වෙඩිමකට තෑග්ගක් දෙන්න කලින් හිතන්න ඕන දේවල්

වෙඩින් කියන්නෙ සමහරු කැමති සමහරු අකමැති උත්සව විශේෂයක්. සමහරුන්ට වෙඩිමක් කිවුවම මහා බරකින් තමයි ඒක බාරගන්නෙ. අපෝ දැන් ඉතිං හොඳ ඇඳුමක් හොයන්න වෙනව. මට විතරක් නං මදැයි ගෑණිටත් හොයන්න වෙනව. ඊටපස්සෙ ලොකු ගාණක් දෙන්න වෙනව. බොරුවට නටන්නත් වෙනව. අනිත් එවුන් අහන ගොන් ප්‍රශ්නවලට උත්තර දෙන්නත් වෙනව. ඒකත් බෑන්ඩ් එකේ සද්දෙ අස්සෙ ලැබෙන ඉඩක තමයි. හැබැයි අනිත් අය ඕක දකින්නෙ මෙහෙම. කසාද බඳින උන් දෙන්නටත් ආතල් එකක් දීලා, කාලෙකට පස්සෙ හම්බෙන උන්වත් හම්බෙලා, හොඳට කාලා, හොඳට බීලා, හොඳට නටලා, ආතල් එකක් අරං එන්න පුළුවන් දවසක් විදියට. මේ කොහොම වුනත් වෙඩිමට යද්දි තෑග්ගක් අරගෙන යන්න එපැයි. අන්න ඒ තෑග්ග ගන්න කලින් මෙන්න මේ දේවල් ගැනත් හිතන්න.

 

1. දෙන උන්ගෙ තත්ත්වය

Image Source – www.highheelshighyields.com

අපි මේ තත්ත්වය කියන එකෙන් අදහස් කළේ කුලය, මලය, බලය වගේ දෙයක් නෙමෙයි. වෙඩිම ගන්න උන්ගෙ ආර්ථික තත්ත්වය ගැනයි. නිකමට හිතන්න ඔයාගෙ නම අමල් කියල. ඔයා යනව මධුෂ් කියල කෙනෙකුගෙ වෙඩිමට. මධුෂ් කියන්නෙ ප්‍රකෝටිපතියෙක්. ඉතිං එහෙම වෙඩිමකට ගියාම ඔයා වෙඩිමෙ ප්ලේට් එකක ගාණ කවර් වෙන්න රුපියල් පන්දාහක් කවරෙක දාලා දීලා හරියනවද? නැහැනෙ. මොකද මධුෂ්ට සල්ලි ලොකු නැහැනෙ. අන්න ඒ වගේ දේකදි හිතන්න ඕන මධුෂ්ට සල්ලි දීලා වැඩක් නෑ තෑග්ගක් තමයි දෙන්න ඕන කියලා. තෑග්ගත් ඉතිං ප්‍රයෝජනවත් වෙන්නම ඕන නෑ. අමුතු පහේ ආට් පීස් එකක් වගේ දෙයක් කදිමයි.

 

2. සල්ලි දෙනවනං

Image Source – force4.co.uk

වෙඩිමකට ගිහින් සල්ලි දෙන්න හිතාගෙන ඉන්නවනං ඒකත් තරමක් දුර හිතන්න ඕන දෙයක්. ගොඩක් කට්ටිය සල්ලි දෙන්නෙ ලේසියට. හැබැයි සල්ලි දෙන්න ඕන ​ලේසියට නෙමෙයි. අවශ්‍යතාවය හිතලයි. නිකමට හිතන්න ඔයා යන්නෙ මේ ආටිකල් එක ලියන අහිංසකයාගෙ වෙඩින් එකට කියල. අන්න එදාට ප්ලේට් එකේ ගාණ කවර් වෙන්න සල්ලි දෙන එක වැදගත්. මොකද ගන්නං වාලෙ වෙඩින් ගත්තා කියලා මිනිස්සු ණය වෙන එක පවුනෙ. ඒ විදියට සල්ලි දෙද්දි ඒක නම සහ සුබපැතුමක් ලියපු එන්විලොප් එකක දාලා දෙන්න වගේම ඒ දෙන ගාණ ගැනත් සැළකිලිමත් වෙන්න. ප්ලේට් එකක ගාණ, බොන්න තිබුණු වර්ගය, පවුලක් සහභාගි වුනානම් ඒකට හරියන විදියට ඒ මුදල දෙන එකත් යන එකාගෙ වගකීමක්.

 

3. ප්‍රයෝජනවත් යමක් නං

Image Source – thewritelife.com

දැන් අපි හිතමුකො මෙහෙම. සමහරු ඉන්නවා ඒ අය වෙඩින්වලට තෑග්ගක් විදියට සල්ලි දෙන්න ඒ හැටි කැමැත්තක් නෑ. ඉතිං එහෙම අවස්ථාවක අපි අර මුලින් කියපු මධුෂ්ගෙ වෙඩින් එකට වගේ ආට් පීස් අරගෙන ගිහින් වැඩක් නෑ. ඒකට කරන්න ඕන දෙන්න හිටපු මුදලින් ගෙදර දොරට හෝ ජීවිතයට වැදගත් වෙන විදියෙ තෑග්ගක් දෙන එක. මුළුතැන්ගෙදරට ගැලපෙන ඉලෙක්ට්‍රොනික් උපාංගයක් වගේම වෙනත් ගෘහ විදුලි උපකරණයක් මේ වගේ දේකදි සාර්ථකයි. හැබැයි ඒවා ඒ ගෙදර තිබුනොත් අපරාධයක් නිසා ගෘහ විදුලි උපකරණ අලෙවි කරන තැනකින් තෑගි වවුචරයක් තෑගි කරන එක හොඳ විකල්පයක්. එතකොට අලුත් අඹු සැමියෝ ගිහින් තමුන් කැමතිම දේ අරගෙන එයිනෙ.

 

4. පසු ප්ලෑන්

Image Source – mintproducts.com

මෙහෙමනෙ මහත්තයො, වෙඩිමට තෑග්ගක් දෙද්දි දෙන්නං වාලෙ ගෙදර කැබිනට් එකේ තියල තිබ්බ රාජාලියව ඔතල දෙන්නෙ නැතුව විවාහක යුවලගෙ පසු කාලීන ප්ලෑන් ගැනත් හිතලා ඕන දෙන තෑග්ගක් දෙන්න. නිකමට හිතන්න ජෝඩුව යනව කියල පදිංචියට රට. ඉතිං දීලා වැඩක් තියෙනවද පිඟන් බඩු. උන් ප්ලේන් එකේ පිඟන් අරන් යන්නෙ ඔස්ට්‍රේලියාවෙ පිඟන් නැතුවටද? ඒ අයට දෙන්න ආභරණයක් එහෙමත් නැත්තං පොත් කියවන ජෝඩුවක් නං තරමක මිලාධික පොත් කලෙක්ෂන් එකක්, එහෙමත් නැත්තං සල්ලි. නැත්තං හිතන්න කසාද බැඳලා අලුත් ගෙදරකට නොගිහින් මහ ගෙදරටම යන උන්ට ගෑස් කුකර් දෙන්න ඕනද? අන්න ඒ විදියට කසාද ජෝඩුවගෙ පසු ප්ලෑන් ගැනත් හිතලම දෙන තෑග්ග නිර්ණය කිරීම වැදගත්.

 

5. බයිට් එකක්

Image Source – entrepreneur.com

යාලුවො වෙඩිමකට තෑගි දෙද්දි බයිට් එකටත් තෑගි දෙනවනෙ. සමහරු නං බයිට් එකට තෑගි දෙන්නේ බොරු ෆිට් එකක් පෙන්නලා අඩු ගාණෙන් තෑගි ෂේප් කරගන්න. හැබැයි අපි කියන්නෙ එහෙම කාලකන්නි යාලුවො ගැන නෙමෙයි. මේ කියන්නෙ අවංකෙන්ම බයිට් එකක් දෙන්න සෙට් වෙන යාලුවොන්ට. යාලුවොන්ට දෙන බයිටක් දීලා තමුන්ගෙ යාලු මිත්‍රයා වෙනුවෙන් අවංකව තෑග්ගක් දෙන්න. ඒක ආර්ථිකයට උදවුවක් විදියට නැතත් යාලුවට මතකයක් විදියටවත් ඉතිරි වේවි. බයිට් එකට පන්දාහක රුපියලේ කාසි දීලා යාලුවා ඕක හිඟන්නන්ටම දීලා ඉවර වේවි. ඊට වඩා අඩු වියදං දරුණු බයිට් ඕන තරං තියෙන නිසා ඒ ගැනත් ඉස්​සරහට කියන්නං.

 

6. කලෙක්ෂන්

Image Source – entrepreneur.com

සමහර වෙලාවට යාලුවො ඉන්නවා සෙට් වෙලා තෑගි දෙන. නිකමට හිතන්න හය දෙනෙකුගෙ හොඳම යාලුවො සෙට් එකක් ගැන. තමුන්ගෙ යාලුවා කසාදයක් බඳිනවානං බඳින්නෙ ලොකු හෝටලේකද නැද්ද කියලා නොහිතා ඉතුරු පස්දෙනා දහදාහෙ ගාණෙ දාලා තෑග්ගක් දෙන එක සාමාන්‍යය තත්ත්වයක්. මේක තෑග්ගක්, ගිෆ්ට් වවුචර් එකක්, එහෙමත් නැත්තං සල්ලිවලින්ම තනි කලෙක්ෂන් එකක් විදියටත් දෙන එක මිතුරු බැඳී​මේ බලය පෙන්වනවා. හැබැයි මේ විදියට සාමාන්‍ය යාලුවෙක්ට තෑග්ගක් දෙන්න යන එකනං අවුලක්. මොකද මෙහෙම අවස්ථාවක් පහසුවෙන්ම ආඬි හත්දෙනාගෙ කැඳ හැලියක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වැඩ විශ්වාස නැති බුවාලා එක්ක කරන්නෙපා.

 

7. අමතරව

Image Source – youtube.com

තෑග්ගක් දෙද්දි අමතරව හිතන්න ඕන දේවල් කිහිපයක්ම තියෙනවා. සල්ලි දෙනවනං එන්විලොප් එක ඔෆිස් එකෙන් පන්නපු නැති, ඔෆිස් ලෝගෝ එඩ්‍රස් ගහලා නැති පිරිසුදු ලියුම් කවරයක් තෝරගන්න. ඒකෙ පැහැදිලිව නම ලියන්න. ඒ වගේම ඒකට නිකංම සල්ලි ඔබන්නෙ නැතුව සුබපැතුමක් එකතු කරන්න. ඕනනං ආතල් එකට කොන්ඩම් එකක් දාන්නත් පුළුවන්. සල්ලි නොදී තෑග්ගක් දෙනවනං ඒ තෑග්ග හරියට රැප් කරන්න. රැප් එකත් එක්ක ඉරිලා නොයන විදියට විෂ් එකක් සහ නම ඇතුළත් කරන්න. මිල ගණං මකන්න. වොරන්ටි ක්ලේම් කරගන්න බිල් එක දාන්න වෙනවනං ඒ ගැන සඳහනක් කරලා බිල් එක ඇතුළු කරන්න. එහෙමත් නැත්තං බිල් එක පවුලේ වෙනිං කෙනෙකුට දීලා සිද්ධිය විස්තර කරන්න. ලස්සනට රැප් කරන්න. තමුන්ට බැරිනං පුළුවන් කෙනෙකුට දීලා ලස්සනට රැප් කරන්න. මේ අමතර දේවල් මගහැරලා, දෙන තෑග්ගෙ වටිනාකම බාල්දු කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *