තායිලන්ත ගමනකදී ට්‍රාන්ස්පෝට් විස්තරේ මෙන්න මෙහෙමයි

ලංකාවේ අපිට තායිලන්තය කියන්නේ සංචාරයට හොඳ තැනක්. ලංකාව වගේම ථෙරවාද බෞද්ධ රටක් නිසා සංස්කෘතිය අතිනුත් තායි රට අපිට සමීපයි. ලෝකයේ ප්‍රසිද්ධ සංචාරක නවාතැන්පොළක් නිසා පහසුකම් අතිනුත් වැඩියි. ඉතින් තායි රටට ගියොත් කොහොමද රට ඇතුළේ එහා මෙහා යන්නේ? අපි බලමු ඒ ගැන විස්තර.

 

1. තායි රටේ සයිස් එක

තායි රටේ වපසරිය වර්ග කිලෝමීටර 513,120 යි. ලංකාව වගේ අට ගුණයකට ආසන්න විශාල රටක්. ඉතින් ලංකාව වගේ ඕනිම ලොකේෂන් එකක් පැය හය හතකින් කවර් කරන්න තායි රටේදි බැහැ. ටිකක් ලොකු නිසා අපි ගමනාගමන කටයුතු වලදි ටිකක් වැඩි අවධානයක් යොමු කරන්නට ඕනා. කොළඹ දිස්ත්‍රික්කයේම විශාලත්වය වර්ග කිලෝමීටර 699ක් පමණයි. සමස්ථ බැංකොක් සිටි එකම වර්ග කිලෝමීටර 1569ක් ලොකුයි. ඒ කියන්නේ අපේ කොළඹ දිස්ත්‍රික්කේ වගේ දෙගුණයකටත් වඩා බැංකොක් නගර සීමාව ලොකුයි. ඉතින් ඒ වගේ විශාල සිටි එකක් ඇතුළේදි අපිට අදහසක් තියෙන්නට ඕනි ගමනාගමන ආකාර ගැන. එහෙම ගමන් සැලසුම් නොකළොත් අපේ වැඩි කාලයක් ගමන බිමනටම වියදම් වෙනවා.

 

2. ගුවන් ගමන්

ලංකාවෙන් තායි රටට යනව නම් ගොඩක්ම වාසි සහ ලේසි ක්‍රමය ගුවනින් යෑම. තායි රට වටේ තියෙන රටවල් වලට ගිහින් පස්සේ ලෑන්ඩ් බෝඩරය හරහා තායි රටට යන්නත් පුළුවන්. ඒත් අපේ රටේ ඉඳන් කෙලින්ම යනවා නම් බැංකොක් හෝ පතායා, පුකෙට් වගේ ගුවන් තොටකට කෙලින්ම බහින එක වාසියි. ලංකාවෙන් යනවා නම් තායි එයාවේස්, ශ්‍රී ලංකන්, එයා ඒෂියා, තායි ලයන් එයා කියන ගුවන් සමාගම් හතරෙන්ම කොළඹ සහ තායිලන්තය අතර සෘජු ගුවන් ගමන් පැවැත්වෙනවා. තායි ලයන් එයා සහ එයා ඒෂියා ගුවන් යානා යන්නේ බැංකොක් වල දොන් මුවන් කියන දෙවනි එයාපෝට් එකට. ශ්‍රී ලංකන් තායි එයාවේස් ගියොත් තායි වල ස්වර්ණභූමි එයාපෝට් එකෙන්ම බහින්න පුළුවන්කම ලැබෙනවා.

 

3. ගුවන් තොටේ සිට

කලින් කිව්වා වගේ තායි රට විශාලයි. ඉතින් අපිට බැංකොක් වලට වඩා දකුණේ වෙරළබඩ ලස්සන කලාපය හරි උතුරු තායිලන්තේ කඳුකර කලාපේ හරි එහෙම නැතිනම් ඊසාන දිග පළාත් හරි බලන්න ඕනි කියලා හිතෙනවා නම් කෙලින්ම බැංකොක් වලින් ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. දොන් මුවන් එයාපෝට් එක හරහා හැසිරවෙන ඩොමෙස්ටික් ෆ්ලයිට් තරමක් ලාබදායකයි. දොන් මුවන් ගුවන් තොටේ ඉඳන් නගරයට පිවිසෙන්න මෙට්‍රො දුම්රිය සේවයක් නැහැ. සාමාන්‍ය දුම්රිය සේවය තියෙනවා. ඒත් එතකොට නගරයට එද්දි පැයක් විතර යනවා. දොන් මුවන් සිට දිවා කාලයේ බැංකොක් මෝ චිට් බස් නැවතුම සහ වෙනත් පැති තුනකට බස් සේවාවක් යනවා. ඒ බස් රියක නැගලා බාත් 60ක් වගේ සුළු මිලකට නගරයට එන්නටත් හැකියි. ටැක්සියක් ගත්තොත් නගරයට පිවිසෙන්න බාත් 300කින් විතර පුුළුවන්කම ලැබෙනවා. ස්වර්ණභූමි එයාපෝට් එකේ බැස්සොත් නම් මෙට්‍රො එක තියෙනවා. මෙට්‍රො දුම්රියෙන් ටිකට් එකක් අරගෙන අපිට නගරයට එන්න පුළුවන්කම තියෙනවා.

 

4. ඩොමෙස්ටික් ගුවන් සේවාවන්

තායිලන්තයේ දකුණු පළාත ගත්තොත් ඒ වෙරළබඩ කලාපේ විතරක් ඩොමෙස්ටික් ගුවන්තොටුපළවල් කීපයක්ම තියෙනවා. පුකෙට්, ක්‍රාබි, සුරත් තානි, හට්යායි, ට්‍රාන්ග් ඉන් කිහිපයක්. ඉතින් ඒ තැන්වලට බැංකොක් ඉඳන් පැයකින් හමාරකින් ගුවනින් යන්නට පුළුවන්. කලින් ටිකට් වෙන් කරගත්තොත් බාත් 600-1000 දක්වා මිලකට ඩොමෙස්ටික් ගුවන් ගමනක් වෙන්කරගන්නත් පුළුවන්. බස් සහ දුම්රිය සේවා තිබුණත් කාලය එක්ක බැලුවාම ගුවන් යානාව වාසියි. අනෙක් අතින් බස් දුම්රිය සේවාවන් බැංකොක් වලින් වෙන්කරගද්දි අපිට බැංකොක් නගරයේ ට්‍රැෆික් එකට මුහුණ දෙන්න වෙනවා. ගුවන් ගමන් වෙන්කරගන්නවා නම් ඒ ට්‍රැෆික් එක ස්කිප් කරන්නත් පුළුවන්. ඒත් ලෝකේ කොහේ වුනත් ගුවන් තොටුපළක් තියෙන්නේ ප්‍රධාන නගරයෙන් කිලෝමීටර 20-30ක් ඈත. ඉතින් ගුවන් යානේ ගිහින් බැහැලා ආයේ නගරයට එන්න ටැක්සි හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යයකට අපිට ගෙවන්න වෙනවා. ඒ වගේම ගුවන් ගමන පැය වුනාට එයාපෝට් වල අපිට පැය දෙක තුනක් රස්තියාදු වෙන්නත් සිද්ද වෙනවා.

 

5. දුම්රිය සේවාව

තායි දුම්රිය සේවාව තනිකරම බැංකොක් නගරය මූලික කරගත් එකක්. ප්‍රධාන පෙළේ දුම්රිය සියල්ලම පාහේ ආරම්භ වෙන්නේ බැංකොක් වලින්.‍ චියන් මායි යන අඩු මිල බජට් සංචාරකයෝ එහෙම බැංකොක් වලින් රාත්‍රී දුම්රියක් වෙන් කරගන්නවා. ඒකෙන් ඒගොල්ලන්ට දවසක හෝටල් ගාස්තු ඉතුරු වෙනවා. කෝච්චියේ සැපට වායුසමන බර්ත් එකක නිදාගෙන එළිවෙද්දි චියං මායි වලින් බහින්න හැකියාවත් ලැබෙනවා. දුම්රිය කිව්වට අපේ වගේ තැලිලා පොඩිවෙලා තක්කාලි වගේ මිනිස්සුන්ට යන්න වෙන්නේ නැහැ. කලින් බර්ත් එකක් හෝ ආසනයක් වෙන් කරගත්තාම සැනසිල්ලේ ගමන යන්නට පුළුවන්. තායි රටේදි දුම්රියට නානාප්‍රකාර කෑම වෙළෙන්දෝ එනවා. සමහර කෑම නම් අපේ දිවට පොඩ්ඩක් විතර අවුල්. ඒත් කන්න පුළුවන් පලතුරු ජාති, බැදපු බාබකිව් කරපු මස් ජාති එහෙමත් එනවා. ඉතින් තායි දුම්රියේ පැය ගාණක් යද්දි ඔන්න බඩගින්නේ මැරෙයිද දන්නෙ නෑ කියලා බයවෙන්න නම් කිසිම හේතුවක් නැහැ. කන්න බොන්න දේවල් ඕනි තරම් යනවා, එනවා, හමුවෙනවා.

 

6. බස් සේවාවන්

බස් කිව්වාම අපේ රටේ නම් අශෝක් ලේලන්ඩ් බස් දෙයියෝ වගේ තායිලන්තයේදි මර්සිඩීස් බෙන්ස්, වොල්වෝ වගේ සුපිරි බස් සුපිරියටම තියෙනවා. සරලව කිව්වොත් ලංකාවේ සාමාන්‍ය ජනයා “සුද්දෝ යන බස්” කියලා දකින විශාල තට්ටු දෙකේ බස් තායිලන්තයෙ නගර අතර ධාවනයට තියෙනවා. කිලෝමීටර 500ක් වගේ දුරක් බාත් 400කට වගේ යන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ දුරගමන් බස් වලදි පෙරවන්න රෙද්දක්, කිරි පැකට් එකක්, බිස්කට් හෝ කුකී එකක්, වගේම තේ හදාගන්න ඕනි කරන පැක් එකකුත් ලැබෙනවා. බැංකොක් වල මෝ චිට් බස් නැවතුමෙන් මේ දුර බස් යනවා. එක එක බස් සමාගම් තියෙනවා. ඒ සමහර බස් සමාගම් වල බස් එක්තරා මට්ටමක හොඳ ස්ටෑන්ඩර්ඩ් එකක් මේන්ටේන් කරනවා. ඉතින් ඒ වගේ බස් ඉක්මනින්ම බුක් වෙනවා. වෙබ් සයිට් වලින් බස් බුක් කරගන්නත් හැකියාව තායිලන්තයේදී ලැබෙනවා.

 

7. වෑන් සේවාව

විශේෂයෙන් ටුවරිස්ට් ඩෙස්ටිනේශන් කිට්ටුව මිනි වෑන් සේවාවක් ක්‍රියාත්මක වෙනවා. තායි රටේ ජන ඝනත්වය අඩුයි. ඉතින් ඒ නිසා තරමක් ඈත උප නගර ගම් දනව් වලටත් යන්නෙත් මේ පොඩි වෑන්ම තමයි. පොඩි වෑන් කිව්වට ඒවා හයිරූෆ් ඩොල්ෆින් වගේ වෑන්. 12කට විතර සැපට යන්න පුළුවන් මේ වෑන් ඇතුල ඒසී කරලා තියෙන්නේ. බස් තරම්ම සනීප නැතිවුනත් කාර් එකකට ලොකු ගාණක් ගෙවනවාට වඩා වෑන් සේවාව ලාබයි. අපේ කණ්ඩායමක් යනවා නම්, කණ්ඩායම 6කට වැඩි නම් මේ වෑන් එකක් හයර් එකට ගන්නත් පුළුවන් ලේසියෙන්ම.

 

8. ටැක්සි

මෝටර් සයිකල් ටැක්සි තියෙනවා. ඒකේ ඉතින් පස්සේ වාඩිවෙලා එක්කෙනෙක්ට යන්න පුළුවන්. ට්‍රැෆික් තියෙන සිටි වලදි මෝටර් සයිකල් ටැක්සි ඉක්මනින් අපිට ඕනි තැනට යනවා. සාමාන්‍ය ටැක්සි සේවාව බැංකොක් වලදි නම් සෑහෙන පාවිච්චි වෙනවා. ඌබර් වගේම ග්‍රැබ් කියල සේවාවකුත් බැංකොක් වල ක්‍රියාත්මක වෙනවා. කොහොම වුනත් ටැක්සි කියන්නේ තායිලන්තේදි ටිකක් විතර මිල අධික ප්‍රවාහන මාධ්‍යයක්.

 

9. බෝට්ටු/ ස්පීඩ් බෝට්ටු

දූපත් තියෙන දකුණු දිග තායිලන්තයට ගියාම බෝට්ටු ගමන් යෙදෙනවා. බෝට්ටු ගමන් සාපේක්ශව මිල වැඩියි. කණ්ඩායමක් යනවා නම් සම්පූර්ණ බෝට්ටුවම කතා කරගෙන අපිට රවුමක් යන්නත් හැකියාව තියෙනවා. දූපත් ගමන් වලදි ළඟම තියෙන ගොඩබිමට ගොඩ බැහැලා ආයෙම දූපත් තියෙන තවත් තැනකට යනවාට වඩා, ස්පීඩ් බෝට් වලින් දූපතකින් දූපතකට යද්දි කාලේ ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් තායි සවාරියකදි බෝට්ටු තියෙන පළාතක යනවා නම් බාත් දාහකට වඩා වියදම් වෙනවා දවසක බෝට්ටු සවාරියකට.

බැංකොක් වල චායෝ ප්‍රායා නදියේ සහ ඇල මාර්ග වල බෝට්ටු ධාවනය වෙනවා. මැප් එක අනුව අපිට ඕනි ලොකේශන් බලාගන්න හැකි නම් මේ බෝට්ටු වලින් ඉක්මනින් ගමන් පහසුව සලසාගන්නට හැකියි. බස් වගේම මේ බෝට්ටු ගමන් ලාබයි. ඒත් චායෝ ප්‍රායා නදියේ නම් සමහර බෝට්ටු සේවාවන් සංචාරකයින් උදෙසාම පවත්වාගෙන යන නිසා ඒවායේ මිල වැඩියි.

 

10. රෙන්ට් කාර්, රෙන්ට් බයික්

යාලුවො දෙතුන් දෙනෙක් එක්ක යනවා නම්, හොඳට ඩ්‍රයිවිනුත් පුළුවන් නම් සෙට් එකට කාර් එකක් රෙන්ට් කරගන්න එක ලේසියි. පොඩි ගාණක් වැඩිපුර යනවා. ඩ්‍රයිව් කරන්නත් ඕනි. ඒත් ලංකාවේ තරම් රියදුරු වැඩේ තායි වලදි අමාරු නැහැ. බැංකොක් වගේ සිටි වලදි පොඩි බ්ලොක් සෙට් වුනත් එළියට යද්දි ලේන් 4-6 පළල හයිවේ සෙට් වෙනවා. ඒවායේදි බබා වගේ යන්නයි තියෙන්නේ සිංදුවක් දාගෙන.

තායි වල සමහර වෙලාවට පොපියුලර් ඩෙස්ටිනේශන් වල පවා අපිට බලන්න තියෙන තැන් අතර දුර ටිකක් වැඩියි. ඒ කියන්නේ අපි බලන්න ඉන්න පංසල්, බීච්, කඳුවැටි, කෞතුකාගාර, ලස්සන තැන් ඔක්කොම එකම තැනක නැහැ නේ. ඒ වගේ වෙලාවට ඒ හැම තැනටම ටැක්සි ගන්නවාට වඩා බයික් එකක් රෙන්ට් එකට ගන්න එක වාසියි. එතකොට අපිට හිතේ හැටියට ස්කූටර් හෝ බයික් එකේ නැගලා ගිහින් ඒ තැන් බලාගන්න හැකියි. සාමාන්‍ය ස්කූටරයක් දවසකට බාත් 200ටත් කුලියට ගන්න අවස්ථාව තායි වලදි තියෙනවා. සමහර සංචාරකයෝ නගරයකට ආව ගමන් හෝටල හොයන්නත් කලින් බයික් එකක් රෙන්ට් එකට ගන්නවා. ඉන් පස්සේ ඒකේ නැගලා ගිහින් නවාතැන් හොයාගැනීම, කෑම කඩ සොයාගැනීම, අවට බැලීම වගේ දේවල් කරනවා. ඒක වාසි වැඩක්. අපේ රියදුරු බලපත්‍රය ඉංගිරිසි නිසා ලොකු අවුලක් වෙන්නේ නැහැ.

11. තායි කවර් කිරීම

තායි රට ලොකුයි. ඉතින් අපි සති දෙකක් දාගෙන තායි ගියත් රටේ තියන හැම පළාතම බලන්න බැහැ. අපේ කාලයට අනුව යන්න එන්න පුළුවන් තැන් ටික සැලසුම් කරලා ඒ තැන් ටිකට අදාළ ට්‍රාන්ස්පෝට් විදියත් හිතාගන්න ඕනා. ඉහතින් නොකියවුණු සෝන් තෲ කියල ඩබල් කැබ් එකක පිටිපස්සේ සීට් ගහලා යන පොඩි ට්‍රාන්ස්පෝට් විදියකුත් තියෙනවා. ඒ වගේම ත්‍රීවිලර් කාක්කොත් තායි වල ඉන්නවා. ඉතින් තායි ගමනක යනු එනු කොහොමද කියලා ඔයාලට අදහසක් මේ හරහා එන්නට ඇති කියලා ලයිෆි අපි හිතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *