍රිකානු නායකයා වෙච්ච හැන්සි ක්‍රොන්යේ පන්දු රකින්න පිටියට යන්නේ කණට ඉයර් පීස් එකක සවි කරගෙන. මේ හරහා වූල්මර් එක්ක සම්බන්ධ වෙලා තරඟ සැලසුම් දැනගන්න හැන්සි ක්‍රොන්යේට හැකි වෙනවා. හැබැයි ඒ තාක්ෂණය වහාම තහනමට ලක්වෙනව. වූල්මර්ගෙ මග පෙන්වීම යටතේ ක්‍රොන්යේගේ දකුණු අප්‍රිකාවට ඉහළ සාර්ථකත්වයක් ලබන්න හැකි වෙනවා. ඉන් පස්සේ පාකිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු හැටියට වූල්මර්ව තෝරාගන්නවා. 2007 අවුරුද්දේ ලෝක කුසලානෙදි පාකිස්ථානයට අයර්ලන්තය අතින් නොසිතූ පරාජයක් ලබල තරඟාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඊට පහුවෙනිදා බොබ් වූල්මර් ක්‍රිකට් ලෝකයම කම්පනයට පත් කරමින් මරණයට පත්වෙනව.

 

2. ඇන්ඩි ෆ්ලවර්

Image Source – cricket.com.au

සිම්බාබ්වේ කණ්ඩායමෙන් එතෙක් මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම පිතිකරුවා ඇන්ඩි ෆ්ලවර් කණ්ඩායමෙන් විශ්‍රාම ගියාට පස්සේ පුහුණුකාර වෘත්තියට පිවිසෙනවා. 2007 අවුරුද්දෙදි එංගන්ත කණ්ඩායම වෙනුවෙන් තාවකාලික පුහුණුකාර ධූරයකට තමයි ඇන්ඩි ෆ්ලවර් පත්වෙන්නෙ. ඒ වෙද්දි එංගලන්ත කණ්ඩායම තරමක පසුබෑමක් පෙන්නුම් කරමින් හිටපු කාලයක්. ෆ්ලවර්ගේ මුල්ම සංචාරයත් අසාර්ථක වෙනවා. ඒත් ක්‍රම ක්‍රමයෙන් එංගලන්ත කණ්ඩායම ස්ථාවර කරන්න ඇන්ඩි ෆ්ලවර්ගේ ක්‍රමවේද සමත් වෙනවා. ඒ ස්ථාවරත්වය දිගින් දිගටම පවත්වාගෙන ඉදිරියටම යන්න ෆ්ලවර් සමත් වෙන්නේ මෑත කාලීන එංගලන්ත කණ්ඩායමේ සාර්ථකම යුගයක් උදා කරවමින්. ලෝක මට්ටමේ කිසිම ප්‍රධාන ක්‍රිකට් කුසලානයක් දිනලා නැති එංගලන්ත කණ්ඩායම 2010 දි විස්සයි විස්ස ලෝක ශූරතාවය දිනාගන්නෙ ෆ්ලවර්ගේ මග පෙන්වීම යටතේයි. ඊට පස්සේ 2009 සහ 2010/11 පවත්වපු අළු බඳුන තරඟාවලි දෙකම ජයගන්න එංගලන්තය සමත් වෙනවා. ඒ වගේම 2011 දී ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම හැටියට එංගන්තයට කිරුළු පළඳවන්නටත් ෆ්ලවර්ගේ කාර්යභාරය ඉවහල් වෙනවා. 2014 දී ෆ්ලවර් ක්‍රිකට් පුහුණුකාර ධූරයෙන් විශ්‍රාම යන්නේ එංගලන්ත කණ්ඩායමේ එතෙක් මෙතෙක් හිටපු හොඳම පුහුණුකරුවා කියන ගෞරව නාමයත් ක්‍රිකට් විශේෂඥයින් අතින් ලබාගෙනයි.

 

3. ජෝන් රයිට්

Image Source – youtube.com

හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණු ජෝන් රයිට් ක්‍රිකට් පුහුණුකරුවෙක් හැටියට කරළියට එන්නෙ 2000 වසරෙදි ඉන්දියානු කණ්ඩායමේ පුහුණුකරු හැටියට. ඔහුගේ ආගමනය තමයි වර්තමානය වෙද්දි ඉන්දියාව ක්‍රිකට් ලෝකය ඇතුළෙ පතුරවාගෙන ඉන්න බල පරාක්‍රමයට මුල්ම අඩිතාලම දාන්නෙත්. ඉන්දියාවෙන් බිහිවෙච්ච සාර්ථකම ක්‍රිකට් නායකයෙක් වුණු සෞරව් ගංගුලිත් එක්ක එකතුවෙලා ඉන්දියානු ක්‍රිකට් ඇතුළේ විප්ලවයක් කරන්නට ජෝන් රයිට් සමත් වෙනවා. මේ දෙන්න අතරේ ඒ තරම් හොඳ හිතවත්කමක් නොතිබුණත්, ක්‍රීඩාවේදී දෙන්නාට දෙන්නාගෙ සහය ඇතුව ඉහළ සාර්ථකත්වයක් ලබන්න මේ අය සමත් වෙනවා. ඒ වෙද්දි කණ්ඩායම නවකයන් වෙච්ච සහීර් ඛාන්, යුව්රාජ් සිංග් ඇතුළු පිරිස ඉන්දීය ක්‍රිකට් වල දැවැන්තයින් බවට පත් කරන්න උරදෙන්නෙ ජෝන් රයිට්. අමරණීය ටෙස්ට් තරඟයක් වෙච්ච 2001 ඕස්ට්‍රේලියා ඉන්දියා තරඟයේදි පරාජයේ මරු කටින් ගැලවිලා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්න ඉන්දියාව සමත් වෙන්නෙ වී. වී. එස්. ලක්ෂ්මන්ව අංක 3 පිතිකරුවා හැටියට එවන්න ජෝන් රයිට් ගත්ත තීරණේ නිසයි. ජෝන් රයිට්ගේ පුහුණුකාර කාල සමය ඇතුළතදී 2003 ලෝක කුසලාන අවසාන තරඟයට සුදුසුකම් ලබන්නත් ඉන්දියාවට හැකි වෙනව. 2013 IPL තරඟාවලියෙදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු විදිහට කටයුතු කරමින් ඔවුන්ව IPL ජයග්‍රහණයක් කරා ගෙනයන්නටත් ජෝන් රයිට් සහාය වෙනව.

 

4. ඩැව් වට්මෝර්

Image Source – newsjizz.com

ලංකාවේ ක්‍රිකට් වෙනස් කළා වගේම ලෝක ක්‍රිකට් වංශකතාවේත් ලොකුම පෙරළියට හවුල් වෙච්ච පුහුණුකරුවා තමයි මේ. වට්මෝර් උපදින්නෙ ලංකාවෙදි. 1962දි අවුරුදු 8ක කොලු ගැටයෙක් හැටියට වට්මෝර් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. ආයෙත් ලංකා කණ්ඩායමේ පුහුණුකරු හැටියට 90 ගණන් වලදී වට්මෝර් එන්නේ ලංකාවේ ක්‍රිකට් වල සිද්ධ වෙච්ච හොඳම වෙනස ගේන්නයි. ඒ වෙද්දි අපේ නායක කැප්ටන් කූල් එක්ක එච්චර හොඳ හිතක් නොතිබ්බත් මේ දෙන්නාගේ දැක්ම තමයි ලෝක ක්‍රිකට්වල ඉහළම තලයට අපේ කණ්ඩායම ඔසවලා තියන්නෙ. එක්දින තරඟවල මුල්ම පන්දුවාර 15දී වේගයෙන් ලකුණු රැස් කිරීමේ ක්‍රමය ආරම්භ කරල, සනා කලූ ප්‍රහාරාත්මක යුගලය බිහිකිරීමේ ඉඳන් 96 ලෝක කුසලානයට ස්ථාවරම කණ්ඩායම බිහිකිරීම දක්වා දේවල් වලට වට්මෝර්ගේ උපරිම දායකත්වය ලැබෙනව. 96 ලෝක කුසලානයෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වුණත්, පස්සෙ කාලෙක නැවත අපේ පුහුණුකරු හැටියට ඩැව් වට්මෝර් පත්වෙලා එනව. කාලයක් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකාර තනතුරත් ඩැව් වට්මෝර් විසින් දරනව. ඒ කාලෙදි ආධුනික කණ්ඩායමක් වෙච්ච බංග්ලාදේශ පිළ ලෝක ක්‍රිකට් හොල්ලන විදිහේ අනපේක්ෂිත ජයග්‍රහණ කීපයක්ම ලබාගන්නත් සමත් වෙනවා.

 

5. මිකී ආතර්

Image Source – twitter.com

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණු මිකී ආතර් 2005 අවුරුද්දෙදි දකුණු අප්‍රිකානු ක්‍රිකට් පුහුණුකරු හැටියට පත්වෙනවා. කොහොම වුණත් එච්චර සාර්ථක ආරම්භයක් ලබන්න නම් මිකී ආතර්ට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඕස්ට්‍රේලියාවෙදි වගේම ශ්‍රී ලංකාවෙදිත් අමිහිරි පරාජයන් ලබන්නට ආතර්ගෙ දකුණු අප්‍රිකා කණ්ඩායමට සිද්ධ වෙනවා. අතරින් පතර ලබන ජයග්‍රහණ සහ පරාජයන් එක්ක ආතර්ගේ මුල් අවුරුද්ද දෙක දකුණු අප්‍රිකාණු පුහුණුකරු හැටියට ගෙවෙනවා. ඊට පස්සේ තමයි මිකී ආතර්ව එතෙක් මෙතෙක් දකුණු අප්‍රිකාවට සිටි දක්ෂතම පුහුණුකරු හැටියට හඳුන්වන්න හේතුවන කාලය එළැඹෙන්නෙ. ඕස්ට්‍රේලියාවෙදි කැන්ගරුවන්ව ටෙස්ට් තරඟාවලියකින් වගේම එක්දින තරඟාවලියකිනුත් මුල්වරට පරද්දන්න දකුණු අප්‍රිකාවට හැකියාව ලැබෙනව. ක්‍රිකට් ලෝකය විශ්මයට පත්කරපු ලකුණු 434 හඹායාම සිද්ධ වෙන්නෙත් මිකී ආතර් දකුණු අප්‍රිකාව පුහුණු කරපු කාල වකවානුවේ තමයි. මේ ජයග්‍රහණ එක්ක ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම බවට දකුණු අප්‍රිකානුවන්ව පත් කරන්න ආතර් සමත් වෙනවා. දකුණු අප්‍රිකාවෙන් පස්සෙ ආතර් ඊළඟට වැඩ භාරගන්නෙ පාකිස්ථාන කණ්ඩායමෙයි. එහෙදීත් පාකිස්ථාන කණ්ඩායම ඉහළටම ගෙනියන්න ආතර්ට හැකියාව ලැබෙනවා. ඉතිහාසයේ පළමු වරට පාකිස්ථානය ICC චැම්පියන්ස් කුසලානයක් දිනාගන්නවා. ඒ වගේම ලෝක ටෙස්ට් සහ විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම් වල අංක 1ට පත්වෙන්නත් සමත්වෙනවා.

 

6. ගැරී කර්ස්ටන්

Image Source – dnaindia.com

“ඉන්දියානු ක්‍රිකට්වලට සිද්ධ වෙච්ච හොඳම දේ”

ඔන්න ඔහොමයි ශ්‍රේෂ්ඨ මහේන්ද්‍ර සිං ධෝනි ගැරී කර්ස්ටන්ව හඳුන්වන්නෙ. හිටපු දක්ෂ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවෙක් වෙච්ච ගැරී කර්ස්ටන් පිතිකරුවෙක් හැටියට දක්වපු දස්කම් වලට දෙවෙනි නොවෙන්න පුහුණුකරුවෙකු හැටියටත් ඉහළ සාර්ථකත්වයක් ලබපු දුර්ලභ ක්‍රීඩකයෙක්. 2008 අවුරුද්දෙදි ඉන්දියානු පුහුණුකරු හැටියට ගමන් අරඹන කර්ස්ටන් ඉන්දියානු කණ්ඩායමට එතෙක් ජාත්‍යන්තරයේදී ස්පර්ෂ කරන්න බැරි වුණු ඉසව් රැසකටම ඔවුන්ව ගෙනයන්න සමත් වෙනවා. ඉතිහාසයේ පළමු වතාවට නවසීලන්තයේදී ටෙස්ට් සහ එක්දින තරඟාවලි ජයක් ලබන්නට ඉන්දියාව සමත් වෙන්නේ කර්ස්ටන්ගේ පුහුණුව යටතේයි. 2011 දී ශ්‍රී ලංකාව පරාජය කරමින් ලෝක එක්දින ශූරතාවය ජයග්‍රහණය කරන්නටත් ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබෙනව. ඉන් පස්සේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකාර තනතුර ලබන ගැරී කර්ස්ටන් ඔවුන්වත් ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායම හැටියට ඔසවා තබන්න සමත් වෙනව.

 

7. ජෝන් බියුකැනන්

Image Source – dnaindia.com

ජෝන් බියුකැනන්ව සමහරු හඳුන්වන්නෙ ප්‍රෝඩාකාරයෙක් හැටියටයි. ඒකට හේතුව තමයි පුහුණුකරුවෙක් හැටියට බියුකැනන් කොතරම් සාර්ථකත්වයක් ලැබුවත් ඒ සාර්ථකත්වයට හේතුව වුණේ ඒ කාලෙ ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරපු අති දක්ෂ කණ්ඩායම කියල ඔවුන් විශ්වාස කරන එකයි. ස්ටීව් වෝ, රිකී පොන්ටින්, ෂේන් වෝන්, ග්ලෙන් මැග්‍රාත්, මැතිව් හේඩන්, බ්‍රෙට් ලී, මයිකල් ක්ලාක්, මයික් හසී වගේ ඕස්ට්‍රේලියාවෙන් බිහිවුණු දැවැන්තම චරිත රැසක් එක්ක තමයි බියුකැනන්ට කටයුතු කරන්න සිද්ධ වුණේ. අන්න ඒ නිසාමයි ලෝකයේ විශිෂ්ටතම පුහුණුකරු කියලා බියුකැනන්ව හඳුන්වන්න ගොඩක් දෙනෙක් පෙළඹෙන්නෙ නැත්තේ. කොහොම වුණත් ප්‍රබල සහ ජනප්‍රිය ක්‍රීඩකයො රැසක් හිටපු පළියට කණ්ඩායමක් සාර්ථක වෙන්නේ නැහැ. ක්‍රීඩකයෝ ලොකු වෙන්න වෙන්න කණ්ඩායම් ඇතුළේ වෙන්න පුළුවන් හැල හැප්පීමුත් වැඩියි. මේ හැම දේකටම සාර්ථකව මුහුණ දෙමින් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පුහුණුකරුවෙක් හැටියට ඉහලම ජයග්‍රහණ ප්‍රතිශත වාර්තා කරන්න බියුකැනන් සමත් වුණා. ටෙස්ට් තරඟ 16ක් එකදිගට අපරාජිතව ඉන්න බියුකැනන්ගේ ඕස්ට්‍රේලියාව සමත් වුණා. අවුරුදු තිස් ගණනකට පස්සේ මුල් වරට ඉන්දියාව ඉන්දියාවේදී ටෙස්ට් තරඟාවලියකින් පරද්දන්න ඔහුගේ දායකත්වය ලැබුණා. ඒ වගේම පිට පිට එක්දින ලෝක කුසලාන දෙකක් 2003 දී සහ 2007දී ජයගත්තේ එකම තරඟයක්වත් පරදින්නේ නැතිව. 80 ගණන් වල බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම හිටපු ලෝක ශූර මට්ටමට ඊට පස්සේ කණ්ඩායමක් පත්වුණානම් ඒ බියුකැනන්ගේ පුහුණුකාර ධූරයත් සමග ලෝක ක්‍රිකට් දිග්විජය කළ 2000 මුල් දශකයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *