එදිනෙදා සාමාන්‍ය වැඩකට සුදුසු නොමිලේ ගත හැකි වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර්

ඉස්සර මතකයන් අපි තියන් උන්නේ සටහන් විදියට. ඒ නිසා තවමත් අපි ඒවාට මතක සටහන් කියලා කියනවා. ඒත් දැන් මතකයන් අපිට වීඩියෝ විදිහට තියාගන්න පුළුවන්කම තියෙනවා. චාරිකාවක් ගිය වෙලාවක, ගෙදර පොඩි උත්සවයක් වෙලාවක අපි ඒක වීඩියෝ කරනවා. ඒ ගන්න අමු වීඩියෝ වෙලාවකට අපිටම බලන්න කම්මැලියි. ඉතින් ඔය වගේ වෙලාවට පොඩි වීඩියෝ එඩිටරයක් පාවිච්චි කරලා ඕනි නැති බෝරින් කෑලි කපලා දාලා, හොඳ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාලා, සමහර තැන් ස්පීඩ් කරලා, කලර් කරෙක්ෂන් කරලා, පොඩි එඩිට් පාරක් දාල වීඩියෝ ටික හදාගන්න පුළුවන් නම් වටිනවා.

 

අහ් ඔය තියෙන්නේ ක්‍රැක් කරපු ඒවා ඕනි තරම්

Image Source – facebook.com

ඇත්ත, අපේ රටේ තාමත් සොෆ්ට්වෙයාර් වලට නීති රීති නැහැ. තිබුන උනත් ක්‍රියාත්මක නැහැ. ඒ නිසා ඕනිම වටින ඩොලර් පන්හයසීයක් වෙන සොෆ්ට්වෙයා එකක් වුනත් ක්‍රැක් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒක වැරැද්දක්. ලෝකේ කොහෙන් අපි බාගත්තා වුනත් මුදලට විකුණන්න තියෙන දෙයක් වංචාවෙන් නොමිලේ ලබාගැනීම වැරැද්දක්. ඊට අමතරව ඉතින් ඔය ක්‍රැක් කරන අය නිකං අත පිහිදාගන්න ඕවා කරන් නැහැ. විවිධාකාර වෛරස ආදියත් පරිගණකයට ඇතුළු වෙනවා ඔය ක්‍රැක් මෘදුකාංග වලින්.

 

මොකද්ද මේ සිම්පල් වීඩියෝ එඩිටරයක් කියන්නේ?

Image Source – wordstream.com

හොඳම වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක ප්‍රෝ වර්ශන් එකක් අපි ක්‍රැක් කරලා ගත්තා කියලා හිතමු. ඒත් අපි වැඩි දෙනෙක්ට ඒවයේ තියෙන ගොඩාක් ෆීචර්ස් ගැන තේරුමක් නැහැ. අපිට වීඩියෝ එකක් හදලා යූ ටියුබ් දාන්න හරි එහෙම නැතිනම් මතක සටහනක් විදියට තියාගන්න හරි ලොකු දේවල් කරන්න ඕනා වෙන්නේ නැහැ. සරල වැඩ කිඩ ටිකක් තමයි කරගන්න ඕනා. මේ ගෙදර දොරේ වීඩියෝ වැඩකට ලොකු සොෆ්ට්වෙයා එකක් දාගෙන විශාල හාඩ්වෙයාර් තියෙන මැෂිමක් වීඩියෝ එඩිටින් වලට යූස් කරනවා කියන්නේ උදැල්ලකින් කරන්න පුළුවන් වැඩකට ජේ සී බී එකක් යූස් කරනවා වගේ වැඩක්.

 

1. ඕපන්ශොට් (Openshot)

Image Source – youtube.com

ඕපන්ශොට් කියන්නේ බොහොම සිම්පල් එඩිටර් එකක්. ඕපන්ශොට් ලිනක්ස්, වින්ඩෝස් වගේම මැක්වලටත් දාන්න පුළුවන්කම තියෙනවා. ඕපන් කරපු ගමන්ම ට්‍රැක්ස් ටික සහ ලිස්ට් ටික පේනවා. අපිට එඩිට් කරගන්න ඕනි ෆොටෝ වීඩියෝ ටික සිලෙක්ට් කරලා අරගෙන අනුපිළිවෙලට කපලා තියලා, හදලා, ස්පීඩ් කරලා, ස්ලෝ කරලා ගන්න ඕපන් ශොට් වලදි හරිම ලේසියි. වෙනත් ප්ලගින් වලට සල්ලි දෙන්න ඕනි නැහැ. ඕපන් ශොට් සම්පූර්ණයෙන්ම නොමිලේ. මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන ලොකු අවාසියක් තමයි සමහර වෙලාවට ක්‍රෑෂ් වෙනවා. ඒ වගේම ඕඩියෝ ෆීචර්ස් ටිකක් මදි ගතියක් තියෙනවා.

 

2. ෂොට් කට් (Shotcut)

Image Source – download.com

ෂොට් කට් එකත් නමින් ඕපන්ශොට් වගේමයි නේද? ටිකක් සමාන වගේ පෙනුනට ෂොට් කට් වල ඕපන්ශොට් වලට වඩා යම් යම් දියුණු විශේෂාංග තියෙනවා. ඒ වගේම ෂොට් කට් වලින් වැඩ කරන හැටි ඉගෙනගන්න යූ ටියුබ් සහ වෙනත් ටියුටෝරියලුත් ගොඩක් තියෙනවා. අන්තර්ජාලයේ සම්පූර්ණයෙන්ම නොමිලේ බාගෙන දාගන්න තියෙන වීඩියෝ එඩිටර් අතර ෂොට් කට් ඉස්සරහින් ඉන්නවා.

 

3. අයි මූවි (iMovie)

Image Source – contentcreatorslounge.com

ඇපල් කියන්නේ වැදගත් ඕ ඇස් එකක්. ඇපල් ඉතින් ග්‍රැෆික් වැඩ වලට සහයෝගය දක්වනවා කියන එක සර්වලෝක සත්‍යයක්නේ. කාලයක් වින්ඩෝස් වලත් ආවා මූවි මේකර් කියලා පොඩි සොෆ්ට්වෙයා එකක්. ඒත් පස්සෙ ඒක නැවතුනා. ඇපල් අයි පෑඩ්, ඇපල් අයි ෆෝන්, වගේම අයි ඕ එස් තියෙන ලොකු කම්පියුටර් වලත් අයි මූවි ලෙසටම වැඩ කරනවා. අයි මූවිත් මහා ලොකු විශේෂාංග තොග ගාණක් නැති වුනත් ඕන වැඩ ටික දශමෙට කරගන්න පුළුවන් ප්‍රබල සොෆ්ට්වෙයාර් එකක්. හැබැයි මේවා ඉතින් ලිනක්ස් පාවිච්චි කරන අයට සහ වින්ඩෝස් අයට බැහැ. අයි මූවි වලින් වීඩියෝ හොලවන්න නම් ඇපල් කෑල්ලක් ගන්නම වෙනවා.

 

4. ගෝ ප්‍රෝ ක්වික් (GoPro Quik)

Image Source – youtube.com

ගෝ ප්‍රෝ ක්වික් කියන්නේ ෆෝන් වලට ඇප් එකක්. වින්ඩෝස් මැෂින් වලට ඇප්ලිකේෂන් එකක්. ගෝ ප්‍රෝ එකක් යූස් කළා හෝ නැතා ගෝ ප්‍රෝ ක්වික් පාවිච්චි කරන්න පුළුවන්. ගෝ ප්‍රෝ ක්වික් මොබයිල් ඇප් එකෙනුත් විනාඩියේ දෙකේ පොඩි වීඩියෝ කෑලි ඉබේම හදා දෙනවා. ගෝ ප්‍රෝ වල වීඩියෝ එඩිට් කරගන්න හදපු ගෝ ප්‍රෝ ක්වික් පොඩි වැඩකට යොදාගන්න හොඳ නොමිලේම ලැබෙන ඇප්ලිකේෂන් එකක්.

 

5. හිට්ෆිල්ම් එක්ස්ප්‍රස් (HitFilm Express)

Image Source – youtube.com

හිට්ෆිල්ම් වලදි හිට්ෆිල්ම් කියන සොෆ්ට්වෙයා එක අපි මිලදී ගන්න ඕනා. ඒත් හිට්ෆිල්ම් එක්ස්ප්‍රස් නොමිලේ.  හිට්ෆිල්ම් එක්ස්ප්‍රස් වලදිත් සමහර විශේෂාංග වලට පොඩි ඩොලර් ගාණක් අපිට ගෙවන්න වෙනවා. සමහර ලොකු ෆීචර්ස් අපිට ඕනි නම් ඒවටත් ගෙවන්න ඕනි. ඒත් ඒ නොමිලේ ලැබෙන හිට්ෆිල්ම් එක්ස්ප්‍රස් සාපේක්ෂව හොඳ වීඩියෝ වැඩකට ඇතිය කියල තමයි යූ ටියුබ් වල ඉන්න ටෙකීල කියාල තිබුනේ.

 

6. ඩාවින්සි රිසොල්ව් (Davinci resolve)

Image Source – youtube.com

අපි මුලින් කතා කරපු ඕපන් ශොට් වගේ එකක් එක්ක බලද්දි ඩාවින්සි රිසොල්ව් කියන්නේ ටිකක් සැර ෆීචර්ස් ටිකක් තියෙන සුපිරි භාණ්ඩයක්. වීඩියෝවක් ආකර්ෂණීයව හදාගැනීම කියන්නෙ මුලින්ම කරද්දි ටිකක් අමාරු ගේමක්. ඉතින් ටිකක් ලොකු වැඩකට පුරුදුවෙන්න ආසාවක් තියේ නම් ඩාවින්සි රිසොල්ව් කියන්නේ සුප්පා භාණ්ඩයක්.

 

ඉස්සරහට එන ක්ලවුඩ් වීඩියෝ එඩිටින්

Image Source – newscaststudio.com

දැනට ඉමේජ් එකක් කරෙක්ට් කරගන්න වගේ වැඩ සහ ඩොකියුමන්ට් එකක් හදාගන්න වර්ඩ් වැඩ වගේ ඒවා ඔන්ලයින්ම කරන්න පුළුවන්. ඉස්සරහට වීඩියෝ එඩිටින් එහෙමත් ඔන්ලයින්ම ඇප්ලිකේෂන් වලට වැඩි තැනක් ලැබෙන විදියක් තමයි පේන්නේ. දැනට ලංකාවෙදිත් ගෙදරටම ලැබෙන ෆයිබර් කනෙක්ෂන් හරහා අධිවේගී අන්තර්ජාලය ඇත්තටම ලබා ගන්නත් හැකියාව ඇවිත් තියෙනවා. ඉතින් එතකොට ඉස්සර වගේ විශාල රැම්, වීජීඒ, ප්‍රොසෙසර් වගේ ලොකු හාඩ්වෙයාර් වීඩියෝ එඩිටින් වලට උවමනා වෙන්නේ නැහැ. වේගවත් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් තියේ නම් අතේ තියෙන ටැබ් එකෙන් වුනත් එවෙලෙම සට සට ගාල වීඩියෝ ටික එඩිට් කරගන්න හැකියාව ලැබෙනවා.

පොඩි පොඩි වැඩට ඕනි නොමිලේ යූස් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් කිහිපයක් ගැන තමයි අපි මේ ආටිකල් එකෙන් කිව්වේ. ඒ වගේම දැනටමත් යූස් වෙන සහ ඉස්සරහට තව වැඩියෙන් යූස් වෙන ක්ලවුඩ් වීඩියෝ එඩිටින් ගැන, සරලව කීවොත් ඔන්ලයින් වීඩියෝ එඩිටින් ගැනත් සඳහන් කළා. ඉතින් ඔයාලට ඕනි පොඩි පොඩි වීඩියෝ වැඩ නොමිලේම ගොඩදාගන්න ඇප්ලිකේෂන් ගැන අපි කිව්වා. ඔයාලගේ යාලුවන්ටත් දැනගන්නත් එක්ක පොඩ්ඩක් මේ විස්තර ෂෙයා කරගෙනම යමු.

zvr
Your Reaction

Comments