ලංකාවේ වගේම ලෝක ඉතිහාසයේත් එන සුප්‍රසිද්ධ පෙම් පළහිලව්

“ප්‍රේමය ලොව හැමතැනම ඇතී… හැමදෙනටම හමුවෙලා ඇතී…” කියනවනේ. සින්දුවට කිව්ව වගේම තරාතිරම, පාට, ජාතිය, ආගම වගේ කිසිම කාරණයක් අදාළ නොවී කාටත් පොදුවේ ඇතිවෙන හැඟීමක් තමයි ප්‍රේමය නැත්තම් ආදරය කියන්නෙ. දෙමව්පියන්ගෙ නෑදෑ හිතවතුන්ගෙ ආශිර්වාද මැද එකට කූඩුවුණ පෙම්වතුන් වගේම කවදාවත් එකතු නොවී කඳුළින්ම සමුගත්ත ආදරවන්තයොත් ඉතිහාසයේ ඕන තරම්. ලෝකේ වටෙන් ඇහෙන මේ සුප්‍රසිද්ධ ප්‍රේම කතන්දර වලින් බොහොමයක් ඒවත් ඉවරවෙලා තියෙන්නෙනම් ඛේදාන්තයන්ගෙන්ම තමයි…

 

1. රෝමියෝ ජුලියට්

Image Source – owlcation.com

ප්‍රේමය ගැන කතා කරන්න පටන් ගත්තු ගමන් මුලින්ම මතක් වෙන නම් දෙකක් තමයි රෝමියෝ සහ ජුලියට් කියන්නෙ ඉතින්. මේ ඛේදනීය රෝමියෝ ජුලියට් කතා පුවත කරලියට එන්නෙනම් විලියම් ශේක්ස්පියර් කියන කතුවරයා ලියපු ආදර වෘතාන්තයක් විදිහට. ඒත් කතාවට මුල්වුණ හැබෑ පෙම්වතුන් යුවලත් මේ ශේක්ස්පියර් ජීවත්වුණ ඉතාලියේ වෙරෝනා කියන සුන්දර නගරයේම තමයි මුණගැහිල ආදරය කළේ. අවාසනාවට මේ දෙන්නා පැවතගෙන එන්නෙ වෙරෝනා නගරයේ වාසය කරපු මොන්ටගියු සහ කැපියුලට් කියල විරුද්ධවාදී පවුල් දෙකකින්. අහම්බෙන් ඇරඹුණු ප්‍රේම කතාන්දරය දුරදිග ගිහින් ඔවුන් දෙදෙනා ඔවුන්ට හිතවත් කතෝලික පූජකතුමෙකු හමුවෙලා හොර රහසේම විවාහ වෙනවා. ඔය කාලය අතරෙදිම පවුල් දෙකේ ආරවුලක් අතරෙදි ජුලියට්ගෙ ඥාති සහෝදරයෙක් වෙච්ච කැපියුලට් පවුලේ ටයිබැල්ට් රෝමියෝ අතින් මරණයට පත්වෙනව. ඒකට දඬුවමක් විදිහට රෝමියෝව වෙරෝනා නගරයෙන් පිටුවහල් කරනව.

ඊට පස්සේ තමයි ඛේදාන්තය ආරම්භ වෙන්නෙ. ජුලියට්ගේ පවුලෙන් ඇයට බලපෑම් එනව විවාහ වෙන්න කියල. ඒකට විසඳුමක් විදිහට ඔවුන්ව විවාහ කරපු පූජකතුමා ජුලියට්ව ව්‍යාජ මරණයක් වගේ පේන නින්දකට පත්කරල ඒ බව දන්වල රෝමියෝට ලියුමක් යවනවා. ඒත් ලියුම ලැබෙන්න කලින් ජුලියට් මරණයට පත්වෙලා කියන ආරංචිය ලැබෙන රෝමියෝ ඉතාම දුකින් වෙරෝනා නගරයට ඇවිත් ජුලියට්ගේ දේහය දැකල සියදිවි හානිකරගන්නව. නැවත සිහිය ආපු ජුලියටුත් රෝමියෝව දැකල දැඩි ශෝකයෙන් සියදිවි හානිකරගන්නව. පවුල් දෙකක ආරවුලක් නිසා ඔන්න ඔහොමයි ඒ ප්‍රේම කතාව අවසාන උනේ.

 

2. ක්ලියෝපැට්රා සහ මාර්ක් ඇන්තනී

Image Source – princetonfound.com

ක්ලියෝපැට්රා කියන්නේ ඊජිප්තුවේ රජකම් කරපු බොහොම බලගතු රැජිණක්. මාර්ක් ඇන්තනී කියන්නෙනම් ක්ලියෝපැට්රගෙ පළමු ආදරේවත් පළවෙනි ස්වාමි පුරුෂයාවත් නෙමෙයි. නමුත් මේ දෙන්න තදින් ආදරෙන් වෙළුන එකිනෙකා වෙනුවෙන්ම සියදිවි හානිකරගත්ත පෙම් යුවලක් කියල තමයි ප්‍රසිද්ධ. සීසර්, ක්ලියෝපැට්රා සහ ඇන්තනීගෙ හමුදාවන් මුහුද මැදදී කරපු අවසන් යුද්ධයෙන් පරාජයට පත්වුනාට පස්සෙ පලායන ක්ලියෝපැට්රා යුධ උපක්‍රමයක් විදිහට ඇය මියගිය බවට රාවයක් පතුරනවා. මේ පණිවිඩය දැනගන්න ලැබෙන ඇන්තනී ශෝකය දරාගන්න බැරුව තමන්ගේම කඩුවෙන් ඇනගෙන සියදිවි නසාගන්නවා. ඒ බව ආරංචි උන ක්ලියෝපැට්රත් විසකුරු නාගයෙක් ලවා තමන්ගේ පපුවට දෂ්ට කරගෙන මියගිය බව තමයි සඳහන් වෙන්නේ.

 

3. සාජහන් සහ මුම්ටාස් මහල්

Image Source – worthpoint.com

සාජහන් කියන මෝඝල් අධිරාජයාගේ තුන්වෙනි බිරිඳ තමයි මුම්ටාස් කියන්නේ. බැලු බැල්මට ඒ කතාවේ විශේෂත්වයක් නොතිබුනත් සාජහන් අධිරාජයා වැඩියෙන්ම ආදරය කරලා තියෙන්නෙ මුම්ටාස් දේවියටයි. ඇය දරු ප්‍රසූතියකදී මියයෑමත් එක්ක දරුණු සිත් තැවුලකට පත්වෙන රජු දේවිය වෙනුවෙන් ඇගේ සොහොන් ගැබ විදිහට මේ ටජ්මහල කියන කිරිගරුඬ මන්දිරය ඉදිකළ බවයි ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ. බිරින්දෑවරු කිහිප දෙනෙක් සිටි නිසාත්, මරණයෙන් පසු ටජ්මහල ඉදිකළ නිසාත් ඒ ආදර කතාව ගැන විවිධ මතවාද ලෝකය පුරාම පැතිරුණත් ලෝකයේ ආදරය වෙනුවෙන් ඉදිකෙරුණු වටිනාම භෞතික දෙය එහෙම නැත්තම් ආදරයේ සංකේතය විදිහට අදටත් සැලකෙන්නෙ යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පවා පත්කෙරුන මේ ටජ්මහලයි.

 

4. ඕපියස් සහ යුරිඩිස්

Image Source – agreekadventure.com

මේ කතාව නම් හැබෑ ලෝකේ සිදුවුණා කියනවටත් වඩා ප්‍රබන්ධයක් කියන පැත්තට ටිකක් බර ප්‍රේම වෘතාන්තයක්. පුරාණ ග්‍රීකයේ හිටපු දක්ෂම සංගීත වාදකයා වුණ ඕපියස් සර්ප දෂ්ටනයකින් මිය යන සිය ආදර බිරිඳ නැවත මළවුන්ගෙන් රැගෙන එන්න මළවුන්ගේ ලොවට යනවා. ඕපියස්ගෙ සංගීතයෙන් සතුටට පත්වුණ මළවුන්ගේ ලොවට අධිපති හෙදිස් රජු ඇයව නැවත රැගෙන යන්න අවසර දෙනවා. හැබැයි එක කොන්දේසියක් පිට. මළවුන්ගේ ලෝකයේ අවසාන සීමාවට යනකන් ඕපියස්ට බැහැ යුරිඩිස් දිහා බලන්න. කොන්දේසියට එකඟ උනත් අන්තිම මොහෙතෙදි හිත පාලනය කරගන්න බැරිවුණ නිසා ඕපියස් යුරිඩිස් දිහා බැලුව බවත් යුරිඩිස් නැවත මළවුන්ගේ ලෝකෙටම ගිය බවත් තමයි ඒ ශෝකජනක කතාන්දරයේ කියවෙන්නෙ.

 

5. ලයිලා මජ්නූන්

Image Source – bollywoodhungama.com

මේක අරාබිකරයේ ප්‍රේම වෘතාන්තයක්. ලයිලා මජ්නූන් මුණගැහිල ප්‍රේම කරන්නෙ, සිප් සතර හදාරන්න යන පාසලේදි. එත් මේ පෙම් පලහිලව්ව ගැන දැනගන්න ලයිලාගෙ පියා ඇයව පාසලෙන් ඉවත් කරගෙන නිවාස අඩස්සියේ හිර කරනව. මජ්නූන් ගෙ හැබෑ නම ක්වායිස්. නමුත් ලයිලා අහිමිවුණ ශෝකයෙන් උමතුවෙලා පාරවල් දිගේ ඇවිදින්න ගත්ත ක්වායිස්ට මිනිස්සු පටබඳින නම තමයි මජ්නූන් – “ප්‍රේමය දැඩිව සිත දරාගත් තැනැත්තා” කියන්නෙ. ඉතින් අවස්ථා කිපයකදිම එකතුවෙන්න හැදුවත් ඒ සියළු බලාපොරොත්තු බිඳවැටුණු මේ පෙම් යුවල හිතේ ශෝකයෙන් මියගියා කියල තමයි කියන්නෙ.

 

ලෝකේ හතර වටෙන් මේ වගේ දුක්බර ප්‍රේම කතන්දර ඇහෙද්දි අපේ මේ පුංචි සිරි ලංකාව ඇතුලෙත් ප්‍රසිද්ධවුණ ආදර කතන්දර නැතුව නෙමෙයි. මේ ඒ වගේ දුක්බර ආදර අන්දර කීපයක්.

 

6. සාලිය අශෝකමාලා

Image Source – touchtalent.com

ලංකා ඉතිහාසයේ වැඩිපුරම කතාබහට ලක්වෙන, බොහොමයක් සාහිත්‍ය නිර්මාණවලට පවා ඇතුලත් වුණ මේ සාලිය අශෝකමාලා කතාවනම් කෙලවර වෙන්නේ ශෝකාන්තයකින් නෙමෙයි. දුටුගැමුණු රජුගේ එකම පුත් කුමරුවන් වෙච්ච සාලිය කුමරු සැඩොල් ස්ත්‍රියක් වුණ අශෝකමාලවගේ රූපශ්‍රීයට වශීවෙලා රජකම අතහැර ඇයව විවාහ කරගන්නවා. රජකම නොලැබුනත් පසුව දුටුගැමුණු රජුගේ ආශීර්වාදය ලබන මේ යුවල බොහොම සතුටින් ජීවත් වුණ බවයි කියන්නේ. අදටත් ආදරේ ගැන අපිට කියාදෙමින් බොහොම උජාරුවට ඉසුරුමුණියේ ගල්කැටයමක් වෙලා ඉන්නෙත් මේ යුවලමයි කියලත් මතයක් තියෙනවා.

 

7. දීඝගාමිණී උන්මාද චිත්‍රා

Image Source – divaina.com

විජය රජුගෙන් පස්සෙ ලංකාවේ රජකම ලබපු පඬුවස්දෙව් රජුගේත් භද්දකච්චායනා කුමරියගේත් එකම දියණිය තමයි චිත්‍රා කියන්නේ. දුටුවන් උමතු කරවන රූප සම්පත්තියකින් හෙබි නිසාම ඇයව උන්මාද චිත්‍රා විදිහටයි හැඳින්වුණේ. කුමරිය කුඩා කාලයේදිම ඇයගේ කුසින් ඉපදෙන පුත්කුමරුවෙක් මාමාවරුන් මරා රජවෙන බවට පළවුණ අනාවැකියක් නිසා ඇයව නොමරා නමුත් පිරිමියෙකුගේ ඇස නොගැටෙන්න එක්ටැම් ගෙයක සිරකරල, යක්ෂ ගෝත්‍රිකයින් දෙදෙනෙක් ආරක්ෂාවට රඳවන්න දෙමව්පියන් තීරණය කරනවා. නමුත් මේ අභිප්‍රාය ඉටුකරගන්නනම් ලැබෙන්නෙ නෑ ඇගේ ඇවැස්ස මස්සිනා ඇයව දැක්කට පස්සේ. ආරක්ෂාවට හිටපු චිත්තරාජ සහ කාලවේල කියන යක්ෂ ගෝත්‍රිකයින්ගේත් උදව් ඇතිව ඔවුන් දෙන්නගේ ප්‍රේම කතාව ගලාගෙන ගිය බවයි සඳහන් වෙන්නේ.

 

8. තෝමස් මේට්ලන්ඩ් සහ ලොවීනා

Image Source – travelsonataincmajor.files.wordpress.com

ඉංග්‍රීසි ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ්ගෙත් ලන්දේසි පුද්ගලයෙකුට දාව රොඩී ගැහැණියකට ඉපදිලා රොඩී ගුබ්බෑයමක හැදුනු වැඩුණු ලොවීනාගෙත් ආදර කතාව තමයි මේ. මේට්ලන්ඩ් බංගලාවේ පැවැත්වුණ සාදයකට නැටුමක් ඉදිරිපත් කරන්න ලොවීනා ඇතුළු රොඩී නර්තන කණ්ඩායම පැමිණීමත් එක්ක තමයි මේ ආදර කතාව ආරම්භ වෙන්නෙ. නමුත් ඉතිහාසයේ හුඟක් ආදර කතා වලට වගේම මේ සුන්දර ආදර අන්දරයටත් බාධක බොහොමයක් එනව. මේ පෙම්පලහිලව්ව ගැන එංගලන්තයේ තුන්වැනි ජෝර්ජ් රජ්ජුරුවන්ට ලැබුණ පෙත්සම් වල ප්‍රතිඵලයක් විදිහට තෝමස් මේට්ලන්ඩ්  ලංකාවේ ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කෙරෙනවා. ඔහු නැවත සියරටට ගිය ශෝකය නිසා ලොවීනා මුහුදට පැනල සියදිවි නසාගන්නවා. නමුත් මේ ප්‍රේම කතාව ජීවමාන කරමින්, මේට්ලන්ඩ් ආණ්ඩුකාරතුමාගෙ ඉල්ලීම මත ඒ මේට්ලන්ඩ් බංගලාව මවුන්ට් ලැවීනියා විදිහට නම් කෙරෙනවා.

ඉතින් ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර මේ වගේ සුන්දර ප්‍රේම කතන්දරනම් බොහොමයි. ප්‍රේමය කියන හැඟීම ජීවිතේ මොනම හරි කාලසීමාවකදී අඩු වැඩි වශයෙන් අපි කාටත් දැනිල ඇති. ඒ ප්‍රේමය විඳිනකොට හරිම සුන්දර වුණාට කවදාමහරි ප්‍රේමය හැරයන්න වෙන දවසක දැනෙන විරහවනම් කිසිසේත්ම සුන්දර නැහැ. එහෙම ප්‍රේමය හැරයන්න සිදුවුණ පෙම්වතුන්ට මෙන්න මෙහෙමත් හිතෙනව ඇති…

“සැබෑ පෙම්වතුන් කිසිදාක එක්නොවේ… එක්වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ… වෙන්වී ගියවුන් සදාකල් පෙම්වතුන් ලෙසම ජීවත් වේ…”

zvr
Your Reaction

Comments