ආදරේ කරන කෙනා ‘පිට යනවද’ කියලා දැනගන්න පුළුවන් ලකුණු මේවා තමයි!

හිතමු අපි කෙනෙක්ට පණ වගේ ආදරෙන් ඉන්නවා කියලා. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධතාවයක ඉන්නවා කියලා. දෙන්නට දෙන්නා එකිනෙකාට පොරොන්දු වෙලා තියෙන්නේ ජීවිතේ තියෙනකල් ඔයාට විතරයි මම ආදරේ, මම ඔයාගේ විතරයි කියලා කියමු. එහෙම අවස්ථාවක ඔන්න එක මොහොතක අපි දැනගන්නවා අපි පණට ආදරේ කරන කෙනා තවදුරටත් අපිට ආදරේ නැහැ, වෙනත් කෙනෙක්ට ආදරේ කරනවා කියලා. එහෙම නැතිනම් අපි දැනගන්නවා එයා අපිත් එක්ක හිටියත්, තවත් කෙනෙක් එක්කත් සම්බන්ධකමක් පවත්වනවා කියලා. ඒ සම්බන්ධකම හුදු ලිංගික සබඳතාවයක් විතරක් වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ වගේ දෙයක් වෙන්න සංකීර්ණ හේතු කාරණා ගණනාවක් බලපාන්න පුළුවන් වුනත්, ඒ වගේ මොහොතක ඒ කිසිම දෙයක් මතක් වෙන්නෙ නැහැනේ. හැබැයි හෙමිහිට හිතලා බලනකොට තේරෙනවා මේක එක පාරට වැහි නැති අහසෙන් කඩාපාත් වුණු හෙණ ගෙඩියක් නොවෙන බව. මේ සංසිද්ධිය වෙන බවට කලින් ඉඳලාම ලකුණු තිබුණු බව. හැබැයි අපේ අවාසනාවට අපි ඒ ලකුණු දැකලා තිබිලා නෑ. එහෙම නැතිනම් ඒ ලකුණු පිළිගන්න කැමති වෙලා නෑ.

අපි මේ කියන්න හදන්නේ මෙහෙම දෙයක් වෙන්න කලියෙන්, ඒ කියන්නේ අපේ ආදරේ කරන කෙනා, පෙම්වතිය/පෙම්වතා, බිරිඳ/සැමියා අපිට චීට් කරනවද කියලා, අපිට හොරෙන් වෙනත් සම්බන්ධයක ඉන්නවද කියලා හොයාගන්න පුළුවන් ලකුණු කීපයක්. හැබැයි මතක තියාගන්න. මේ ලකුණු වලින් කියන්නේ සමහර වෙලාවට එයා චීට් කරනවා වෙන්න පුළුවන් කියලා විතරයි. චීට් කරනවා කියලා කියවෙන්නෙ නෑ.

 

1. කෝ අපි දෙන්නා අතරේ තිබුණු රස්නේ?

Image Source – cosmopolitan.com

ඔව්, මේ කියන්නේ සෙක්ස් ලයිෆ් එක ගැන තමයි. හිටපු ගමන් අපේ ආදරේ කරන කෙනාගේ සෙක්ස් වලට තියෙන වුවමනාව තාවකාලිකව නැති වෙන්න පුළුවන්. ඒත් දිගින් දිගටම අපිත් එක්ක තියෙන ලිංගික ජීවිතේ නැතිවෙලා ගිහිල්ලා නම් අන්න ඒක රතු එළියක්. සමහර වෙලාවට අපිත් එක්ක සෙක්ස් කරන්න හෝ සෙක්ස් ගැන කථා කරන්න හෝ අකමැති වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අපිත් එක්ක සෙක්ස් කරනවා, ඒත් අර කරන්නන් වාලේ කරනවා මිසක් ඉස්සර තිබුණු හොට් ගතිය නැතිවෙලා ගිහින් වෙන්න පුළුවන්.

වෙනත් ප්‍රශ්නයක් නිසා නෙවෙයි නම් මේ තත්ත්වයෙන් කියවෙන්නේ ආදරේ කරන කෙනාට තවත් මොනවා හරි සම්බන්ධයක් තියෙනවාය කියන එක වෙන්න පුළුවන්. අපිත් එක්ක තියෙන ආදරේ නැතිවෙලා ගිහින්ය කියන එක වෙන්න පුළුවන්.

 

2. කෝ මට ඉස්සර තිබුණු ආදරේ?

Image Source – stuff.co.nz

දැන් ආදරේ කරන කාලෙදි අපි එකිනෙකා එක්ක පැණි බේරුණු සම්බන්ධයක්නේ තියෙන්නේ. ආදර වචන, ආදරේ පෑම්, හොයලා බැලීම් නිමක් නෑ. හැබැයි ඉතින් ආදරයක් ක්‍රමයෙන් පරිණත වෙනකොට අර පැණි බේරෙන ගතිය අඩු වෙලා යනවා. හැබැයි ඒත් එක්කම වඩාත් ගැඹුරු සම්බන්ධතාවයක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ එකිනෙකා ගැන හොයලා බැලීම්, ආදරේ පෑම් එහෙම ඒ විදියටම තියෙනවා. ඊට අමතරව එකිනෙකාගේ ජීවිතේට ගැඹුරින් දෙන්නට දෙන්නා සම්බන්ධ වෙනවා.

හැබැයි ඔන්න ඔය ගතිය නැතිවෙලා ගිහිල්ලා කියලා දැනෙනවා නම්, ඒ කියන්නේ වෙනදා වගේ ආදරෙන් කථා කිරීම්, වෙනදා වගේ තමන් වෙනුවෙන් කාලය ගත කිරීම්, කොටින්ම කිවුවොත් අර ගැඹුරු සම්බන්ධතාවය නැතිවෙලා කියලා දැනෙනවා නම් ඒ කියන්නේ පාට්නර් චීට් කරනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ ආදරේ එක්කෝ බෝරින් වෙලා, එහෙම නැතිනම් පුරුද්දක් වෙලා කියන එක. හැබැයි ඒක දෙන්නත් එක්ක කථා බහ කරලා ආයෙමත් පණ ගන්වලා ගන්න ඔයාට වුවමනා වුනත් එයාට උනන්දුවක් නැති නම්, ඒ කියන්නේ තවත් කෙනෙක් ඔය දෙන්නා මැද්දට ඇවිල්ලා කියන එක වෙන්න පුළුවන්.

 

3. කෝ අපි දෙන්නා අතරේ තිබුණු ජීවිතේ බෙදාගැනීම?

Image Source – dailyadvent.com

මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක්. සාමාන්‍යයෙන් ආදරේ කරන දෙන්නෙක් අතරේ තියෙනවා ජීවිතේ බෙදාගැනීම කියලා එකක්. ඒ කියන්නේ අනික් කෙනා දන්නවා තමන් කරන කියන දේවල්. අනික් කෙනා දන්නවා දවසේ ඕනෑම මොහොතක තමන් ඉන්නේ කොහෙද කියලා. අනික් කෙනා දන්නවා තමන් ප්‍රශ්නයක ඉන්න කොට. කොටින්ම දෙන්නට දෙන්නා ජීවිතේ හැමදෙයක් ගැනම කථා කරනවා.

හැබැයි මෙන්න මේ දේවල් නැතිවෙලා ගිහිල්ලා නම්, ඒ කියන්නේ තවදුරටත් අනික් කෙනා කරන කියන දේවල්, යන එන තැන් අපිට දැනගන්න බැරි වෙලා ගිහිල්ලා නම්, වෙනදා වගේ අපිත් එක්ක තමන්ගේ ජීවිතේ සිද්ධ වෙන දේවල් කියන්නේ නැතිනම්, වෙනදා වගේ අපේ ජීවිතේ සිද්ධ වෙන දේවල් ගැන කිසිම උනන්දුවකුත් නැති නම් ඒ කියන්නේ අනික් කෙනාට වෙන කෙනෙක් මුණගැහිලා වෙන්න පුළුවන්!

 

4. ඇයි මෙච්චර මට රිද්දන්නේ?

Image Source – elitereaders.com

සාමාන්‍යයෙන් ආදරේ කරන දෙන්නෙක් අතර රණ්ඩු සරුවල් වුනත් ඇතිවෙනවනේ. එහෙම කිසිම දෙයක් ඇතිවෙන්නෙ නැතිනම් තමයි පුදුමේ. එහෙම දෙන්නා අතරේ රණ්ඩු සරුවල් ඇතිවෙනකොට එයා අපිව රිද්දන දේවලුත් කරන්න පුළුවන්. ඒකත් මනුස්ස සොබාවයනේ. හැබැයි ඉතින් රණ්ඩු ඉවර වෙනකොට ඒ කරපු දේවල් ගැන පසුතැවිලා, දෙන්නත් එක්ක සමගි සමාදාන වෙලා ඉවර වෙනවා.

හැබැයි අපි කිසිම වැරැද්දක් නොකර වුනත් තේරුමක් නැති දේවලට දිගින් දිගටම රණ්ඩු සරුවල් ඇති වෙනවා නම්, අපිව දැන දැනම බොහොම දරුණු විදියට රිද්දනවා නම් ඒකට හේතුව සම්පූර්ණයෙන්ම වෙනස් එකක් වෙන්න පුළුවන්. ඒ සම්පූර්ණයෙන්ම වෙනස් හේතුව වෙනත් ආදරවන්තයෙක්/ආදරවන්තියක් වෙන්න පුළුවන්!

 

5. ඔයාට ඕන මම ඔයාව දාලා යන්නද?

Image Source – yahoo.com

අපි කියමු ආදර සම්බන්ධතාවයක තිබුණු ආදරේ තවදුරටත් නැහැයි කියලා. ඒකට තුන්වැන්නෙක්ගේ ඉඳලා අපේම වැරදි දක්වා ඕනම දෙයක් හේතුවෙන්න පුළුවන්. හැබැයි එහෙම මොහොතක කරන්න ඕන හරි දේ තමයි තවදුරටත් තමන්ගේ හිතේ අනික් කෙනා ගැන ආදරයක් නැති නම්, තවදුරටත් මේ සම්බන්ධතාවය ඇතුළේ ඉන්නත් බැරි නම්, එයාට කෙලින්ම ඒ ගැන කියලා තීරණයක් ගන්න එක. හැබැයි ගොඩක් දෙනෙක් ඒ පියවර ගන්න කැමති නෑ. හේතුව තමයි තමන් වරදකාරයා වෙන්න තියෙන අකමැත්ත. අන්න ඒ වෙනුවට ඒ අය උත්සාහ කරනවා අනික් කෙනා ලව්වා සම්බන්ධතාවය අවසන් කරන පියවර ගන්නවන්න. ඒකට නිරන්තරයෙන්ම රණ්ඩු කිරීමේ ඉඳලා, නිරන්තරයෙන්ම අපිට වරද පැටවීමේ ඉඳලා, නිරන්තරයෙන්ම අපිව එපා කියලා ඇඟවීම දක්වා නොයෙක් උපක්‍රම මේ අය පාවිච්චි කරනවා. විශේෂයෙන්ම තමන් තුන්වැන්නෙක් එක්ක ආදරෙන් බැඳිලා ඉන්න වෙලාවක අපි ලව්වාම සම්බන්ධතාවය අවසන් කරවාගන්න මේ අය විශේෂයෙන් උත්සාහ කරනවා.

 

6. ඇයි ඔයා හැමදෙයක්ම දැන් රහසෙන් කරන්නේ?

Image Source – bustle.com

සාමාන්‍යයෙන් ආදරේ කරන කපල් එකක් ඇතුළේ රහසිගත දේවල් අඩුයි. ඒකට හේතුව තමන්ට තමන් විදියටම ඉන්න පුළුවන් එක තැනක් තමයි දෙන්නාගේ ජීවිතය. රඟපාන්න දෙයක් නෑ. හැබැයි ඉතින් එහෙම කාලයක් ඉඳලා එක පාරටම දේවල් රහසිගත වෙනවා කියන්නේ මොනවා හරි වෙන කතන්දරයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ අපි උඩිනුත් කියපු විදියට අපිට හරියට යන එන තැන් ගැන කියන්නේ නෑ. සමහර වෙලාවට යන එන තැන් ගැන බොරු කියලා අපිට අහුවෙන්නත් පුළුවන්. රහසිගත ෆෝන් කෝල්ස් ගැනීම සහ ඒම, රහසිගත ෆෝන් එකක් පාවිච්චිය, සෝෂල් මීඩියා ලයිෆ් එක ගැන සම්පූර්ණ රහසිගත බවක් පවත්වාගෙන යෑම වගේ සම්පූර්ණ වෙනත් ජීවිතයක් රහසින් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා කියන්නේ දේවල් දෙකක් වෙන්න පුළුවන්. එක්කෝ අපේ ආදරවන්තයා/ආදරවන්තිය ජාත්‍යන්තර ඔත්තුකාරයෙක්, ස්පෙෂල් ඒජන්ට් කෙනෙක්. එහෙම නැතිනම් අපේ ආදරවන්තයා/ආදරවන්තිය වෙනත් රහසිගත ආදරයක් පවත්වා ගෙන යනවා!

 

7. ඇයි ඔයා ඔච්චර ස්ට්‍රෙස් එකේ ඉන්නේ?

Image Source – primenewsghana.com

මෙන්න මේක නම් ෂුවර් ඇන්ඩ් ෂොට් දෙයක් නෙවෙයි. හැබැයි හිතලා බලන්න වටින දෙයක්. දැන් ජීවිතේ කාටද ප්‍රශ්න නැත්තේ? අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. එක් එක් කෙනාට තියෙන ප්‍රශ්න විවිධාකාර නිසාම අරයට වඩා මට ප්‍රශ්න වැඩියි කියලා හිතන එකත් තේරුමක් නෑ. ඒ ප්‍රශ්න නිසාම අපි මානසික පීඩනයෙන් ඉන්න අවස්ථාවනුත් ඕනෑ තරම් එනවා.

අපි කියමු අපේ ආදරවන්තයා/ආදරවන්තිය දිගින් දිගටම දැඩි මානසික පීඩනයක ඉන්නවා කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක්. හැබැයි අපි කියමු මේ මානසික පීඩන තත්ත්වය අඩු වෙන්නේ නැති තරම් කියලා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් පුරාවටම පවතිනවා කියලා. අන්න එහෙමනම් ඒකට හේතුව රස්සාව, ගෙදර අය වගේ එදිනෙදා දේවල් නොවෙන්න ඉඩ තියෙනවා. එක්කෝ ඒකට හේතුව ගෙවාගන්න බැරි ණයක් වගේ ටිකක් හිර වෙලා තියෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පේන්න තරම් ප්‍රශ්නයක් නැතුවත් ජීවිතේ ගැන හරි කලකිරීමකින් ඉන්න එක වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් සමහර වෙලාවට තමන් තුන්වැන්නෙක් එක්ක බැඳිලා ඉන්න නිසා වරදකාරී හැඟීමකින් පෙළෙන නිසා වෙන්නත් පුළුවන්. මතක තියාගන්න, මේක ඉතාම සමහර විට තත්ත්වයක්!

මේ සලකුණු මොනවා හරි දැනෙනවා නම් කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඉවසිලිවන්ත වෙන එක. හරියටම සාක්ෂි සාධක ඇතුව හොයාගන්න තුන්වෙනියෙක් ඉන්නවද කියලා. ඒක ෂුවර් වෙනකල් ඉවසිලිවන්ත වෙන්න වෙනවා. මොකද සම්පූර්ණයෙන්ම වෙනස් හේතු නිසාත් උඩ කියලා තියෙන දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඔය දෙන්නා අතරට තුන්වෙනියෙක් ඇවිත් කියලා සාක්ෂි එක්කම ෂුවර් වුනාට පස්සේ කරන්න තියෙන දෙවෙනි දේ තමයි ඒත් ඉවසිලිවන්ත වෙන එක. ඉවසිල්ලෙන් ඒ ගැන කතා කරන එක. ඉවසිල්ලෙන් ඒ ගැන හිතා බලන එක. අන්න එතකොට සමාව දීලා තවදුරටත් එකට ඉන්නවද, එහෙම නැතිනම් ජීවිතේ වෙනත් පිටුවක් පෙරළනවද කියන එක ගැන ඉවසිලිවන්ත තීරණයක් ගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *