ලංකාවේ වැඩි දෙනෙක් නොදන්න ලෝකාන්ත 10ක්

ලංකාවේ තියන හෝර්ටන්තැන්නේ ලෝකාන්තය වගේම අපි නොදන්න තවත් කුඩා ලෝකාන්ත රාශියක් මේ පුංචි රටේ තියනවා. ඔන්න අද ඒ ගැනයි අපි කියන්න යන්නෙ. ඔය ට්‍රැවලින් වලට ආස නංගිලා මල්ලිලා අහගන්නකො එහෙනම්…

 

1. ඩීන්ස්ටන් කුඩා ලෝකාන්තය

Image Source – mapio.net

මහනුවර සිට මහියංගන පාරෙ හුන්නස්ගිරියට ඇවිල්ලා එතනින් මීමුරේ පාරෙ කිලෝමීටර් 6ක් ගියාම දකුණු පැත්තෙ තියන වන සංරක්ෂණ කාර්යාලයෙන් ටිකට් අරන් මෙතනට යන්න පුළුවන්. එතන ඉඳලත් තව කිලෝමීටර් 1.5ක් වගේ ගියාම මේ කුඩා ලෝකාන්තයට ළඟාවෙන්න පුළුවන්. දෝතළුගල කන්දේ ඉඳලා වෙල්ලන්ගොඩ වෙනකල්ම කඳු රාශියක් පිහිටලා තියනවා වගේම තවත් කඳු රාශියක් මෙතන්ට දිස් වෙනවා.
ඒ වගේම මේ ප්‍රදේශයේ කඩ මොකුත් නැති නිසා අවශ්‍ය කෑම බීම නුවරින් හරි හුන්නස්ගිරිය ටවුන් එකෙන් හරි අරන් යන්න වෙනවා. මේ ස්ථානයට ඇතුල් වෙන්න අවසර නම් ගන්න ඕනෙ නෑ වගේම ඩීන්ස්ටන් තොරතුරු මධ්‍යස්ථානයෙන් ඕනෑම තොරතුරක් ලබාගන්නත් පුළුවන්. වන සංරක්ෂණ කාර්යාලයෙ ඉඳලා ඩීන්ස්ටන් කුඩා ලෝකාන්තය වෙනකල් දිවෙන කි. මි. 1.5ක දුර හරිම සුන්දරයි. මොකද මුලින්ම හමුවෙන පාලමක්, ඊට පස්සෙ කුඩා වැවක් සමග කැළෑ රොදක් මැද්දෙන් යන ගමන ඇත්තටම සුන්දර නැද්ද බලන්න එතනට ගිහින්ම බලන්න වෙනවා. කන්ද තරණය කරලා එන අයට නාන්න ස්වභාවික පිහිනුම් තටාකයක්ද වන සංරක්ෂණ නිලධාරීන් විසින් ඉදිකර තිබීම කොතරම් අපූරුද නේද?

බස් එකේ යන කෙනෙක්‍ට නම් මහියංගන බස් එකක් අරගෙන හුන්නස්ගිරිය – ලූල්වත්ත හංදියෙන්  බැහැලා එතනින් බස් අංක 616 බස් එකේ ගිහින් ඩීන්ස්ටන් වලින් බහින්න පුළුවන්.

 

2. පිටවල පතන කුඩා ලෝකාන්තය

Image Source – picture.lk

ඉතාමත් දුර්ලභ වගේම වටිනා තෘණ වර්ග වලින් පිටවල පතන සමන්විතයි. ඒ වගේම ඉතා හොඳ ජෛව විවිධත්වයක් දැකිය හැකි මෙහි අපිරිසිදු කෘමීන් උගුලට හසු කරන බෙහෙත් ශාකත් බොහොමයක් තියනව.

මාතලේ ඉඳලා රත්තොටට ගියාම එතනින් මාර්ග තුනක හංදියක් හමුවෙනවා. එතනින් ඉලුක්කුඹුර – පුවක්පිටිය පාරෙ ගිහින් 28 වන සැතපුම් කණුවෙන් හැරිලා රිවර්ස්ටන් පහුකරලා ගියාම මේ පිටවල පතනට ළඟා වෙන්න පුළුවන්. ඉලුක්කුඹුර මාර්ගයේ ඉඳලා කි. මි. 3ක් වගේ තමා මේ ස්ථානයට තියෙන්නෙ. මේ ස්ථානයේ තියෙන සංරක්ෂණ කාර්යාලයෙන් ටිකට් අරගෙන ඇතුළට යන්න ඕනේ වගේම යන්න තියන සම්මත මාර්ගයෙන්ම ගමන් කරන්න ඕනෙ කියලත් උපදෙස් ලැබෙනවා. මොකද මේ ප්‍රදේශයට වසර පුරාම ඉතා තද සුළං තත්ත්වයක් ලැබෙන නිසා. මේ පතන කෙළවරේ තියන කුඩා ලෝකාන්තය අනික් ලෝකාන්ත වලට වඩා සුවිශේෂී පිහිටීමක් තියන ස්ථානයක් විදියට හඳුන්වනවා. හෝර්ටන්තැන්නේ ලෝකාන්තය හා සමාන ගැඹුරක් මෙම ස්ථානයටද ඇති බව විශ්වාස කෙරෙනව.

 

3. පිටමාරුව කුඩා ලෝකාන්තය

Image Source – tripadvisor.co.za

මේ ලෝකාන්තය බලන්න යන්නෙ නැතිනම් මේ පැත්තට යන එකෙනුත් වැඩක් නැතිවෙන තරම්.
බදුල්ල ඉඳන් මඩොල්සිමට ඇවිත් පිටමාරුව පාරෙ කි. මි 20ක් ගමන් කරල අම්බලම හන්දියට පැමිණිය යුතුයි. කොකාගල ආශ්‍රිත වතුයායක කෙළවරේ පිහිටි මේ ස්ථානයට සුළු පා ගමනකින් පසුව ළඟාවිය හැකියි. නැගෙනහිර වෙරළ දක්වාත් පසෙකින් නකල්ස් වනය දක්වාත් පුළුල් වපසරියක් දැකිය හැකි මේ ස්ථානයේ කූඩාරම් ගසා රැය ගත කළොත් උදෑසන අවදි වූ පසු ඔබට වළාකුළුවලට ඉහළින් සිටින අත්දැකීමකුත් විඳගත හැකි වේවි. හයිකින් කරන අයටත් මෙතන කියාපු තැනක්. හෝර්ටන් තැන්න ලෝකාන්තයේ මල්ලි විදියට අපිට මේ පිටමාරුව කුඩා ලෝකාන්තය හඳුන්වන්න පුළුවන්. ඒ වගේමයි හදිසි සුළං ඇතිවිය හැකි බැවින්  ආගාධය නිරීක්ෂණය කිරීමේදී ඉතා පරිස්සමින් සිදුකළ යුතුයි.

 

4. සඳතැන්න කුඩා ලෝකාන්තය

Image Source – serendib.btoptions.lk

නුවරඑළිය ග්‍රෙගරි වැව අවසානයේ දී ප්‍රධාන මාර්ගයෙන් වමට හැරිලා සඳතැන්නට යන පාරෙ කෙළවරටම යන්න ඕනෙ. එතනින් සංචාරක ජීප් එකක් කුළියට අරන් ඒ ප්‍රදේශයේ සංචාරයට ඇතුළු වී සංචාරය කළ යුතුයි. සතියේ දින හතේම උදේ 7.30 ඉඳලා හවස 4.00 වෙනකල් මේ ප්‍රදේශයේ සංචාරය කරන්න පුළුවන්. මෙම ප්‍රදේශයේ රජයේ බීජ අර්තාපල් ගොවිපොළ පවතින අතර ඒ ගොවිපොළ පහු කරලා අලුතෙන් හදපු පාර දිගේම ගියාම අට්ටාලයක් සහිත ස්ථානය කුඩා ලෝකාන්තය කියලා හඳුන්වනවා. එම ස්ථානයට පහළින් තියෙන්නෙ බෝඹුරු ඇල්ල දක්වා ප්‍රදේශයයි.
ටිකට් එක් අයෙකුට රු.50/=ක්. විදේශිකයන්ට රු.250/= ක් අය කෙරෙනව.

 

5. වේවැල්තලාව කුඩා ලෝකාන්තය

Image Source – synotrip,com

කන්දක්, දිය ඇල්ලක්, ගල් ගුහාවක් එක්ක කුඩා ලෝකාන්තයක් දැකගන්න පුළුවන්නම් ඒක කොච්චර සුන්දර දර්ශනයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නෙහ්… ඒ වගේම වේවැල්තලාවේ මේ ප්‍රදේශය අයත් වෙන්නෙ පුද්ගලික සමාගමකට උනත් සංචාරයට කැමති අපිට ඒවා බාධා නෙමෙයිනෙ. නිසි අවසරයක් අරගෙන අපිට එතනට යන්න පුළුවන්. කුඩා ලෝකාන්තය බලන්න මේ සුන්දර පරිසරය තුළින් ඇවිදගෙන යන්න ඕනෙ. ඒ මාර්ගයෙ කේබල් කාර්  ප්‍රවාහන පද්ධතියක් සහිත ස්ථානයක්ද වෙනවා. නමුත් ඒවයෙ අපිට නම් යන්න බෑ. තේ දළු ප්‍රවාහනයට තමයි ඒවා හදලා තියෙන්නෙ.
මාර්ගය – යටියන්තොට ඉඳලා සීපොත් – අමනාවල මාර්ගයේ හල්ගොල්ල වතුයායේ  කර්මාන්තශාලාව අසලට ඇවිත් දකුණට දිවෙන වේවැල්තලාව පාරේ ඉහළටම යන්න ඕනේ.

 

6. පහන්ගල කුඩා ලෝකාන්තය

Image Source – hotsta.net

කොළඹ ඉඳලා කුරුණෑගල ඔස්සේ රිදීගමට ඇවිල්ලා විජයපුර හංදියෙන් හැරිලා රිදීගම විහාරයට පැමිණිය යුතුයි. එතැන ඉඳලා විනාඩි කීපයක ගමනකින් පසුව දුරකථන කුළුණු සහිත ඉසව්වට ඇවිත් පහන්ගල කුඩා ලෝකාන්තය අසළට පිවිසිය හැකියි. එක් රැයකින් බතලගොඩ වැව සෑදූ යෝධයා ඊට අවශ්‍ය ආලෝකය ලබාගත්තේ මෙම ස්ථානයේ පහනක් තබමින් බව ජනප්‍රවාදයේ කියවෙනවා. කෙසේ හෝ කුරුණෑගල හා ඊට ඔබ්බෙන් පිහිටි කඳු රාශියක් මෙම ස්ථානයට දැකගන්න පුළුවනි.

 

7. හරස්බැද්ද කුඩා ලෝකාන්තය

Image Source – youtube.com

නුවරඑළිය ඉඳලා උඩුපුස්සැල්ලාව පාරේ කි. මි.20ක් පමණ ගියාට පස්සෙ හරස්බැද්ද කඩමණ්ඩිය හමුවෙනව. එතැනින් නිල්දණ්ඩාහින්නට යන මාර්ගයේ ගිහින් අතුරු මාර්ග කිහිපයකට හැරිල හරස්බැද්ද කුඩා ලෝකාන්තයට ළඟාවිය හැකියි. ඕනෑම වාහනයකින් පහසුවෙන්ම එම ස්ථානයට ළඟාවෙන්න පහසුකම තියනව.

 

8. සූරියකන්ද කුඩා ලෝකාන්තය

Image Source – ianlockwood.wordpress.com

රක්වානේ සිට දෙණියායට යනවිට වැලමිටි වංගු පසුකර ඉහළට යත්ම ආරණ්‍ය සේනාසනයකට යන මාර්ගයක් හමුවනවා. එතැනින් ආරණ්‍යයට ගොස් තරමක පා ගමනකින් පසුව සූරියකන්ද කුඩා ලෝකාන්තයට ළඟාවිය හැකියි. ලංකාවේ අනෙක් ලෝකාන්ත මෙන් එක එල්ලේ ප්‍රපාතයක් දකින්න නොමැති නමුත් වඩාත් පුළුල් වපසරියක් මෙහිදී දැකගත හැකියි.

 

9. දුප්පතාගේ කුඩා ලෝකාන්තය

Image Source – johnhendersontravel.com

හෝර්ටන්තැන්නේ සැඟවුණු තවත් එක් ලෝකාන්තයක් වන්නේ මෙයයි. මෙම ස්ථානයට ළඟා වීමට නීතියෙන් අවසර නොමැති නමුත් මෙය පිහිටා ඇත්තේ ගිනිහිරිය වනජීවී බංගලාවට පිටුපසිනුයි. මෙම ස්ථානයට ළඟාවීමට දුෂ්කර මාර්ගයක් උඩවේරිය ගමේ සිට තිබුණත් ඒ හරහා ඇතුළුවීමත් පහසු කටයුත්තක් නොවෙයි.

 

10. හාතලේ කුඩා ලෝකාන්තය

Image Source – travonda.com

මහනුවර ඉඳලා වත්තේගම හරහා බඹරැල්ල පාරෙ පන්විලට ඇවිල්ලා පන්විල තානායම ළඟින් ඇති මාර්ගයේ කි. මි. 3ක් පමණ ගිය පසු පයිනස් යායක් ළඟින් මෙම ස්ථානයට ළඟාවිය හැකියි. නකල්ස් ඉඳලා ගොම්බානිය හරහා කිරිගල්පොත්ත ඇතුළු කඳු රාශියක් මෙම ස්ථානයට දැකගත හැකි අතර යතුරුපැදි වලින් මෙම ස්ථානයට පහසුවෙන්ම ළඟා වෙන්න පුළුවනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *