බෝඩිමක සාමාන්‍යයෙන් ප්‍රධානියා වෙන්නේ ආන්ටි. මිනිසා ගල් ගුහාවල වාසය කරන කාලේ ඉඳලා මිනිසාගේ වාසස්ථානය සම්බන්ධ කටයුතු කරන්නේ ගැහැනිය. ඉතින් බෝඩිමක වුනත් අංකල් බුවා හිටියත් වැඩිපුර බෝඩිමේ වැඩ කිඩ සහ ඔක්කොම වගේ දේවල් හොයාල බලන්නේ ඇන්ටි. ඉතින් බෝඩිමේ ඇන්ටිගේ වැදගත්කම සහ ආන්ටි ෂේප්කරගන්න හැටි ගැන පොඩ්ඩක් අපි සොයා බලමු.
1. ආන්ටි ෂේප් කරගැනීමේ වාසි

Image Source – bizasialive.com
හැමදෙයක්ම මිල මුදල්ම නෙමෙයි. මිනිස්සු හොඳින් තියාගන්න එක තරහ කරගන්නවාට වඩා හැම අතින්ම වාසියි. අපිට තැපැල් ලියුමක්, පාර්සලයක් ආවොත් ඒක මතක් කරලා ලබාදීම, හදිස්සියකට ප්ලේන්ටියක් හදා දීම, කෑම දෙනවා නම් දවසක් දෙකක් හෝ රස කෑම කන්නට ලැබීම, බෝඩිමේ ඉන්න දවසට පොඩි චැටක් දාගන්න හැකිවීම, බෝඩිම අවට සමාජය සහ පරිසරය පහසුවෙන් අවබෝධ කරගන්නට හැකිවීම ආදී බෝඩිමේ ඇන්ටි ෂේප් කරගන්න එකේ වාසි ගොඩක් තියෙනවා. කොහොමත් ඉතින් බෝඩින් ගාස්තු ආදිය, වතුර බිල් ලයිට් බිල් ආදිය නිතර වැඩි නොවෙන්නත් බෝඩිමේ ඇන්ටි හිතවතියක් වීම බලපානවා.
2. ඇන්ටි තරහ වුනොත්?

Image Source – theyouthmagazine.com
ඇන්ටි තරහ වුනා කියන්නේ බාත්රූම් එක පොඩ්ඩක් හැඩි කරලා තිබුණත්, අපේම කාමරේ ටිකක් හැඩිවට තිබුණත් කොටින්ම අපි ඉන්න තැන එළියේ පොඩ්ඩක් අපවිත්‍ර වෙලා තිබුණත් බැනුම් අහන්නට සහ කතාන්දර අහන්නට වෙනවා. එහෙම වුනාම ඉන්න තැන එපා වෙනවා. අපිට ස්ථිර ගෙවල් තිබුණත් ගෙවීයන සතියකදි වැඩි කාලයක් බෝඩින්කාරයෙක් ඉන්නේ බෝඩිමේ හෝ වැඩ කරන තැන. ඉතින් එහෙම තැනකදි අපේ ළඟම ඉන්න බෝඩිමේ ඇන්ටි තරහ කරගැනීම ඇත්තටම වදයක්. එහෙම නොවී ෂේප් එකේ තියාගන්න එක කොයි අතිනුත් වාසියි.
3. ඇන්ටි එක්ක කතා කරමු

Image Source – economictimes.indiatimes.com
මිනිස්සු හඳුනාගන්න තියෙන සුපිරිම ක්‍රමයක් තමයි කතා බහ කිරීම. මොන දෙයක් වෙන්නත් ටිකක් කතාබහ කරලා විස්තර ආදිය දැනගෙන තියාගන්න එක වටිනවා. හිතන්න අපිට දවසක ලොකු ඔලුවෙ කැක්කුමක්, අමාරුවක් හැදුනා කියලා. තනියම බෝඩිමේ ඉන්නවා නම් ළඟපාත ඉන්න දොස්තර කෙනෙක්, ළඟපාත තියෙන ඩිස්පැන්සරියක් හොයාගන්න ඇන්ටිගේ සහයෝගය ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇන්ටි බෝඩ් වෙලා ඉන්න අපිට කතා කළත් අහක බලාගෙන නෑහුනා වගේ යන්නේ නැතුව ටිකක් ඇන්ටි එක්ක කතා බහ කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම විස්තර කියද්දි ටිකක් පුද්ගලිකත්වය ආරක්ෂා වෙන විදියට කටයුතු කරන්නත් ඕනි. නැත්නම් මේ බෝඩින් වෙන්න ගිය තැන ඉන්න කෙනා තමුන්ගෙ ජීවිතේ පාලනය කරන්නත් එන්න ඉඩ තියෙනවා.
4. පොඩි පොඩි තෑගි දෙමු

Image Source – yamu.lk
අපි හදිසියේම සිරිපාදේ වන්දනාවේ ගියා කියලා හිතමු. ඔන්න එතකොට දොදොල් කෑලි එහෙම තියෙනවා අඩුවට. රුපියල් දෙසීයකටත් තියෙනවා දොදොල් කිලෝව. ඉතින් එහෙම තැනකදි බෝඩිමේ ඉන්න කෙනෙක් නම්, බෝඩිමේ ඇන්ටි ඒවාට ආස නම් දොදොල් පලුවක් ගිහින් දෙන එක හොඳ වැඩක්. යාපනේ ගියාම තල් පිනාටු, කතරගම ගියාම බූන්දි, ඔය වගේ අපි රට ගියොත් ඒත් චොකලට් එකක් ආදිය දෙන එක සම්බන්ධතාවයක් ඇතිකරගන්න හොඳ මාවතක්. සිරිපාදේ ගිහින් රුපියල් දෙසීයක් දීලා දොදොල් පට්ටයක් අරන් ආවා කියලා අපේ පොකට් එකට ලොකුවට දැනෙන්නේ නැහැනේ. ඒත් ඒ තුළින් බෝඩිමේ ඇන්ටි සහ අපි අතර තියෙන හිතවත්කම කියන දේ සුටුස් ගාල උඩ යනවා.
5. බෝඩිම අවට පිරිසිදුව තබා ගමු

Image Source – skinnywhitegenes.wordpress.com
මේක හැම අතින්ම හොඳ දෙයක්. අපි නවාතැන් වෙලා ඉන්න තැන සමහර විට එතරම්ම ලස්සන පරිසරයක් තියෙන තැනක් නෙමෙයි. ඒත් කොරිඩෝ එක මාස ගණනක් අතුගාල නැතිනම්, එළියේ මකුලුදැල් එල්ලිලා තියෙනවා නම්, කොහෙන්ද ආ කුණු ගොඩක් බෝඩිමේ දොර අද්දරම තියෙනවා නම් ඒ වගේ වෙලාවට ඒ වගේ දේවල් ක්ලීන් කරගන්න එක බෝඩිම් වෙලා ඉන්න අයගෙත් වගකීමක්. ඇත්ත ඒ සමහර දේවල් කරන්න ඕනි බෝඩිමේ හිමිකාරය තමයි. ඒත් අපිට නිවාඩු පාඩු වෙලාවක ඔය පොඩි පොඩි ක්ලීනින් වැඩ එහෙම කරලා බෝඩිම හැඩට තියාගත්තොත් අපිටත් බෝඩිමට යනවා කියන එක අප්‍රසන්න දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් ඇන්ටිගේ හිත හැදෙන්නත් පැහැදිළිවම බලපානවා.
6. බොන්න බැරිනම් නොබී ඉමු

Image Source – metro.co.uk
බෝඩිම ගනිද්දි අපිට තේරෙනවා ඒක ගෙයකට කිට්ටුව තියෙනවාද? එතන බොන්න පාටි දාන්න පුළුවන්ද? ඒ අවට අයට, බෝඩිමේ ඇන්ටිලාට කරදරද ආදී දේවල් අපිට බෝඩිම තෝරා ගනිද්දි වැටහෙනවා. බීල පාටි දාන්න බැරි පොඩි ප්ලේස් වල සමහර වෙලාවට බෝඩිම ගනිද්දිම ඇන්ටිලා කියනවා මෙතන නම් බොන්න බැහැ කියලා. එහෙම වෙලාවට ඉතින් හොඳම දේ තමයි බෝඩිමේ නොබී ඉන්න එක. රෙස්ටොරන්ට් එකක බොන්න ටිකක් වියදම් යනවා. ඒත් පොඩි හරි ආතල් එකක් ගන්න බැරි තැනක හිරවෙලා බොනවාට වඩා එහෙම බොන්නම වෙන්වුන තැනක බොන එක හැම අතින්ම වාසියි. අනික් අතින් බීලා වැටුනොත් එද්දි ඇන්ටි දකිනවා. ඇරත් අපි බොනවා කියලා හෝ බීලා පාටි දානවා කියලා බෝඩිමේ ඇන්ටිට අඳුනගන්න බැරිවෙනවා අපි එළියෙදි බිව්වොත්.
7. පිට අය එනවානම් තැන ගැන කියමු

Image Source – nyourpocket.com
පිට අය එනවා නම් සාමාන්‍ය වගකීම තමයි බෝඩිමේ ඇන්ටි දැනුවත් කිරීම. එහෙම නැතුව ගෙන්වාගන්න හැකි තැන් තියෙනවා. ඒ තැන්වල ටිකක් මිල වැඩියි. හයියෙන් කතා කරන, හතරවටේ සැටලයිට් ගහන අපේ යාලුවෙක් කාමරේට ගෙන්න ගැනීම ගැන දෙවරක් සිතන්නට ඕනි. ඒ වගේම ඇත්තටම කාමරේ තනි පුද්ගල විදියට දීල තියෙනවා නම් තව කෙනෙක් එක්කරං එන්න පුළුවන්ද? ඒකේ අවුලක් නැද්ද? කියලා දෙපාරක් හිතලා බලන්න ඕනි. පිට අය එක්කරන් එන එකට කැමති නැති ඇන්ටියෙක් ඉන්න බෝඩිමකට වෙනත් ලිංගේ කෙනෙක් එහෙම ගෙනිහින් අහුවෙනවා කියන්නේ ගොඩක් වෙලාවට බෝඩින් එකේ කාඩ් එක අනතුරට ලක් වෙනවා. ඒ නිසා ඒවා ගැනත් ටිකක් හොයන්න ඕනි. තව අය ගෙන්නගන්න හිතනවා නම් ඒ ගැන කලින්ම කියන එක කෝකටත් හොඳයි.
8. බෝඩිමේ ඇන්ටිගේ ප්‍රශ්න වලට සුලු උදව් කරමු

Image Source – tamasha.org.uk
අපි හිතමු බෝඩිමේ ඇන්ටිගේ පවුලේ කෙනෙක් ලෙඩ වෙලා කියලා. ඇත්තටම අපි එක්ක හොඳ සම්බන්ධයක් තියෙනවා නම් ඒ වගේ වෙලාවක උදව්වක් තියේනම් කරන එක අපි මනුස්සයින් විදියට වගකීමක්. අනෙක් අතින් එතකොට අපි අතර බැඳීම් වැඩිවෙනවා. ඔන්න ඇන්ටිට ඕනි, එයා කැමති බෙහෙත් බඩුවක් වගේ දෙයක් අපේ ගමේ වැවෙනවානම්, අපිට ලොකු අවුලක් නැත්නම් ඒ වගේ දෙයක් ගෙනත් දීමත් හොඳ පුරුද්දක්.
බෝඩින් කිව්වම එක එක වර්ගයෙ ඒවා තියෙනවා. සමහර ඒවායේ ඇන්ටිලා බෝඩිම දුන්නොත් දුන්නා ඉන්පස්සේ කිසිම කතා බහකට කැමති නැහැ. සල්ලි ගන්න එකත් රොබෝල වගේ කරන්නේ. ඉතින් එහෙම ඇන්ටිලා එක්ක වැඩි කතාබහක් අපි කැමති වුනත් කරන්න බැහැ. ඒත් ටිකක් කතාවට බර, ආශ්‍රයට කැමති ටෝකටිව් ඇන්ටි පහරක් නම් කතාකරලා ෂේප් කරගන්න එක කෝකටත් ලේසියි. ඉතින් බෝඩින් වෙලා ඉන්න අයට, බෝඩින් වෙන්න ඉන්න අයට ඇන්ටි ෂේප් කරගන්න පොඩි හරි තල්ලුවක් මේ පෝස්ට් එකෙන් ලැබෙන්නට ඇති.
Leave a Reply