අපි පුංචි කාලේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ආසාවෙන් මග බලාගෙන හිටපු කාලයක්. ඇත්තටම ඒ කාලේ අවුරුදු තිබුණු අප්‍රේල් මාසෙම අපිට අවුරුදු තමයි. අනික් එක ඒ කාලේ ඔය චාරිත්‍ර වාරිත්‍ර එහෙමත් දෙමව්පියෝ එක්ක එකතු වෙලා කළේ ආසාවෙන්. මොකද ඒ හැම දේකම තිබුණා අමුතු සුන්දර කමක්, අමුතු ෆන් එකක්. හැබැයි ඊට පස්සේ අපි ලොකු මහත් වුනා. වැඩිදුර ඉගෙන ගන්න, රස්සා කරන්න සිද්ධ වුනා. සමහරු පවුල් පන්සල් වුනා. ජීවිතේ හරි සංකීර්ණ වුනා. ඒකත් එක්ක සිංහල දෙමළ අලුත් අවුරුද්දේ තිබුණු මෙව්වා එකත් නැතුව ගියා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ හැල්මේ දුවන ජීවිතෙන් පොඩි විවේකයක් ගන්න දවස් කීපයක් විතරක් වුනා. රස්සාවෙන් දවස් හතර පහකට ලැබෙන නිවාඩුවක් විතරක් වුනා. ඒ නිවාඩුවේ පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නවා ඇරෙන්න ඔය සිංහල දෙමළ අලුත් අවුරුද්ද එන්ජෝයි කිරිල්ලක් නැතුව ගියා. හැබැයි ඇත්තටම එහෙම වෙන්න ඕනද? සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවේ ගෙදරට වෙලා විවේක ගන්නවා ඇරෙන්න ෆන් එකක් ගන්න පුළුවන් පොඩි පොඩි දේවල් නැද්ද?
1. අවුරුදු චාරිත්‍ර
සාමාන්‍යයෙන් පුංචි කාලේ අම්මලා තාත්තලා කරන නිසා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කළාට, අද කාලේ වැඩිහිටියෝ එච්චර ඔය චාරිත්‍ර ගැන, නැකැත් ගැන තකන්නේ නෑ. හරි, එහෙම නැකැත් පස්සේ එල්ලිලා ඉන්න ඕන නෑ. හැබැයි සිංහල දෙමළ අලුත් අවුරුද්දට චාරිත්‍ර සිද්ධ කරන එකේ තියෙනවා සංස්කෘතිකමය සුන්දරත්වයක්. ඒ චාරිත්‍ර වල විද්‍යාත්මක හරි වැරදි හොයන්න ඕන නෑ. ඒකේ තියෙන සංස්කෘතිකමය බව නිසා අපි ඉදිරි පරම්පරාවන්ටත් ඒක ගෙනියන එක හොඳයි. ඒ නිසා මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පැරණි සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඒ විදියටම කරන්න උත්සාහ කරලා බලන්න. ඒක තමන්ට විනෝදයක් නෙවෙයි නං අල්ලලා දාන්න.
2. කෑම පිඟන්
සාමාන්‍යයෙන් ඉස්සර ඉඳලා සිංහල දෙමළ අලුත් අවුරුද්දට තියෙන චාරිත්‍රයක් තමයි කෑම පිඟන් හුවමාරු කරගන්න එක. ඒ කියන්නේ නැකතට ආහාර අනුභව කරලා, ඉන්පස්සේ තියෙන ගනුදෙනු වගේ චාරිත්‍රත් කළාට පස්සේ ගමේ අහල පහල ගෙවල් වලට කැවිලි, කෑම පිඟන් ගිහින් දෙනවා. ඒ අයත් අපිට එහෙම පිඟන් එවනවා. හැබැයි දැන් මේ චාරිත්‍රය අභාවයට ගිහින් තියෙන්නේ. මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ඒ චාරිත්‍රය ආයෙමත් කරලා බලන්න. තමන්ට කෑම පිඟානක් නොලැබුණත් අහල පහල ඈයින්ට කෑම පිඟානක් දීලා බලන්න. නගරයේ ජීවත් වුනාට කමක් නෑ. තමන් කවදාවත් කථා බහ කරලා නැති, අඳුනන්නේ නැති අසල්වාසියෙක්ට වුනත් කෑම පිඟානක් දෙන එකෙන් අලුතින් මිනිස්සුන්ව අඳුනගන්න ලැබේවි.
3. අවුරුදු නැති අය එක්ක අවුරුදු කෑම වේලක්
කලින් කියපු විදියට අහල පහල අසල්වාසීන් එක්ක සම්බන්ධකම් අලුත් කරගන්න මේ අලුත් අවුරුදු සමය යොදාගන්න පුළුවන්. ඒ වගේම පුළුවන් කමක් තියේ නම් අවුරුදු නැති අයටත් අවුරුදු කෑම වේලක් දුන්නොත් මොකද? දැන් ඔය ළමා නිවාස වල, වැඩිහිටි නිවාස වල ඉන්න දරුවන්ට, අම්මලා තාත්තලාට අවුරුදු දවසට ඔය චාරිත්‍රයට මොනවා හරි දෙයක් කළත්, ඇත්තටම ඒ අයට ඒ අය විතරයිනේ. ඒ නිසා අවුරුදු දවසේ හරි ඊට පස්සේ දවසේ හරි මේ වගේ අයත් එක්ක කෑම වේලක් කාලා, පොඩි වෙලාවක් ගත කරලා ආවොත් මොකද?
4. ගමේ අවුරුදු උත්සවේ
සාමාන්‍යයෙන් ඕනම ගමක අවුරුදු උත්සවයක් තියෙනවනේ. දැන් නගරේ ඉන්න වැඩිදෙනෙක්ට වුනත් තමන්ගේ හරි තමන්ගේ නෑ කෙනෙක්ගේ හරි ගම් පළාතක අවුරුදු උත්සවේකට සහභාගි වෙන්න පුළුවන් නේ. අලුත් සරමකුත් කැහැපට ගහගෙන, පාට ෂර්ට් එකකුත් ඇඳගෙන අවුරුදු කුමාරයා වගේ අවුරුදු උත්සවේට බහින්නයි තියෙන්නේ. තරග වලින් දිනන්නම ඕන නෑ. තමන්ගේ අලුත් අවුරුදු ආතල් එක අරගෙන, සූටි නංකියෙක් හරි සුදු අයියෙක් හරි එක්ක කිරි කවන, බිත්තර අල්ලන වගේ පිස්සු ක්‍රීඩාවකට දෙකකට සහභාගි වෙලා තමන්ගේ ෆන් එක ගන්නයි තියෙන්නේ.
5. නෑදෑ ගෙවල් වල යෑම
ඇත්තටම දැන් කාලේ තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක නෑදෑයින්ව දැකගන්න මරණයක් හරි මගුලක් හරිම වෙන්න ඕන. ඒ තරමට බිසී නිසා අපිට කොයින්දෑ නෑදෑ ගෙවල් වල යන්න කාලයක්. හැබැයි මේ අලුත් අවුරුදු නිවාඩුවේ ඒකත් කරගත්තොත් මොකද? නෑ සනුහරේම බැහැදකින්න යන්න ඕන නෑ. ඒත් අවශ්‍ය නෑයින්ගේ ගෙවල් වලට අවුරුදු පංගුවත් අරගෙන ගිහිල්ලා, තේකක් බීලා, කැවුමක් කාරිය කාලා, බුලත් දීලා වැඩිමහල්ලන්ට වැඳලා, නෑදෑකම් අලුත් කරගෙන එන්නයි තියෙන්නේ.
6. අලුතෙන් දෙයක්
ඉස්සර චාරිත්‍රයක් වගේ අපේ අම්මලා කරපු තවත් දෙයක් තිබුණා. ඒ තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගෙදරට මොනවා හරි අලුත් දෙයක් ගන්න එක. ඒක ගෙදරදොරේ වැඩට අවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මෙදාපාර අලුත් අවුරුද්දට හැමෝටම ඇඳුම් කැඩුම් ගන්න අතරේ මේ වැඩෙත් කරලා බලන්න. තමන්ගේ ගෙදරට අලුතින් දෙයක් මිලදී ගන්න. පුළුවන් නම් අම්මාටත් අලුතින් දෙයක් අරගෙන දෙන්න. ඒක මහා ලොකු සල්ලි යටවෙන දෙයක් වෙන්න ඕන නෑ. වැදගත් වෙන්නේ ඒ සංකේතාත්මක ක්‍රියාව. ඒ වගේම තමන්ටත් වැදගත් වෙන දෙයක් තමන් වෙනුවෙනුත් මිලදී ගන්න අමතක කරන්න එපා. ඒක පොත පතක් වුනත්, වෙනත් තමන්ට අවශ්‍ය දෙයක් වුනත් කමක් නෑ.
7. හැමෝටම තෑගි බෝග
මේ කාලේ ආර්ථිකයත් එක්ක හැමෝටම සමෝසමේ තෑගි බෝග ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. දැන් ගෙදර අයට, අම්මලා තාත්තලාට, තමන්ට ඇඳුම් කැඩුම් ගන්න ඕන. උඩින් කියපු විදියට තෑග්ගක් දෙකක් එහෙමත් ගන්න ඕන. තව මොනවද? පුළුවන් නම් තමන්ගේ නෑදෑ දූ දරුවෝ ඉන්නවා නම් ඒ අයට පොතක් පෑනක් අරගන්න. ආයෙමත් කියන්නේ, ලොකු ලොකු තෑගි වෙන්න ඕන නෑ. තෑග්ගක් දෙනවාය කියන සංකේතීය වටිනාකම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ එක්කම පුළුවන් කමක් තියෙනවා නම් අර අවුරුදු තෑගි කියලා කිසිම දෙයක් ලැබෙන්නේ නැති වැඩිහිටි නිවාසෙක, ළමා නිවාසෙක ඉන්න අම්මලා තාත්තලාට හරි පොඩි දරුවන්ට හරිත් පුංචි පහේ හෝ තෑගි ටිකක් මිලදී ගන්න. මේ වලට සල්ලි වැයවෙනවා තමයි. හැබැයි පිංකම් කරනවා කියලා රටට ලෝකෙට පේන්න සල්ලි නාස්ති කරනවාට වඩා මේ වගේ වැඩක් හිතටත් හොඳයි.
ඇත්තටම සමහර අයට මේ පෝස්ට් එකේ කිසිම වැඩක් නෑ. මොකද ඒ අය දැනටමත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ මේ විදියට තමයි. හැබැයි මේ පෝස්ට් එක ඇත්තටම ලියලා තියෙන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන අපේ සංස්කෘතික උත්සවයේ තියෙන සුන්දරත්වය අමතක වෙලා තියෙන අයට. මේ අවුරුද්දේ ඒ අයට ඒ සුන්දරත්වය ආයෙමත් සිහිපත් කරගෙන, අර්ථාන්විත සිංහල දෙමළ අලුත් අවුරුද්දක් සමරන්න කියලා මතක් කරන එකයි මේ ලිපියේ අරමුණ.
එහෙමනම්, ලයිෆි කියවන නොකියවන හැමෝටම සුභ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා!
Leave a Reply