Game of Thrones අවසානය ආරම්භ වෙන්නට කලින් අපි සූදානම් වෙමු!

ලෝකයේ ලොකුම ටීවී ෂෝ එක, ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones) වල අන්තිම සීසන් එකට ඔන්න මෙන්න අපි මේ ඉන්නෙ. අවුරුදු 9කට ආසන්න කාලයක් තිස්සෙ මේ ෆැන්ටසි ලෝකය අපේ කරගෙන ජීවත් වෙච්ච අපිට ඉතාම ඉක්මනින් (හරියටම කියනවනම් මැයි 19 වෙද්දි) මේකෙන් සමුගන්න සිද්ධ වෙනව කියල හිතද්දිත් හිතට නිකං මොකද්ද මොකද්ද වගෙයි. ඒත් හැම හොඳ දෙයකටම අවසානයකුත් තියන නිසා (Valar Morghulis) හිත හදාගෙන ගේම් ඔෆ් ත්‍රෝන්ස් එන්ඩ්ගේම් එකට සූදානම් වෙන්නයි අපිත් මේ හදන්නෙ. අපි ප්‍රාර්ථනා කරමු මේ අවසාන එපිසෝඩ් කීපයෙදි මෙතෙක් පවත්වගෙන ආපු කතාව තවත් ඉහළ තලයකට එසවිලා මේකෙ සමුගැනීම සිද්ධ වෙන්නය කියලා.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් අන්තිම සීසන් එක කොටස් 6කින් තමයි අහවර වෙන්න නියමිත. මේ කොටස් හයෙන් පළමු කොටස් දෙක පැයක ධාවන කාලයකිනුත්, අන්තිම කොටස් හතර විනාඩි 80 ධාවන කාලයකිනුත් යුක්ත බවයි දැනගන්න ලැබෙන්නෙ. ජීවත්වන්නවුන් සහ මළවුන් අතරෙ සිද්ධ වෙන මේ අවසාන සටනෙදි මොනවා සිද්ධ වේවිද? ඒ ගැන තමයි අපි මේ කියන්න හදන්නෙ.

 

1. මෙතෙක් නොදුටු විදිහේ අත්දැකීම් 3ක්

Image Source – watchersonthewall.com

ගේම් ඔෆ් ත්‍රෝන්ස් අන්තිම සීසන් එක නිර්මාණය කරන්න දායක වෙච්ච උදවිය අතර ඒ ගැන තියෙන්නෙ ඉතාම සුබවාදී අදහසක් කියල තමයි ඒ අයගෙ ප්‍රකාශ දිහා බැලුවම අපිට පේන්න තියෙන්නෙ. මේ අතරින් ගේම් ඔෆ් ත්‍රෝන්ස්වල අධ්‍යක්ෂකවරයෙක් වෙන ඩේවිඩ් නටර් එක සුවිශේෂී ප්‍රකාශයක් කරල තියනව. එයා කියන විදිහට මේ අවසාන සීසන් එකට ගේම් ඔෆ් ත්‍රෝන්ස්වල මෙතෙක් රූගත කරපු ඉතාම සංවේදීම ජවනිකාවත්, හාස්‍යජනකම ජවනිකාවත් ඇතුළත් වෙලා තියනවලු. ඒ විතරක් නෙමෙයි, එක සීන් එකක් තියනවලු ප්‍රධාන චරිත සෑහෙන ගණනක් ඒ සීන් එක ඇතුළෙ එකට පෙන්නන. ඒක නිකන් සුපර් හීරෝ චිත්තරපටියක සීන් එකක වගේ දැනේවි කියලයි ඩේවිඩ් නටර් කියන්නෙ.

 

2. මහා වින්ටර්ෆෙල් සටන

Image Source – giphy.com

වෝල් එක බිඳගෙන ආපු වයිට් වෝකර්ස්ලා ඇතුළු මළගිය හමුදාව, ජීවත් වෙන මිනිස්සුත් එක්ක කොයි වෙලේ හරි හැප්පෙන්න නියමිතයි කියලා පහුගිය සීසන් එක අවසානෙදි ඔයාලට හිතෙන්න ඇතිනෙ. ඒ හැප්පිල්ල ලොකුවටම සිද්ධ වෙන්න යන්නෙ වින්ටර්ෆෙල්වලදි තමයි. මේ සටන ලෝක ටෙලිවිෂන් ඉතිහාසයේ දිගහැරෙන දීර්ඝතම යුද්ධ සීන් එක කියල තමයි දැනගන්න ලැබෙන්නෙ. අපි කලින් කිවුවනෙ ප්‍රධාන චරිත ගොඩක් එකට දකින්න ලැබෙන සීන් එකක් තියනවය කියල. ඒ සීන් එකත් බොහෝවිට මේ වින්ටර්ෆෙල් සටනෙදි දකින්න ලැබෙන එකක් වෙන්න පුළුවන් කියලයි අපට හිතෙන්නෙ. “හාර්ඩ්හෝම්”, “බැට්ල් ඔෆ් ද බාස්ටර්ඩ්ස්” වගේ ඇක්ෂන් පිරුණු එපිසෝඩ් අධ්‍යක්ෂණය කරපු ‘මිගෙල් සපොච්නික්’ තමයි මේ එපිසෝඩ් එකත් අධ්‍යක්ෂණය කරන්නෙ. රාත්‍රීන් 55ක් පුරා අති දුෂ්කර විදිහට රූගත කරපු වින්ටර්ෆෙල් සටනෙදි මනුෂ්‍ය වීරයන්ට ජයග්‍රහණයක් ලැබෙන්න ඉඩ තියන පාටක්නම් ට්‍රේලර්ස් වලදි අපිට පේන්න තිබුණෙ නැහැ කියන එකත් කියන්න ඕනෙ.

 

3. සර්සේ ගේ ඉරණම?

Image Source – timedotcom.files.wordpress.com

සර්සේ කියන්නේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඇතුළේ ඉන්න ප්‍රබලම චරිතයක් කියන එක කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවනෙ. ජීවිතේ කොයි තරම් හැලහැප්පිලි ආවත් සර්සේ තමන්ගේ බලය රැකගන්න ඉතාම දරුණු තීරණ ගන්න වුණත් දෙපාරක් හිතුවෙ නැහැ. ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසාන අදියරට එද්දිත් සර්සේ ඉන්නේ එහෙම තීරණයකයි. එහෙම වුණත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් සැරට බලන අයටනම් මතක ඇති ඇයට තරුණ කාලෙදි අහන්න ලැබෙන අනාවැකිය ගැන. මේකට අනුව සර්සේ මැරෙන්නෙ තමන්ගෙ බාල/කුඩා ස‍හෝදරය අතින් කියලයි කියවෙන්නෙ. මේ බාල/කුඩා සහෝදරය කියන්නෙ ටිරියන් ලැනිස්ටර් කියල සමහරු කියද්දි, තවත් සමහරු කියන්නේ ඒ ජේමිය කියල. සර්සේගේ නිවුන් සහෝදරය වුණාට ජේමි සර්සේට වඩා තත්පර කීපයකින් බාලයි, ඒ වගේම රජුන් නැසීම නිසා පටබැඳුණු කින්ග්ස්ලේයර් කුප්‍රකට නාමයත් ජේමි සතුයි. ඒ නිසා සර්සේ ජේමිගේ අතින් මැරුම් කන්න වැඩි ඉඩක් තියනවා කියලයි අපිටත් හිතෙන්නෙ. ඒ වගේම ගේම් ඔෆ් ත්‍රෝන්ස් ට්‍රේලරයෙදි අපට දකින්න ලැබෙනවා (කඳුළු පිරි දෑසින්??) සර්සේ වයින් පානය කරන ජවනිකාවක්. මේ ජවනිකාව දකිද්දි අපට සැකයක් මතුවෙනවා ඇගේ කුසේ හිටපු හතරවැනි දරුවා මිය ගිහින්වත්ද කියලා. (මතක ඇතිනෙ සර්සේ ටිරියන් එක්ක වයින් බොන්න ප්‍රතික්ෂේප කරපු අවස්ථාව?). ඒ දේ සිද්ධ වෙන්න ගොඩක්ම ඉඩ තියෙන්නේ සර්සේ ගැන පළවෙච්ච අනාවැකියෙදි ඇයට ලැබෙන හතරවෙනි දරුවෙක් ගැන නොකියවෙන නිසයි…

 

4. ගෝල්ඩන් කොම්පැණියේ ආගමනය

Image Source – vignette.wikia.nocookie.net

ගේම් ඔෆ් ත්‍රෝන්ස් ට්‍රේලරයෙදි අපිට දකින්න ලැබෙනවා යූරොන් ග්‍රේජෝයිගේ නැවක් පිරෙන්න ඉන්න සුවිශේෂී හමුදාවක්. ඒ අය රන්වන් පැහැති වස්ත්‍රාභරණ වලින් සහ ආයුධ වලින් සන්නාහ සන්නද්ධ වෙලා ඉන්න ප්‍රබල හමුදාවක් කියලා තේරුම් ගන්න ඒ පිරිස පෙන්නන ක්ෂණයක මොහොත ඇති. අපිට මුහුණ නොපෙන්වුවත් ඒ අයව මෙහෙයවන සේනා නායකයාවත් අපිට දකින්න ලැබෙනවා. ඒ පුද්ගලයගෙ නම “හැරී ස්ට්‍රික්ලන්ඩ්” කියල තමයි අපිට දැනගන්න ලැබෙන්නෙ. ගෝල්ඩන් කොම්පැණි කියන්නේ දහස් ගණනක ඇත්, අස්, පාබල ආදී හමුදාවන්ගෙන් සමන්විත වෙච්ච කුලියට සේවා සපයන දරුණුම හමුදාවක්. මේ අය එන්නේ වෙස්ටරෝස්වල ඉන්න සර්සේගේ උදවුවට කියල ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලෝලීන් දන්නවනෙ. හැබැයි ඒකත් ඉතින් ස්ථිරවම අපිට කියන්න අමාරුයි. යූරොන් ග්‍රේජෝයි පිස්සුවක් නටන්නට වුණත් ඉඩ තියනවනෙ. කොහොම වුණත් අපිට පළවෙනි වතාවට බලාගන්න පුළුවන් මේ ගෝල්ඩන් කොම්පැණියෙ අයගෙ වැඩ කිඩත් මේ අන්තිම සීසන් එකේදි.

 

5. Valar Morghulis

Image Source – giphy.com

“වැලාර් මෝර්ගුලිස්”, එහෙමත් නැත්නම් හැම මිනිහම මැරෙන්න නියමිතයි කියන එක ගේම් ඔෆ් ත්‍රෝන්ස් කථා මාලාවෙ ප්‍රසිද්ධම පාඨයක්. මේ කියමන හින්දා සමහරු මුළ ඉඳන්ම විශ්වාස කළා ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාව අන්තිමේදි හැමෝම මැරෙනවාය කියලා. හැමෝම කොහොම වුණත් සැළකිය යුතු පිරිසක් – අපි අතිශයින් ආදරය කරන චරිත පවා – මේ අන්තිම අදියරේදි මළවුන් අතරට යනවා අපිට දකින්න ලැබේවි. මේ අතරින් මෙලිසන්ද්‍රෙ සහ ලෝඩ් වේරීස්ගේ මරණ අනිවාර්යයෙන්ම සිද්ධ වේවි කියල අනුමාන කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති පහුගිය සීසන් එකේදි මෙලිසන්ද්‍රෙ ලෝඩ් වේරීස්ට කියනවා “අපි දෙන්නම වෙස්ටරෝස් වලදි මරණයට පත්වෙන්න නියමිතයි” වගේ කතාවක්. ඒ කතාව හැබෑවක් වෙන්න පුළුවන් මේ සීසන් එකේදි. ඒ වගේම ලෝ පුරා GOT රසිකයො පුළ පුළා බලා ඉන්න “ක්ලීගේන්බෝල්” එක අනිවා මේ සීසන් එකේ සිද්ධ වේවි. ඒකෙදි ක්ලිගේන් සහෝදරයො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හෝ දෙන්නගෙම ඉරණම තීන්දු වෙන්න ඉඩ තියනවා. මීට අමතරව අතිශය ප්‍රබල චරිතයක් වෙන ඩෙනේරිස්ටත් මරු වැළඳගන්න සිද්ධ වෙන්න ඉඩ තියනවා. සමහරු කියනවා ඩැනීගේ මරණය ජොන් ස්නෝ අතින් සිද්ධ වෙන්නටත් පුළුවන්ය කියලා. අතීත ලෝකයේ ගැලවුම්කාරයෙක් වෙච්ච “අසෝර් අහායි” ගේ පුනරාගමනය ජොන් ස්නෝ හරහා සිද්ධ වෙද්දි අසෝර්ගේ බලවත් කඩුවට (Lightbringer) ජීවය දෙන්න ජොන් ස්නෝට ඩෙනේරිස්ව මරණයට කැප කරන්න සිද්ධ වේවිය කියන තියරියට අනුව තමයි එහෙම සිද්ධ වේවිය කියල සැක හිතෙන්නෙ. හැබැයි මීට වෙනස් විදිහකට ඩෙනේරිස්ගේ මරණය සිද්ධ වේවි කියලත් මතයක් තියනවා. ඒ මතය තමයි ටිරියන් ලැනිස්ටර් තමන්ගේ සොයුරිය වෙන සර්සේ එක්ක එකතු වෙලා ඩෙනේරිස්ට ද්‍රෝහි වේවිය කියන එක. ලැනිස්ටර් පරම්පරාවේ අන්තිම පුරුක සරේසේගේ කුසේ වැඩෙනව දැකීමෙන් ඇතිවෙච්ච හැඟීමත්, ජොන් ස්නෝ සහ ඩෙනේරිස් අතර ඇතිවුණු ප්‍රේමාලිංගනය දැකීමෙන් පස්සේ ටිරියන් පෙන්වපු හැඟීමුත් නිසා ඒ දේ නොවෙන්නත් බැරි නැහැ කියලයි අපිට හිතෙන්නෙ.

 

6. නයිට් කින්ග්ගේ ගමන කොයිබටද?

Image Source – hips.hearstapps.com

නයිට් කින්ග්ව මුල්වරට දැකල සීසන් ගණනාවක්ම ගතවෙලත් අදටත් නයිට් කින්ග්ගේ උවමනාව සහ බල පරාක්‍රමය ගැන අපි වැඩි දෙනෙක්ට වැටහීමක් නැහැ. අච්චර දුර කතරක් ගෙවාගෙන, මිනිස්සු මරාගෙන ජීවත් වෙන මළවුන් බවට පරිවර්තනය කරගෙන නයිට්කින්ග් එන්නෙ වෙස්ටරෝස් වල සිංහාසනාරූඩ වෙලා සැපේ ඉන්න කියල හිතන්නත් අපිට අමාරුයි. සමහරු කියන විදිහට නයිට් කින්ග් කියන්නෙත් බ්‍රෑන් ස්ටාර්ක්මයි. අපිට නම් ඒ පැත්තට බර වෙලා හිතන්න ටිකක් අමාරුයි. තවත් සමහරු කියනවා නයිට් කින්ග්ව මරණ ජොන් ස්නෝ අවසානෙදි නයිට් කින්ග් බවට පරිවර්තනය වේවිය කියලා. ඒ කතාවත් අපිට ඒ තරම් විශ්වාස කරන්න අමාරුයි. නයිට් කින්ග් ඇත්තටම දුෂ්ටයෙක්ද? නැත්නම් බල අරගලවලින්, කුළල් කා ගැනීම් වලින් පිරුණු දුෂ්ට මනුෂ්‍ය ලෝකය පිරිසිදු කරන්න එන යහපත් පුද්ගලයෙක්ද (සමහරු කියනවා දෙවියෙක් කියලත්) කියන එකත් අපිට හිතාගන්න බැහැ. අන්න ඒ නිසා බොහෝවිට නයිට් කින්ග්ගේ නියම පරමාර්ථය හෙළිදරවු වෙන මේ සීසන් එක සුවිශේෂී කම්පනයක් ප්‍රේක්ෂකයාට ගෙනේවි කියන එක නොඅනුමානයි.

 

7. අවසානය කොහොම විසඳේවිද?

Image Source – syfy.com

ගේම් ඔෆ් ත්‍රෝන්ස්වල විකල්ප අවසානයන් කීපයක්ම රූගත කරල තියන බව තමයි දැනගන්න ලැබෙන්නෙ. මේකට ප්‍රධානම හේතුව වෙන්න පුළුවන් අර කලින් වතාවක වගේ එපිසෝඩ් ටික ලීක් වෙලා කලබගෑනියක් වේවිය කියල තියන බය. ගේම් ඔෆ් ත්‍රෝන්ස් අන්තිම කොටස් කීපය ඉතාම සීමිත පිරිසකට විතරයි රූගත කරනවා වුණත් දැකගන්න ලැබිල තියෙන්නේ. සමහර ජවනිකා ඉතාම රහසිගතව රූගත කරපුවා. කොහොම වෙතත් මේ හින්දමද මන්දා ගේම් ඔෆ් ත්‍රෝන්ස් කණ්ඩායම අතරේ මේකෙ අවසානෙ ගැන තියෙන්නෙත් විවිධාකාර වූ මතයන්. සන්සා සහ ජේමි ලැනිස්ටර්ට රඟපාන ශිල්පීන් මේකෙ අවසානය හිතාගන්න බැරි ෂොකින්ග් අවසානයක් කියල කියද්දි, ජොන් ස්නෝ වෙන කිට් හැරිංග්ටන් කියන්නෙ මේ අවසානයට ප්‍රේක්ෂකයන් කැමති වෙන එකක් නැතිය කියලයි. ජෝර්ජ් ආර් මාටින්ට අනුව මේක සතුට දුක සම්මිශ්‍ර වෙච්ච අවසානයක්. කොහොම වුණත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසානයේදි පැහැදිළි ජයග්‍රාහකයෙක් නැති වේවි කියල තමයි වැඩි දෙනෙක් විශ්වාස කරන්නෙ. ඒ කිවුවේ කෙනෙක් මේ යුද්ධය ජයගත්තත්, ඒ වෙද්දි ඒ කෙනාට බොහෝ දේ අහිමි වෙලා තියෙන්න ඉඩ තියෙන බවක් තමයි. අපි හිතිය යුතු අනිත් දේ තමයි ප්‍රධාන තර්ජනය නයිට් කින්ග් ඇතුළු මළවුන්ගේ පිරිවර විතරක් නෙමෙයි කියන එක. මළවුන්ට එරෙහිව පෙළගැහිලා ඉන්න පිරිස අතරත් එකිනෙකා එක්ක ඇතිවෙන ගැටුම් බොහොමයක් අපිට දකින්න ලැබේවි මේ සීසන් එකේදි.

එහෙනම් මේ අප්‍රේල් 15 වැනිදා ඉඳන් පටන්ගෙන සති 6ක් තිස්සේ දිගහැරෙන ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න අපි හැමෝම පිළිවෙතින් පෙළගැහෙමු. අපි මේ කියපු දේවල්වලට අමතරව ගේම් ඔෆ් ත්‍රෝන්ස් අන්තිම කතා සමයේදි සිද්ධ වෙන්නෙ පුළුවන් වෙනත් දේවල් ගැන ඔයාලට අදහසක් තියනවනම් අපේ පේජ් එකේ හෝ ෆේස්බුක් පිටුවේ ඒ අදහස් පළකරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *