කොළොම්පුරේ සහ අවට නගරවලට නම් වැටුණු හැටි

ඕනෑම ගමකට නගරෙකට විතරක් නෙමෙයි පාරකට වුණත් නමක් තියනවනෙ. (කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල්පෙති ඉහිරුණ මල් පාර කියන්නෙත් පාරකට කෙනෙක් දාපු නමක් නෙව). මේ සමහර නම් පොල්ලෙන් ගහන්න වගේ බැලූ බැල්මට තේරෙනව. දැන් ඔය සමහර ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ නම්, ආසන්න ප්‍රසිද්ධ ගොඩනැගිලි වල නම්, ප්‍රදේශයේ කෙරෙන වෙළහෙළඳාම් සහ කර්මාන්ත නිසා යෙදෙන නම් ඒවාට උදාහරණ හැටියට කියන්න පුළුවන්. තවත් සමහර නම් තියනවා, ඒවා වැටුණේ කොහොමද කියල එකපාරට හිතාගන්න අමාරුයි. මේ කියන්නෙ ඒ විදිහට නම් වැටුණු කොළොම්පුරේට ආසන්න නගර කීපයක නම් පිටිපස්සේ තියෙන කතන්දර ගැනයි.

 

1. කොළඹ

Image Source – lankapura.com

ලංකාවේ ජනප්‍රියම සහ විශාලතම නගරය වෙන කොළඹින්ම අපි කතාව පටන්ගමු. කතාව පටන් ගත්තට වැඩේ කියන්නෙ කොළඹට මේ නම හැදිච්ච හැටි ගැන හරියටම කියන්න පුළුවන් සාක්ෂි නම් මොකුත් නැහැ. ආසන්න වශයෙන් හේතු වෙන්න ඇතිය කියල අනුමාන කරන මතවාද කීපයක් තමයි තියෙන්නෙ. ඒවායෙන් ප්‍රධානම එක තමයි මේ ප්‍රදේශයේ තිබුණු ගෙඩි හට නොගත්, කොළ පමණක් තිබ්බ අඹ ගසක් නිසා මේ නම හැදුනාය කියන එක (කොළ+අඹ = කොළඹ). තවත් මතයක් තමයි කැළණි තොටුපළ කියන තේරුමෙන් යුතු කළන් තොට කියන නමින් කොළඹ බිඳිල ආවය කියන එක. මේ අතර තවත් සමහරු කියන්නේ කොළඹ කියන්නේ අතීතයේ පටන්ම හෙළ භාෂාවේ භාවිතා වුණු වචනයක්ය කියලයි. ඒකට ඒ අය උදාහරණ හැටියට දෙන්නේ සිදත් සඟරාවේ එක් තැනක “කොළඹ කරළු ඈ නිපන් සඳ පියවි” කියල කොටසක් ඇතුළත් වීමයි.

 

2. කිරුළපන

Image Source – kusalperera.blogspot.com

කොළඹට ආසන්න නගරයක් වෙන කිරුළපනට නම හැදුණ හැටි ගැනත් එක එක කතන්දර තියනවා. ඉන් එකක කියවෙන්නෙ රාජසිංහ රජ්ජුරුවෝ මේ ආසන්න ප්‍රදේශයක තමන්ගේ කිරුළ ගලවලා ස්නානය කරපු නිසා “කිරුළ පෙනේ” යන නමින් මේ ස්ථාන නාමය බිඳිල ආවය කියන එක. හැබැයි වඩාත්ම විශ්වාසනීය මතය තමයි ඒ කාලේ, ඒ කිවුවෙ කෝට්ටේ රාජධානිය පැවතුණු කාලේදි කිරුළපන ප්‍රදේශයට කෝට්ටේ රජ මාලිගයේ කොටසක් කිරුළක හැඩේකට පෙනුණු නිසා මේ නම පටබැඳුණාය කියන එක.

 

3. කොල්ලුපිටිය

Image Source – vernoncorea.wordpress.com

බරණ්දෙනිය තමයි අතීතයේදි කොල්ලුපිටිය හඳුන්වලා තියන නම. බරණ්දෙනිය කොල්ලුපිටිය හැටියට නම වෙනස්වෙන්න හේතු වෙන්නෙ අඹන්වෙල රාළ කියන පුද්ගලයා හින්දයි. මේ කියන අඹන්වෙල රාළ උඩරට පළාතේ ජීවත් වුණු අයෙක්. ඒ වගේම මොහු කවියෙක් හැටියටත් පැරණි පොත පත වල සඳහන් වෙනව. ලන්දේසීන්ට පක්ෂපාතී කමක් දක්වපු මේ අඹන්වෙල රාළ පස්සෙ කාලෙකදි බරණ්දෙනිය පැත්තේ පොල් වත්තක් වගා කරන්න පටන් අරගෙන තියනවා. ඒ ගමන්ම ඒ ප්‍රදේශයේ ජීවත් වෙච්ච මිනිස්සු ගැන නොයෙක් කේළම් සහ ඔත්තු ලන්දේසීන් වෙත සපයනවා. මෙහෙම කරලා ක්‍රම ක්‍රමයෙන් ඒ මිනිස්සුන්ගේ ඉඩම් ටික කොල්ල කාලා තමන්ගේ ඉඩ කඩම් වර්ධනය කරගන්නවා. අඹන්වෙල රාළගෙ මේ වැඩෙන් දුකට පත්වෙච්ච ගම්වාසීන් තමන්ගේ ඉඩම් කොල්ල කෑ බව සිහිපත් වෙන්නට මේ ප්‍රදේශයට “කොල්ල කෑ පිටිය” නමින් නම් තබනවා. ඒ්ක තමයි පස්සෙ කොල්ලුපිටිය බවට පත්වෙන්නෙ.

 

4. කොම්පඤ්ඤ වීදිය සහ Slave Island

Image Source – roar.media

කොම්පඤ්ඤ වීදියට ඉංග්‍රීසියෙන් කියන නම තමයි Slave Island. මේ නම් දෙකම හැදුණු විදිහ ගැන එකකට එකක් වෙනස් කතා දෙකක් තියනව. මුලින්ම කොම්පඤ්ඤවීදිය ගැන කියනවනම් ලන්දේසීන්ගෙ කාලෙ ඒ් අයගෙ රයිෆල් කොම්පැණිය පිහිටුවලා තිබිල තියෙන්නෙ කොම්පඤ්ඤවීදිය නමින් හඳුන්වන ප්‍රදේශයෙයි. ඒ හින්දා මුලදි කොම්පැණි ස්ට්‍රීට් නමින් තමයි මේ මාර්ගය හඳුන්වල තියෙන්නෙ. ඒත් පස්සෙ කාලෙක කොම්පැණි ස්ට්‍රීට්, එහෙම නැත්නම් කොම්පැණි වීදිය කොම්පඤ්ඤ වීදිය බවට පරිවර්තනය වෙලා තියනවා. Slave Island ගැන කියනවනම්, ඒ නම හැදෙන්නෙ පෘතුගීසීන් විසින් මේ රටට වහල් සේවයට ගෙන්නපු කාපිරි ජනතාව සම්බන්ධ සිදුවීමක් හින්දයි. 18 වැනි ශතවර්ෂෙදි මේ අය කොළඹදී කැරැල්ලක් ආරම්භ කරනවා. මේ කැරැල්ල නිසා අත්අඩංගුවට පත්වෙච්ච කාපිරි කැරලිකරුවන්ව සිරගත කළ ස්ථානය කියන අර්ථයෙන් තමයි මේ Slave Island එහෙමත් නැත්නම් වහල් දූපත කියන නම් ඉංග්‍රීසියෙන් වැටෙන්නෙ. ලංකාව ගැන ගවේෂණාත්මක ග්‍රන්ථ රැසක් රචනා කරපු ආර්. එල්. බ්‍රෝහියර් කියන විදිහට වහල් දූපත කියන නම් මෙතැනට වැටෙන්නේ වැරැදීමකින්ලු. මොකද කාපිරින්ව සිරගත කළේ දූපතක නොවෙයි, බේරේ වැව ආසන්න ස්ථානයකලු.

 

5. බොරැල්ල

Image Source – colombofort.com

බොරැල්ල කියන නමේම පොඩි රළු පරළු ගතියක් තියනවා නේද? ඇත්තටම බොරැල්ල නම හැදෙන්න හේතු වුණාය කියලා බොහෝ දෙනෙක් සලකන්නේ  ඒ ප්‍රදේශයේ භූමිය බොරළු ගතියකින් යුක්ත වීමයි. හැබැයි මේ මතයට වෙනස් මතයකුත් අහන්න ලැබෙනවා. ඒ කතාව පරංගියා කෝට්ටේ ගිය කතාවට සම්බන්ධයි. අතීතයේදි බොරැල්ල ඇළ දොළ ආදිය තිබ්බ අදට වඩා වෙනස් ප්‍රදේශයක්ලු. ලංකාවට ගොඩබැස්ස පෘතුගීසීන්ව ලංකාවෙ රජතුමාව මුණගස්සන්න එක්කරන් ගිය ගමනෙදි සිංහල සේනාව කරන්නේ බොරැල්ල ප්‍රදේශයේ තිබ්බ ඇළක් පෙන්නලා, ඒකෙ මිනී කන කිඹුලන් ඉන්නවා කියල බොරුවට බය කරල පෘතුගීසීන්ව දුර පාරකින් එක්කරන් යන එකලු. මේ විදිහට බොරු කරලා පෙන්නපු ඇළ “බොරු ඇළ” නමින් නම් වෙලා, පස්සේ ඒ ප්‍රදේශය බොරැල්ල බවට පත්වුණා කියලයි සමහරු කියන්නෙ.

 

6. බම්බලපිටිය

Image Source – picclick.co.uk

ජම්බල ගස් තිබුණු නිසා ජම්බලපිටිය වෙලා පස්සේ බම්බලපිටිය වුණා කියලා සමහරු කියනව. ඒ වුණත් වඩාත්ම විශ්වාසනීය කතාව වෙන එකක්. ඒ කාලේ බම්බලපිටිය සර්පයන් ගහණ වෙච්ච කැලෑ සහිත ප්‍රදේශයක්ලු. ඒ පැත්තේ බහුලව තිබ්බලු “බම්බ” නමින් හඳුන්වපු කැලෑ ගස් විශේෂයක්. ඉතින් බම්බ+වල+පිටිය කියන වචන එකතු වෙලා පස්සෙ කාලෙක බම්බලපිටිය නම හැදුණා කියන එක තමයි අතීත කතන්දර වල සඳහන් වෙන්නෙ.

 

7. බ්ලූමැන්ඩල්

Image Source – het3eoor.nl

බ්ලූමැන්ඩල් කිවුවම දැන් හිතුවිලි අතරට රංගන්නෙ කුණු මතකයක් වුණාට, ඇත්තටම බ්ලූමැන්ඩල් නම පිටිපස්සෙ තියෙන්නෙ සුන්දර, සුවඳවත් අර්ථයක්. අතීතයෙදි බ්ලූමැන්ඩල් පෙදෙස තරමක වනාන්තරයකින් යුක්ත පෙදෙසක්වයි පැවතිලා තියෙන්නෙ. මේ වනගහණය මැද මල් වලින් අලංකාර වුණු පොකුණක් සහිත ලස්සන ස්ථානයකුත් තිබිලා තියනවා. Bloemen නැමැති මල් වර්ගයකුත් මේ පැත්තේ බහුලව තිබිල තියනවා. ඉතින් “ගස් වලින් බහුල ප්‍රදේශය” කියන අර්ථය ඇතුව තමයි ලන්දේසීන් මේ පැත්තට බ්ලූමැන්ඩල් කියන නම යොදල තියෙන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *