ලෝක විනාසේ එන්න කලින් ලෝක විනාසෙට මූණ දෙන්න සූදානම් වෙමු!

ඉස්සර නං ලෝකේ විනාස වෙන එක ගැන කතා කළේ විද්‍යා ප්‍රබන්ධ පොත් වල, පිචර් වල එහෙම තමයි. හැබැයි දැන් දැන් ලෝකේ කරකැවෙන විදිය බලනකොට අපිටත් සැක හිතෙනවා ලෝකේ හෙටානිද්දම වුනත් විනාස වෙන්න බැරි කමක් නැහැයි කියලා. ඒ තරමට ලෝක බෝලේ ඇතුළේ කචල්. හැබැයි ඉතින් මෙව්වා වැඩිහරියකට වගකියන්න ඕනැත් අපිම තමයි.

හරි, කවුරු වගකියන්න ඕනෑ වුනත් දැන් ලෝක විනාසයක් වුනොත් එහෙම බේරෙන්නත් එපැයි. අපි අන්න ඒක ගැන තමයි හිතන්න ඕන. කොහොමත් ලෝකෙ විනාස වෙන්න පුලුවන් විධි ගණනාවක් තියෙනවා. එක්කෝ මොකක් හරි වසංගත ලෙඩකින් ලෝකෙන් හතරෙන් තුනක් විතර මැරිලා යන්න පුළුවන්. සොම්බි ලෝක සංහාරයක් ඇවිත් ලෝකේ මිනිස්සුන්ගෙන් වැඩිහරියක් සොම්බිලා වෙලා ජීවතුන් අතර ඉන්න එවුන්ව කන්න පටන් ගන්න පුළුවන්. එක්කෝ ඒලියන් සෙට් එකක් මේ ලෝකෙට බැහැලා ගහගෙන ගහගෙන යන්න පුළුවන්. එක්කෝ අර Day after tomorrow, 2012 වගේ පිචර් එකක වගේ සොබාවික ව්‍යසනයක් ඇවිත් ලෝකේ වැඩිහරියක් විනාස වෙලා යන්න පුළුවන්.

දැන් ඔය මොන ජාතියේ ලෝක විනාසයක් ආවත් අපි බේරෙන්න එපැයි. ආන්න ඒ විදියට ලෝක සංහාරයකින් බේරෙන්න උදවු වෙන ටිප්ස් ටිකක් තමයි මේ!

 

1. බලකොටුවක් වගේ ගෙයක්!

Image Source – youtube.com

සොම්බිලා, ඒලියන්ලා විතරක් නෙවෙයි ලෝක විනාසෙකට පස්සේ අපිට හතුරට හිටින්නේ. මිනිස්සු අතරත් ඉන්න පුළුවන්, පුළුවන් තරම් දේවල් බේරුණු අනික් මිනිස්සුන්ගේ දේවල් කඩාවඩා ගෙන ඉන්න හදන උදවිය. ආන්න ඒ වගේ උන්දැලගෙන් බේරෙන්න තමන්ට තැනක් තියෙන්න ඕන. නිකම්ම මැටි ගෙයක් හරියන්නෙ නෑ. හොඳට තාප්ප බැඳලා, ගේට්ටු දාලා ආරක්ෂාවට තියෙන තැනක් වෙන්න ඕන. අර ඉස්සර කාලේ දැවැන්ත ප්‍රාකාර වගේ තාප්ප වලින් වට වෙලා තියෙන වලව්වක් එහෙම වුනත් අවුලක් නෑ.

හැබැයි ඔය වගේ ආරක්ෂා සංවිධාන එක්ක හදාගත්තු තමන්ගේ බලකොටුව වගේ ගේ විතරක් ප්‍රමාණවත් නෑ. ආයෙ සතුරු ප්‍රහාරයක් එහෙම ආවොත් බේරිලා පැනලා යන්න උමං මාර්ගයක් එහෙමත් හදාගත්තොත් මරේ මරු. ඒ විතරක්ද, ඔය හමුදාවෙන් පන්නපු මැෂින් තුවක්කු ටිකක් තාප්පේ දිගට හයි කරලා, යුද්ධ ටැංකියක් එහෙමත් ඉස්සරහා පෝටිකෝව ඉස්සරහා නවත්තලා තිබ්බනං ආයෙ එක හතුරෙක් ගේම ඉල්ලගෙන එන්නෙ නෑ!

 

2. සුපිරි බුලට් වගේ සැට් එකක්!

Image Source – popculthq.com

ඔය “මං තනි ගේම් කාරයා” ලෙවල් එකෙන් ලෝක විනාසෙන් පස්සේ ජීවිතේ ගොඩදාගන්න හදන එක එච්චර ප්‍රායෝගික නෑ. සෙට් එකක් ඇවිත් දඩ බඩ ගාලා වැඩේ දීලා යන්න පුළුවන්. අන්න ඒ නිසා තමන්ට කියලා කණ්ඩායමක් ඉන්න ඕන. හැබැයි ඉතින් ඔය එහෙන් මෙහෙන් අහුලගත්තු, එකාට එකා නැති මැන්ටල් කේස් හිටියා කියලා ඇති වගතුවකුත් නෑ. අන්න ඒ නිසා සුපිරි බුලට් වගේ ගේම නම් ගේම, සොමිය නම් සොමිය ජාතියේ ඩයල් ටිකක් අපේ ටීම් එකට ඕන. ඔය අතරේ ඩොක්ටර් කෙනෙක්, මිකැනික් කෙනෙක් වගේ එහෙමත් ඉන්න එක වටිනවා. ඒ මොක නැතත් සෙට් එකේ ඔක්කොටම ආවුද පුහුණුව, දිවිබේරාගැනීමේ කලාව, සටන් හැකියාව වගේ එව්වා නං පුරුදු කරලා ගන්න වෙනවා.

දැන් මෙහෙම සෙට් එකක්ම ඉන්නකොට, කට්ටියක් ගෙදර බලාගෙන ඉන්නකොට, අනික් සෙට් එකට කෑම බීම බඩු හොයන්න යන්න පුළුවන්. ආරක්ෂාවත් වැඩියි.

 

3. වෙපන්ස්ස්ස්ස්!

Image Source – apocalypse.fandom.com

දැන් ඔය වෙපන්ස්, ඒ කිව්වේ ආවුද නැති ඇපොකැලිප්ස් එකත් හරියට ප්ලේන්ටි නැති තේ කඩේ වගේ. මෙලෝ රහක් නෑ. ආන්න ඒ නිසා දැන් අපිටයි, අපේ සෙට් එකටයි වෙපන්ස් හොයාගන්න ඕන. සොම්බිලා, ඒලියන්ස්ලා, හතුරු හියුමන්ස්ලා වගේ හැම හතුරෙක්ටම ගැලපෙනවා හොඳ තුවක්කු පිස්තෝල ටිකක් තිබ්බ නං. හැබැයි ඉතින් ඇමරිකාවෙ වගේ මෙහේ තුවක්කු විකුණන කඩ හොයන්න නැහැනේ. එක්කෝ පොලිසියට අහුනොවිච්ච පරණ ගල් කටස් එකක්, නැත්තං බැංකුවක සිකුරිටි අංකල් කෙනෙක්ගේ රිපීටර් එකක් තමයි. හැබැයි ඉතින් පොලිසියක් පැත්තේ ගියා නං ඔය ටී පනස් හයේ ඒවා දෙකතුනක්, රිවෝල්වර් දෙක තුනක් එහෙමත් හොයාගන්න තිබ්බා. අත් ඇරලා දාපු හමුදා කඳවුරක් එහෙම සෙට් වුනා නං, අර හොලිවුඩ් ඇපොකැලිප්ස් පිචර් එකකටම සෙට් වෙන හොඳ රයිෆල්, සබ් මැෂින් ගන්, හෙවි මැෂින් ගන් විතරක් නෙවෙයි, තව තව බර ආවුද වුනත් හොයාගන්න තිබ්බා!

 

4. කැපෙන එව්වත් ඕන!

Image Source – ifc.com

මෙන්න මේක නං සාපේක්ෂව ලේසියි. දැන් ඔය සොම්බි ඇපොකැලිප්ස් එකකට තුවක්කු වලින් විතරක් පිරිමහගන්න කොහෙත්ම බෑ. ඇයි ඉතින් ඔය ඇමරිකන් ටීවී සීරීස් වල වගේ තුවක්කු වලට උණ්ඩ හැම ගෙදරකම පැන්ට්‍රි කබඩ් අස්සේ හංගලා නැහැනේ. එතකොට ඒලියන්ස්, සතුරු මිනිස් කණ්ඩායම් වගේ සීන් වලදී වුනත් කැපෙන ආවුදයක් දෙකක් තියෙන එක හදිසියකදී හොඳයි. ඇත්තම කිවුවොත් ඉතින් ලංකාවේ ලෝක සංහාරයකට පස්සේ බේරෙන්න නං, සතුරන්ට ගේම දෙන්න වෙන්නෙම කැපෙන ආවුද වලින් තමයි.

දැන් ගෙදරක් ගත්තත් ඔය කැපෙන ආවුද එකක් දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ වක් පිහි, එළෝලු කපන ලොකු පිහි, මස් මාලු කපන බරපතල මන්න පිහි වගේ එව්වා. ඒ ඇරෙන්න ඉතින් ගමේ චණ්ඩියෙක්ගේ ගෙදරකින් වගේ නං කිරිච්චියක්, කඩුවක් වගේ එව්වත් හොයාගන්න පුළුවන්.

ඕන නං පරණ තාලෙට හෙල්ලක්, ඩබල් මිට කඩුවක් වගේ එව්වත් අපිටම හදාගන්න පුළුවන්.

 

5. කෑම සහ බීම!

Image Source – foodstorageguys.com

මෙන්න මේක නං ටිකාක් විතර සංකීර්ණ ප්‍රස්නයක්. දැන් අපි ඉන්න හිටින්න ගෙයක් සෙට් කරගත්තනේ. ඔතන තමයි අපේ බේස් එක. දැන් මුල් කාලේ අපිට මිනිස්සු නැති, මිනිස්සු අතෑරලා ගිය ගෙවල්, කඩවල් එහෙම කොල්ල කාලා තමයි කන්න බොන්න හොයාගන්න වෙන්නේ. හරි ටවුමේ ෆුඩ් සිටියෙන්ම පටන් ගමුකෝ. මෙතනින් ඉක්මනටම නරක් වෙන ආහාර පාන ජාති ඉස්සෙල්ලම පරිභෝජනයට. ඉන් පස්සේ කල් තියාගන්න පුළුවන් ජාති. හැබැයි ඉතින් පොඩි සලාක ක්‍රමයකට තමයි යන්න වෙන්නේ. නැත්තං අන්තිමට කෑම බීම ඉවර වෙලා බඩගින්නේ මැරෙන්න වෙන්නේ.

හැබැයි ඔය කඩවල් වලට, ගෙවල් වලට පැනලා තියෙන කෑම බීම අරගෙන එන එක සදහටම කරන්න බෑ. ආන්න ඒ නිසා මුල් කාලේ ඔය වැඩේ කළාට, ඒ එක්කම කල්පනා කරන්න ඕන අනාගතේ ගැන. ආන්න ඒකට තමයි “අපි වවමු” සංකල්පය වැදගත් වෙන්නේ. ඕන නම් ඉතින් මසක් මාංසයක් කන්න සතෙක් දෙන්නෙක් ඇති කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඔය ඔක්කොම කරන්න ඉඩ ඕනනේ. ඒ නිසා එක්කෝ ගෙයක් හොයනකොට ඔය වැඩ වලට පොඩ්ඩක් ඉඩ කඩ තියෙන හරියකින් හොයාගන්න වෙනවා. නැත්තං වගා බිමක්, පශු පාලන තැනක් එහෙම සෙට් කරලා, ඒකත් වෙනම ආරක්ෂා කරන්න වෙනවා. ලිඳක් එහෙමත් වෙනම කොටු කරලා, ආරක්ෂාව පිට තියාගන්න වෙනවා. ලේසි නෑ මල්ලි!

ටික කාලයක් ඕන නං සමපෝෂ ගුලි වලින් දුවාගන්නත් පුළුවන් වෙයි.

 

6. ඇඳුම්

Image Source – geektyrant.com

ඇඳුම් නං ඒතරම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මුලදී. තියෙන එකක්ම ඇඳගෙන ඉන්න පුළුවන්. මොකද ලෝක විනාසේ ආවට පස්සේ ඔය වෙඩින් එහෙම සෙට් වෙන්නෙත් නෑනේ. හැබැයි ඉතින් ඔය ඔෆිස් අඳින සිනිඳු සේද ඇඳුම්, ගෙදරට අඳින සරොන් චීත්ත එහෙමනං මේ ලෝක විනාසෙන් පස්සේ ලෝකෙට සෙට් වෙන එකක් නෑ. විශේෂයෙන්ම ඔය සොම්බිලා එහෙම ලෝකෙ හිටියොත් විශේෂ ආරක්ෂක විධිවිධාන සපය ගන්න වෙනවා. හෙල්මට් එහෙම දාලා, අතේ පයේ යකඩ තහඩු හරි සඟරා මිටි හරි ඔතාගෙන ෆුල් සන්නාහ සන්නද්ධ ලෙවල් එකෙන් ඉන්න වෙනවා. අනික මහන්සි වෙලා වැඩ පළ කරන්න වෙන නිසා ඒවලට ගැලපෙන ඇඳුම් හොයාගන්නත් වෙනවා!

 

7. වාහන

Image Source – youtube.com

දැන් ලෝක සංහාරේ ආවට පස්සේ වාහනයක් ගන්න බජට් එකෙන් ටැක්ස් අඩු කරනකල් ඉන්න ඕන නෑ. මැරිච්ච මිනිස්සුන්ගේ, ගෙවල් දාලා ගියපු මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි, වාහන සේල් කාරයන්ගෙත් පොට් එකකට පැන්න ගමන් ආස විදියේ වාහනයක් අරගෙන එන්නයි තියෙන්නේ. හැබැයි ඉතින් වාහනේ තිබ්බට වැඩක් නෑ. මොකෝ වතුරෙන් දුවන්නද? අන්න ඒ නිසා ඕන නං ලීෆ් එකක් ගන්න පුළුවන්. ඉන්පස්සේ ඔය සූර්ය කෝෂ පැනල් සෙට් එකක් හයි කරගෙන ඉරේ බලෙන් කරන්ට් එක උපද්දගන්න සිස්ටම් එකකුත් හදාගත්තා නං වැඩේ ගොඩේ ගොඩ.

හැබැයි ඉතින් ඔය මොකුත් ඕන නැති සුපිරි වාහනයක් තියෙනවා විනාස වෙච්ච ලෝකවලටම හරියන. ඒ තමයි දුප්පතාගේ හිතවතා, පුෂ් බයිසිකලේ. ආය ඕන පොඩි ඉඩකින් රිංගලා යන්න පුළුවන්. තමන්ට ෆිට්නස් තියේ නං ආයෙ ඇරලා යනකොට මොන සොම්බියෙක්ටවත්, ඒලියන්තයෙක්ටවත් කිට්ටු කරන්න ලැබෙන්නෙ නෑ.

 

8. බේත් හේත්

Image Source – pinterest.at

මෙන්න මේක නං අනිවා. මොකද ලෙඩ දුක් කියන ඒවා දැන් තියෙන විදියටත් වඩා ඩබල් වෙලා තමයි ඔය විනාස වුණු ලෝකෙක එන්නේ. මොකද හරියට ගෙදර ඉන්නවා වගේ සැපපහසුවෙන්, සුරක්ෂිතව ඉන්න හම්බෙන්නෙ නෑ. එතකොට තුවාල වීම්, සීරීම්, කැඩුම් බිඳුම් එහෙමත් සෑහෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා ෆාමසියකින් හරි අත්‍යාවශ්‍ය බේත් හේත් ටික පන්නලා, ස්ටොක් කරලා තියාගන්න වෙනවා.

එතකොට හැමතිස්සෙම එහේ මෙහේ ගෙනියන බැක් පැක් එකකත් ප්‍රථමාධාර කට්ටලයක් අනිවාර්යයෙන්ම තියාගන්න වෙනවා. ඒකේ වේදනා කැක්කුං වලට බුදු ෂුවර් සහනය සිද්ධාලේප එකකුත් දාගෙන ගියාට කමක් නෑ!

 

9. අනික් කළමනා

Image Source – amazon.ca

අනික්වා නං ඉතින් ඔය එදිනෙදා වුවමනා වෙන එව්වා තමයි. හදිසියකට ගෙදරක හරි, කඩේක හරි ලොක් එකක්, ඉබ්බෙක් කඩාගන්න නියනක්, මිටියක්, කපන කට්ටක් එහෙම බෙල්ට් එකේ එල්ලගෙන යන එක හොඳයි. කටර් අඬුවක් වුනත් අතේ තියෙන එක වටිනවා. අර ස්විස් ආමි පිහියක් එහෙම සෙට් කරගන්න පුළුවන් නම් සුපිරි. එතකොට මොකෙක්ව හරි බඳින්න වුනත්, කොහේ හරි ලිඳකට බහින්න වුනත් ගැලපෙන හොඳ ප්ලාස්ටික් ලණු රෝලක් වුනත් අතේ තියෙන එක වාසියි. තව ඉතින් ලයිටරයක් වගේ සුළු සුළු දේවලුත් අතේ තියෙන්න ඕන.

දැන් මේ විනාස වෙලා ගියපු ලෝකෙක අපි හැමෝටම දිවි රැකගන්න බැහැනේ. ඔය සතුරු කණ්ඩායම්, ඒලියන්ස් බුවාලා, සොම්බිලා එක්ක එහෙම ෆුල් ගේමෙන් තමයි ඉන්න ඕන. හැබැයි දිවි රැකගන්න ඒ විතරක් මදි. මොළේ කල්පනා කරලා, අනාගතේ ගැන එහෙම හිතලා වැඩකරන්නත් ඕන. දැන් ඔය වගේ ලෝක විනාසෙකින් පස්සේ ජීවිතේ බේරගන්න තව ඕන දේවල් ඔයාලටත් කල්පනා වුනොත්, වහාම කමෙන්ට් එකක් දාලා අපිටත් කියාගෙන යන්ඩ ඕනෑ.