වීරප්පන් කියන්නේ දාමරිකයෙක්. අඩුවෙන් හිනාවෙන, කෙසඟ සිරුරක් තියෙන මේ පුද්ගලයාගේ උඩ රැවුල වවපු ආකාරය විශේෂ එකක් වුණා. රැවුල් ගස් තරමටම අපරාධ කළ වීරප්පන් අවුරුදු 40ක් තිස්සේ වනාන්තරයේ සැඟවිලා ඉඳලා නොපනත් වැඩ ගොඩක් කළා. වීරප්පන්ගේ ඒ දාමරික ඉතිහාසයෙන් බිඳක් අපි දැන් බලමු.
1. වීරප්පන් ගේ උපත සහ පසුබිම
කර්ණාටක තමිල්නාඩු බෝඩරයේ ගෝපිනාතම් කියන ගමේ තමයි වීරප්පන් ඉපදුනේ. මෙම බෝඩරයේ ගමක ඉපදීම පසුකාලයේ ඔහුගේ චණ්ඩිකම් වලට ලොකු දායකත්වයක් සැපයුවා. තමිල්නාඩුවේ රජය වීරප්පන්ට විරුද්ධව බලවත් පොලිස් භට කණ්ඩායම් එක්ක එද්දි වීරප්පන් කර්ණාටකවල හෝ වෙනත් ප්‍රාන්තයකට ගිහින් හැංගෙනවා. එහේ ගිහින් අපරාධ කරලා, මිනී මරලා එහෙන් හොයද්දි තව පළාතක ගිහින් හැංගෙනවා. ලංකාවේ වගේ නෙමෙයි, ඉන්දියාවේ පළාත් වලින් තමයි පොලිස් සේවාව පාලනය වෙන්නේ. පළාතක රජයට ලොකු බලයකුත් තියෙනවා. ඉතින් බෝඩරේ ඉපදුන වීරප්පන් 1952 ඉපදිලා අඩ සියවසකටත් වඩා කල් ජීවත් වුනා.
2. කුඩා කලදීම නරක ඇසුරට
ලෝකයේ ශ්‍රේෂ්ඨ චරිත ගැන කියද්දි එයාල සමහර දෙනෙක්ගේ දක්ෂතා හැංගිලා තිබිල පස්සේ විකසිත වෙනවා. තවත් සමහර අය කුඩා කාලයේ සිටම සිය දක්ෂතා පෙන්නනවා. වීරප්පන්ගේ දාමරිකකම් ඔහුගේ කුඩා කාලයේදීම මතු වුනා. වීරප්පන්ගේ තාත්තා දඩයක්කාරයෙක්. ඔහු නීතිවිරෝධීව වන සතුන් මැරුවා. වීරප්පන් මුලින්ම සත්තු මරලා මිනිස්සුන්ගේ වටින කියන දේවල් මංකොල්ල කන්න පටන් ගනිද්දි වීරප්පන්ගේ වයස අංක දෙකක් වෙලාත් නැහැ. ඒ කිව්වේ අවුරුදු 10ට අඩු වීරප්පන් පොඩි එකා හොඳ වෙඩික්කාරයෙක්, මංකොල්ලකාරයෙක් බවට පොඩි කාලෙදිම පත් වුනා.
3. මුල්ම දඩයම
වීරප්පන්ගේ තාත්තා වීරප්පන් පොඩි කාලෙදිම සේවි ගුන්ඩර් කියන දාමරික කණ්ඩායමේ හිටියා. වීරප්පන්ට අවුරුදු 10 වෙද්දිම ඒ දාමරිකයොත් පුදුම වෙන වැඩක් කරන්න වීරප්පන්ට හැකි වුනා. ඔහු සද්දන්ත අලියෙක් වෙඩි තියලා ඝාතනය කළා. වීරප්පන් ඒ කල්ලිය සමග එකතු වෙලා ඇත් දළ ජාවාරම, සඳුන් ලී හොරෙන් පැටවීම වගේ ජාවාරම් කළා. ඒ කණ්ඩායම එක්ක හිටිය වීරප්පන් අවුරුදු 17ක් තරම් පොඩි වයසෙදි වන ආරක්ෂක නිලධාරියෙක් ඝාතනය කළා. සහතික කරන ලද මරණ 184කට වගකිවයුතු වීරප්පන්ගේ මුල්ම මිනිස් ඝාතනය වුනේ ඒක.
4. මිනීමැරීම කජු කෑම මෙන් සරලව
මනසින් උසස් මිනිස් කියන නමටත් නිගාවක් වුණු වීරප්පන් මුල්ම ඝාතනයේ සිට හරියටම වසර හතලිහක් පුරා වනයේ සැඟවෙමින්, මිනී මරමින් දාමරිකකම් වලින් ජීවත් වුනා. වීරප්පන් ඒ වීරකම් කළ සමස්ථ අවුරුදු ගාණ එක්ක බැලුවාම සෑම මාස දෙකකටම වරක් වීරප්පන් එක් මිනිසෙකු මරලා තියෙනවා. වීරප්පන් සමග පොලීසිය, වන ආරක්ෂක අංශ නිතරම හැප්පුනා. වීරප්පන් කියන්නේ ඔත්තුකරුවන්ට බොහොම නරක විදියට වධ දීල මරපු කෙනෙක්. ඒ නිසා ගම් වැසියෙක් පොලිසියේ වාහනයක ගොඩවෙලා ගියත් වීරප්පන්ගෙන් නිදහසක් නම් ලැබුනේ නැහැ. වීරප්පන් හිටිය වනාන්තර කලාපය, ඒ කලාපවල හිටි වන නිලධාරීන්ටත් වඩා හොඳට වීරප්පන් දැන සිටියා. කර්ණාටක, තමිල්නාඩු සහ කේරළ වනාන්තර කඳුකර භූමි ගැන වීරප්පන්ට හොඳ දැනුමක් තිබුණා. දිග කාලයක් පොලිසියෙන් බේරිලා ඉන්නත් මේ දැනුම හේතුවුනා.
5. වීරප්පන්ගේ සමූල ඝාතනය
මේ විදියට ගෝවිදපාලි කියන ගමේදි ඔත්තුකරුවෙකු වීරප්පන් අතින් ඝාතනය වුනා. ඒ ඝාතනය ගැන පරීක්ෂණ පවත්වන්න වන සහ පොලිස් ආරක්ෂක නිලධාරීන් 41ක් බස් එකක වනාන්තරය මැදින් එමින් හිටියා. හොඳට ආයුධ සන්නද්ධ එම පිරිස හිටියේ වීරප්පන් ගැන වෛරයෙන්. වීරප්පන් තනි බෝම්බයකින් ඒ බස් එකේ හිටි 22ක් මරණයට පත් කළා. ඒ විශාල ඝාතන සිද්ධිය එවකට මුළු ඉන්දියාවේම වගේම ලෝකයේම අවධානය වීරප්පන් කෙරේ යොමුකරවන්න හේතු වුනා.
6. වීරප්පන්ගේ පැහැරගැනීම්
ඇතැම් තැනක වීරප්පන් කියන්නෙත් දුප්පතුන්ට සල්ලි බෙදපු කෙනෙක් විදියට දක්වලා තිබුණත්, ඔහුගේ ක්‍රියාකලාපයේ බොහෝ තැන් කෲරතර මිනිස් ඝාතන සහ වධ හිංසා වලින් පිරිලා තියෙනවා. ඒ වගේ මිනිහෙක් අයථා විදියට හරි හම්බ කළ රුපියල් මිලියනයක් දෙකක් දුප්පතුන් වෙනුවෙන් දන් දුන්න පලියට සුද්දවන්තයෙක් කියලා හඳුන්වන එක නම් හොඳ දෙයක් නෙමෙයි.
2000 වසර වගේ කාලෙකදි කණ්ණඩ නළු රාජ්කුමාර් යනවා තමිල්නාඩු කර්ණාටක සීමාවේ ගමකට පොඩි උත්සවයකට සහභාගි වෙන්න. වීරප්පන්ගේ මිනිස්සු ඉන්නවා රාජ්කුමාර් එනකල්. රාජ්කුමාර් වීරප්පන් විසින් පැහැරගන්නවා. වීරප්පන් රාජ්කුමාර්ව නිදහස් කරන්න කෝටි පණහක් ඉල්ලනවා සහ තමිල්නාඩු බෝඩර් ඒරියා වල සුබසාධන වැඩ කරන්න කියලා ඉල්ලනවා. දවස් 108ක් ගිය තැන රාජ්කුමාර්ව වීරප්පන් විසින් නිදහස් කරනවා. සමහර ආරංචි මාර්ග කියන විදියට කර්ණාටක පොලීසිය වීරප්පන්ට රාජ්කුමාර් නිදහස් කරන්න කෝටි 20ක් ගෙවල තියෙනවා.
7. දේශපාලන රඳවාගැනීම්
කර්ණාටක වල නාගප්පන් කියන දේශපාලඥයා එහේ කෘෂිකර්ම ඇමති වෙලා හිටියා. ඔහුව ඔහුගේ ගෙදර සිටියදීම වීරප්පන් විසින් පැහැරගත්තා. කර්ණාටක සහ තමිල්නාඩු විශේෂ බලකායන් දේශසීමා කැලෑ පීරමින් වීරප්පන් සහ නාගප්පා හෙව්වා. ඒ වගේම නාගප්පා සිටින තැනක් කියන අයෙක්ට කෝටි ගාණක තෑග්ගක් දෙනවා කියලත් කිව්වා. අවසානයේ නාගප්පා සොයපු උදවියට ඔහුව පැහැරගෙන මාස තුනකට පස්සේ නාගප්පාගේ මළ සිරුර කර්ණාටක වනාන්තරයක තිබිලා හමු වෙනවා. මේ පැහැරගන්නා අයව නිදහස් කරන්නට මුදල් කෝටි ගණන් ඉල්ලුවත් සමහර වෙලාවට ඒ අය නිදහස් කරපු අවස්ථාත් තිබුණා. 2002 වර්ෂයේදී වීරප්පන්ගේ කල්ලියේ සාමාජිකයින් මාර්ගයෙන් පොලීසියට වනාන්තරයේ තිබිලා රුපියල් මිලියන 3ක් පමණ සොයාගන්නට හැකි වෙලා තිබුණා.
8. නරක වාර්තා ලැයිස්තුව
වීරප්පන් විසින් හුවමාරු කළ මුලු ජඩ සල්ලි ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 22කට ආසන්න මුදලක් වෙනවා. ඔහු හිටිය සමයේදී ඇතුන් 2000ක් පමණ ඇත්දළ ලබාගන්න වනාන්තරයේදි මරල තියෙනවා. ඒ වගේම ටොන් දස දහසකට වඩා සඳුන් ලී හොරෙන් පන්නලා තියෙනවා. ඉතින් මේ අවුරුදු 40ක කාලයේ වීරප්පන් කැලේම හිටියේ කොහොමද? වීරප්පන් පිස්සුවට මිනී මරපු මිනිහෙක් නෙමෙයි. වීරප්පන්ගේ සෑම ගේම් එකකම වගේ ආදායමක් තිබුණා. ඉතින් ඒ ආදායම, වීරප්පන් කැලේ හිටියත් හොඳ පෝසතෙක් කළා. ඒ සල්ලි වලින් ඔහු තමිල්නාඩු සහ කර්ණාටක දේශපාලකයින් නම්මගත්තා. ඔහු අවස්ථා කිහිපයක්ම පොලීසියට හසුවුනා. ඒත් දේශපාලකයින්ගේ කෝල් වලින්, සල්ලි බලෙන් වීරප්පන් නිදහස් වුනා.
9. වීරප්පන්ගේ මරණය
වීරප්පන් අවසාන ගමන් ගියේ ඔහු ගිය රථයකට වෙඩි වරුසාවක් පොලීසිය විසින් තැබීමෙන්. මේක තමයි පොලීසිය කියන හේතුව. ඒත් එතනින් එහාට ගිය සංකීර්ණ දේශපාලන කතාවක් වීරප්පන්ගේ මරණය එක්ක තියනවා කියලා තමයි බොහෝ දෙනා සැක පහළ කරන්නේ. තමිල්නාඩු මහඇමති වෙලා හිටිය කරුණානිධි පවා වීරප්පන්ට සහාය පළ කළ කණ්ඩායමේ ඉඳලා තියෙනවා.
අපි වගේ තුන්වැනි ලෝකේ රටවල දේශපාලකයින්ගේ උදව්වක් නැතුව දාමරිකයින් බිහිවීම වෙන්න බැරි දෙයක්. දකුණු ඉන්දීය කලාපය තුළ දේශපාලනය කියන්නේ පිරිසක් අදහන දෙයක්. ඉතින් තමුන්ගේ දේශපාලන වීරයින් කොපමණ වැරදියි කියලා ඔප්පු වුනත් ඒවා නොපිළිගන්නා ගැතියන් රැසක් දකුණු ඉන්දීය කලාපය තුළ ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ගේ වන්දනාමාන පසුබිමක වැඩෙන දේශපාලකයින්ට නීතිය කියන්නේ තවත් එක ගේම් එකක් විතරයි. මේ ගේම් එකේදි දේශපාලකයාට වැදගත් වෙන සීමාව වෙනකල් දේශපාලක මහත්වරු දාමරිකයින් පෝෂණය කරනවා. ඉන් පස්සේ ඒ දාමරිකයින් අකාලයේ මැරෙනවා. වීරප්පන්ගෙත් අවසානය එහෙම වෙන්නට ඇති.
Leave a Reply