ස්වයං රැකියාවක් හැටියට වුවත් නිෂ්පාදනය කළ හැකි කල්තබා ගත හැකි ආහාර 4ක් හදාගමු!

මේ වනවිට ලංකාවෙ බොහොමයක් කාන්තාවන් රැකියාවල නිරත වෙනව. එහෙම රැකියාවක් නොකරන කාන්තාවක් උනත් සැමියා උසුලන ජීවන බරට අත්වැලක් වෙන්න ආසාවෙන් ඉන්නව.

ස්වයං රැකියාවක් විදියට තමන්ගෙ උයන පිහින දැනුමෙන් යමක් කරන්න කැමති කාන්තා ඔබ වෙනුවෙන් පුංචි උදව්වක් වෙන්නයි මේ උත්සාහය. රට රැකියාවල සහ විදෙස්ගතව ඉගෙනීමේ කටයුතුවල නිරත වෙලා ඉන්න අය ඕන තරම්. එහෙම අයටත් කාර්යබහුල අයටත් කල්තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් විදියෙ ආහාර කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වෙලා. ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න පුළුවන්, රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර මාස හයක් පමණ කල්තබාගත හැකි ආහාර වට්ටෝරු කීපයක් තමයි මේ අද අපි අරන් එන්නෙ.

 

1. සීනි සම්බෝල

Image Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ළූණු 1kg
  2. කෑලි මිරිස් 100g
  3. රම්පෙ
  4. කරපිංචා
  5. ලුණු රස අනුව
  6. කරදමුංගු 6
  7. කුරුඳු අඟලක්
  8. කරාබුනැටි 10
  9. උම්බලකඩ මේස හැඳි 6
  10. සියඹලා යුෂ රස අනුව
  • ළූණු ටික සිහින්ව කපාගෙන ගැඹුරු තෙලේ රන්වන් පාටට ක්‍රිස්පි වන තෙක් බැදගන්න. (කර කරගන්න එපා) තෙල් බේරෙන්නට තබාගන්න.
  • රම්පේ සහ කරපිංචාද එලෙසම බැදගෙන තෙල් බේරෙන්නට තබාගන්න.
  • වෙනම තෙල් මේස හැඳි තුනක් පමණ රත් වෙන්නට හැර එයට උම්බලකඩ, කරදමුංගු, කරාබු නැටි සහ කුරුඳු එක් කර බැදෙන්නට හරින්න.
  • එයට කෑලි මිරිස් සහ රස අනුව ලුණු එක් කර, කර වෙන්නට නොදී තෙම්පරාදු කර එයට සියඹලා ඉස්ම එක්කර හොඳින් මිශ්‍ර කරගෙන මද වේලාවක් පිසගන්න.
  • එයට බැදගත් ළූණු, රම්පෙ සහ කරපිංචා එක් කර හොඳින් මිශ්‍ර කරගන්න .නිවෙන්නට හැර ජීවාණුහරණය කළ බෝතල් වල අසුරාගන්න.

 

2. බටු මෝජු

Image Source – deskgram.net

අවශ්‍ය ද්‍රව්‍ය

  1. වම්බටු 1kg
  2. ලියාගත් ලොකු ළූණු ගෙඩියක්
  3. රම්පෙ
  4. කරපිංචා
  5. අමුමිරිස් 100g
  6. රතුළූණු 100g
  7. මිරිස් කුඩු රස අනුව
  8. අඹ චට්නි මේස හැඳි 3
  9. ගම්මිරිස් කුඩු රස අනුව
  10. උම්බලකඩ මේස හැඳි 3
  11. සීනි මේස හැඳි 3
  12. විනාකිරි මේස හැඳි 3
  13. රස අනුව ලුණු
  14. තෙල් ටිකක්
  • වම්බටු ටික සිහින් දිග තීරු කපාගෙන ලුණු පොඩ්ඩක් මිශ්‍ර කර ගැඹුරු තෙලේ හොඳින් පැහැය එනතුරු බැදගන්න. (කර කරගන්න එපා)
  • තෙල් එකටම රතු ළූණු සහ අමු මිරිස් වෙන වෙනම එක් කර විනාඩියක් පමණ තෙලෙන් තැම්බෙන්න හැර තෙල් බේරෙන්නට තබාගන්න.
  • මැටි හට්ටියක තෙල් ටිකක් රත් වෙන්න හැර එයට කපාගත් ලොකු ළූණු, රම්පෙ කරපිංචා එක් කර ළූණු ටික බැදෙනකම් තෙම්පරාදු කරගන්න. එයට මිරිස්, ගම්මිරිස්, උම්බලකඩ එක් කර තෙම්පරාදු කරගන්න.
  • එයටම සීනි, විනාකිරි සහ චට්නි එක් කර හොඳින් මිශ්‍ර කරගෙන එයට රතු ළූණු සහ අමු මිරිස් සමඟ වම්බටු ටික එක් කරගෙන විනාඩි දෙක තුනක් අඩු ගින්දරේ මිශ්‍ර කරගන්න.
  • රස බලා අවශ්‍ය පරිදි ලුණු එක් කරගන්න. නිවුණු පසු ජීවාණුහරණය කළ බෝතල් වල දමාගන්න.

 

3. හාල්මැස්සන් සහ රටකජු බැදුම

Image Source – deskgram.net

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිරිසිදු කර වියලාගත් හාල් මැස්සන් 500g
  2. රටකජු 250g
  3. ලියාගත් ලොකු ළූණු ගෙඩි 5
  4. කරපිංචා කොළ කප් 4
  5. කෑලි මිරිස් මේස හැඳි 6
  6. සීනි මේස හැන්දයි
  7. රස අනුව ලුණු
  • හාල්මැස්සන් ටික ගැඹුරු තෙලේ හොඳින් බැදගන්න. තෙල් බේරෙන්නට තබාගන්න. එයටම ළූණු එක් කර බැදගෙන එයත් තෙල් බේරෙන්නට වෙනම තබාගන්න.
  • ඒ තෙලෙන්ම කරපිංචා සහ රටකජු ටිකත් කර නොවෙන්නට ක්‍රිස්පි ගතිය එන පරිදි බැදගන්න.
  • භාජනයක් ලිප තබා තෙල් ස්වල්පය රත් වෙන්නට හැර එයට කෑලි මිරිස්, සීනි සහ ලුණු එක් කර තෙම්පරාදු කරගන්න. කෑලිමිරිස් කර වෙන්නට නොදී එයට බැදගත් සියල්ලම එක් කර හොඳින් කලවම් කරගන්න.
  • ජීවාණුහරණය කළ බෝතල් වල අසුරාගන්න.

 

4. චිලි පේස්ට්

Image Source – peckishme.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කෑලි මිරිස් 400g
  2. සෝදා තෙත වියලාගත් වියලි කූනිස්සො හෝ වියලි ඉස්සන් 400g
  3. ඉඟුරු පෙති 2
  4. පෙති කැපූ සුදුළූණු බික් 4
  5. සීනි 80g
  6. විනාකිරි මේස හැඳි 4
  7. රස අනුව ලුණු
  8. කපාගත් ලොකු ළූණු ගෙඩි 2
  • කූනිස්සන්, ළූණු, ඉඟුරු සහ සුදු ළූණු වෙන වෙනම ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් කර නොකරගෙන බැදගන්න. බැදගත් සියල්ල එකට එක් කර හොඳින් බ්ලෙන්ඩරයක අඹරාගන්න.
  • කෑලි මිරිස් ටික යන්තම් රත් වෙන්නට කබලේ බැදගෙන පසෙකින් තියාගන්න.
  • තෙල් මේස හැඳි පහක් හයක් රත් වෙන්නට හැර එයට සීනි, රස අනුව ලුණු සහ අඹරාගත් සියල්ල සමඟ විනාකිරි එක් කර එයටම කෑලි මිරිස් ටිකත් එක් කර හොඳින් මිශ්‍ර කර විනාඩි කීපයක් පිසගන්න. ජීවාණුහරණය කළ බෝතල් වල අසුරාගන්න.

 

5. බෝතල් ජීවාණුහරණය කිරීම

Image Source – empoto.com

  1. කෑම හදල විතරක් මදිනෙ හරි විදියට අසුරගන්න දන්නෙ නැත්නම්. මෙහෙමයි බෝතලයක් ජීවාණුහරණය කරල ආහාර අසුරගන්නෙ.
  2. බෝතල් සහ පියන් හොඳින් සෝදා පිරිසිදු කරගන්න.
  3. බෝතල් දැමිය හැකි භාජනයක් ගෙන එයට බෝතල් දමා බෝතල් වැහෙන්න ඇල් වතුර එක් කරගන්න. දැන් විනාඩි 15ක් 20ක් පමණ බෝතල් ටික හොඳින් තම්බාගන්න. බෝතල් උණුවතුරෙන් පිටතට ගැනීමට පාවිච්චි කරන අඬුව සහ පියන්ද වෙනම තම්බාගන්න.
  4. දැන් මේ බෝතල් හොඳින් වියලෙන්න පිරිසිදු දැලක මුණින් නවා තියාගන්න.
  5. හොඳින් නිවාගත් සකසාගත් ආහාර වියලාගත් බෝතල් වලට පුරවාගන්න. කට මට්ටමටම පුරවන්නේ නැතුව අඟල් 1/2ක් පමණ අඩුවෙන් පුරවන්න.
  6. ලොකු භාජනයක් ගෙන එය ඇතු‍ළෙන් පුරවාගත් බෝතල් පියන නොවසා තබන්න. බෝතලයේ අඩියේ සිට අඟල් එකහමාරක් පමණ උසට වතුර එන පරිදි භාජනයට වතුර පුරවාගන්න.
  7. ලිප තබා විනාඩි 25ක් පමණ වතුර උතුරන්නට හරින්න. දැන් පියන් ටික ගෙන බෝතල් හොඳින් වසාගන්න. දැන් භාජනය පියනකින් වසා විනාඩි 45ක් විතර හොඳින් බෝතල් තම්බාගන්න.
  8. විනාඩි 45න් පසුව බෝතල් සාමාන්‍ය සිසිල් ජලයේ මදක් තබා පිටතට ගෙන නිවෙන්නට හරින්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *