රස නහර පිනා යන සැන්ඩ්විච් රෙසිපි 7ක්

අපිට එන පොඩි බඩගින්නට, ඒ වගේම බබාලගෙ ලන්ච් බොක්ස් එකට දාන්න, උදේ කෑමට ගන්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් දෙයක්නේ සැන්ඩ්විච් කියන්නෙ. හැමදාමත් එකම විදියට සැන්ඩ්විච් නොකා වෙනස් රස වලින් හදලා බලමුද?

 

1. එළවළු සැන්ඩ්විච් (රේන්බෝ මෑශ් සැන්ඩ්විච්)

Image Source – organix.com

බබාලගෙ බර්ත්ඩේ පාටි එකකට හදන්න, දකින්න වගේම කන්නත් ආස හිතෙන සැන්ඩ්විච් එකක් තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන් ගෙඩියක්
  2. කැරට් ග්‍රෑම් 200
  3. බීට් රූට් ග්‍රෑම් 200
  4. සලාද කොළ ග්‍රෑම් 100
  5. අබ ක්‍රීම් මේස හැඳි 2
  6. බටර් ග්‍රෑම් 200
  7. ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව

සාදන ආකාරය

  • කැරට්, බීට් වෙනවෙනම තම්බාගන්න. ඒකට අබ ක්‍රීම් මේස හැන්දක් හා බටර් ග්‍රෑම් 100 බැගින් එකතු කරලා  වෙන වෙනම මිශ්‍ර කරගන්න. ඒවාට රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරගන්න.
  • පාන් පෙති දෙකක් අරගෙන ඒකෙන් එක පෙත්තක් උඩට කැරට් මිශ්‍රණයෙන් ලේයර් එකයි බීට් මිශ්‍රණයෙන් ලේයර් එකයි දාලා, ඒ උඩට සලාද කොළයක් තියලා අනික් පාන් පෙත්තෙන් වසන්න. ලේසි පහසුයි. ඒ වගේම රසම රසයි.

 

2. බිත්තර සැන්ඩ්විච්

Image Source – foodandwine.com

හැමදාම හදන සාම්ප්‍රදායික එග් සැන්ඩ්විච් එක නම් නෙමෙයි මේ. මේ විදියටත් හදලා බලන්නකො රස නැද්ද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බිත්තර 3ක්
  2. බටර් ග්‍රෑම් 20ක්
  3. ගම්මිරිස් කුඩු
  4. ලුණු කුඩු
  5. තෙල් ටිකක්

සාදන ආකාරය

  • භාජනයක් ලිපේ තියලා රත්වෙනකොට ඒකට තෙල් ටිකක් දාලා බිත්තරයක් කඩලා දාන්න. ඊට පස්සෙ අනික් ද්‍රව්‍ය ටිකත් එක් කර හොඳින් කෑලි කැඩෙන විදියට හැඳිගාන්න.
  • ඉන් පස්සෙ ලිපෙන් බාලා පාන් පෙති වල බටර් ගා මෙම මිශ්‍රණයෙන් ටික ටික තබා අනික් පාන් පෙත්තෙන් වසන්න.

 

3. ඉස්සන් සැන්ඩ්විච්

Image Source – youtube.com

ම්ම්ම්… නම ඇහෙනකොටම දන්නවනෙ මොනවයින්ද හදන්නෙ කියලා. ඒ වගේම රසත් හොඳටම තියෙන සැන්ඩ්විච් එකක් තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ඉස්සන් ග්‍රෑම් 250ක්
  2. සිහින්ව කපාගත් පාන් පෙති 16ක්
  3. මාජරින් ග්‍රෑම් 50ක්
  4. තක්කාලි සෝස් තේ හැදි 2ක්
  5. ලුණු කුඩු ස්වල්පයක්
  6. කෝන්ෆ්ලා ස්වල්පයක්
  7. දෙහි යුෂ
  8. සෝයා සෝස් ස්වල්පයක්
  9. බිත්තර 2ක්
  10. බැද ගැනීමට තෙල්

සාදන ආකාරය

  • ඉස්සන් වල්ගය හැර පොතු ඉවත් කර සෝදා ගන්න
  • ඒකට කෝන්ෆ්ලා, බිත්තර, සෝයා සෝස් එකතු කරලා පැය බාගයක් විතර සීසන් වෙන්න තියන්න.
  • බඳුනකට තෙල් දාලා රත් වෙනකොට ඉස්සො ටික ගැඹුරු තෙලේ  රන්වන් පාට වෙනකල් බැදගන්න.
  • ඊට පස්සෙ පාන් පෙති වලට බටර් ගාලා ඒ මැදට ඉස්සො දාලා රසම රස සැන්ඩ්විච් එකක් හදලා කන්න.

 

4. සැමන් සැන්ඩ්විච්

Image Source – piknow.net

සාමාන්‍ය සැන්ඩ්විච් එකක් හදනකොට අපිට නැතුවම බෑනෙ සැමන්. එහෙනම් අපි ඒ විදියටත් හදමුකො සැන්ඩ්විච්…

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන් ගෙඩියක්
  2. කුඩා සැමන් ටින් එකක්
  3. තම්බාගත් බිත්තර 2ක්
  4. රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු
  5. දෙහි යුෂ ස්වල්පයක්

සාදන ආකාරය

  • සැමන් හොඳින් පොඩි කරගෙන තම්බාගත් බිත්තරත් පොඩි කරගෙන සැමන් සමඟ හොඳින් මිශ්‍ර කරන්න. ඒකට රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු හා දෙහි යුෂ එකතු කරන්න.
  • එහෙම හදාගත්තු මිශ්‍රණය පාන්පෙති වල ගාලා ලස්සනට කපා ගන්න. (පොඩ්ඩො ගොඩක් ආස වෙයි මෙහෙම කන්න. මොකද මේක ඇත්තටම ගොඩක් රස සැන්ඩ්විච් එකක් නිසා).

 

5. වට්ටක්කා සැන්ඩ්විච්

Image Source – livelighter.com.au

අපි සාමාන්‍යයෙන් සැන්ඩ්විච් හදන්න ගන්න දෙයක් නෙමෙයි උනත් හදනකල්ම මේකෙ රස දැනගෙන හිටියෙ නෑනෙ අපිත්. ඔන්න එහෙනම් ඔයාලටත් අවස්ථාව මේක හදලා රස අපිටත් කියන්න ඕනෙ හොඳේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. වට්ටක්කා
  2. අමු මිරිස්
  3. ළූණු
  4. බටර්/මාජරින්
  5. රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු

සාදන ආකාරය

  • වට්ටක්කා පොතු ඇරල හොඳින් තම්බ ගන්න.
  • අමු මිරිසුයි ළූණුයි ඉතාම පොඩියට කපාගන්න (චොප් කරගන්න).
  • ඊට පස්සෙ ගම්මිරිසුයි, ලුණුයි ඔය ඔක්කොම එකට දාල කලවම් කරල පාන් පෙත්තෙ ගාගෙන කන්න තමයි තියෙන්නෙ.

 

6. චීස් සැන්ඩ්විච්

Image Source – epicurious.com

පොඩි බබාලගෙ නම් ගොඩක් ආස කෑමක් තමයි චීස් සැන්ඩ්විච්. ඒකත් මෙන්න මේ විදියට හදලා දුන්නොත් එයාලා හැමදාම ඉල්ලයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සැන්ඩ්විච් පාන් පෙති 4ක්
  2. ග්‍රේට් කරගත් චීස් ග්‍රෑම් 50ක්
  3. බටර් ග්‍රෑම් 10ක්
  4. අබ ක්‍රීම් ස්වල්පයක්
  5. තක්කාලි ගෙඩි 1ක්
  6. සලාද කොළ

සාදන ආකාරය

  • සැන්ඩ්විච් පාන් පෙති 4 ටෝස්ට් කරගෙන පාන් පෙත්තේ එක පැත්තක බටර් හා අබ ක්‍රීම් ගාගන්න.
  • ඊට පස්සෙ ඒකට අර ග්‍රේට් කරගත්තු චීස් පාන් පෙත්තේ අතුරගෙන ඒක උඩින් සලාද කොළ තියලා අනික් පෙත්තෙන් වහගන්න.
  • දැන් ඉතින් මේක ඔයාලගෙ දඟකාර පොඩ්ඩන්ට පිළිගන්වන්නයි තියෙන්නෙ.

 

7. ඇවකාඩෝ සැන්ඩ්විච්

Image Source – lifesambrosia.com

නම ඇහුවම බලනවා ඇති මේ මොකද්ද කියලා. ඔව් ඔව් මේක හදන්නෙ අලිගැටපේර වලින් තමා. නුපුරුදු උනාට හදලා බැලුවොත් ඔයා හැමදාම හදයි. ඔන්න එහෙනම් අහගන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සැන්ඩ්විච් පාන් ගෙඩියක්
  2. හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩියක්
  3. තක්කාලි ගෙඩියක්
  4. ලොකු ළූණු ගෙඩියක්
  5. මයෝනේස්
  6. අබ ක්‍රීම්
  7. ගම්මිරිස් කුඩු
  8. සලාද කොළ

සාදන ආකාරය

  • මුලින්ම පාන් පෙති දෙකක් අරන් ඒවයෙ ඇතුල් පැත්තෙ හොඳට මයෝනිස් ගාගන්න.ඊට පස්සෙ ඒකට අබ ක්‍රීම් එකත් ගාගන්න (මුලු පාන් පෙත්තේම එකවගේ ගෑවෙන්න ඕනෙ හොඳේ)
  • දැන් මේකට ගම්මිරිස් කුඩු ඉහගන්න. ඊට පස්සෙ සලාද කොළ පෙති දෙකේම වෙන් වෙන්ව උඩින් තියලා තක්කාලි හීනියට පෙති කපලා අතුරගෙන ඊට උඩින් ලූණු හීනියට පෙති වගේ කපලා තියාගන්න.
  • දැන් අලිගැටපේර ගෙඩිය සුද්ද කරලා හීනි පෙති කපලා පාන් පෙත්තෙන් තියලා අනික් පෙත්තෙන් වහලා කෑමට ගන්න. හැමදාම කන සැන්ඩ්විච් රසයට වඩා වෙනස් රසයක් දැනෙයි ඔයාලට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *