සාමාන්‍යයෙන් කථාවට කියන්නේ වෙඩිමක් එහෙම සෙට් වුණහම ඇඳුම් හොයන්න අමාරුම කෙල්ලන්ට කියලනේ. ඒ කථාව බොරුමත් නෙවෙයි. හැබැයි ගෑණු ළමයින්ට වගේම පිරිමි ළමයින්ට වුනත් වෙඩිමක් කාරිය සෙට් වුනොත් එහෙම මුලින්ම හිතන්න වෙන්නේ මොකද්ද ඇඳගෙන යන්නේ කියලා තමයි. ආන්න ඒ නිසා අපේ මේ උත්සාහය කොල්ලෙක්ට වෙඩිමක් සෙට් වුණාට පස්සේ මුහුණ පාන්න සිද්ධ වෙන ඒ අසීරුතාවයට පොඩි හරි සපෝට් එකක් දෙන එක තමයි.
මේ කොල්ලෙක්ට වැඩි අමාරුවක් නැතුව වෙඩින් එකකට සෙට් කරගන්න පුළුවන් ෆැෂන් කීපයක්. බොහොම හුරුපුරුදු ෆැෂන් වල ඉඳලා අලුත් ෆැෂන් දක්වා තියෙන මේ ලිස්ට් එකෙන් තමන්ට ගැලපෙන එකක් තෝරගන්න පුළුවන්.
1. ක්ලැසික් කෝට් කිට්
හැමෝම කියන විදියට කෝට් එක දාලා, නැතිනම් ෆුල් සූට් එකෙන් වෙඩිමට යනවා නම්, ජනප්‍රියම ක්‍රමය තමයි කෝට් එකේ පාටෙන් සහ රෙද්දෙන්ම මහපු කලිසමට හොඳ ෂර්ට් එකක් යටකරලා ඇඳලා, ඒකට ටයි පටියක් දාලා යන එක. මේ කිට් එකට ඇත්තටම කියන්න පුළුවන් සෙමි-ෆෝමල් හරි ෆෝමල් හරි ඩ්‍රෙස් එකක් කියලා. මේ විදියට අඳිනවා නම් මතක ඇතුව ටයි පින් එකක් එහෙම ගහලා, කෆ් ලින්ක්ස් දාලා යන එක මරු. ඕන නම් ෂර්ට් එකට පස්සේ වෙස්ට් කෝට් එකක් අඳින්නත් පුළුවන්. මේ කිට් එක ඇත්තටම තමන්ගේ ඇඟට ගැලපෙන විදියට මහලා තියාගන්න එක හොඳයි. කොල්ලෙක්ට ෂර්ට් එක සහ ටයි එක වෙනස් කර කර ඕනම වෙඩිමකට මේ කිට් එක අඳින්න පුළුවන්.
මේ කිට් එක ගන්නකොට හරි මහනකොට හරි තනි පාටින්ම ගන්න ඕන කියලා නියමයක් නෑ. තමන් කැමති නම් පාට දෙකකින් හදාගන්නත් පුළුවන්. ඕන නම් කොටු කොටු වගේ ඩිසයින් එකකින් ගන්නත් පුළුවන්.
2. බ්ලැක් ටයි කිට්
මේ කියන්නේ කළු පාට ටයි පටියක් ගැන නෙවෙයි, බෝ ටයි එකක් ගැන. ඇත්තටම මෙතන ටයි කියලා කියන එකට අපි කියන්න පුරුදු වෙලා ඉන්නේ බෝ එක කියලා! මේ විදියේ කිට් එකකුත් ඉතාම හොඳ ටේලර් කෙනෙක්ට කියලා මස්සගන්න වෙනවා. එහෙම කියන්න හේතුවක් තියෙනවා. බ්ලැක් ටයි කිට් එකක නියම පෙනුම මතුවෙන්න නම් ඒකට හරියටම ඇඟේ ගාණට මහලා තියෙන්න ඕන. ඇඟ සාමාන්‍යයෙන් පවත්වා ගන්න කෙනෙක්ට ස්ලිම් ෆිට් එකට මේ ටක්සිඩෝ කෝට් එකයි කලිසමයි මැහුවනං මරු.
ඉන් පස්සේ ඉතින් බෝ ටයි එක හෙවත් බෝ එක. සාමාන්‍යයෙන් අපි දකින්නේ බෝ එකේ විදියට මහලම එවන, ඉලාස්ටික් එකකින් බෙල්ල වටේ දාගන්න පුළුවන් බෝ එකක්නේ. එව්වා බෝ ටයි නෙවේ. හරි බෝ එක නැතිනම් බෝ ටයි එක තමන්ටම ගැටහගහන්න වෙනවා. අන්න ඒ බෝ ටයි එක ගැටගැහීමත් ජෙන්ට්ල්මන් කොල්ලෙක් පුරුදු පුහුණු වෙන්න ඕන වැඩක්. දැන් මේ කිට් එකටත් කෆ් ලින්ක්ස් එහෙම එන එක වටිනවා!
3. කැෂුවල් ෆුල් සූට්
මෙන්න ටක්සිඩෝ එකක් ගෙදර තියෙන කොල්ලෙක්ට ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන් වෙඩින් ෆැෂන් එක. ටක්සිඩෝ කෝට් එක එක්ක ඕන නම් ඩෙනිමක් අඳින්න පුළුවන්. එහෙම නැතිනම් කෝට් එකේ පාටට ගැලපෙන ෆෝමල් කලිසමක් වුනත් අවුලක් නෑ. දැන් යටට ඕන නම් ෂර්ට් එකක් අඳින්න පුළුවන් යට කරන්නේ නැතුව. ඕන නම් යට කරන්නත් පුළුවන්. ෂර්ට් එක සාමාන්‍ය චෙක් හෝ ලයින් තියෙන එකක් බැරිනම් මල් මල් එකක් වුනත් කිසිම ගැටළුවක් නෑ. හැබැයි ටයි පටි හරියන්නෙ නෑ. ගොඩක් වෙලාවට ෂර්ට් එකේ උඩ බොත්තමක් දෙකක් ඇරලා තමයි මේ ෆැෂන් එක හරියන්නේ.
ඕන නම් යටට ෂර්ට් එකක් වෙනුවට ටී ෂර්ට් එකක් අඳින්නත් පුළුවන්. ෂර්ට් එකක් ඇන්දත්, ටී ෂර්ට් එකක් ඇන්දත්, ටක්සිඩෝ එකේ දිගට වඩා යටට ඇඳලා ඉන්න ෂර්ට්/ටී ෂර්ට් එකේ දිග වැඩි නොවෙනවා නම් වඩාත් සුදුසුයි.
නයිට් පාටියකට එහෙම තමයි මේ විදියේ කැෂුවල්/ස්මාට් කැෂුවල් සූට් එක ගොඩක්ම ගැලපෙන්නේ.
4. සරොං කිට්
මෙන්න තවත් අතිශයින්ම පහසු, සරල, සුගම වෙඩින් ෆැෂන් එකක් කොල්ලෝ වෙනුවෙන්ම. සරමයි, නැෂනල් එකයි නැතිනම් ෂර්ට් එකයි, හරිම සරලයි!
ගොඩක් වෙලාවට ශරීර ප්‍රමාණය අඩු වැඩි වෙන කොල්ලෝ මේ සරොම් කිට් එකට බොහොම මනාපයි. ඒකට හේතුව තමයි සරොම් කිට් එක අඳින්න ඇඟේ සයිස් එක අඩු වැඩි වෙන එක කේස් එකක් නැතිම වීම. හැබැයි ඉතින් මේ සරොම් කිට් එකත් වෙඩින් එකකට ගැලපෙන ලුක් එකක් තියෙන එකක් වෙන්න ඕන. දැන් කාලයක් බොහොම ජනප්‍රිය වෙලා තිබුණු සරොම් විලාසිතාව තමයි බෙයාර්ෆුට් සරොම්. ඒ කියන්නේ අර පාට පාට කොටු කොටු සරම සහ ඒකට ගැලපෙන අත් කොට ෂර්ට් එක. ඕන නම් අත්දිග ෂර්ට් එකක් වුනත් ගැටළුවක් නෑ.
සාමාන්‍යයෙන් ජාතික හැඟීමෙන් වෙඩින් එකකට යන්න නම් සුදු හෝ බොහොම ලා පාටක සරමක් සහ නැෂනල් එකක් අඳින්න පුළුවන්. ඒ ඇඳුම සම්පූර්ණ වෙන්න සාටකේකුත් දාගන්න පුළුවන්.
රාත්‍රී වෙඩිමකට වගේ නම් වඩා තද වර්ණයක සරොම් කිට් එකක් තමයි වඩාත් ගැලපෙන්නේ. මල් මල් අනං මනං හෝ බතික් වගේ සරොම් කිට් එකකට වඩා, වැඩි වටිනාකමක් පේන තනි පාට හෝ පාට දෙකක කිට් එකක් වඩාත් ගැලපෙනවා.
5. වෙස්ටි කිට්
වෙස්ටි කියලා කිව්වහම අමුතුයි වගේද? එහෙමනම් වෙට්ටිය දැකලා තියෙනවද? ඇත්තටම සාම්ප්‍රදායික දමිළ පිරිමි ඇඳුම වෙන වෙස්ටි නැතිනම් වෙට්ටි එක ගොඩක් දෙනෙක් ඇඳලා පුරුදු ඇඳුමක් නෙවෙයි. මොකද සරම වගේ දෙපැත්තෙන් අල්ලලා බඩ මැද්දෙන් ගැටයක් ගහගන්න බැහැ වෙට්ටි එකක. වේට්ටියක් අඳින එක ඊට වඩා එහාට ගියපු කලාවක්. හැබැයි ඉතින් ඕක ගොඩදාගන්න බැරි වැඩකුත් නෙවෙයි.
වෙට්ටි එක එන්නේ සුදු හෝ ලා පාටකින් ගොඩක් වෙලාවට. හැබැයි ඒක රත්තරන්, රිදී පාට බෝඩර් වලින් අලංකාර වෙලා තියෙන්නේ. දැන් මේකට ඕන නම් ලා පාටකම කුර්තා ෂර්ට් එකක් හෝ සාමාන්‍ය ෂර්ට් එකක් අඳින්න පුළුවන්. හැබැයි වෙට්ටියත් එක්ක වඩාත් ගැලපෙන්නේ තද පාටක ෂර්ට් එකක්.
වෙට්ටි එකත් ගැලපෙනවා ඇඟේ සයිස් අඩු වැඩි වීම් එක්ක ෆුල් සූට් එකක් එහෙම රෙඩි කරගෙන තියාගන්න බැරි කොල්ලන්ට. ඊටත් වඩා වෙට්ටි කිට් එකක සුවිශේෂී ලුක් එකකුත් තියෙනවා.
6. ඉන්දියන් කුර්තා කිට්
සාමාන්‍යයෙන් දැන් ඉන්දියන් ෆැෂන් වෙඩින් වලට අඳින එක වැඩි වැඩියෙන් දකින්න ලැබෙන දෙයක්. මේ කිට් එකකදීත් කුර්තා ෂර්ට් එක සහ ඒකටම ගැලපෙන කලිසමක් තමයි එන්නේ. සමහර වෙලාවට කුර්තා එකේ උඩ කොටස ෂර්ට් එකක් සහ කෝට් එකක් විදියට කෑලි දෙකකටත් එනවා. මේ ඇඳුමක තියෙන විශේෂත්වය තමයි බොහොම තදින් වැඩ දාලා තියෙන එක. ඒ නිසාම කුර්තා කිට් එකක් අඳිනකොට ඒකට සාමාන්‍ය සෙරෙප්පු බෙරෙප්පු හරියන්නෙ නෑ. කුර්තා එකේ විදියටම වැඩ දාපු සෙරෙප්පු යුවළකුත් කුර්තා එකටම එනවා.
7. ඩෙනිම් ඇන්ඩ් කුර්තා ටොප්
මෙන්න තවත් සරල වෙඩින් ෆැෂන් එකක්. මේකට හැබැයි අර රන්, රිදී, රතු, කහ, කොළ නූල් වලින් දරුණුවට වැඩ දාපු කුර්තා ටොප් හරියන්නෙ නෑ. හැබැයි ඊට වඩා බොහොම චාම් ප්‍රමාණෙකින් වැඩ දාපු, ගොඩක් වෙලාවට තනි පාටින් තියෙන, බොහොම ලස්සන කුර්තා ටොප් සාමාන්‍ය පිරිමි විලාසිතා කඩයක වුනත් තියෙනවා. දැන් මේකට ගැලපෙනවා ඩෙනිම් කලිසමක්. ඒකට තමන් කැමති විදියක හොඳ සපත්තු හෝ සෙරෙප්පු ජෝඩුවක් දැම්මත් කමක් නෑ.
මෙතන රහස තියෙන්නේ ඇත්තටම තෝරගන්න කුර්තා එක චාම් ඒත් මිලාධික පෙනුමක් තිබීම. ඒ වගේම පාටවල් ඩෙනිමත් එක්ක හරියටම මැච් වීම. ඕන නම් අත් උඩට අකුළුවන්න පුළුවන් කුර්තා ටොප් එකක් නම් වඩාත් කැෂුවල් පෙනුමක් ලබාගන්න පුළුවන්!
Leave a Reply