ඩයටින් කියන්නේ මොකක්ද, ඩයට් කරන්න කලින් දැනගෙන ඉන්න ඕන කාරණා මොනවද කියල අපි මීට කලින් දවසක ලිපියකින් කතා කළානෙ. ඔන්න කියෙව්වෙ නැති අයට මෙතනින් ඒක බලාගන්න පුළුවන්.
ඉතින් දැන් ඒ ලිපිය කියවපු හැමෝම දන්නවනෙ හරියට දැනගෙන කළෝතින් ඩයට් කියල කියන්නෙ බොහෝම සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න පුළුවන් ක්‍රමවේදයක් බව. ඒ විදිහට ලෝකේ පුරා විවිධ උවමනාවන්ට හරියන විදිහට සකස් කරපු, බොහොම සාර්ථක ප්‍රතිඵල පෙන්නල තියෙන, එකිනෙකට වෙනස්, ඩයට් ක්‍රම කිහිපයක් ගැන තමයි අද මේ කතා කරන්න යන්නෙ. හැබැයි එදා වගේම මෙතනදිත් අපි ඒ ඩයට් ප්ලෑන් එක සඳහන් කරන්නේ නම් නෑ. මේ හැම ඩයට් ක්‍රමයකම ප්‍රධාන ලක්ෂණ තමයි කතා කරන්නෙ. විස්තරයට අනුව තමන්ට ගැලපෙන, කරන්න පුළුවන් වෙයි කියල හිතෙන ඩයට් ක්‍රමය ගැන වැඩි විස්තර ඕනතරම් අන්තර්ජාලය පීරල හොයාගන්න පුළුවන්.
1. Atkins Diet
Atkins කියන හෘද රෝග පිලිබඳ වෛද්‍යවරයා තමයි මේ ඩයට් ක්‍රමය හඳුන්වල දීල තියෙන්නෙ. මේ ඩයට් ක්‍රමයේ ප්‍රධාන අරමුණ තමා ශරීර ස්කන්ධය නැත්නම් බර අවශ්‍ය ප්‍රමාණයට අඩුකරගැනීම සහ පවත්වාගෙන යෑම. අපි ශරීරයට ලබාගන්න කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර ප්‍රමාණය අඩුකිරීම මඟින් ශරීරයේ ඉන්සියුලින් මට්ටම පාලනය කරන එක තමයි මේකෙන් වෙන්නෙ. කාබෝහයිඩ්‍රේට වැඩිපුර පරිභෝජනයෙන් ඉන්සියුලින් මට්ටම වේගෙන් ඉහල පහල යන බවත්, එහෙම ඉහල යන ඉන්සියුලින් නිසා ඇඟේ තැම්පත් මේදය ශක්තිය විදිහට පාවිච්චි නොකර ගන්න ආහාර වලින් ශක්තිය ලබාගන්න බවත් තමයි කියන්නෙ. කොහොමින් හරි මේ ඩයට් ක්‍රමය අනුගමනය කරන අයට කාබෝහයිඩ්‍රේට නැතුවට ඕන තරමක් ප්‍රෝටීන සහ මේද අඩංගු කෑම නම් ගන්න පුළුවන්.
2. The Zone Diet
Zone ඩයට් එක කලින් කියපු එකට වඩා තරමක් වෙනස්. මේ ඩයට් ක්‍රමයෙත් අරමුණ ශරීරයේ ඉන්සියුලින් මට්ටම පාලනය කිරීමම උනාට මෙතැනදී මූලිකවම අවධානය යොමු කරන්නෙ සමබර පෝෂණයක් ශරීරයට ලබාදෙන එක ගැනයි. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට 40% කුත්, ප්‍රෝටීන සහ මේදය 30% බැගිනුත් ශරීරයට ලබාදීම තමයි මේකෙ ක්‍රමවේදය. හැබැයි ලබාගන්න ඕනෙ සකස් නොකළ කාබෝහයිඩ්‍රේට සහිත ආහාර. ඒ කියන්නේ ලංකාවේ අපිට වගේනම් රතු හාල්, නිවිති, බෝංචි, තක්කාලි වගේ පිටි අඩංගු නැති එළවලු, පලතුරු වර්ග සහ ඇට වර්ග වගේ දේවල්.
3. Ketogenic Diet
කිටෝසිස් කියන්නේ ශරීරයේ සිදුවන සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවක්. මේකෙදි වෙන්නෙ ශක්තිය නිපදවන්න අවශ්‍ය ප්‍රමාණයට ග්ලූකෝස් ඇඟ ඇතුළේ නැති උණාම තැන්පත් මේදය දහනය කරලා ශක්තිය ලබාගන්න ශරීරය පෙළඹෙන එකයි. ඉතින් කලින් කියපු අවස්ථා දෙකේදිම වගේ මෙතනදිත් අවධානය යොමු කරන්නෙ ශරීරයට ලබාගන්න සීනි සහ පිෂ්ඨය අඩංගු ආහාර පාලනය කරල ඒ මඟින් ඉන්සියුලින් මට්ටම පාලනය කරන එකම තමයි. මේ ketogenic කියන ඩයට් ක්‍රමය හුඟක් වෙලාවට බර අඩුකරගන්නම විතරක් නෙමෙයි දියවැඩියා රෝගීන්ගෙ ශරීරයේ ඉන්සියුලින් මට්ටම පාලනය කරන ක්‍රමයක් විදිහටත් භාවිතා වෙනව. මේ ක්‍රමයේදී අනුමත කරන්නේ දිනකට මේදය 75% කුත් ප්‍රෝටීන 20% කුත් කාබෝහයිඩ්‍රේට 5% ක් වගේ ඉතාම සුළු ප්‍රමාණයකුත් ලබාගන්න කියලයි.
4. Vegetarian Diet
ඔව් මේ කියන්නෙ අපි දන්න වෙජිටේරියන්ස්ලා, ඒ කිව්වේ මස් මාළු නොකන අය ගැන තමයි. මේකෙත් තියෙනවා අපි නොදන්න කතන්දරයක්. “අපෝ මස් නොකෑවට බිත්තර පව් නැද්ද?” කියල අපි හිනා උණාට වෙජිටේරියන් වල එක්තරා ප්‍රභේදයක් තමයි එකත්. මස් මාළු කිරි බිත්තර මුකුත්ම නොකන, බිත්තර සහ කිරි විතරක් පරිභෝජනය කරන, කිරි විතරක් බොන වගේ විවිධ වෙජිටේරියන් ප්‍රභේද ඉන්නව. ඔය කොයි විදිහ උනත් මෑතක සිදුකරපු හුඟක් පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනව මස් මාංශ පරිභෝජනය ශරීරයට අත්‍යාවශ්‍ය නොවෙන බවත්, වෙජිටේරියන් වීම මඟින් අධික ස්ථුලතාවය, හෘද රෝග, අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වගේ හුඟක් ලෙඩ රෝග වලින් වැලකිලා ඉන්න හැකියාවක් තියෙන බවත්.
5. Vegan Diet
වීගන් කියල කියන්නෙ වෙජිටේරියන් කියන එකටත් එහා ගිය එක්තරා අන්තයක තියෙනවා කියන්න පුළුවන් ක්‍රමයක්. මේක ඩයට් ක්‍රමවේදයකටත් වඩා මිනිස්සුන්ගෙ දර්ශනයක් කිව්වොත් හරි. බර අඩුකරගන්න, සෞඛ්‍ය පවත්වාගෙන යන්න කියන හේතු වලට වඩා මෙතැනදී මූලිකම අරමුණු වෙන්නෙ පරිසරය සහ සත්තුන්ට තියෙන ලැදියාව. වීගන්ස්ල මස් මාංශ කිරි බිත්තර විතරක් නෙමෙයි, සත්තු යොදාගෙන කරන කිසිම ආහාර නිෂ්පාදනයක් පරිභෝජනය කරන්නෙ නැහැ. ඒ කිව්වෙ මී පැණි වගේ දේවල් පවා. ඉතින් බර අඩුවීම ශරීර සෞඛ්‍ය යහපත් වීම වගේ කාරණා එන්නෙ මේ වීගන් ඩයට් එකේ අතුරු ප්‍රතිඵල විදිහටයි.
6. South Beach Diet
හෘද රෝග අවදානම අඩුකරන ඩයට් ක්‍රමවේදයක් විදිහට මුලදී හඳුන්වා දුන්නත් පස්සේ කාලෙක බර අඩුකරගන්න හොඳ ක්‍රමයක් විදිහට ප්‍රසිද්ධ උන ඩයට් ක්‍රමයක් තමයි මේ සවුත් බීච් ඩයට් කියන්නෙ. කාබෝහයිඩ්‍රේට අඩු ආහාර පුරුදු වලට යොමු කරන තවත් ඩයට් එකක් තමයි මේක. බර අඩුකරන්න පටන් ගන්න එක, ඉලක්කයට අනුව අවශ්‍ය බර හදාගන්න එක සහ ඒ හදාගත්තු බර පවත්වාගෙන යන්න පුළුවන් විදිහට ජීවන රටාව හැඩගස්වාගන්න එක කියන ප්‍රධාන අවධි තුනකින් තමයි මේ ඩයට් ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ.
7. WW (Weight Watchers) Diet
මේ වෙයිට් වොචර්ස් ඩයට් කියන්නේ රටවල් තිහකටත් අධික ප්‍රමාණයක පැතිරිලා තියෙන අන්තර්ජාතික ආයතනයක් විසින් කරන ඩයට් ක්‍රමවේදයක්. මේ ආයතනයත් එක්ක ලෝකේ පුරා මිලියන ගණනක පිරිසක් එකතුවෙලා ඉන්නව. ඉතින් ඒ පිරිසට උපදේශන, කණ්ඩායම් සාකච්ඡා වගේ දේවල් වලින් ඉලක්ක කරන ප්‍රමාණයට බර අඩුකරගන්න උදව් කරන එක තමයි මේකෙදි වෙන්නෙ. අපි ලබාගන්න ආහාර වලට 1,2 විදිහට ලකුණු දීල දවසට අවශ්‍ය ලකුණු ප්‍රමාණය කලින් තීරණය කරලා ඒ මඟින් ගන්න ආහාර පාලනය කරන ක්‍රමයක් තමයි මූලිකවම මේ අය අනුගමනය කරන්නෙ.
පොදුවේ මේ ඩයට් කියන සංකල්පය ගැන හුඟ දෙනෙක් අතරෙ තියෙන වැරදි මතයක් තමයි ඩයට් කරනකොට පළතුරු කකා, වතුර බිබී ප්‍රෝටීන හෝ මේදය අඩංගු කෑම පවා නොගෙන ඉන්න ඕනෙ කියන එක. දැන් මේ ප්‍රසිද්ධ ඩයට් ක්‍රම ගැන කියවල බැලුවම පේනවනෙ ඒ හුඟක් ඩයට් ක්‍රම වලින් කරන්නෙ ශරීරයට ඇතුළත් වෙන කාබෝහයිඩ්‍රේට පාලනය කිරීම විතරයි කියල. එහෙම නැතුව හැමදේම නොකා නොබී ඉන්න ගියොත් වෙන්නේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට අවශ්‍ය ශක්තිය නොලැබී ගිහින් එක එක ලෙඩ හදාගන්න වෙන එක.
ඔක්කොම කතාව කියවපු අයට අන්තිමේදි අවධාරණය කරලා කියන්න ඕන මෙන්න මේ කාරණාවත්. කලින් ලිපියෙදිත් කතා කළා වගේම ඩයට් කියන්නෙ අපිට හිතුමතේට කරන්න පුළුවන් සෙල්ලමක් නෙමෙයි. තමන්ට තියෙන ලෙඩ රෝග ගැන කිසිම අවබෝධයක් නැතුව හිටිගමන් බර අඩුකරගන්න හිතිල ඩයට් කිරීම අපිනම් කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. මේ තියෙන ඩයට් ක්‍රම වලින් තමන්ට කැමති, සුදුසුයි කියල හිතෙන ක්‍රමයක් තෝරාගෙන වෛද්‍ය උපදෙස් ඇතුව ඩයට් එක ආරම්භ කරන එක තමයි හරිම විදිහ.
Leave a Reply