මේ සටහන ලියන්නේ මේ මොහොත වෙද්දි රටට විදේශ විනිමය ගෙනෙන, රටට අති විශාල ශ්‍රම දායකත්වයක් ලබා දෙන ඇය වෙනුවෙන්. ඇය වෙනුවෙන් ඇයි අපි මෙහෙම සටහනක් ලියන්නෙ කියන එකත් මුලින්ම කිව යුතුමයි. එය අපේ යුතුකමක්. ඇය අපගේ රට වෙනුවෙන් ඉටු කරන්නා වූ මෙහෙයට කෘතගුණ සැළකීමක්. ඇය අමතන්නට ඔබ පාවිච්චි කරන්නේ ‘ගාමන්ට් කෙල්ලෙක්’ යන වදන නම් මේ සටහන ඔබ වෙනුවෙන්මයි. මේ අප රටට දිරි දෙන ඇඟළුම් ක්ෂේත්රයේ ජීවය බඳු වූ ලාංකීය ඇඟළුම් යුවතියක වීමේ ජවය පිළිබඳ සටහනයි.

Image Source – lankabusinessonline.com.com
සාමාන්‍යයෙන් දුගී බවින් යුතු කෝණයකින් සමාජයේ බොහෝ දෙනෙකු ඔවුන් දෙස බැලුවත් රැකියාව සම්බන්ධයෙන් රැකියා ස්ථානය සහ කාලය ලෙස නිවැරදි තෝරාගැනීම සිදු කළ බොහෝ ඇඟළුම් යුවතියන් සමාජයේ සාර්ථක ජීවිත ගෙවමින් පසුවෙයි. එසේ සිදුවෙද්දීත් ඇතැම් මිනිසුන් හොරුන් සහ දූෂිතයන් කරපින්නාගෙන මෙවන් වූ රට වෙනුවෙන් ශ්‍රමය වපුරන, පැසසිය යුතු චරිත යට කර දමයි. මේ එය නවත්වන්නට කරන ආයාචනයේ සටහනයි. මේ එය නොකළ යුත්තේ ඇයි දැයි පසසන දිරියේ සටහනයි. මේ ඔබ එලෙස සිදු කළා නම් ඔබ වැරදි යැයි හඟවන අභියෝගයේ සටහනයි.
ඇඟළුම් යුවතිය නොහොත් සන්නාලිය පිළිබඳව අපගේ කුඩා කාලයේ පටන් බැඳුණු නොස්ටැල්ජියානු මතකයක් තිබෙනවා. එය ඔබේ මනසේත් කා වැදී ඇති බවට සැකයක් නැහැ. ඒ ආචාර්ය අජන්තා රණසිංහයන් ලියූ, වික්ටර් රත්නායක මහතාගේ සුමධුර හඬින් ගැයෙන “අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්… එම සන්නාලිය නංගා දෙස නොබලන් වපරැසකින්…” යන පදයද ඇති ගීතයයි. ඉන්පසු කන වැකෙන භාතිය සංතුෂ්, උමාරියා, සනුක සහ ශෂිකා නිසංසලා එක්ව ගයන “මටයි මගේ රටටයි” ගීතයත් සිහිපත් කරන්නේ කුඩා කළ ඇඟළුම් යුවතිය සම්බන්ධයෙන් සිතෙහි ඇති කළ ස්තුතිවන්ත භක්තියයි.
බොහෝදෙනෙකු ඇඟළුම් යුවතියන් සමාජය තුළ සමෘද්ධිමත් නොවූ චරිත ලෙසින් සිදු කරන්නා වූ ප්‍රකාශ සාවද්‍ය බව පසක් කරන මෙම නිර්මාණ පිටතට නොපෙනෙන ඇත්තක් එළි දක්වනවා. රැකියා ස්ථාන තුළින් ඔවුන්ට ලැබෙන ආර්ථිකමය සමෘද්ධිය මෙන්ම ඔවුන්ව සංවර්ධනය කර සමාජයට උස්කොට තබන ව්‍යාපෘති හේතුවෙන් ඔවුන් සාර්ථක සමාජීය ජීවිත ගෙවන බව නොරහසක්. ඒ පමණකින් නොනැවතී තම පවුලද ඉහළට උස් කොට තබා ඔවුන්ගේ දරුවන්ගේ ජීවන තත්ත්වයද උසස් කොට ඔවුන්ට හොඳින් උගන්වා සමාජයට වැඩැති මිනිසුන් බවට පත් කරන්නට අද වන විට ඇඟළුම් යුවතියනට හැකිවී තිබෙනවා.

Image Source – twitter.com
ඇඟළුම් යුවතිය ගැන සේම ඇඟළුම් ක්ෂේත්රය ගැනත් බොහෝ මිනිසුන් නොතකන නොසිතන පැතිකඩක් පවතියි. ඇඟළුම් ක්ෂේත්රය තම සේවකයින් නගා සිටුවීම වෙනුවෙන් සුවිශේෂී වැඩ පිළිවෙලක් සිදුකරයි. එහිදී ප්‍රධාන වශයෙන් මූල්‍යමය වශයෙන් මෙන්ම අනෙකුත් සුවිශේෂී උපකාරයන්ද සිදුවෙයි. එය නොමිලේ ලැබෙන ආහාර වේලක් හෝ නොමිලේ ප්‍රවාහනය ලැබීම යැයි ඔබට සුළුවෙන් තකන්නට හැකි වුවත් එය කිසිසේත්ම සුළුවෙන් තැකිය යුතු දෙයක් නොව මනා සේවයක් සැපයීම වෙනුවෙන් පෙරලා ලබාදෙන කෘත ගුණ දැක්වීමක් සහ නැවත නැවතත් එසේ සිදුකරන්නට දිරි දීමක් වෙයි. එය රටට ප්‍රාණය සපයන ව්‍යාපාර පවත්වා ගෙන යෑමට උත්ප්‍රේරකයකි.
මේ වන විට පටු අදහස් ඇති ඇතැමුන් අතරේ වඩා සාධනීය ලෙසින් සිතන බොහෝමයක් දෙනා නැගී සිටින වග දකින්නට හැකි වෙයි. ඇඟළුම් යුවතියගේ ජීවන මට්ටම ඉහළ ගොස් ඇත. එය වඩා හොඳ සමාජීය පිළිගැනීමක් තෙක් ඔවුන්ව තල්ලු කර ඇත. එසේම ඔවුන් පන්සල පල්ලිය සේම කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාව වෙනුවෙන් සේවාවන් සැපයෙන ස්ථානවල කැපී පෙනෙන චරිත බවට පත්වී ඇත. මෙයට මූලික අඩිතාලම ඇඟළුම් ක්ෂේත්රයේ රැකියා ස්ථානවලින් නොඅඩුව ලැබෙන අතර එය ඉදිරිපත් වීමේ ගුණාංගය ඉහළ දැමීම නිසාත් ඇතිවන සුබදායී තත්ත්වයකි. ඒ සියල්ල ඔවුනට නොඅඩුව ලැබෙන්නට ඇඟළුම් ක්ෂේත්රයට එකතු වීමම හේතුවක් ලෙසින් දැක්විය හැක.
Leave a Reply