කෙල්ලෝ ඔයා ගැන කිසිම ආකර්ෂණයක් නැද්ද? එහෙමනම් ඒකට හේතු මේවා වෙන්න පුළුවන්!

සාමාන්‍යයෙන් විසම ලිංගික ආසාවන් තියෙන ගෑණු ළමයි, පිරිමි ළමයි අතරේ ස්වභාවික ආකර්ෂණයක් තියෙනවනේ. හැබැයි ඉතින් එහෙම ගෑණු පිරිමි අතරේ සොබාවික ආකර්ෂණයක් තිබුණාය කියලා දකින දකින ඕනම කොල්ලෙක්ට කෙල්ලෙක් ආශක්ත වෙන්නෙ නෑ. ඒකත් ඉතින් සොබාවික ගෑණු ගතියනේ. ඒ කියන්නේ, පිරිමියෙක්ව ආකර්ෂණීය විදියට ගැහැණියකට පේන්න, පිරිමි කමට එහා ගියපු දේවල් ටිකක් තියෙන්න ඕන. ඒ මොනවද, සල්ලිද? ආන්න එතන තමයි ගොඩක් කොල්ලන්ට වරදින තැන. කෙල්ලෝ ආකර්ෂණය වෙන්නේ සමහර වෙලාවට කොල්ලෝ වැදගත් කියලා නොහිතන දේවල් වලට. අන්න ඒ දේවල් වලින් කීපයක් ගැන තමයි මේ කියන්න සූදානම් වෙන්නේ.

 

1. හැමදේම ජැන්ඩි පහයිද?

Image Source – gq.com

සාමාන්‍යයෙන් ගෑණු ළමයින්ගේ ආකර්ෂණය දිනා ගන්න ඕනය කියලා හිතන කොල්ලෙක් අනිවාර්‍යයෙන්ම කිට මරලා, සෙන්ට් නාලා, ජැන්ඩි පහටනේ යන්නේ. හැබැයි සමහර වෙලාවල් තියෙනවා, ජැන්ඩි පහට කිට මරන කොල්ලෙක්ට තමන්ගේ පෙනුමට වැදගත් වෙන පොඩි පොඩි දේවල් අමතක වෙනවා. උදාහරණ විදියට කිවුවොත් සමහර කොල්ලෝ සෙන්ට් නාලා එළියට බැස්සට, පුද්ගලික ශරීර ස්වස්ථතාවය ගැන මෙලෝ වගක් නෑ. ඔව්, ඒ කිව්වේ නාන්නෙ නෑ කියලා තමයි! හැබැයි කොහොම ඇඳලා පැළඳලා එලියට බැස්සත්, තමන්ගේ පුද්ගලික පිරිසිදුකම නැති නම් ඒක දැනෙනවා. ඒ නිසා නියපොතු නිසි විදියට කපලා ඉන්න එකේ ඉඳන්, තමන්ගේ පුද්ගලික පිරිසිදු කමට අදාළ හැම දෙයක් ගැනම හිතන්න ඕන.

මේකටම එකතු වෙන්න ඕන තව කාරණයක් තියෙනවා. ජැන්ඩි පහට අඳිනවා කියන්නේ තමන්ගේ ඇඳුමේ හැම අංගයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ ඇඳුම කොයි තරම් ස්ටයිල් එකට තිබ්බත් වැඩක් නෑ, සපත්තු, බෙල්ට්, වොලට් එක වගේ දේවල් ගැන සැලකිල්ලක් නැති නම්. මෙතනදී අපි කියන්නේ අලුත්ම සහ ඉස්තරම්ම පැළඳුම් සහ උපකරණ පාවිච්චි කරන්න කියන එක නෙවෙයි. හැබැයි හං වෙලා, කැඩිලා ගිය බෙල්ට් එකක් අලුත්ම ඩෙනිමකට දැම්මා කියල කිසිම ආකර්ෂණීය බවක් ඇති වෙන්නෙ නෑ!

 

2. කෙල්ලෝ පස්සේ දුවන ඇස්!

Image Source – time.com

කොල්ලෝ ඉතින් ආස කෙල්ලොන්ට නම්, කෙල්ලෙක් දැක්කහම එයා දිහා බලන එක සොබාවිකයිනේ. හැබැයි මල්ලී කෙල්ලෙක් දිහා බලන විදියක් තියෙනවා. කෙල්ලෙක් දිහා කටත් ඇරගෙන, කෙලත් පෙරෙන ගාණට බලාගෙන ඉන්න කොල්ලෙක් කොයි තරම් හැන්ඩියෙක් වුනත් වැඩක් නෑ. කෙල්ලෙක් එහෙම කොල්ලෙක්ට ආකර්ෂණය වෙන්නෙ නෑ. එතකොට කෙල්ලෙක් දැක්ක ගමන් කෙලින්ම පපුව දිහා බලාගෙන ඉන්න, යන්න ඇරලා පස්ස දිහා, කකුල් දිහා බලාගෙන කෙළ පෙරන හාදයෙක්ට වුනත් කෙල්ලෙක් ආකර්ෂණය වෙන්නෙ නෑ. ඒ වගේම වටේ කෙල්ලෝ දහයක් ඉන්නවා නම්, ඒ දහයම දිහා බල බලා ඉන්න කොල්ලෙක්ටත් කෙල්ලෙක් ආස වෙන්නෙ නෑ. අන්න ඒ නිසා ඇස් සංවර කරගන්න කලාව ඉගෙන ගන්න වෙනවා, කෙල්ලෙක්ගේ ආකර්ෂණය දිනාගන්න නම්!

 

3. එක්කෝ බුම්මට්ටා, එක්කො ජෝකර්!

Image Source – reddit.com

මෙන්න මේක යම් තාක් දුරකට උපතින් එන සහ යම් තාක් දුරකට පුහුණුවෙන් හදා ගන්න පුළුවන් දෙයක්. දැන් ඔය සමහර කොල්ලෝ ඉන්නවා හෙනම සීරියස්. ඒක අවුලක් නෑ. අපි කලිනුත් කියලා තියෙන විදියට සීරියස් කොල්ලන්ට කෙල්ලෝ කැමතියි. හැබැයි ඉතින් හිනාවෙන්න දන්නෙ නැති, බුම්මට්ටෙක් වගේ ඉන්න සීරියස් ඩයල් එකකට නම් කෙල්ලෙක් කැමති වෙන එක හොරයි. ඒ වගේම තමයි අනික් පැත්තට ගත්තත්, කොයි මොහොතෙත් මොකක් හරි මැන්ටල් කතාවක් කියාගෙන, ගහකින් කොළයක් වැටුණත් ඒකටත් හිනා වෙවී ඉන්න ජෝකර් ටයිප් ඩයල් එකකටත් කෙල්ලෝ ඒ තරම් කැමති නෑ.

දැන් තේරෙනවා නේද කොහොමද කෙල්ලෙක්ට ආකර්ෂණීය චරිතයක් වෙන්නෙ කියලා. හොඳ පෞරුෂත්වයක් පේන විදියේ සීරියස් කමක් තියෙන්නත් ඕන. හැබැයි හිනාවෙන්න අවශ්‍ය මොහොතක කෙල්ලෙක්ගේ හදවත දියවෙලා වැක්කෙරෙන විදියට හිනාවෙන්නත් පුළුවන් වෙන්න ඕන. ඕන වෙලාවකට ජෝක් එකක් කරන්නත් පුළුවන් වෙන්න ඕන. ඒ වගේම ඒ හිනාවත්, අර කට දෙපැත්තේ මාංශ පේෂි හොඳින් ඇදිලා එන, මූණ පුරා පැතිරෙන ජෙනුයින් හිනාවක් නම් කෙල්ලෝ පට ගාලා ආකර්ෂණය වෙනවා.

 

4. සෙන්ස් ඔෆ් හියුමර් නෑ!

Image Source – videoblocks.com

දැන් උඩින් කිව්වනේ අවශ්‍ය මොහොතක ජෝක් එකක් කරන්න වුනත් පට්ට සිරා සීරියස් අයියා කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන කියලා. හැබැයි මේ හොඳ හාස්‍ය රසයක් තියෙනවාය කියන එක එතනින් සරලව නතර කරන්න බෑ. කෙල්ලෝ ආසයි හිනාවෙන්න. කෙල්ලෝ ආසයි තමන්ව හිනස්සන්න පුළුවන් කොල්ලෙක් එක්ක කාලේ ගත කරන්න. හැබැයි ඉතින් ආයෙමත් අර උඩින් කියපු කතන්දරේ මෙතනටත් එනවා. කෙල්ලෝ ආස ජෝකර් කෙනෙක්ට නෙවෙයි. හැබැයි හොඳ හාස්‍ය රසයක් තියෙන මනුස්සයෙක්ට.

දැන් මොකද්ද මේ දෙකේ වෙනස? ජෝකර් කෙනෙක් වැඩිපුර තමන් හිනාවෙනවා. ජෝකර් කෙනෙක් තව කෙනෙක්ව හිනස්සන්නේ තමන්ගේ කටකාර කමෙන්, ඇක්ෂන් වලින්, කතා කරන ලීලාවෙන් වගේ දේවලින්. ඒ කියන්නේ අර සිංහල සිනමාවේ ඉන්න වැටිලා, පෙරලිලා, ඩබල් මීනින් කතා කියලා හිනාවෙන ජෝකර්ස්ලා වගේ.

හැබැයි සෙන්ස් ඔෆ් හියුමර් තියෙන ඩයල් එකක් කටකාර නෑ. ඒත් ක්ෂණිකව හිතන්න පුළුවන් කම තියෙනවා. ඕනම දේක හිනායන පැත්තක් පටස් ගාලා මේ අයට අහුවෙනවා. අන්න එතකොට ඒක ජෝක් එකක් විදියට කියන්න මේ අයට පුළුවන්. ඊට වඩා කෙල්ලෝ ආකර්ෂණය වෙන පොයින්ට් එකක් තියෙනවද?

 

5. හොඳම කියන ෂෝක් අයියා!

Image Source – wikihow.com

හරි, අපි කියමුකෝ දැන් ඔන්න ගෑණු ළමයෙක්ව දැන අඳුන ගත්තා. දෙන්නා කතාබහ කරන මට්ටමක ඉන්නවා. එතකොට කෙල්ලෝ ආසයි තමන් ගැන වර්ණනා අහන්න කියලා ගොඩක් දෙනෙක් කියනවනේ. ඇත්තටමනම් අපි හිතන්නේ මිනිස්සු ආසයි තමන්ව වර්ණනා කරනවට. ඒක ඇත්ත. දැන් ඕක ඔලුවේ තියාගෙන ඉන්න අපේ ෂෝක් අයියා කරන්නේම කෙල්ලව වර්ණනා කරන එක. කෙල්ලගේ නාහේ ලස්සනයි, කෙල්ල ඇඳලා ඉන්න ගවුම කෙල්ල නිසා තවත් ලස්සනයි, කෙල්ලගේ කරුණාවන්ත ගතිගුණ ලස්සනයි, කෙල්ල පාරේ හිටපු මනුස්සයෙක්ට බැන්න විදිය ලස්සනයි. ඔන්න ඔය විදියේ වර්ණනා. ඔය වර්ණනා බලාගන්න තව ලේසිම විදියක් තමයි ෆේස්බුක් එකේ සෑහෙන ඇක්ටිව් ඉන්න කෙල්ලෙක්ගේ වෝල් එකක් පැත්තේ යන එක. ඒ කෙල්ල මොන ගොන් කතාවක් කිව්වත්, මොන ඥාණවන්ත කතාවක් කිව්වත් මේ ෂෝක් අයියලා ටික ගිහින් දෙනවා වර්ණනාව!

හැබැයි කෙල්ලෙක් ඊට වඩා ආකර්ෂණය වෙනවා, අවංකව වර්ණනා කළ යුතු දේ වර්ණනා කරන, එකඟ නොවෙන තැනක් ආපු වෙලාවට කට පියාගෙන ඉන්නෙ නැතුව ඒකට එකඟ වෙන්නෙ නැතිය කියලා කියන ජාතියේ කෙලින් කොල්ලෙක්ට. ඇත්තටම ඔය ෆේස්බුක් එකේ එහෙම අනන්තවත් ඉන්න ෂෝක් සුදු අයියලා ලකුණු කපාගන්නෙත් ඔතනින්ම තමයි!

 

6. බලසම්පන්න මනුස්සයෙක් නෙවෙයිද?

Image Source – youtube.com

දැකලා තියෙනවද ගෑණු ළමයි ආකර්ෂණය වෙනවා සල්ලිකාරයන්ට, දේශපාලකයින්ට, ලොකු බිස්නස්කාරයින්ට, ලොකු රස්සා කරන මිනිස්සුන්ට, සමාජේ ඉහළ මට්ටමක ඉන්න මිනිස්සුන්ට එහෙම? ඒක දැකලා ඉතින් කොල්ලෝ ඔන්න හිතාගන්නවා ‘කෙල්ලො නැවෙන්නෙ සල්ලි වලට’ කියලා.

ඒක ඇත්ත නෙවෙයි. හැබැයි කෙල්ලෙක් ආකර්ෂණය වෙන බොහොම ප්‍රබල පොයින්ට් එකක් තමයි බලසම්පන්න කම කියන එක. ඒ කියන්නේ තමන්ගේ පෞරුෂත්වය, තමන්ගේ සිවිල් බලය, දියුණුවීමේ අභිලාශය, විශේෂ දක්ෂතා, විශේෂ කුසලතා, හොඳ මොළය වගේ දහසකුත් එකක් දේවල් වලින් නිර්මාණය වෙන බලසම්පන්න මනුස්සයෙක්ට කෙල්ලෝ කාන්දම් වගේ ඇදෙනවා. අර උඩ කියපු විදියේ මිනිස්සු හොඳට හෝ නරකට ඒ තැන්වලට ගිහින් තියෙන්නේ ලේසියෙන් නෙවෙයිනේ!

අන්න ඒ නිසා කොල්ලෙක් ඉගෙන ගන්න ඕන පුරසාරම් කියන කොල්ලෙක් නොවී, තමන්ගේ ජීවිතේ තමන්ගේ විදියට ප්‍රබලත්වයක් නිර්මාණය කරගන්න. ඒක කරන්න ඕන කෙල්ලෝ අල්ලගන්න නෙවෙයි. තමන්ට ඕන නිසා. තමන්ගේ ජීවිතේ අර්ථය ඒක නිසා. අන්න ඒ තරම් කෙල්ලන්ට ආකර්ෂණීය දෙයක් තවත් නෑ බ්‍රෝ!

 

7. වැඩ වැඩ වැඩ!

Image Source – eharmony.co.uk

මේක අපි ලේසියෙන් කතා කරන්නෙම නැති පොයින්ට් එකක්. දැන් කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් රස්සාවක් කරන්න ඕන. ඉගෙන ගන්න ඕන. තව ජීවිතේ දහසකුත් එකක් දේවල් කරන්න ඕන. හැබැයි ඔය අතරේ ජීවිතේ එන්ජෝයි කරන්නත් ඕන. එහෙම නැතිනම් අපේ මේ ජීවිතේ කිසිම පලක්, මෙලෝ රහක් නැතිවෙනවනේ.

හැබැයි සමහරු ඉන්නවා කොයි වෙලේත් බිසී. කොයි වෙලේත් වැඩ කරගත්තු ගමන්. කතා කරන්නවත්, හම්බුවෙන්නවත් වෙලාවක් නෑ. ආන්න ඒක කොල්ලෙක් කිසිම ආකර්ෂණයක් නැති, මෙලෝ රහක් නැති ඩයල් එකක් විදියට කෙල්ලෙක්ට දැනෙන්න අනිවාර්‍යයෙන්ම හේතු වෙන පොයින්ට් එකක්.

ජීවිතේ සමහර කාල එනවා ඇත්තටම කණ පැලෙන්න බිසී වෙන. ඒක අවුලක් නෑ. හැබැයි හැම මොහොතකම බිසී මනුස්සයෙක් ගැන කෙල්ලෝ හිතන්න පුළුවන් දේවල් තියෙනවා. එකක්, මේ මිනිහා ජීවිතේ විඳින්න දන්නෙ නෑ කොහොමටවත්. දෙක, එක්කෝ මේකා කෙල්ලෝ දහයක් පහළොවක් රන් කරන නිසා එක්කෙනෙක්ට අවධානය දෙන්න වෙලාවක් නෑ. අන්න ඒ නිසා තමන් කෙල්ලෙක්ට කැමැත්තක් තියෙනවා නම්, ඒ කෙල්ලට අවධානය දෙන එක මාරම ආකර්ෂණීය දෙයක්. අන්න ඒක මතක තියාගන්න.

ඉතින් මේ අපි කිව්වේ කොල්ලෙක් කිසිම ආකර්ෂණීය බවක් නැති එකෙක් කියලා කෙල්ලෙක්ට දැනෙන්න පුළුවන් දේවල් කීපයක්. තව දේවල් තියෙනවා. අන්න ඒවා කමෙන්ට් එකකින් කියාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *