දඩිබිඩියේ හදාගන්න ඊසි ඔම්ලට් රෙසිපීස් 7ක්

ලූණු, මිරිස් පදමට හැපෙන්න ලාවට ගම්මිරිස් සැර දැනෙන්න සුවඳට හදන බිත්තර ඔම්ලට් එකක් කියන්නෙ ආයෙත් ඉතින් බතට මදි පාඩුවට වගේම හීනියට සෙට් වෙන්නත් කියාපු කටගැස්මක් තමයි. ඔය එකම ඔම්ලට් එක, එක එක්කෙනා හදනවනෙ විවිධ රස වලට. සුපුරුදු ලූණු මිරිස් වලට අමතරව පොඩියට ලියපු කරපිංචා, තක්කාලි, මාළු මිරිස් ටිකක් එකතු කරලා හදාගත්තාම එකෙනුත් සාම්ප්‍රදායික ඔම්ලට් එකට එන්නෙ වෙනමම රසක්. අන්න ඒ වගේ එකකට එකක් වෙනස් ලංකාවේ අපි අතරනම් එච්චර ප්‍රසිද්ධ නැති ඒත් සුපිරි රස, පහසුවෙන් හදාගන්න පුළුවන් ඔම්ලට් රෙසිපි කීපයක් තමයි මේ කියන්න යන්නෙ.

හැබැයි මේ කියන්න යන ඔම්ලට් රෙසිපි හුඟක්ම ප්‍රධාන කෑම වේලක් විදිහට ගන්න හදාගන්න ඒවා. අපිට පුරුදු විදිහට බත්, පාන් එක්කත් කන්න පුළුවන් උනාට ඔම්ලට් එකත් එක්ක සලාදයක් කෑවත් හොඳටෝම ඇති. බන්ඩිත් ෆුල්, සෞඛ්‍යටත් හොඳයි.

 

1. චීස් ඔම්ලට්

Image Source – epicurious.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. බිත්තර දෙකක්
  2. ලුණු
  3. ගම්මිරිස් කුඩු
  4. ග්‍රේට් කරගත් චීස් අවශ්‍ය ප්‍රමාණයට
  5. බටර් හෝ පොල්තෙල්

සාදාගන්නා ආකාරය:

  • හරිම සිම්පල්. මුලින්ම බිත්තර, ලුණු, ගම්මිරිස් ටික භාජනේකට දාල හොඳට විස්ක් එකකින් ගසාගන්න.
  • පෑන් එකකට තෙල් හෝ බටර් ටිකක් දමා ලිප තබා හොඳින් තවරාගෙන ගසාගත්ත බිත්තර මිශ්‍රණය එයට දමන්න.
  • බිත්තර මිශ්‍රණය ඉදීගෙන ඇවිත් උඩ තෙත ගතිය තරමක් තියෙන මට්ටමේදී ග්‍රේට් කරගත්ත චීස් ටික ඒකට උඩින් හොඳට විසිරුවල පැතලි හැන්දකින් බිත්තරය දෙකට නවාගෙන තවත් පොඩි වෙලාවක් තියෙන්න ඇරල බිත්තරය ලිපෙන් බාගන්න.

 

2. ෆ්‍රෙන්ච් ඔම්ලට්

Image Source – bonappetit.com

ෆ්‍රෙන්ච් ඔම්ලට් කියන්නෙ හරිම පරිස්සමට හදාගන්න ඕනෙ, සුපර් ක්‍රීමී ගතියක් තියෙන වෙනස්ම ඔම්ලට් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. බිත්තර දෙකක්
  2. වතුර මේස හැන්දක්
  3. ලුණු
  4. ගම්මිරිස් කුඩු
  5. බටර්
  6. පිරවුමට පොඩියට කපාගත් තක්කාලි, බෙල් පෙපර්, හැම්, ග්‍රේට් කරගත් චීස් අවශ්‍යනම් පමණක් (පිරවුම නැතුවත් හදාගන්න පුළුවන්)

සාදාගන්නා ආකාරය:

  • බිත්තර, වතුර, ලුණු, ගම්මිරිස් ඔක්කොම භාජනයක දාල හොඳින් විස්ක් කරගන්න.
  • පෑන් එකක් ලිප තියල බටර් දමා හොඳින් තවරගන්න.
  • දැන් අර ගසාගත්ත බිත්තර මිශ්‍රණය පෑන් එකට දාල පැතලි හැන්දකින් විටින් විට කලවම් කරන්න අඩියෙ නොඇලෙන්න. හැන්දෙන් කලවම් කරන ගමන්ම අනිත් අතින් පෑන් එකත් හොලවන්න. එග් ස්ක්රැම්බල් කරන තරමටම නෙමෙයි. හැබැයි කැබලි සහිත ක්‍රීමි ගතියක් එනකන් වරින් වර එහෙම කලවම් කරල තෙත ගතිය තියෙද්දී ආපහු බිත්තර මිශ්‍රණය පෑන් එකේ හොඳින් අතුරන්න.
  • අන්තිමට අවශ්‍යනම් අර කපාගත්ත එළවලු, හැම් එහෙම බිත්තරේ බාගයකට උඩින් දාල පැත්තක් නමාගන්න. නැත්තම් නිකන්ම දෙකට නමාගෙන බාගන්න.

 

3. ස්පැනිෂ් ඔම්ලට්

Image Source – cafedelites.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. බිත්තර දෙකක්
  2. පොඩියට කපාගත් ළූණු
  3. සිහින්වට පෙති කපාගත් අල
  4. ලුණු
  5. ඔලිව් ඔයිල්

සාදාගන්නා ආකාරය:

  • මුලින්ම ඔලිව් තෙල් ලිපේ තියල කපාගත්ත ළූණු සහ අල ගැඹුරු තෙලේ බැදගන්න ඕනේ. මේ බදින්න පාවිච්චි කරන ඔලිව් තෙල් පෙරල අරන් නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්.
  • ඊටපස්සෙ අර බිත්තර දෙක ලුණු ටිකක් දාල හොඳින් හැන්දකින් කලවම් කරලා බැදගත්ත ළූණු අල මිශ්‍රණයත් ඒකටම දාල හොඳින් කලවම් කරගන්න. විනාඩි 15ක් විතර හොඳින් වහල පැත්තකින් තියාගන්න.
  • දැන් මේ මිශ්‍රණය තෙල් තවරල රත්කරගත්ත පෑන් එකකට දාල යටපැත්ත හොඳින් බැදෙනකන් විනාඩි 2ක් 3ක් අඩු ගින්දරේ තියන්න.
  • දැන් තමයි අමාරු වැඩේ. පෑන් එකට උඩින් පිඟානක් තියල පරිස්සමට පෑන් එක අනිත් පැත්ත හරවල ඔම්ලට් එක පිඟාන උඩට අරගෙන එහෙමම නොබැදුණු පැත්ත පෑන් එකට දාගන්න.
  • දැන් ඒ පැත්තත් විනාඩි දෙකක් විතර අඩු ගින්දරේ බැදගෙන බාගන්න පුළුවන්.

 

4. ඉන්දියන් මසාල ඔම්ලට්

Image Source – goodtoknow.co.uk

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. බිත්තර දෙකක්
  2. පොඩියට කපාගත් ළූණු, අමු මිරිස්, තක්කාලි, මාළු මිරිස්
  3. ලියාගත් කොත්තමල්ලි කොළ
  4. ග්‍රේට් කරගත් චීස්
  5. මිරිස් කුඩු
  6. කහ කුඩු
  7. සූදුරු කුඩු
  8. කොත්තමල්ලි කුඩු
  9. ලුණු කුඩු
  10. සීනි
  11. තෙල් හෝ බටර්

සාදාගන්නා ආකාරය:

  • මුලින්ම පෑන් එකක් ලිප තියල තෙල් රත්වෙනකොට ඒකට අමුමිරිස්, ළූණු, මාළු මිරිස්, තත්කාලි දාල හොඳින් රන්වන් පාට වෙනකං බැදගන්න.
  • ඊට පස්සේ ඒකටම මිරිස් කුඩු, කහ කුඩු, සූදුරු කුඩු, කොත්තමල්ලි කුඩු සහ ලුණු රස අනුවත් සීනි තේ හැඳි කාලක් තරම් බොහොම පොඩ්ඩකුත් දාගෙන හොඳින් කලවම් කරගන්න.
  • දැන් බිත්තර දෙකට අර හදාගත්ත මිශ්‍රණයත්, චීස් සහ කොත්තමල්ලි කොළත් දාල හොඳින් විස්ක් කරගෙන අඩු ගින්දරේ පියන වහල බැදගන්න.

 

5. ෆ්‍රිටාටා

Image Source – inspiredtaste.net

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. බිත්තර 6
  2. කිරි කෝප්ප බාගයක්
  3. ලුණු කුඩු
  4. ගම්මිරිස් කුඩු / වෙනත් කැමති රසක හර්බ්ස් වර්ගයක්
  5. බැදගත් බේකන් හෝ සොසේජස් කැබලි
  6. හීනියට කපා බැදගත් අල පෙති
  7. කපාගත් නිවිති
  8. ග්‍රේට් කරගත් චීස්
  9. බටර් හෝ තෙල්

සාදාගන්නා ආකාරය:

  • මුලින්ම බිත්තරය කිරි සහ ලුණු දාල හොඳින් ගසාගෙන පැත්තකින් තියාගන්න.
  • පෑන් එකක් ලිපේ තියල බටර් හෝ තෙල් තවරාගෙන බැදගත් බේකන්/සොසේජස්, බැදගත් අලපෙති, නිවිති, ගම්මිරිස් සහ හර්බ්ස් වර්ග, ලුණු ස්වල්පයක් දාල හොඳින් අඩු ගින්නේ කලවම් කරගන්න.
  • ඒකටම චීස් එකතුකරලා උඩින් ගසාගත්තු බිත්තර මිශ්‍රණය දමාගන්න.
  • විනාඩි දෙකක් පමණ මදගින්නේ බැදගෙන එහෙමම සෙල්ෂියස් අංශක 200ට රත් කරගත්ත අවන් එකක දමා විනාඩි 8ක් 10ක් පමණ බේක් කරගන්න.

 

6. වෙජිටේරියන් ඔම්ලට්

Image Source – thespruceeats.com

මේ වෙජිටේරියන් අයට බිත්තර නොදා හදන ඔම්ලට් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. කඩල පිටි කෝප්ප ¼
  2. පාන් පිටි තේ හැඳි 1
  3. වතුර කෝප්ප ¼
  4. පොඩියට කපාගත් ළූණු
  5. පොඩියට කපාගත් අමුමිරිස්
  6. බේකින් පවුඩර් තේ හැඳි ¼
  7. ගම්මිරිස් කුඩු
  8. ලුණු කුඩු
  9. තෙල් හෝ බටර්

සාදාගන්නා ආකාරය:

  • සියළුම ද්‍රව්‍ය භාජනයකට දාල හොඳින් කැට නොසිටින ලෙස විස්ක් එකකින් ගසාගන්න.
  • තෙල් තවරලා රත් කරගත්ත පෑන් එකකට මිශ්‍රණය දමාගෙන දෙපැත්ත මාරු කරලා අවශ්‍ය ප්‍රමාණයට බැදගන්න.

 

7. බේක්ඩ් ඔම්ලට්

Image Source – thespruceeats.com

අවශ්‍ය ද්‍රවය:

  1. බිත්තර 6
  2. කිරි කෝප්ප 1
  3. පාන් පිටි කෝප්ප ¼
  4. ලුණු කුඩු
  5. ගම්මිරිස් කුඩු
  6. බැදගත් බේකන් හෝ සොසේජස්
  7. ග්‍රේට් කරගත් චීස්
  8. පොඩියට කපාගත් ළූණු කොළ
  9. තෙල් හෝ බටර්

සාදාගන්නා ආකාරය:

  • බිත්තර, කිරි, පාන්පිටි, ලුණු, ගම්මිරිස් සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
  • තෙල් හෝ බටර් තවරා සුදානම් කරගත් තැටියකට මිශ්‍රණය දමාගන්න.
  • ඊට උඩින් බැදගත් බේකන්/සොසේජස්, චීස්, ළූණු කොළ දමාගන්න.
  • සෙල්ෂියස් අංශක 230 රත් කරගත් අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න. රෝල් කරල එහෙම නැත්තම් කොටු හැඩයට කපල වගේ කැමති විදිහකට ආහාරයට ගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *