ලංකාව දුටු විදේශිකයන් තැබූ ඓතිහාසික සටහන්

ඉන්දියන් සාගරයේ මැදට වන්නට ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂී පිහිටීම නිසා විවිධ රටවල සංස්කෘතීන් මුණ ගැවසෙන කේන්ද්‍රස්ථානයක් බවට පත් වුණා. මේ නිසා විවිධ රටවලින් පැමිණෙන පිරිස්වලින් ලංකාවට අඩුවක් වුණේ නෑ. ඒ වගේම ලංකාව ථෙරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානය බවට පත්වීම නිසා නිර්මල බුදු දහම සොයා බෞද්ධ රටවලින් භික්ෂූන්වහන්සේ පැමිණීමද සිද්ධ වුණා. අපි අද ලිපියෙන් එසේ පැමිණි විදේශිකයන් කීප දෙනෙක් තැබු සටහන් කීපයක් කෙරෙහි අපේ අවධානය යොමු කරමු.

 

1. ෆාහියන් හාමුදුරුවෝ

Image Source – amazon.in

නිර්මල බුදු දහම සොයා යමින් චීන දේශයේ සිට ඉන්දියාවට වැඩම කළ ෆාහියන් හාමුදුරුවෝ නැවත තමන්ගේ මව් රටට යාමට පෙර අවුරුදු දෙකක් ලංකාවේ ගත කළා. උන්වහන්සේ අනුරාධපුරයේ අභයගිරි විහාරය වැඩ වාසය කරමින් ලංකාවේ පැවැති ආගමික පරිසරය ගැන විචිත්‍ර සටහන් රාශියක් තැබුවා. උන්වහන්සේ අපේ දළදා පෙරහැර ගැන තිබ්බේ මෙන්න මේ වගේ සටහනක්

“තුන්වන මස මැද හරියේදී බුදුරජුන්ගේ දළදාව මහජනයාට පෙන්වනු ලැබේ. රජ තෙමේ මෙයට දින දහයකට කලින් කීමෙහි බිණීමෙහි සමත් මිනිසකු රජ හැඳුම්, පැළඳුම් හඳවා පළඳවා මොනොවට මහ ඇතක්‌හු පිටැනංවා නුවර හැවිදැ අණබෙර ගසා මෙසේ කියන්නට සලස්‌වයි. ”

“බෝසතාණන් වහන්සේ තුන් අසෙකි කපක්‌ මහත් වැර වඩා පැරුම් පිරූ සේක. උන්වහන්සේ සිය සැප පහසු නොතකා සිය රජය ද සිය බිසව ද දරුවන්ද දන් දුන් සේක. තමන් ඇස්‌ උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක. සියලු සතුන් උදෙසා මේ සා මහත් දුක්‌ විඳ අවසැන ලොව්තුරා බුදු වූ සේක. බුදු වැද ලොවට දහම් දෙසමින් ලෝ වැස්‌සා නිසි මඟට බස්‌වමින් එකුන් පනස්‌වසක්‌ ලෝවැඩ කළ සේක. මෙසේ සිය මෙහෙය සපුරා සිදුකොට පිරිනිවන් පෑ සේක. උන්වහන්සේගේ පිරිනිවන් අවුරුදු 497 ක්‌ ගත විය. ලෝ ඇස පියවී පැවති මේ මුළු කාලයෙහි (ඔබ දක්‌නට නැත්තෙන්) ලෝ වැස්‌සෝ නිතරම සොවින් පෙළෙති. අද සිට දස දිනෙකින් ඒ බුදු රජුන් වහන්සේගේ දළදා එළියට වැඩම කරවා අබාගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමැති ගිහි පැවිදි සියල්ලෝ මඟ සම කෙරෙත්වා. කොමේ මගමේ සරසත්වා පුද පිණිස මල් හා සුවඳ පිළියෙල කෙරෙත්වා. ”

ඒ වගේම අපේ විහාරාරාමවලට පූජා කරපු වස්තුන් ගැන රසවත් කතාවක් ෆාහියන් හාමුදුරුවෝ කියනවා.

“විහාරාරාමවල වටිනා මැණික්‌ සහ මුතු ද විය. රජු එක්‌ දිනක්‌ එවැනි විහාරයකට ගොස්‌ අවට බැලුවේ ඒ සා රන්, රිදී, මුතු මැණික්‌ දැක ඒවා තමාටම අයිතිකර ගන්නට සිතුවේය. තුන් දිනක්‌ ගත වුණු තැන ආපසු එතැනට පැමිණි රජු වහා සිරස නමා භික්‍ෂුන් ඉදිරියේ වැඳ වැටී සමාව ඉල්ලා ගත්තේය. රජුට මින් පසු විහාරාරාමයක භාණ්‌ඩාගාරයට ඇතුළුවීමට අවසර නොදිය යුතු යැයි ආඥාවක්‌ පනවන ලෙස රජු භික්‍ෂුන් වහන්සේගෙන්ම ඉල්ලා සිටියේය. එසේම ඒ තුළට අවුරුදු හතළිහක්‌ ශාසනයේ ගත නොකළ කිසිම භික්‍ෂුවකට ද ඇතුළු වීමට තහනම් කරන ලෙස ද ඉල්ලුවේය”

 

2. ඉබන් බතූතා

Image Source – history.com

ලංකාවට ආපු තවත් සුප්‍රකට දේශ ගවේෂකයෙක් වුණේ ඉබන් බතුතා. ඔහුගේ අරමුණ වුණේ ශ්‍රී පාදය වන්දනාමාන කරන්න. ඔහුට ඒ සඳහා එවකට ලංකාවේ උතුරු ප්‍රදේශය පාලනය කරපු ආර්‍ය චක්‍රවර්තීගේ අනුග්‍රහය හිමි වුණා. බතූතා තමන්ගේ චාරිකාව ගැන කියන්නේ මෙන්න මෙහෙම

“පැලැක්කියක මා හිඳුවා ඔසවාගෙන යන ලෙස කුලීකරුවන් යෙදූ ආර්යය චක්‍රවර්තීන් මට ඇති තරම් කෑම බීම සැපයූවා. මේ ගමන බොහොම දුෂ්කරයි. නමුත් අතිශයින්ම වැදගත්. ඉගෙනගන්න බොහොමයක්‌ දේ මෙහි තිබුණා. සෙරන්ඩිබ්හිල් තමයි සිරිපාද කන්ද කියන්නේ. මේ බව හුඟක්‌ දෙනෙක්‌ දන්නේ නැහැ. අමුතු සීතලක්‌ එක්‌ක දැවටුන මද සුළඟ ඇඟට අමුතු සිසිලසක්‌ ගෙන දුන්නා. මද දුරක්‌ යන විට හමුවූ මැහැලි අම්බලම ප්‍රදේශයේ ගල් ගුහා රැසක්‌ තිබුණා. ඒවායේ ලොකු ඉතිහාසයක්‌ තිබෙන බව මා සමග ගිය පිරිස්‌ කියා සිටියා. කන්ද ඉහළට යන තෙක්‌ම තැනින් තැන ජලය ගලා හැලෙනවා. ජලයේ ශබ්දය හරිම මිහිරියි. ඇඟේ එල්ලෙන ඇලෙන පුංචි සත්තු පිරිලා. ඒ කූඩැල්ලො කියන සත්තු බව දැන ගත්තා. වෙනත් ලොකු සත්තු බොහොමයක්‌ මුණ ගැහුණත් ඒ එක සතෙක්‌වත් නපුරක්‌ කළේ නෑ.

මේ ගමන අතිශයින්ම දුෂ්කර බව යළිත් කිව යුතුයි. කඳු ගැටය මුදුනට යන්න මාර්ග දෙකක්‌ තිබෙනවා. එකක්‌ බාබා පාර (නල්ලතන්නි). අනෙක මාමා (රත්නපුර) පාර. මාමා පාර පහසුයි. තැනින් තැන යකඩ කණු හිටවලා යකඩ දම් වැල් ඇදලත් තිබුණා. කදීරෑ ලෙන ළඟ මිනිස්‌සු පිරිලා. එතන දිය උල්පතකින් වතුර උනන පෙනුමක්‌ තිබුණා. සමතලා බිමක්‌ නිසා බෙහෙවින් දැකුම්කලුයි. පොකුණෙ මාළුන්ට කාගෙන්වත් කරදර නෑ. මෙතන තිබුණ ගල් ගුහාවේ බඩු මුට්‌ටු තියලා හැමෝම කඳු ගැටය නැංගා. එයත් බොහොම පීඩාකාරි ගමනක්‌.

කඳු මුදුනට ගිය විට සියලු වෙහෙස දුරු වෙලා යනවා. ගල ඇතුළට පා සටහන කිඳා බැස ඇත්තේ කොහොමද කියලා මට ප්‍රශ්නයක්‌. දිගින් වියන් 11ක්‌ පමණ පළල් පා සටහන මාව පුදුමයට පත් කළා.

ආපසු ආවේ බාබා පාරෙන්. ඒ පාරේ එක තැනක අමුතු විශාල ගසක්‌ තිබෙනවා. මිනිස්‌සු ගොඩක්‌ උඩ බලාගෙන ඉන්නවා දැක්‌කා. අහලා හොයලා බලද්දි මේ ගසේ කොළයක්‌ කවදාවත් බිමට නොවැටෙන බව මිනිස්‌සු කිව්වා. අහම්බයකින් කොළයක්‌ වැටුණොත් ඒ කොළය කෑමට ගන්නා අය වයසට නොයන බව ඔවුන් කිව්වා. සමහරු මේ ගස ඇවිදින ගස ලෙසත් හදුන්වනවා”.

 

3. මාර්කෝ පෝලෝ

Image Source – history.com

ඉතාලි ජාතික මාර්කෝ පෝලෝ ලංකාවට පැමිණියාද නැද්ද කියන එක ගැන ඉතිහාසඥයන් අතර මත ගැටීමක් තියෙනවා. චීනයේ කුබ්ලායි ඛාන් අධිරාජ්‍යයාගේ දූතයෙක් විදිහට පර්සියාවට යන අතරතුර ශ්‍රී ලංකාවට එන්න ඇතැයි කියලා ඇතැම් පිරිසක් විශ්වාස කරනවා. මාර්කෝ පෝලෝ ලංකාවේ මැණික් ගැන මෙන්න මෙහෙම කියනවා.

“ලෝකයේ අනර්ඝතම මැණික සෙයිලාන්හි රජතුමා සතුව ඇත්තේය. අත්ලක් තරම් විශාල රත් පැහැති එම මැණික මධ්‍යයේ අද්භූත අලෝකයකින් දිදුලන්නේය. මේ මැණික බොහෝ වස්තුන් රාශියකට හුවමාරු කරගැනීමට කුබ්ලායි ඛාන් අධිරාජ්‍යයා කළ ඉල්ලීම සෙයිලාන්හි රජතුමා ප්‍රතික්ෂේප කළේය. ”

 

4. රොබර්ට් නොක්ස්

Image Source – en.wikipedia.org

ලංකාව ගැන සම්පූර්ණයෙන්ම විස්තර වාර්තාවක් දුන්න ප්‍රධානම විදේශිකයා විදිහට ඉතිහාසගත වෙන්නේ රොබර්ට් නොක්ස්. හැබැයි නොක්ස් අපේ රටේ ජීවත් වුණේ දෙවෙනි රාජසිංහ රජුගේ සිරකාරයෙක් විදිහට. රොබර්ට් නොක්ස් අපේ සිංහල අලුත් අවුරුද්ද ගැන කිව්වේ මොකද්ද කියලා අපි බලමු දැන්.

සිරකරුවකු ලෙස ජීවත් වූ නොක්ස් සිය කෘතියේ මෙසේ දක්වා තිබෙනවා.

“ඔවුන්ගේ අලුත් අවුරුදු දිනය සාමාන්‍යයෙන් මාර්තු 27 හෝ 28 හෝ 29 හෝ යන දිනකදී එළඹේ. මේ කාලයේදී (නැකත්කරුවන්ගේ උපදෙස් පරිදි තෝරාගත් විශේෂ ශුභ දිනයකදී) රජතුමා හිස සෝදයි. ඔවුන’තර මෙය ඉතා ගම්භීර සිද්ධියකි. රජවාසල තොරණවලින් අලංකාර කෙරේ. මෙය පියකරු දර්ශනයකි. මෙම තොරණවල මැද පිහිටි කණු සෙසු ඒවාට වැඩිය උසය. දෙපස වූ ඒවා අනුක්‍රමයෙන් එකිනෙකට මිටි වන අයුරින් එක පෙළට හතක් හෝ නවයක් පිහිටුවා ඇත. ඒවා මැදින් යාම ඊම සඳහා වූ දොරටුවක ස්වරූපය ගත් ආරුක්කුවකි. රිටි මුදුනේ කොඩි ළෙල දේ. මිනිසුන්ගේ හා සිව්පාවුන්ගේ ද, පක්‍ෂීන්ගේ හා පුෂ්පවල ද රූ සටහන් හා චිත්‍ර සිතුවම් කරන ලද රෙදි එහි හැමතැනම එල්ලා ඇත.”

 

5. ජෝන් ඩේව්

Image Source – en.wikipedia.org

ඉංග්‍රීසි යුධ හමුදාවේ වෛද්‍යවරයෙක් විදිහට කන්ද උඩරට යටත් වීමේ මුල් අවධියේ මෙරට සේවය කරපු ජෝන් ඩේව්ගේ සටහන්වලින් අපි උපුට ගන්නේ එයා අපේ රටේ කෑම ගැන කියලා තියෙන දේ

“ප්‍රධාන ආහාර වේල මද්දහනේ ගනිති. එය වැඩි වශයෙන් බත්, ව්‍යංජන යන මෙයින් සමන්විත ය. ව්‍යංජන පිළියෙල කිරීමේ දී මිරිස්‌, ලුණු, දෙහිඇඹුල් සහ වියළි ගොරකා යොදනු ලැබෙයි. උසස්‌ පෙලැන්තිවල ඇත්තෝ නා නා ප්‍රකාර ව්‍යංජන ප්‍රයෝජනයට ගන්නා හු බිත්තර, කුකුළු මස්‌, දඩ මස්‌ ආදි මාංසාහාර ද අනුභව කරති. ඔවුහූ ගෝ මාංශ භක්ෂණයෙන් නියත ලෙස වළකිති. මෙසේ කරන්නේ ගව මස්‌ කෑම ආගම් විරෝධී නිසා නොව එළදෙනක විසින් කිරි පොවන ලද රජ කෙනකු විසින් තහනම් කෙරුණු හෙයිනි. හෙතෙම මේ තම කෘතඥතාව පළ කරන පිණිස ගව මස්‌ කෑම තහනම් කළේය. දිවා භෝජනයට අමතරව සමහරු පාන්දර ද අනුභව කරනු අතර සැම දෙනාම පාහේ රෑ හතේ සිට අට තෙක්‌ කාලය තුළ ද ආහාර ගනිති. ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය හැර තවත් බොහෝ ආහාර වර්ග ද ඔවුහු භාවිතා කරති. කේජු සහ බටර් ගැන ඔවුන් දන්නා බවක්‌ නොපෙනේ. ගී නමින් හැඳින්වෙන පිරිසිදු කරන ලද බටර් ඔවුහූ නිතරම පාහේ ව්‍යංජනවලට යොදති”

 

6. පැබ්ලෝ නෙරුඩා

Image Source – newyorker.com

නෙරුඩා ලංකාවට එන්නේ චිලියේ කොන්සාල්වරයා විදිහට. ඔහු ලංකාවේ ගත කාලය ගැන ඉතාමත් ආස්වාදයෙන් මතක සටහන් තබනවා. සමහර සටහන් සඳහා නෙරුඩා පාවිච්චි කරන්නේ තමන්ට පුරුදු කවිය.

මේ තේ පානය ගැන ඔහු ලියු කවිය. හැබැයි මේ කවියෙන් කියන්නේ තේ පානය ගැන විතරක්ම නෙමෙයි.

අලි වෙසෙනා බිමේ උපන්

තේ කොළ ග්‍රහලෝක වගෙයි

නැත සුව‍ඳේ සීමාවක්

පූජනීය බවක් හැ‍ඟෙයි

මා ගත සිත සුවපත් කළ

නැවුම් රසැති තේ පානය

ඔබ වෙනුවෙන් මා හද තුළ

කවි වැල් එතෙනවා වගේ. . .

අහිමිව ගිය ඔබෙ සුවඳත්

මල් පෙති නෙත් දුන් සුවඳත්

සමන් පිච්ච සුවඳ මුසුව

මගෙ කුටියට හමා ඇවිත්

 

7. ඇල්බට් අයින්ස්ටයින්

Image Source – viva.org

අපි දැන් මෙච්චර වෙලා කතා කළේ විදේශිකයෝ අපේ රට ගැන කියපු හොඳනේ. අපේ රටේ මිනිස්සුන්ව දෙකේ කොළේට දාලා කතා කරලා තියෙන අයත් ඉන්නවා. ආපහු ලේසි පාසු කෙනෙකුත් නෙමෙයි, විසිවන සියවසේ මහා බුද්ධිමතා විදිහට සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් අපේ රටේ මිනිස්සු ගැන කියන්නේ මෙන්න මෙහෙම.

“ඔවුන් ජීවත් වන්නේ ඉතා අපිරිසිදු සහ සැලකිය යුතු දුර්ගන්ධයක් නිකුත්වන පොළොවක. ඔවුන් සුළුවෙන් වැඩ කරන නිසා, අවශ්‍යතාවන් ද අඩුයි”

හරි අපි ඔන්න අපේ රට ගැන අරයා මෙයා කියලා තියෙන ප්‍රසිද්ධ අදහස් උදහස් ගැන කතා කළා. දැන් කාලේ විදේශිකයෝ අපේ රට ගැන මොනාද කියන්නේ? ඒ ගැන ඔයාට හිතෙන දේ කමෙන්ට් සෙක්ෂන් එකේ කියන් යන්න. ඒ වගේම වට්ස්ඇප් මැසෙන්ජර් හරහා මේ ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

zvr
Your Reaction

Comments