ඉන්දියාව සහ පාකිස්ථානය යනු 1947ට පෙර එකම රටකි. පසුව එය රටවල් දෙකක් ලෙස කැඩී ගියේ මිලියනයකට අධික ජනතාවකට මරු කැඳවූ ලොව විශාලතම සරණාගත හුවමාරුවද සමගිනි. ඉන් පසුව පසුගිය වසර හැත්තෑවට අවස්ථා හතරකදී පාකිස්ථානය සහ ඉන්දියාව සුළු සුළු යුධ ගැටුම් වල යෙදුණි. එයින් බොහොමයක් විවාදාපන්න කාශ්මීරය සම්බන්ධ ගැටළුවකටය. දෙරටටම කාශ්මීරය වැදගත්ය. මන්ද ඉන්දියානු පන්ජාබයටත් පාකිස්ථානයේ විශාල කොටසකටත් වගාවට අවශ්‍ය ජලය ලබාදෙන්නේ කඳුකර කාශ්මීර භූමිය වන බැවිනි.
1. දශක ගණන් පරණ යුද්ධය
හෙට අනිද්දා දෙරට අතර යුද පසුබිමක් ඇතිවන කාලයේ ඒ තොරතුරු ගලන්නේ අන්තර්ජාලය හරහාය. එහෙත් දෙරට සතුව තිබෙන යුධ උපකරණ අන්තර්ජාලයටත් වඩා බොහෝ පැරණි ඒවාය. කොටින්ම අවසාන වශයෙන් ඉන්දියාව සහ පාකිස්ථාන ගැටුමට මුල් වූ මිග් 21 ඉන්දියානු යානාව පවා පැරණි මාදිලියෙක එකකි. ඉන්දියානු හමුදාව සතුව තිබෙන උපකරණ වලින් බහුතරයක් බොහෝ කල් ගිය පැරණි ඒවා බව පසුගිය දිනෙක නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවා වාර්තා කොට තිබුණි.
2. පා බලය
ඉන්දියානු හමුදාව මිලියන 2.1ක තරම් විශාල ප්‍රමාණයක සොල්දාදුවන් ප්‍රමාණයකින් සමන්විතය. එයින් මිලියන 1.2ක් දැනට සක්‍රිය සේවයේ යෙදී සිටී. ඉතිරි මිලියනයකට ආසන්න පිරිසක් අවශ්‍ය විටක යොදවාගැනීමට හැකිය. යාබද චීනය සහ දේශ සීමා ආසන්න සටන්කාමින් සමග ඉන්දියානු හමුදාව නිරන්තර අරගල වල නිරත වී සිටිති. කඳුකර පරිසරයට සරිලන ලෙස යුධ කටයුතු වලට යෙදීමට ඉන්දියානු හමුදා විශේෂයෙන් පුරුදු පුහුණු කර තිබේ.
ඉන්දියාව තරම් විශාල ජනකායක් සහ දේශ සීමා බෝඩරයක් නැතත් පාකිස්ථානයට ලක්ෂ 6.5ක සක්‍රිය හමුදාවක් සිටී. අවශ්‍ය විටක සේවයේ යෙදවීමට සිටින හමුදාවද සමග හමුදාවේ පිරිස් බලය මිලියන 1.15ක් පමණ වේ. ඇෆ්ඝනිස්තානයේ තලෙයිබාන් යුද්ධය නිසා සිය රට තුළම ත්‍රස්තවාදී කළබල වලට පාකිස්ථාන හමුදාව මුහුණ දුනි. ඊට අමතරව ඉන්දියානු හමුදාව සමග නිදහසින් පසු ගැටුම් ඇතිවූ සෑම අවස්ථාවකම පාකිස්ථාන හමුදාව සැලකිය යුතු ලෙසින් යුද්ධයට දායක විය.
3. යුද්ධෝපකරණ
සන්නාහ සන්නද්ධ බලකා 97ක් ඇති ඉන්දියාවේ යුධ ටැංකි 4,000කට වඩා සේවයේ යොදවා තිබේ. එයින් 2400ක් පැරණි ටී 72 කාණ්ඩයේය. 1600ක් පමණ ටී 90 කාණ්ඩයේය. 360ක් නවීන අර්ජුන් 1 සහ 2 මාදිලියේය.
පාකිස්ථාන හමුදාවේ යුධ උපකරණ තුර්කිය, චීනය සහ අමෙරිකාවෙන් ආනයනය කරන ලද ඒවාය. පෙරමුණට යැවිය හැකි යුධ ටැංකි හත්සීයකින් පමණ පාකිස්ථානය සවිමත්ය. ඊට අමතරව ඉන්දියානු හමුදාවට වඩා නවීන යුධ රථ වලින් පාකිස්ථාන හමුදාවෝ සවිමත් වෙති.
4. රොකට් සහ ආටිලරි
රුසියාවෙන් ගෙන්වන ලද කාලතුවක්කු 4,000ක් පමණ ඉන්දියාව සතුය. ඒ අතර ලංකාවේ යුද්ධයටද භාවිතා වූ මල්ටිපල් රොකට් ලෝන්චර්ද ඇතුළත්ය. ඒ අතර ගුවන් යානා නාශක රොකට් සහ මිසයිලද ඉන්දියාව සතුය.
පාකිස්ථානය සතුව කාලතුවක්කු සහ රොකට් විදින 2,000ක් පමණ ඇතැයි සැලකේ. ඒවා බොහොමයක් චීනයෙන් සහ ඇමරිකාවෙන් ඇනවුම් කළ ඒවාය.
5. පරමාණුක මිසයිල
පරමාණුක බලය මේ දෙරටම සතුවීම ලොවම මේ යුද්ධය කෙරේ ඇස් ඇර සිටීමට එක් හේතුවකි. දිගු දුර මිසයිල දෙරටම සතුය. දෙරටම සතුව මෙම පරමාණුක බලය සහිත මිසයිල එකසිය පනහක් බැගින් වත් ඇතැයි යුධ විශේෂඥයෝ ප්‍රකාශ කර සිටිති. රොකට් අතින් කිලෝමීටර තුන්දාහකට එහා තැනක් ඉලක්ක කළ හැකි අග්නි මිසයිල ඉන්දියාව සතු වන අතර පාකිස්ථානය සතුව කිලෝමීටර දෙදාහක් එහා ඉලක්ක කළ හැකි ශෂීන් මිසයිල තිබේ.
6. ගුවන් හමුදාව
ඉන්දියානු ගුවන් හමුදාව 127,000කි. ගුවන් යානා 814ක් ඉන්දියානු ගුවන් හමුදාවට තිබේ. එයින් බොහොමයක් පැරණි සෝවියට් යුගයට අයත් මිග් යානාවෝ වෙති. පාකිස්ථානය සතුව ඉන්දියාවට වඩා නවීන ගුවන් යානා තිබේ. මෑතදී ගැටුමට මුල් වූයේ යැයි සැලකෙන එෆ් 16 යානාව ඇමරිකානු නිෂ්පාදනයකි. සතුරු තොරතුරු වඩාත් නිවැරදිව ග්‍රහණය කරගැනීමේ නවීන තාක්ෂණයෙන් පාකිස්ථාන ගුවන් හමුදා ශක්තිමත් බව ද කියැවේ.
7. නාවුක හමුදාව
ඉන්දියාවට සාපේක්ෂව කුඩා මුහුදු තීරයක් ඇති පාකිස්ථානයේ නාවුක බලය අඩුය. පාකිස්ථානයට ඇත්තේ සබ්මැරීන් 8ක් සහ යාත්‍රා 34ක් පමණි. ඉන්දියාව සතුව ගුවන් යානා ගෙන යෑ හැකි විශාල නැවක්ද තිබේ. ඊට අමතරව සක්‍රියව දායක කරගත හැකි යාත්‍රා 200කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියානු ගුවන් හමුදාව සතුව තිබේ.
8. යුද්ධය මැනිය හැකිද?
යුධ උපකරණ සහ ප්‍රමාණ මැනිය හැකිය. එහෙත් යුද්ධයකින් වෙන හානිය එයින් මැනිය නොහැකිය. යුද්ධයකදී කවර පාර්ශවයක් ජය ගන්නවාද යන්නට වඩා අධික ජන ඝනත්වයක් සහිත රටවල් දෙකක් වන ඉන්දු පකිස්ථාන රටවල් දෙක අතර යුද්ධයක් යනු මහා මිනිස් සංහාරයකි. සැබැවින්ම යුද්ධයකදී වැඩි වාසි අත්කරදෙන්නට ආයුධ පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා යුධ උපක්‍රම, නවීන තාක්ෂණය සහ සන්නිවේදනය වැනි දේද බලපානු ලැබේ. ලංකාවට ආසන්නතම රටවල් දෙකක් වන පාකිස්ථානය සහ ඉන්දියාව යුධ වැදීමට ඇති ඉඩකඩ අඩුය. එහෙත් ඇතිවන සුළු ගැටුම්කාරී තත්ත්වයක් පවා කලාපයට ඇතිකරන්නේ තැතිගැන්වීමකි.
Leave a Reply