තමන්ගේ සිහින නිවහන ගොඩනගන්න මුල ඉඳන් සැලසුම් කරන්නේ මෙහෙමයි

තමන්ගෙම කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. හැබැයි අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ඉඳන්ම ලොකු වධයක් විඳින්න වෙන බව දන්න අය දන්නව. හැබැයි දැනගෙන ගියොත් අතරමඟ නොයිඳ කතරගමට යාගන්න පුළුවන් නිසා ගෙයක් හදාගන්න හීන බලන ඔයාලට පොඩි තල්ලුවක් දෙන්නයි මේ හදන්නෙ. ගෙයක් කියන හීනෙ සැබෑ කරගන්න හිතන ඔයාලට ගෙයක් හදන්න හිතපු මොහොතේ ඉඳන් මොන වගේ සුදානමක් තියාගන්න ඕනද කියන එක ගැනයි මේ ලිපියෙන් කියන්න යන්නෙ.

පිළිගත් නිවාස සැලසුම් ශිල්පියෙක්ට කියල හයි ක්ලාස් විදියට කරනව නම් ඇත්තටම ඔයාලට හිතන්න දෙයක් නෑ, අවශ්‍ය දේවල් කිව්වම එයාල ලස්සනට සැලසුම් කරල ප්ලෑන් එක පාස් කරලත් දෙනව. මේ කියන්නෙ එහෙම කෙනෙක්ගෙ සහයක් නැතුව තමන්ම තනියම හැමදේම කරගන්න උනාම දැනගෙන ඉන්න ඕන දේවල් ගැන.

 

1. ප්ලෑන් අඳින්න කලින් හිතන්න

Image Source – preciousproperties.com

ගෙයක් හදන්නෙ තමන්ගෙ ජීවිත කාලෙටම. කෑමක් හදනව වගේ, ඇඳුමක් මහනව වගේ ඕන ඕන වෙලාවට වෙනස් කරන්න ගෙවල් හදන්න බැහැනෙ. මේ නිසා තමන්ගෙ අවශ්‍යතාවයන් මොනවද, පවුලෙ සාමාජිකයින් කී දෙනෙක්ද, එයාලගෙ විශේෂ අවශ්‍යතා මොනවද වගේ දේවල් ගැන ප්ලෑන් අඳින්න කලින්ම හිතන්න ඕන. වැඩිහිටි අය ඉන්නව නම් තට්ටු ගෙවල් වල පඩි නගින්න බහින්න එයාලට කාලෙකදි බැරුව යනව. එහෙම අයට පහළ තට්ටුවකින් කාමරයක් වගේම කාමරේ එක්කම නානකාමරයක් සැලසුම් කරන එක පහසුවක්. කුඩා දරුවන් ඉන්නව නම් එයාලට නිදහසේ ගැවසෙන්න මිදුලකට ඉඩක් එළිමහනේ නැත්නම් පුංචියට හරි මැද මිදුලක් සැලසුම් කරන්න. ඒක දරුවන්ට විතරක් නෙවෙයි, දවස තිස්සේ වෙහෙසෙන ඔබට තමන්ගෙම නිවහන ඇතුළෙ නිදහසේ ඉන්න වටිනා තැනක් වෙයි.

 

2. ප්ලෑන් එක අඳින්න

Image Source – nuithonie.com

කලින් කිව්ව විදියට තමන්ගෙ අවශ්‍යතාවයන් ගැන අවබෝධයකට ආවට පස්සෙ ප්ලෑන් එක අඳින එක වරලත් සැලසුම් ශිල්පියෙක්ට කියල කරගන්න ඕන. හැබැයි අපේ රටේ හැටියට එහෙම කරගන්නවට වඩා ප්ලෑන් එක පාස් කරගන්න වඩාත්ම පහසු ක්‍රමය තමයි තමන් ගේ හදන්න ඉන්න ඉඩම අයිති පළාත් සභාව හෝ ප්‍රාදේශීය සභාවට ගිහින් එතන ඉන්න තාක්ෂණික නිලධාරියෙක්ට සැලසුම අඳින එක බාර දෙන එක. මාර්ග සැලැස්මවල් වල ඉඳන් මායිම් සහ ප්‍රාදේශීය සභා අනුමැතිය ලබාගන්න නිවාස සැලසුම සකස් විය යුතු ආකාරය ගැන හොඳම අවබෝධයක් තියෙන්නෙ ඔවුන්ට නිසා වඩාත් පහසුවෙන් ප්ලෑන් එක පාස් කරගන්න පුළුවන්.

 

3. වාස්තු බලනවද?

Image Source – bronbi.com

වාස්තු විද්‍යාව පිළිගන්න කෙනෙක් නම් ප්ලෑන් එක අන්දල අනුමත කරගන්න යොමු කරන්න කලින්ම වාස්තු විද්‍යානුකූලව හරි වැරදි ටික සකස් කරගන්න එක අනිවාර්යෙන් කරගන්න.

පාස් කරපු ප්ලෑන් එකක ඉන්ටීරියර් නම් එහෙ මෙහෙ කරගන්න පුළුවන් උනාට මායිම් සහ ප්‍රාදේශීය සභා අනුමැතිය ගන්න බලපාන කාරණා එහෙ මෙහෙ උනොත් ලෝන් පාස් කරගන්න, වරිපණම් අංක ලබාගන්න වගේ ඒවට කරදර වෙන්න පුළුවන්.

 

4. ප්ලෑන් එක පාස් නම් හදන්න ගන්න කලින් මේව හිතන්න

Image Source – home-designing.com

ප්ලෑන් එක පාස් කරගත්ත ගමන් වැඩ පටන් ගන්න කලින් ගෙදර ඉන්ටීරියර් එක ගැන මුලින්ම හිතන්න ගන්න. සාමාන්‍යයෙන් අපි ගේ හදල, කපරාරු කරල, පොටිත් ඇද්දට පස්සෙ තමා බිත්ති වල පාටවල්, ඒ ඒ තැන් වලට ඕන බඩු ගැන හිතන්න ගන්නෙ. හැබැයි මේ හදන්නෙ ඔබේ හීන නිවහන. ඔබ දකින හීනය ඇස් ඉදිරිපිට හැබෑ කරගන්න නම් කාමරයක් ගාණෙ ඔබේ හිතේ සැලසුමක් තියෙන්න ඕන. හැදුවට පස්සෙ වෙනස් කරන්න බැරි අඩුපාඩු පේන්න ගත්තම ඒක හිතට කරදරයි. මේ නිසා ඒ ඒ කාමර වලට එන බිත්ති වල පාට, ආලෝකය ලැබිය යුතු විදිය, ලයිට් සැකැස්ම, ගෘහභාණ්ඩ තිබිය යුතු තැන් ගැන සටහනක් ඇඳගන්න. ප්ලග් පොයින්ට්ස් පවා තිබිය යුතු තැන්, ඒ ඒ තැන් වලට තියන විදුලි උපකරණ කියන හැම පුංචි විස්තරයක්ම සටහන් කරගන්න. මේ දේවල් බැලු බැල්මට තේරුමක් නෑ කියල හිතුනට හදාගන්න ගේ ඇතුළෙ ප්‍රායෝගිකව ජීවත් වෙන්න ගත්තම එන අවශ්‍යතාවයන් අනුව කලින් හිතපු එක කොච්චර වටිනවද කියල දැනෙයි.

 

5. කොන්ත්‍රාත් ආයතනයකට ගේ හදන්න දීම

Image Source – modularhomeowners.com

හුඟාක්ම කාර්යබහුල කෙනෙක්ට නම් වඩාත්ම පහසුම ක්‍රමය කොන්ත්‍රාත් පදනමට ගේ හදන්න දෙන එක. අමුද්‍රව්‍යත් එයාලම දාල ගේත් හදල පේන්ට් එකේ, ෆිටින්ග්ස් වල ඉඳන් බල්බ් එක දක්වාම දේවල් කරල යතුර අතට දෙනව. හැබැයි මේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය හොඳම තත්ත්වයේ ඒවාද?, නිවස නිසි ඉංජිනේරු ප්‍රමිතියට සකස් වෙනවද?, සේරටම වඩා ඇඩ්වාන්ස් ගත්තට පස්සෙ වැඩේ හරියට කෙරෙනවද නැත්නම් කල් ඇද ඇද ඉන්නවද? වගේ දේවල් හොඳට හොයල බලල, කලින් ඒ ආයතන වලින් වැඩ ගත්ත අයගෙ අත්දැකීම් සලකල බලල තමා කොන්ත්‍රාත් ආයතනයක් තෝරගන්න ඕන.

 

6. කොන්ත්‍රාත් බාස් කෙනෙක්ට දෙනවද?

Image Source – stylishhomeimprovement.net

ආයතනයකට දෙනවට වඩා කොන්ත්‍රාත් පදනමට බාස් කෙනෙක් ලවා ගෙයක් හදවන එකේ මෙහෙම වාසි කීපයක් තියෙනව. තමන්ම අවශ්‍ය බඩු මුට්ටු සපයන නිසා හොඳම තත්ත්වයේ අමුද්‍රව්‍ය විශ්වාසයකින් යුතුව ලබාගන්න පුළුවන්කම ලැබෙනව. කොන්ත්‍රාත් බාස් ගෝලයන්ට පඩි ගෙවීම කරන නිසා වැඩ අතගගා ඉන්න ගෝලයන්ට ඔහු ඉඩ දෙන්නෙ නැහැ. නිවස හදනකොට අපිට වෙනස් කරගන්න අවශ්‍ය පොඩි පොඩි දේවල් සාකච්ඡා කරල කරගන්න පුළුවන්. වර්ග අඩි ගාණට මිල ගණන් සකස් කරන නිසා කොන්ත්‍රාත් ආයතනයකට දෙනවට වඩා පොඩි ලාබයක් තියෙනව.

අවාසි නැතුවත් නෙවෙයි. බොහෝ වෙලාවට මේ ගෝල බාලයො අපි දෙන අමුද්‍රව්‍ය හොරෙන් පන්නන්න ඉඩ තියෙනව. වර්ග අඩි වලට බිල සකස් උනත් ගේ ඇතුළෙ නැති වර්ග අඩි ගණන් එහෙන් මෙහෙන් බිලට එකතු වෙන්නත් පුළුවන්. අනික ඔය වැඩ හරියට වෙනවද බලන්න නිතරම එතන ගැවසෙන කෙනෙක් ඉන්නත් ඕන.

 

7. දවස් කුලියට කොටසින් කොටස හදන එක

Image Source – bestpickreports.com

දවස් කුලියට කරගන්න එක එකවර මුදලක් යොදවල ගෙයක් හදන්න අපහසු කෙනෙක්ට තියෙන ලාබදායම ඔප්ශන් එක. සල්ලි තියෙන වෙලාවට පොඩි පොඩි කොටස ගාණෙ කරගන්න පුළුවන්කම මේ ක්‍රමයේ වාසියක්. අවශ්‍ය බඩුත් තමන්ම සපයන නිසා හොඳම අමුද්‍රව්‍ය යොදාගන්න පුළුවන්. හැබැයි කොන්ත්‍රාත් බාස්ට දෙන කොට වගේම මේ ක්‍රමයේදිත් තමන් ලඟ ඉන්නම ඕන.

වැඩ අතගාන එක දවස් කුලියට වැඩ කරගන්නකොට බොහොමයක් බාස්වරු කරන දෙයක්. අනික සපයන අමුද්‍රව්‍ය වල භාවිතය හරියට වෙනවද කියන එක හොයන්න බලන්නත් ඕන. මෙහෙම වැඩ කරන බාස්ලා උන්නු ගමන් මේ වැඩේ දාල දවස් ගණන් වෙන වැඩ වලට යන එකත් සිද්ධ වෙනව.

අද අපි මේ කතා කළේ ගෙයක් හදන්න හිතුව තැන ඉඳන් ඔයාල සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන. ගෙයක් හදාගෙන යන කොට මොන වගේ දේවල් ගැන හිතන්න ඕනද කියන එක ගැන සහ අභ්‍යන්තර ගෘහ අලංකරණය ගැන ඉදිරි ලිපි කීපයකින් කතා කරන්න බලාපොරොත්තු වෙනව. ඔයාලගෙ හීන නිවහන හදාගන්න හිතන එකට මේ ලිපිය පුංචි හරි උදව්වක් උනා නම් තව කෙනෙක්ගෙ හීනෙකට තල්ලුවක් දෙන්න ශෙයාර් කරගෙනම යන්න කියලත් මතක් කරනව.

මේ ලිපියේ දෙවැනි කොටස කියවන්න මෙතන ක්ලික් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *