පරිප්පු… මේ ලෝකෙ පරිප්පු නැති උන දාට කන්න දෙයක් ඇත්තෙම නෑයි කියල හිතන්න පුළුවන් පරිප්පුවො එහෙම නැත්නම් පරිප්පු ලෝලියො ඕන තරම් ඉන්නව. සමහරුන්ට පරිප්පු පේන්න බැරි උනාට පරිප්පුවන්ට නම් ඕනම මෙනූ එකක් ගැලපෙන්නෙ පරිප්පු තිබ්බොත් විතරයි. අන්න එහෙම පරිප්පුවන්ට අළුත් රසකට පරිප්පු කරියක් වගේම පරිප්පු වෙනස් වෙනස් විදියට රස බලන්න පුළුවන් රෙසිපි ටිකක් අපි අරන් ආව.
1. පරිප්පු කෑලි තෙම්පරාදුව
අවශ්‍ය ද්‍රව්‍ය
- පැයක් දෙකක් පොඟවාගත් පරිප්පු කප් 2
- කඩල පිටි මේස හැඳි 2
- ළූණු
- අමුමිරිස්
- කරපිංචා
- ලුණු
- මිරිස් කුඩු
තෙම්පරාදුවට
- ළූණු
- අමුමිරිස්
- කරපිංචා
- ලුණු
- කෑලි මිරිස්
- අබ
- සුදු ළූණු
- පරිප්පු ටික වතුර බේරා හොඳින් අඹරාගන්න. එයටම කඩල පිටි, මිරිස් කුඩු පොඩ්ඩක් සහ ලුණු එක් කරගන්න. ළූණු, අමුමිරිස්, කරපිංචා සිහින්ව කපා එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
- ස්ටීමරයේ අඩිය වැසෙන ප්‍රමාණයට කෙසෙල් කොළයක් හෝ ෆොයිල් පේපර් එකක් කපාගෙන ඒ මත සාදාගත් මිශ්‍රණය තරමක් උසට හිටින්න තුනී කරගෙන ස්ටීම් කරගන්න. තැම්බුන පසු කෑලි කපාගන්න.
- තෙල් ස්වල්පයක් රත් වෙන්න හැර එයට අබ එක් කර අබ පුපුරන විට අනෙකුත් සියළු දේ එක් කර හොඳින් තෙම්පරාදු කරගන්න. ළූණු ටික මැලවුණු පසු පරිප්පු කැබලි එක් කර මිශ්‍ර කරගන්න.
2. පරිප්පු ඉඩ්ලි
අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු කප් 1
- සුදු කැකුළු හාල් කප් 1
- අබ තේ හැන්දයි
- සූදුරු තේ හැන්දයි
- කහ ටිකක්
- පෙරුම්කායම් පින්ච් එකක්
- ලුණු
- පරිප්පු සහ හාල් හොඳින් සෝදා පැය 6ක් හෝ රැයක් වෙන වෙනම පෙඟෙන්න තියාගන්න. වතුර බේරා පේස්ට් එකක් ආකාරයට හොඳින් වෙන වෙනම අඹරාගන්න.
- අඹරාගත් හාල් සහ පරිප්පු එකට මිශ්‍ර කරගන්න.
- තෙල් ටිකක් රත් වෙන්න හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ල එක් කර හොඳින් තෙම්පරාදු කර එයට අඹරාගත් මිශ්‍රණය එක් කර කලවම් කරගන්න.
- ඉඩ්ලි ස්ටීමරයක ස්ටීම් කරගන්න. පොල් චට්නි සමඟ පිළිගන්වන්න.
3. අල මිශ්‍ර පරිප්පු වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය
- අල ගෙඩි 3
- පරිප්පු 100g
- කඩල 50g
- චොප් කරගත් ළූණු, අමුමිරිස්
- කහ
- ගරම් මසාලා තේ හැන්දක්
- මිරිස් කුඩු ටිකක්
- කඩල පිටි
- ලුණු
- ගම්මිරිස්
- අල, පරිප්පු සහ කඩල වෙන වෙනම තම්බාගෙන පොඩි කරගන්න. එයට කඩල පිටි හැර අනෙක් සියල්ල එක් කර හොඳින් මිශ්‍ර කරගෙන කුඩා බෝල සාදාගන්න.
- කඩල පිටි වලට ලුණු ටිකක් එක් කර වතුර ටිකක් එක් කර බැටර් එකක් සාදාගන්න. සාදාගත් බෝල බැටර් එකේ තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
4. ලෙෆ්ට්ඕවර් පරිප්පු රොටි
දවාලට ඉතිරි වෙන පරිප්පු හොද්දෙන් රෑ කෑමක් පිසගන්න හොඳ ක්‍රමයක් මේ.
අවශ්‍ය ද්‍රව්‍ය
- හිඳෙන්න පිසගත් ඉතිරි වූ පරිප්පු
- කඩල පිටි
- පාන්පිටි
- ගාගත් පොල් ටිකක්
- සූදුරු ටිකක්
- චොප් කරගත් ළූණු, අමුමිරිස්
- හීනියට ලියාගත් කැරට් සහ ගෝවා ටිකක්
- රස අනුව ලුණු සහ මිරිස් කුඩු ස්වල්පයක්
- සියල්ල එකට දමා හොඳින් අනාගන්න. එතරම් තද නැති මෘදු ඩෝ එකක් වෙන තුරු අවශ්‍ය පමණ වතුර එක් කරගෙන අනාගන්න.
- තෙල් ගාගත් මතුපිටක රොටී තුනී කරගෙන නන්ස්ටික් පෑන් එකක දමා දෙපැත්ත පුළුස්සාගන්න.
5. පරිප්පු නගට්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු කප් 1
- පාන් කුඩු කප් 1/4
- සිහින්ව ගාගත් කැරට්
- සිහින්ව කපාගත් ලීක්ස්
- ගාගත් චෙඩාර් චීස් කප් 1
- ග්‍රීන් පීස් සහ ස්වීට් කෝන් ඇට මිශ්‍රව කප් 1/2ක්
- රස අනුව ලුණු, ගම්මිරිස්
- පරිප්පු හොඳින් සෝදා රැයක් හෝ පැය හයක් පමණ පොඟවාගන්න. එයට කැරට් සහ ලීක්ස් එක් කර පරිප්පු කැබලි වී මිශ්‍ර වනතුරු අඹරාගන්න.
- එයට අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම එක් කර හොඳින් අනාගන්න.
- කුඩා බෝල සාදා පැතලි කර ගැඹුරු තෙලේ බැදගන්න. නැති නම් සෙල්සියස් 200ට විනාඩි 20-25ක් බේක් කරගන්න.
6. මසාලා පරිප්පු
අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු
- අබ
- සූදුරු
- ළූණු
- සුදුළූණු
- රම්පෙ, කරපිංචා
- තක්කාලි
- අමු මිරිස්
- කහ
- ගරම් මසාලා
- මිරිස්කුඩු
- ලුණු
- තෙල්
- කොත්තමල්ලි කොළ
- පරිප්පු ටික තම්බ ගන්න. තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට අබ ටිකක් දාල අබ පුපුරන කොට සූදුරු ඇට ටිකක් උළු හාල් ටිකක් දාල යන්තම් බැදෙන කොටම ඒකට කපාගත්ත ළූණු, තලාගත්ත ඉඟුරු සුදුළූණු රම්පෙ කරපිංචා තක්කාලි අමුමිරිස් එකතු කරන් ලුණු ටිකක් දාල ළූණු බැදෙනකම් තෙම්පරාදු කරගන්න.
- ඒකට කහ, ගරම් මසාල, මිරිස් කුඩු පෝඩ්ඩක් දාල කලවම් කරන් ඒකට මිටිකිරි දාගෙන තම්බපු පරිප්පු ටික දාල හොද්ද උතුරව ගන්න.
- අන්තිමට කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාල කලවම් කරල ලිපෙන් බාන්න.
7. කිච්ඩි
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් කප් 2
- පරිප්පු කප් 1
- සිහින්ව කපාගත් කැරට්, ගෝවා, බෝංචි, ළූණු
- ගී හෝ තෙල්
- තලාගත් සුදුළූණු බික් දෙකක්
- අබ
- සූදුරු
- කුරුඳු පොතු කෑල්ලක්
- බේලීෆ් එකක්
- කරදමුංගු කරල් දෙක තුනක්
- ලුණු
- රම්පෙ, කරපිංචා
- හාල් වලට පරිප්පු දාල හොඳට සෝදගන්න. ඒකට සාමාන්‍ය ගාණටම වතුර දාල ලුණු සහ කහ ටිකක් දාල බත පිසගන්න.
- ගී හෝ තෙල් රත්වෙන්න තියල ඒකට අබ, සූදුරු, කුරුඳු පොතු කෑල්ලක්, බේලීෆ් එකක්, කරදමුංගු දාල යන්තම් බැදෙන්න ඇරල ඒකට රම්පෙ, කරපිංචා දාල තෙම්පරාදු කරගන්න. ඒකටම කපාගත්තු එළවළු ටික එකතු කරන් කලවම් කරගන්න. ඒකට මිරිස් කුඩු ටිකක්, ගරම් මසාල ටිකක්, ලුණු, ගම්මිරිස් කුඩු ටිකක් දාල කලවම් කරගන්න.
- මේ තෙම්පරාදුවට උයාගත්ත බත් එක දාල හොඳට මිශ්‍ර කරගන්න. කැමති නම් කොත්තමල්ලි කොළ ටිකකුත් දාගන්න.
Leave a Reply