නපුංසකයෙක් ලංකාව වෙනස් කරපු හැටි

මේ ලිපියේ මාතෘකාව දැක්කම හොල්මන් වෙලා යන්න ඇති නේද? මේ කියන පුද්ගලයා සුවිශේෂී පුද්ගලයෙක්. මේ පුද්ගලයා ලංකාවේ විතරක් නෙමෙයි සමහරු කියන විදිහට ලෝක ඉතිහාසය පවා වෙනස් කරන්න දායකත්වය ලබා දීපු පුද්ගලයෙක්. ලෝක ඉතිහාසය වෙනස් කරන්න දායකත්වය ලබා දීපු එක නම් ටිකක් විතර විවාදාත්මකයි. ඒ වගෙම ජාවා දූපත්වලදී මේ පුද්ගලයාව දේවත්වයෙනුත් සලකනවා. මේ කා ගැනද අපි කතා කරන්න යන්නේ කියලා ඔයාගේ ඔළුවට ආවද? නෑ නේද? කමක් නෑ. මොකද අපේ ඉතිහාස පොත්වල මේ පුද්ගලයා සහ සිදුවීම ගැන විශාල වශයෙන් අඩංගු වෙන්නේ නෑ. මේ අපි කියන්න යන්නේ චීන ජාතික අද්මිරාල් චෙන් හෝ ගැන.

 

1. චෙන්හෝගේ වතගොත

Image Source – serba-serbi-serba-ada.blogspot.com

චෙන්හෝ ඉපදෙන්නේ යූවානයේ මුස්ලිම් ජාතිකයෙක් විදිහට. මේ කාලේදී යුවානය පාලනය කරන්නේ මොංගෝලියානු රාජ කුමාරයෙක් විදිහට. මේ මොංගෝලියානු කුමාරයට විරුද්ධව සටන් වදින චීන සේනාවක් යුවානය ආක්‍රමණය කරනවා. ඔවුන් සමග සටන් කරන චෙන්හෝගේ පියා මිය යනවා. යුධ සිරකරුවෙක් විදිහට චෙන්හෝව අල්ලගන්න චීන්නු චෙන්හෝව කප්පාදුකරණයට ලක් කරලා රාජ කුමාරයෙක්ගේ මාළිගාවේ වැඩට යොදනවා. නමුත් ලිංගික ශක්තිය නොමැති වුණත් චෙන්හෝ ශරීර ශක්තියෙන් වැඩි පුද්ගලයෙක් බවට පත් වෙනවා. චීන යුධ හමුදාවට එක්වන චෙන්හෝ රණකාමියෙක් විදිහට ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම චෙන්හෝගේ ස්වාමියා වුණු රාජකුමාරයා චීන අධිරාජ්‍යයා බවට පත් වෙද්දි චෙන්හෝත් රාජ්‍යයේ බලගතු පුද්ගලයෙක් බවට පත්  වෙනවා.

 

2. චෙන්හෝගේ මුහුදු ගමන්

Image Source – serunibodjawati.com

චීන අධිරාජ්‍යයා මුහුදු වෙළඳාමට චීනය යොමු කරවීමට සහ ලෝකය පිළිබඳව චීනයේ දැනුම වැඩි කිරීමට වැඩ පිළිවෙළක් ආරම්භ කරනවා. ඒ යටතේ සිදු කරන නාවික හමුදාවක් ගොඩ නැගීම කරනවා. මේ නාවික හමුදාවේ ප්‍රධානත්වය ලැබෙන්නේ චෙන්හෝට. චෙන්හෝ තමන්ගේ නාවික කණ්ඩායම් සමග මුළු ඉන්දියන් සාගරය පුරාම කරක් ගහනවා. තමන් පිවිසෙන රටවල පාලකයන්ට පෝසිලේන්, පටපිළී වගේ චීනයේ නිපදවෙන ඉස්තරම්ම දෑ ලබාදෙන චෙන්හෝ එතෙක් චීනයේ කිසිවෙක් දැක නොතිබූ ජීරාෆ්, පැස්බරා, සීබ්‍රා වගේ සතුන් තෑගි විදිහට නැවතත් චීනයට ගෙන එනවා. සමහර අය තර්ක කරන විදිහට ලෝකය වටා මුලින්ම සංචාරය කළේ මැගලන් නෙමෙයි, “චෙන්හෝ”, ඒ වගේම ඇමරිකාවට කොලොම්බස්ට කලින් ගොඩ බහින්නෙත් චෙන්හෝ. මේවා අතිශෝක්තීන් විදිහට බැහැර කරන ඉතිහාසඥයෝ කියන්නේ චෙන් හෝ ඉන්දියන් සාගර කලාපය සහ අප්‍රිකාවේ නැගෙනහිර රටවල්වලට ගොඩ බැස්සා කියලා.

 

3. චෙන් හෝ ලංකාවට පැමිණීම

Image Source – rilis.id

චීන මූලාශ්‍රවල කියන විදිහට චෙන් හෝ තමන්ගේ පළවෙනි මුහුදු ගමනේද‍ීම ලංකාවට එනවා. ලංකාව එවකට පාලනය කරපු වීර අලකේෂ්වරගෙන් මිත්‍රශීලී පිළිගැනීමක් චෙන් හෝට ලැබෙන්නේ නෑ. ඔහුව බුදු දහමට සලකන්නේ නැති, රටේ ජනතාව පීඩාවට පත් කරන ඒකාධිපතියෙක් විදිහටයි හඳුන්වලා තියෙන්නේ. වීර අලකේෂ්වර චීන නාවික පිරිසට ප්‍රහාර එල්ල කරන්න සැරසීමත් එක්ක ලංකාවෙන් බැහැරට යාත්‍රා කරන්න චෙන් හෝ අණදෙනවා.

 

4. චෙන් හෝ ගේ දෙවෙනි ගමන

Image Source – jurnaland.com

තමන්ට පළවෙනි අවස්ථාවේදි සිද්ධ වුණු මදිපුංචිකම ගැන චීන අධිරාජ්‍යයාටත් දැනුම් දීමක් කරන චෙන් හෝ නැවතත් ලංකාවට පැමිණෙනවා. නමුත් මේ වර ඔහු ලංකාවෙන් යන්නේ වීර අලකේෂ්වර ඇතුළු රජ පවුලම සිරකරුවන් විදිහට අල්ලාගෙන. මේ සිදුවීම අපේ රටේ රාජාවලියේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි.

“විජයබාහු රජු රජකරන අවධියට මහාජීනේ දොස් රජ සෙනඟ ගෙන මේ ලකට ගොඩ බැසලා පඬුරුපාක්කුඩම් ගෙන එනවාය කියා මායම් කර පරාක්‍රමබාහු රජ රජ කරන අවධියේදි පඬුරුපාක්කුඩම් ගෙනෙන්නහ. ඒ සැටි සිතා ගෙන ඉඳලා විජයබාහු රජ අනුවණකම් කොට දොස් රජුට අසුව උපායෙන් අල්ලාගෙන ගියාහ. ඒ රජුගේ මල්බෑ සතරදෙනාත් නැසීලා නැතක් හමුදාවත් වැටිලා අල්ලාගෙන දොස් රජ මහාජීනයට ගියාහ.”

මෙතනදි කියවෙන විජයබාහු රජු කියන්නේ වීර අලකේෂ්වරටමයි කියලා ඉතිහාසඥයෝ විශ්වාසය පළ කරනවා. ඒකට නිදසුන් විදිහට දෙන්නේ සමකාලීන ග්‍රන්ථයක් වුණු සද්ධර්මරත්නාකරයේ එන මේ සටහන

“පළමු කී වීරඅලකේශ්වරයන් රයිගම්පුරයෙහි දී මල් වූ වීරබාහු ඈපාණන් හා යුද්ධයෙන් පැරද දේශාන්තරගතව නැවත අවුත් මෙහි දොළොස්‌ අවුරුද්දක්‌ රාජ්‍යය කළ ඉක්‌බිති පුරාකෘත කර්මයෙන් චීන මායමට අසුව”

 

5. හයවෙනි පරාක්‍රමබාහු රජවීම

Image Source – fanartreview.com

චීන මූලාශ්‍රවලට අනුව අලක්ෂේවර ඇතුළු රජ පවුලේ පිරිසව චීනයේ සිරකරුවන් විදිහට වසර කීපයක් රඳවා තබා ගන්නවා. ඒ වගේම මේ පිරිස වෙනුවට ලංකාවේ පාලනය වෙනත් රජ කුමරෙකුට පවරන්න චීන අධිරාජ්‍යයා තීරණය කරනවා. මේ කුමාරයා තමයි හයවෙනි පරාක්‍රමබාහු විදිහට කෝට්ටේ රජ වෙන්නේ. ලංකාව අවසාන වරට එක්සේසත් කරන්නත් හයවෙනි පරාක්‍රමබාහු සමත් වෙනවා. රජ වීමෙන් පසුවත් වරක් පරාක්‍රමබාහු රජු චීනයට පැමිණියා කියලා චීන රාජ්‍ය සභා ලේඛනවල සඳහන් වෙනවා. හැබැයි අපේ මූලාශ්‍රවල නම් හයවෙනි පරාක්‍රමබාහු රජුට චීනයෙන් සහායක් ලැබුණා කියන එක ගැන සඳහන් වෙන්නෙ  නෑ. මේ ගැන ඉතිහාසඥයින් දෙකට බෙදෙනවා. සමහරු කියන්නේ පරාක්‍රමබාහුගේ වීරත්වය වර්ණනා කරන්න ඕන නිසා අපේ මූලාශ්‍රකරුවෝ හිතාමතා මේ ගැන සඳහන් කිරීම මඟ ඇරියා කියලා. තවත් කොටසක් කියන්නේ මේ චීනෙන් උදව් ගත්ත පරාක්‍රමබාහු වෙන කෙනෙක් කියලා.

 

6. චෙන් හෝගේ ත්‍රෛභාෂා සෙල්ලිපිය

Image Source – youtube.com

ගාල්ලෙන් හම්බ වුණු ත්‍රෛභාෂා සෙල්ලිපිය අද වෙනකොට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. චීන, පර්සියන්, දෙමළ කියන භාෂා තුනෙන් ලියවිලා තියෙන මේ ලිපිය පිහිටවන්නේ චෙන් හෝ විසින්. මේ ලිපිය තුළ චෙන් හෝ ගෙනා විවිධ පූජා භාණ්ඩ පිළිබඳව තොරතුරු අඩංගු වෙනවා. මේ සෙල්ලිපිය දෙවුන්දර උපුල්වන් දේවාල බිමේ පිහිටුවලා තිබ්බ සෙල්ලිපියක් බවට සාක්කි තියෙනවා. පෘතුගීසින් දේවාලය විනාශ කරලා දේවාලේ කොටස් ගාල්ල කොටුව හදන්න ගෙන යෑම නිසා මේ සෙල්ලිපිය ගාල්ලට ගේන්න ඇති කියලා මතයකුත්, චෙන් හෝ ගාල්ලට ගොඩ බැස්ස වෙලේ මේ සෙල්ලිපිය පිහිටෙව්වා කියලා මතයකුත් තියෙනවා.

 

7. චෙන් හෝ ගෙන් පසු

Image Source – wayangku.id

චෙන් හෝගේ මරණයෙන් වසර කීපයකට පස්සේ අලුත් චීන අධිරාජ්‍යයෙක් පත් වෙනවා. ඔහු ගොවිතැන් කෙරෙහි උනන්දුවක් දක්වපු පුද්ගලයෙක්. ඔහු කලින් අධිරාජ්‍යයාගෙ සමුද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය නවත්වා දානවා. මේ නිසා චීන නාවික ගමන් නවතිනවා. ඊටත් වසර කීපයකට පස්සේ පෘතුගීසින් ඉන්දියන් සාගරයට පිවිසෙනවා. යම් විදිහකට චීන නාවික ව්‍යාපෘතිය නොනැවතුනා නම් පෘතුගීසින්ට පහසුවෙන් ඉන්දියන් සාගරයට පිවිසෙන එකත් අමාරු වෙන්න තිබ්බා.

චෙන් හෝ ගැන දැනගත්තනේ එහෙනම්. ලිපිය ෂෙයාර් කරලා අපිට සහයෝගය දෙන්න එහෙනම් අමතක කරන්න එපා. ඒ වගේම මේ ලිපිය ගැන අදහසුත් කමෙන්ට් සෙක්ෂන් එකේ හලාගෙනම යන්න.