කුණු කියන්නේ ලොකු ප්‍රශ්නයක්. කුණු රටකින් තවත් රටවලට යැවීමත් දැන් දැන් ලොකු ආන්දෝලනයක් ඇතිකරන ගැටළුවක් වෙලා. චීනය දුප්පත් කාලේ යුරෝප ඇමරිකා කුණු ආදිය ටොන් ගණන් චීනයට ගෙනාවා. චීනයේ ගම්මාන ආශ්‍රිතව දුප්පත් මිනිස්සු කුණු කඳු ගහගෙන ඒවා උඩ නැගගෙන ඒවා රීසයිකල් කරන වැඩ ගෘහාශ්‍රිතවම කළා. ඒත් පස්සේ කාලෙක තත්ත්වය වෙනස් වුනා. මේ කුණු ගැටළුව කැරකෙන හැටි සහ විසඳුම් විදියට ඉදිරිපත් වෙලා තියෙන කීපයක් දේ ගැන අපි ලයිෆි ඔබව දැනුවත් කරන්නට හිතුවා.
1. ස්වීඩන් – කුණු වලින් විදුලිය
ස්වීඩනය කුණු වලින් බලශක්තිය නිපදවන්නට දායක වූ රටක්. පොලිතින් ප්ලාස්ටික් මෙන්ම නොදිරන බොහෝ කසල ඔවුහු වියලා කැබලිකර දහනය කරනු ලබනවා. සිය රටේ කුණු පමණක් නොව ස්වීඩනය එක්සත් රාජධානියේ කුණුද නැව් මගින් ගෙන්වාගෙන ඒවා දහනය කර විදුලිය නිපදවා ගන්නවා. කුණු පිලිස්සීමේදී සාමාන්‍ය තත්ත්වයන් වලදි අහිතකර වායුන් පරිසරයට එකතුවෙනවා. ඒත් ස්වීඩනයේදී ඒ දුම අනුමත ආකාර වලට පාලනය කරන්නට ඔවුන් කටයුතු කරලා තියෙනවා. කුණු ඉන්ධනයක් ලෙස රීසයිකල් කරනවා කියලා තමයි ස්වීඩනය කියන්නේ. ඒත් ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍ය කියන විදියට මේක පරිසරයට එතරම්ම හිතකර දෙයක් නෙමෙයි.
2. චීනයට සහ අග්නිදිග ආසියාවට ආ පොශ් කුණු
ඇමරිකාවේ කුණු චීනයට ගෙන ඒම 1980 දශකයේ සිට කාලාන්තරයක් තිස්සේ සිදු වූ දෙයක්. එහෙත් මාධ්‍ය මගින් අනාවරණය කරන ලද පරිදි චීනයට ආ ඒ ඇමරිකානු කසළ නිසි ක්‍රමවේදයකට ප්‍රතිචක්‍රීකරණය වූයේ නෑ. චීනය මෑත කාලයේ ඇමරිකානු සහ වෙනත් රටවල ඝන අපද්‍රව්‍ය පොලිතීන් ආදිය සිය රටට ගෙන ඒම සම්පූර්ණයෙන්ම නවතා දමල තියෙන්නේ . ඉන් පසුව තායිලන්තය, ඉන්දුනීසියාව ආදී අග්නිදිග ආසියානු රටවලට කුණු දැමීමට යුරෝපය සහ ඇමරිකාව සැරසී ඉන්නවා. මෙම කසල වල තිබෙන පොලිතීන් සහ ප්ලාස්ටික් මිනිසාටත් ඒ අදාළ පරිසර පද්ධතිවලටත් හානි වන පරිදි ප්‍රතිචක්‍රීකරණ කටයුතු සිදු කරන්න ඕනි. ඇමරිකාවේ යුරෝපේ පරිසර නීති තදයි. මිනිස්සුත් ඒවා ගැන අවදියෙන්. ඉතින් ඒ රටවල කුණු වලින් ගැලවෙන්න එයාලා කුණු නැව් වලට පටවලා දුර රටවලට ගිහින් දාන්න පටන් අරන් තියෙනවා.
3. ඉන්දියාවට ඇමරිකාවෙන් එංගලන්තයෙන් එන භාවිත කරන කඩදාසි
පේපර් හෙවත් කොළ යනු එක් අපද්‍රව්‍ය වර්ගයකි. දැන් ලොව කොළ භාවිතය අන්තර්ජාලය නිසා යාන්තමින් අඩුවෙමින් ගියත් තවමත් ප්‍රින්ටඩ් මීඩියා භාවිතයේ පවතී. ඇමරිකාව සහ එංගලන්තය ඉවතලන කඩදාසි ඉන්දියාව විසින් බාරගනී. එයින් ඔවුන්ට පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නැවත නිෂ්පාදනය කර ගනී. හැරත් ඇමරිකාවේ එංගලන්තයේ ඉවතලන ඇතැම් පොත් පත් ආදිය ඉන්දියාවේදී කෙලින්ම විකුණන තැන්ද ඇතිවී තිබේ. ඉන්දියාවේ අලුතින් කඩදාසි පිණිස ගහකොළ වැවීමට ඉඩක් නැත. එම නිසා පිටරටින් එලෙස භාවිත කළ කඩදාසි වලින් නැවත කඩදාසි නිපදවීම වඩාත් වාසිදායක බව එරට කඩදාසි කර්මාන්තකරුවෙක් කියා තිබෙනවා.
4. අපද්‍රව්‍ය නල වලින් බයෝඩීසල් නිපදවීම – එංගලන්තය
ලන්ඩනයේ නාගරික වටපිටාවේ අපද්‍රව්‍ය ගෙනයෑමට සුවිසාල නල එලා තිබේ. එම නල පද්ධතිය හරහා මුළුතැන්ගෙයි අපජලය ආදී අපජලය හුවමාරු කරනු ලැබේ. කාලයක් තිස්සේ කාබනික ද්‍රව්‍ය ගලායන එම නල තුළ අපද්‍රව්‍ය තැන්පත් වීම සිදු වේ. එම නල වල තැම්පත් වන අපවිත්‍ර මඩ ඉවත් කර ඒවායෙන් ඉන්ධන සෑදීම එංගලන්තයේ දැනටත් සිදු වෙන වැඩකි. ඒ හරහා අපජල නාලිකා ඇතුළත පිරිසිදු කරන විට තිබෙන අපවිත්‍ර දෑ තවත් කැලිකසළ ගොඩකට එකතු වීම වළකී. අනෙක් අතින් ඉන්ධනයක් ලෙස බයෝ ඩීසල් ලබාදෙන මාර්ගයක්ද වේ.
5. කුණු පීරා වස්තු සොයන මිනිස්සු – කල්කටාවේ ධාපා කුණු ගොඩ
කල්කටාව වසර 150ක පමණ සිට ජනාකීර්ණ විශාල නගරයකි. දිල්ලියට පෙර ඉන්දියාවේ අගනුවර වූ කල්කටාවේ ධාපා කුණු ගොඩ ලොව දැනටද කුණු දමන පැරණිතම කුණු ගොඩවල් වලින් එකකි. අදටද ධාපා කුණුගොඩට දිනකට ටොන් 4000ක පමණ කුණු එකතු වේ. අක්කර හැටක් පුරා විසිරී පැතිරී ඇති මේ සුවිසාල කුණු ගොඩ ඒ අවට ජනයාට නම් රක්ෂා සපයන තැනකි. කුණු ගොඩ අවුස්සමින් තැන තැන විවිධ දේ එකතු කරන පිිරිස් වෙති. කල්කටාවේ කසළ යුරෝපයේදී මෙන් යන්ත්‍ර වලින් තේරෙන්නේ නැත. එහෙත් කුණු ගොඩ උඩ නැගීගෙන ඒ මත තිබෙන ප්ලාස්ටික්, ලෝහ සහ වටිනා දේ සොයන අය නිසා කුණුගොඩෙන් විශාල ප්‍රමාණයක් මිනිසුන් විසින්ම නැවත භාවිතයට සහ ප්‍රයෝජනයට ගනී.
6. සීරෝ වේස්ට් සුපර්මාර්කට්
ඉස්සර ගම්බද ජනතාව පොළේ ගියේ සතියට දවසක් හෝ දෙකක්. එතකොට ගෙදරින්ම මල්ලක් ගෙනියනවා. සිල්ලර බඩු දාන්නේ ගොටු වල. තුනපහ සීනි වගේ ඒවත් දාන්නේ කඩදාසි ගොටු වල. ඉන් පස්සේ එළෝලු ගනිද්දි කිරලා දාගන්නේ එකම මල්ලකට. එතකොට පොලිතීන් නැහැ. අද ලංකාවේ සුපර්මාකට් ගියොත් කොහොමද? සෑම එළෝලුවකටම එක බෑග් එකක් ලැබෙනවා. ඉතින් මේ ක්‍රමය වෙනුවට පරිසර හිතකාමී පරණ ක්‍රමයට බෝතලේ අරං ගිහින් තෙල් ගන්න, ඒ ඒ දේවලට මලු අරන් ගිහින් ඒ දේවල් ගන්න පරිසර හිතකාමී සුපර්මාකට් කලාවක් ජර්මනියේ ඇතිවෙලා තියෙනවා. ඒ තුළින් අසුරණ විදියට එන්න තියෙන කැලි කසල අඩුකරගන්න තමයි එයාල ප්ලෑන් කරන්නේ.
7. ප්ලාස්ටික් භාවිතය අවම කිරීම
බීම බෝතල සහ ප්ලාස්ටික් බෝතල යනු ශ්‍රී පාදස්ථානය වැනි ජනප්‍රිය කඳු තරණ වලදී නිතර හමුවෙන කසළ වර්ගයක්. එබැවින් එවැනි කඳු නැගීම් වලදී පොලිතීන් ප්ලාස්ටික් බෝතල වෙනුවට නැවත නැවත පාවිච්චි කළ හැකි බෝතල පාවිච්චිය වඩාත් පරිසර හිතකාමී පියවරකි. දැන් දැන් චාරිකා ගැන දැක්වෙන බ්ලොග් අඩවි වල පවා පරිසර හිතකාමී ලෙස මෙම නැවත නැවත පිරවිය හැකි බෝතල පාවිච්චිය දිරිගන්වා තියෙනවා. ප්ලාස්ටික් පොලිතීන් පාවිච්චිය අවම කිරීමට බොහෝ දියුණු රටවල්ද ක්‍රියාකරල තියෙනවා. ඇතැම් යුරෝපා රටවල කසළ අඩුනම් ඒ සඳහා යම් යම් තෑගි පිරිනමන ක්‍රමයක්ද හඳුන්වා දී තිබෙනව. ඒ අනුව අඩුවෙන් කසළ නිකුත් කරන අය පරිසරයට වාසියක් කරනවා මෙන්ම එයින් ඔවුන්ටද යම් වාසියක් සැලසෙනවා.
කුණු කියන්නේ ලෝක ප්‍රශ්නයක්. සමහර විට අපේ වෙරළට ගොඩ ගහලා තියෙන ඇතැම් කසළ අපේ රටේ පාවිච්චි කරපු බඩුබාහිරාදිය වල කසළත් නෙමෙයි. වෙන රටකින් ගහගෙන ආපු ඒවාත් තියෙනවා . මන්නාරම දිහා වෙරළට එකතුවෙන කසළ වල දකුණු ඉන්දියාවේ භාවිතා කරපු බෝතල් සහ අසුරණ තිබුණා කියලා වාර්තා වෙලා තිබුණා. ඒ අනුව කසළ කියන්නෙ, පොලිතින් කියන්නේ ලෝක ගැටළුවක්. අපි හැකිතාක් කසළ නිකුත් වීම අවම කළොත්, පොලිතීන් භාවිතය අඩු කළොත් ඒක ලොකු පියවරක්. එතකොට කාලයක් යද්දි හරි කසල විදියට සහ පොලිතින් විදියට පරිසරයට මුහු වෙන දේවල් ප්‍රමාණය ඉබේම අඩුවෙයි.
Leave a Reply