උදවු කරන්න කියලා එන අය අපිට කෙළවන අවස්ථා 7ක්

මෙවුව ඉතිං දුක හිතෙන සිද්ධි. මේ අපි තුළ නැති බලාපොරොත්තු නිර්මාණය කරලා අපිව ආයිත් හිටපු මට්ටමටත් වඩා පහළට බිඳ වට්ටවන අවස්ථා කිහිපයක්. අපිට එදිනෙදා ජීවිතයෙදි වගේම වැඩිය හිතන්නෙ නැති අවස්ථාවලදිත් මේ වගේ අවුල් සිද්ධ වෙන්න හොඳින්ම ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් අපිට පොඩි ප්‍රශ්නයක් හෝ ඇති වුනාම අපි හිතින් ගැස්සෙන එක සාමාන්‍ය දෙයක්. ඉතිං ඒ වෙලාවට අපි කරන්නෙ ඒ දේට තියෙන සරළම විසඳුම හොයන එක. ඒ වෙලාවට සමහර විසඳුම් අපි හොයන්නත් කලින් අපි ගාවට එනවා. ඒ වෙලාවට අපේ හිතට සැනසුම් සුසුමක් හෙළුනත්, මේ උදවු කරන්න ආපු අය යන්නෙ තිබ්බට වඩා ගිනි අවුලලයි. අපි මේ කියන්නෙ අන්න එහෙම අවස්ථා කිහිපයක්.

 

1. යුගාසන

Image Source – shadyoakprimary.com

සාමාන්‍යයෙන් ගෙදරක ළමයින්ගෙ වැරදිවලට වැඩිපුර බනින්නෙ අම්මනෙ. යම් ප්‍රශ්නයකට තාත්තා මැදිහත් වෙනවා කියන්නෙම ඒ ගෙදර ළමයි ගුටි කෑමකින් ඒ කතාව අවසන් වෙන්න නියමිත බවයි. ඉතිං අම්මා කෙනෙක් බනින අවස්ථා ගෙදරකට සුලභ නමුත් තාත්තා කෙනෙක් බනින අවස්ථා​ ගෙදරකට සුලභ නෑ. මෙන්න මේ විදිහට තාත්තා කෙනෙක් මොකක් හරි දේකට බනින්න ගත්තු ගමන් ඒ ගෙදර දරුවො කරන්නෙ පිහිටාරක්ෂාව පතන එක. එහෙම පතන්න ඉන්නෙත් එක්කෙනයි. ඒ තමයි අම්මා. හැබැයි මෙන්න බො​ලේ පිහිට වෙන්න එයි කියලා හිතාගෙන ඉන්න අම්මා, බෝම්බ පත්තු කරගෙන තාත්තා හා සමානවම බැනගෙන ඇවිත් තාත්තට තවත් උඩ ගෙඩි දුන්නම තමයි ළමයින්ට අද බඩු හරි වග වැටහෙන්නෙ.

 

2. රිවයිවු!

Image Source – alphr.com

මේක මේ දවස්වල තරුණ අය ගොඩක් දන්න වගේම ගොඩක් යෙදිලා ඉන්න දෙයක් ගැන ප්‍රශ්නයක්. බොහෝදෙනෙක් සෙල්ලං කරන වීඩියෝ ගේම් එකක්නෙ පබ්ජී කියන්නෙ. අපි මේ ගේම් එක සෙල්ලං කරද්දි කට්ටියට අකරතැබ්බවලට මුහුණ දෙන්න වෙන හේතු ගැනත් කතා කළා. හැබැයි මෙන්න මේ කියන්න යන කතාවත් අකරතැබ්බයකට මුලක්. කට්ටිය දන්නවනෙ ටීම් විදියට ප්ලේ කරද්දි එක්කෙනෙක් නොක්ඩ් ඩවුන් වුනොත් ටීම් එකේ අනිත් අයට ඒ මනුස්සයව ආයෙ යථා තත්ත්වයට අරගන්න රිවයිවු කිරීමේ හැකියාව තියෙනව විත්තිය. ඔන්න ඉතිං වෙඩි වැදිලා ජීවිත ආසාව අත් ඇරලා ඉද්දි කොහෙවත් ඉඳගෙන ටීම් මෙම්බර් කෙනෙක් එනවා. එන්නෙ අපිව ගොඩගන්න. ඒත් ඒ මනුස්සයා එයාගේ ආරක්ෂාව බලලා ඉන්න ඕනනෙ. මොකද පණ දෙන්න ඇවිත් එයත් මැරුණොත් ටීම් එකට තවත් පාඩුයි. හැබැයි වටපිටාව කිසිත් නොබලා එන මේ මනුස්සයා අපේ ලයිෆ් රිවයිවු කරන්න ඇවිත් ටීම් එකේ දෙන්නෙක්වම බිලි දීලා, බලාපොරොත්තු බිඳලයි යන්නෙ.

 

3. මැනේජර් ඔයා?

Image Source – windowsfish.com

පරිගණක කියන්නෙ වර්තමානය වෙද්දි ලොකු පොඩි කවුරුත් පාවිච්චි කරන දෙයක්. විනෝදයට වගේම වෘත්තීය කටයුතුවලටත් පාවිච්චි වෙන පරිගණකයේ අධි බර දත්ත ගනුදෙනු සිද්ධ වෙද්දි පොඩි තරමක හෝ හිර වීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. වින්ඩෝස් පාවිච්චි කරන අයට නොට් රෙස්පොන්ඩින් මෙසේජ් එක දැක්කම කේන්ති ගියත් මේ කියන්න යන්නෙ අන්න ඒ දසුන ගැන. අන්න ඒ දසුන දුටුවම අපි හැමෝගෙම හිතට එන්නෙ එක්කෙනයි. ඒ තමයි ටාස්ක් මැනේජර් එක. මොකද ටාස්ක් මැනේජර්ට හැකියාව තියෙනවා හිර වුණු අයව ක්ලියර් කරලා අපිට වැඩ කරගෙන යන්න ඉඩ හදලා දෙන්න. හැබැයි සමහර නරක වෙලාවල් තියෙනවා ටාස්ක් මැනේජර් එකත් නොට් රෙස්පොන්ඩින් වෙන.

 

4. මාමණ්ඩි ඉෆෙක්ට්

Image Source – westworld.fandom.com

මහන්සි වෙලා වැඩකටයුතු ඉවර කරලා ගෙදර එන පිරිමියෙකුගෙ සුබ සිහිනය වෙන්නෙ වයිෆ් රසට හදලා දෙන බයිට් එකක් එක්ක සීයක් එකසිය පනහක් විතර වනාගෙන නිදහසේ නිදිගත වෙන එකයි. හැබැයි ඉතිං මෙහෙවු සුබ සිහින හැම පිරිමියටම ලැබෙන්නෙ නෑ. ඉතිං එහෙම වයිෆ්ගෙන් බයිට් සලාක නොලැබෙන පිරිමි එදා රෑට කන්න තියෙන දෙයක් හරි, මුරුක්කු ටිකක් හරි, කරවෙච්චි ඔම්ලට් එකක් හරි ටේස්ට් කරගන්නෙ දෙසීයක සනීපය මේ සියල්ල අමතක කරලා සුව නින්දක් ලබාදෙන නිසායි. හැබැයි වයිෆ් ඒකටත් වලියක් වගේ අදින්න ආවොත් අන්න ඒ වෙලාවට කොහෙන්වත් පාත් වෙන මාමණ්ඩිය තමුන්ගෙ දුවට මේ මනුස්සයට නිදහසේ ඔය දෙසීය දාගන්න දියං දුවේ කියල කියන්න ඉඩ තියෙනවා. ඉතිං හිතට දැනෙන්නෙ පුදුම සතුටක් වගේම මාමණ්ඩි ගැන ආදරයක්. කබලෙන් ලිපට වැටෙන්නෙ පර්මිෂන් අරන් දෙන්න එන පොර අපිත් එක්ක සෙට් වෙලා අපේ හෙට දවසේ දෙසීය අද දවසෙදි පොරට පුද කරන්න උනාමයි.

 

5. ඉමීඩියේට් ​බොස්

Image Source – newscientist.com

ඔෆිස් එකට යද්දි ටීම් එකේ කට්ටියගෙම මූණු අවුල් වෙලා. ඇයි කියලා ඇහුවම බොස් කට්ටියට කතා කළාලු. බොස්ගෙ මූඩ් එකත් හොඳටම අවුල්ලු. බොස්ගෙ මූඩ් අවුල් දවසක බොස් කට්ටියට මීටිමකට කතා කරනව කියල කියන්නෙම කට්ටියට ඇප නැතිවෙන්න අහගන්න වෙනවා කියන එකයි. මෙන්න බොලේ ඇතුළට ගිය ගමන්ම බොස් බනින්න පටන්ගත්තම කෙලින්ම මහා වීරයෙක් වගේ නැගී සිටියේ කවුද කියල දන්නවද? ඒ තමයි අපේ ඉමීඩියේට් බොසී. අම්මටසිරි! සතුට ඉහ වහා යන තරම්. ඇයි ඉතිං අපේ බොසී අපිව බේරගන්නවනෙ. මේ සතුට කාට කියල කියන්නද? බොසාගෙ රූම් එක ඇතුළෙන් එළියට ආවෙ වීරයො වගේ. වීරයො වගේ ඇවිල්ල මේසෙන් ඉඳගන්න හම්බුනේ නෑ. මෙන්න බොලේ ඉමීඩියේට් බොසී පටන් ගත්තෙ නැද්ද කියහංකො කියවන්න. පිරිමි බනිනව වගේ නෙමෙයිනෙ ගෑණු බනිද්දි. අතීත වැරදිත් මතක් කරලයි අහගන්න වෙන්නෙ.

 

6. පොලී ජොලිය!

Image Source – madaboutmountains.com

අපේ ඈයො කන යොමාගෙන ඉන්න දෙයක්නෙ ණය කියන්නෙ. ඉල්ලන පරක්කුවෙන් ණය දෙන බැංකුවක් හරි මූල්‍ය ආයතනයක් හරි පේන්න බෑ මේ අයට. මේ අයට ඕන ප්‍රශ්න අහන්නෙ නැතුව ඉල්ලන පරක්කුවෙන් ණය දෙන තැනක් විතරයි. හැබැයි මේ විදියට ප්‍රශ්න අහන්නෙ නැතුව ඉල්ලන පරක්කුවෙන් ණය දෙන තැන් ආයෙ අය කරද්දිත් සාමාන්‍ය තැන්වලට වඩා වැඩි පොළියක් අරගන්න විත්තිය මතකයෙ තියාගන්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ ඉතිං ඒ අයට හෙණ ඉල්ලලා වැඩක් නෑ. ණය ගන්න කලින් හිතලා බලන්න ඕන විත්තිය අපි රටක් විදියටම ඉගෙනගෙන නැති පාඩමක් නිසා අමුතුවෙන් කියලා වැඩකුත් නෑ. අපිට ඒ වෙලාවට විසඳුමක් වෙලා එන ණය වැඩි පොළියක් වෙලා අනිත් පැත්තට කැරකේවි.

 

7. හිත හොඳ වේටර්

Image Source – consumerreports.org

සමහර වෙලාවට ඩ්‍රින්ක් එකක් දාන්න ගියාම මුණ ගැහෙන වේටර් මහත්තුරු අතරේ වැඩිපුර හිත හොඳ වෙන අය ඉන්නවා. එහෙම අය දැක්කම සමහර අයට හරි සතුටුයි. දැක්ක ගමන්ම සර් කියල කතා කරනවා විතරක් නෙමෙයි, තියෙන හොඳම දේ වගේම වාසිම දේත් කියනවා. මේක ඕවර් යනවා කියලා තේරෙන්න ගන්නෙ මේ අය තමුන් වැඩ කරන තැනත් පාවලා දෙද්දි. ඒ මෙන්න මේ වගේ දෙබස් කියලා. “සර් මම කුක්ට කිවුවා කැලේ අඩුවෙන් සතා වැඩියෙන් දාන්න කියලත්.” මෙන්න මේ වගේ ඒවා දාගෙන එනවා කියන්නෙම ඒ අය අතරමැද්දෙන් ඇවිත් “සර් මට ෂොට් එකක් දාලා දෙන්න පුළුවන්ද? සර් මට ටිකක් වැඩි ටිප් එකක් දෙන්න පුළුවන්ද?” කියලා අහන්නත් හොඳින්ම ඉඩ තියෙනවා. කැලේ අඩු වෙලා සතා වැඩි වුණු සතුට දුවනව එතකොට කැලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *