ආයෙමත් දවසක – 25 කොටස

1 වෙනි කොටස මෙතනින් කියවන්න

24 වෙනි කොටස මෙතනින් කියවන්න

 

25 කොටස

මේ කතාවෙ තියෙන විදියට සියුමිගෙ අම්මා වගේම නදිකගෙ තාත්තත් තමුන්ගෙ බිරින්දෑට වරදක් කරලා තියෙනවා. නදික දකින දකින වාරයක් පාසා හිතුවෙ අම්මයි අප්පච්චියි සතුටින් ඉන්නව කියල. ඒ ඇතුළෙ නදිකගෙ අප්පච්චි ලොකු ඉවසීමකින් ඉන්නව නදික දැකලා තිබුනා. සමහරවිට ඒ ඉවසීම තිබුනෙ මේ කරපු වරද නිසා වෙන්න පුළුවන් කියලා නදික හිතුවා. සියුමිගෙ අම්මා කියන විදියට දැන් සියුමිව අතාරින්නත් බෑ. සියුමි ගැන සහෝදරියෙක් ගාණට හිත නොදුන්නත් දැන් කසාදයක් වෙනකං මේක ගෙනියන්න දෙගිඩියාවකුත් නදිකගෙ හිතේ ඇතිවෙලා ඉවරයි. මේ ඔක්කොම ඉවර වෙලා යන්න ටිකක් වැඩිපුර වෙලාවක් නිදාගන්​න නදික හිතුවා. ඒකට උදේ කාපු කිරිබත් ටික ලොකු උදවුවක් වුනා. නදිකට අද ඔෆිස් යන්න තියෙන දවසක්ද නැද්ද කියලවත් මතක් වුනේ නෑ. දැන් ඉතිං ඔෆිස් යන්න ඕනෙත් නෑනෙ. නදික නිදාගත්තා.

නින්දෙන් ඇහැරිලා බලද්දි ලොකු බඩගින්නක් දැනිච්ච නිසා නදික වෙලාව බැලුව. හවස තුනයි. ෆෝන් එකට එක ​කෝල් එකක්වත් ඇවිත් නැහැ. උයලා තියෙන්නෙ මොනවද කියල බැලුවම නදික කන්න ආසා කරන දේවලුත් නෙමෙයි නිසා නදික එළියට ගියා. නදික හිතුවෙ හවස් අතේ කොත්තුවක් දාගෙන බියර් එකක් බොන්න වුනත්, නින්දෙන් ඇහුරුණු ගමන් තියෙන කම්මැලිකම නදිකව බියර් එකක් බොන්න බැරි තරමට කම්මැලි කළා. ඒ වෙලාවෙම කෝල් එක ආවෙ සියුමිගෙන්.

“අනේ… අනේ… මතක් වෙන්නෙවත් නැහැ නේද?”

“ඔයාටත් මාව මතක් වුනේ නැහැනෙ”

“මට නින්ද ගියා නදික”

“මටත් නින්ද ගිහින් හිටියෙ”

“බොරු”

“ඇත්තමයි…”

“ඉතිං ඇහැරුණාම කෝල් කරන්න එපැයි”

“මට ඔයා එක්ක කේන්ති ගියා”

“ඒ මොකද?”

“නිදාගෙන හිටපු වෙලාවෙ එක පාරක්වත් මාව මතක් වෙලා නැති නිසා”

“ඉතිං ඒ මටත් නින්ද ගිය නිසානෙ”

“ඒක මං දන්නෙ නැහැනෙ”

“මොකද කරන්නෙ ඔයා?”

“කන්න හොයාගෙන එළියට බැස්ස”

“ගෙදර උයලා නෑ?”

“මං කන්න ආසා නැති දේවල් උයල තියෙන්නෙ”

“දැන් කොහෙද කන්න යන්නෙ?”

“බම්බලපිටියට”

“අපේ ගෙදර එන්නකො”

“මොනවද දෙන්නෙ?”

“මොනවහරි හදන්නං”

“මොනවද?”

“මං කාලත් නැහැනෙ. දෙන්නටම මොනවහරි හදන්නං”

“හරි මං එන්නං”

නදික සියුමිලගෙ ගෙදරට ගියේ ආන්ටි කියපු කතාවෙන් පස්සෙ ගෙදර තත්ත්වෙ කොහොමද කියල දැනගන්නත් එක්ක. අංකල් ඒ වෙලාවෙ නින්දක. ආන්ටි පත්තරයක් කියව කියව හිටියෙ. වෙනදට වඩා ප්‍රසන්න හිනාවක් ආන්ටිගෙ මූණෙ තිබුණ.

“කෝ ආන්ටි සියුමි?”

“කුස්සියෙ. ඔය දෙන්නට මොනවද හදනව”

“ආන්ටි කාලද?”

“ඔවු පුතේ මම බෙහෙත් බොන්න ඕනනෙ”

“හ්ම්ම්ම්…”

“පුතා කිචන් එකට යන්න”

“තව ටිකයි ඉක්මනට කන්න දෙන්නං”

“හදිස්සි නෑ. බඩගිනි නැති වුනා”

“මාව දැක්කමද?”

“ඔවු වෙන බඩගින්නක් ආවනෙ”

“හා හා… එවුව නෑ”

“ඇයි?”

“රෑයි උදෙයි මදිවට දැන් දවලුත්”

“මොකෝ වෙන්නෙ?”

“අනේ මේ. කාලා ඉමු”

“මොනවද හැදුවෙ?”

“චිකනුයි බිත්තරයි ගම්මිරිසුයි දාලා අමුතු ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා”

“බියර් එකකුත් එක්ක තිබ්බනං මරු”

“තාත්තිගෙ ඒවා ඇති ෆ්‍රිජ් එකේ”

“මම ගත්තට කමක් නැද්ද?”

“කමක් නෑ අනේ”

නදිකට පළවෙනි බත්කට කද්දිම සියුමි ගැන ලොකු ආදරයක් ඇතිවුනා. ඒක බඩගිනි හවසකට මරු කෑම එකක්. අප්පුට මෙහෙම වැඩ බෑ. බියර් එකක් මදියි කියල දෙවනි එකත් කඩා ගත්තට බඩගින්නට කාපු නිසා බත් එක ඉවර වුනා. තව මොනවහරි හදල දෙන්නද කියල සියුමි ඇහුවම නදික ඔලුව වැනුවෙ තාමත් බඩගින්න ගිහින් තිබුනෙ නැති නිසා. අන්තිම බත් කට දෙක එක්ක දෙවැනි බියර් බෝතලෙත් ඉවර වෙන්න ළං වෙද්දි සියුමි ආවෙ දුම් දාන පිඟානක් අරගෙන. ඒකෙ තිබුනෙ නූඩ්ල්ස්. මැගී නූඩ්ල්ස්වලට අමු මිරිස්, ගම්මිරිස්, චීස්, බිත්තර දාලා හදපු ඒ කෑම එක නදික කාපු රසම කෑම එකක්. ඒ නිසා තුන්වෙනි බියර් බෝතලෙත් කැඩුණා.

“මේක මරුනෙ”

“මගේ අත්වලින්නෙ හැදුවෙ”

“මට ආයෙ නිදිමතයි වගේ”

“බියර් බෝතල් තුනකුයි ලොකු බත් පිඟානකුයි, චීස් බිත්තර එක්ක නූඩ්ල්ස් එකකුයි කෑවම නිදිමත නැතුව තියෙයිද?”

“ඔවුනෙ…”

“බබෙක් වගේ ඔහොම කතා කරද්දි ඔයාට යන්න දෙන්න හිතෙන්නෙත් නෑ”

“ඉතිං තියාගන්නකො”

“අම්මියි තාත්තියි මොනවහරි හිතයිද දන්නෑ”

“අනේ…”

“ඉන්නකො පැටියො… මං අම්මිගෙන් අහල එන්නං”

සියුමි නැගිටලා ගියා. නදික සෝෆා එකේම ඇලවුනා. බෝතලුයි පිඟනුයි හැඳියි බියර් මග් එක්ක එහෙමම තියෙද්දි, නදික මොකුත් නොහිතා ඇලවුනා. ටිකකින් සියුමි ඇවිත් නදිකව බදාගත්තා. දෙන්නම සෝෆා එක උඩ. ශෘංගාරාත්මක හැඟීම් පිරිලා තිබුනට හිතම කම්මැලියි. නදික හිතුවා සියුමිට ආන්ටි ඕකේ එක දෙන්න ඇති කියල. නදික එහෙමම නිදාගත්තා.

******************************************

එක පාරට ටීවී සද්දයක් ඇහිලා නදික ඇහැරෙද්දි සියුමි එහා පැත්තෙ හිටියෙ නෑ. සියුමිගෙ තාත්තා හිටියා. නදික අංකල් එක්ක හිනා වුනා. අංකලුත් හිනා වුනා.

“පුතාට නින්ද ගියා නේද?”

“ඔවු අංකල්”

“දූත් දැනුයි ඇහැරුණේ”

“දැන් කෝ?”

“වොෂ් එකක් දාන්න ගියා”

“හරි අංකල්”

“පුතාට එයා එනකං ඉන්න කිවුව”

“හරි අංකල්”

නදික ෆෝන් එක හෙවුව. ඒක ළඟ තිබුනෙ නෑ. නදික එහෙමම සෝෆා එකට බර දීලා හිටියා. ඒ වෙලාවෙ ආන්ටි ඇවිත් කිවුව රෑටත් කාලම යන්න කියල. නදික හරි කියල වාහනේට ගියා. වාහනේ සීට් එක උඩ නදිකගෙ ෆෝන් එක තිබුණා. අශිනි කෝල් කරලා තිබුණා. නදික ගණං ගත්තෙ නෑ.

නදික ආයෙ ගේ ඇතුළට එද්දි සියුමි තුවාය ඔලුවෙ ඔතාගෙන හිටිය. නදික හිනාවක් දාගෙන ළඟට ගියා. සියුමි එයාගෙ සීතල අත නදිකගෙ කම්මුලෙන් තිබ්බා. නදිකට හිතුනා නදිකගෙ ස්ත්‍රී ලෝලී අතීතෙ සියුමිට කියල තියන්න. පස්සෙ අඹු සැමි රණ්ඩුවකදි ඒවා සියුමි අවභාවිතා නොකරයි කියල විශ්වාසයක් නදිකට තිබුණා.

“මට ඔයාට දෙයක් කියන්න තියෙනවා…”

“ඒ මොකද්ද අනේ?”

සියුමිගෙ සීතල ඇඟ නදිකගෙ අත වටේ එතුනා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *