ඩයටින් ගැන ඔබ දැනගත යුතු දේ

ඩයටින් කියන වචනෙ දැක්කම මේ දවස්වල කොල්ලෝ කෙල්ලෝ ඇස් විතරක් නෙමෙයි කටත් ඇරගෙනලුනෙ බලන්නෙ. එච්චරට උනන්දුයි බර අඩු කර ගන්න. නෑ නෑ.. මේ කියන්න යන්නෙනම් තවත් ඩයට් ප්ලෑන් එකක් ගැන නෙමෙයි. ප්ලෑන් නම් ඔය ඕන තරම් තියෙන එකේ ඩයට් ගැන මුල මැද අග ඉගෙන ගෙන ඉමුකො.

 

1. මොකක්ද මේ ඩයට් කියන්නේ?

Image Source – ckelite.co.uk

ඩයට් කියන්නේ සරලවම මොකක්හරි අරමුණක් ඇතුව එදිනෙදා අපි කන බොන දේවල් පාලනය කරන එකට. පාලනය කියන්නෙ පාලනය හොඳේ. ඒ මිසක් නොකා නොබී ඉන්න එක නෙමෙයි. කලිනුත් කිව්වා වගේ අද කාලෙනම් ඩයට් කරන එකේ ලොකුම අරමුණ තමයි බර අඩුකරගෙන ස්ලිම් ෆිගර් එකක් හදාගන්න එක. ඉතින් පාලනයට වඩා ට්‍රයි කරන්නේ නොකා නොබී ඇඟ හදාගන්න. අන්න ඒ නිසාම තමයි ඩයට් ගැන නොදන්න දේවල් මෙහෙම කියල දෙන්න යන්නෙත්. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියනවනේ. ඩයටිනුත් එහෙම්මම තමයි.

 

2. ඩයට් ඉතිහාසය

Image Source – theginamiller.com

කනින් කොනින් ආරංචි කරලා බැලුවම මේකටත් තියෙනවා මහා ඉතිහාස කතන්දරයක්. ඔය ඩයට් කියන මාතෘකාව ගැන මුලින්ම කතා කරලා තියෙන්නේ ජෝර්ජ් කියල බටහිර වෛද්‍යවරයෙක්. 1724 වගේ කාලෙදි එයාගෙම අධික බර නිසා මස් නැති, කිරි, එළවලු විතරක් තියෙන කෑම කාල ආපහු අවශ්‍ය බර ප්‍රමාණයට ආපු නිසා තමයි ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න පටන් අරන් තියෙන්නේ.

 

3. ඩයට් කරන්නේ කෙට්ටු වෙන්න විතරමද?

Image Source – thewinchesterinstitute.com

මෙන්න මේකත් ඩයට් ගැන සමාජයේ තියෙන තවත් වැරදි මතයක්. ඩයට් කරන්නේ කෙට්ටු වෙන්නම නෙමෙයි. ඩයට් කිරීමේ අරමුණු වලට බර අඩු කිරීම විතරක් නෙමෙයි, වැඩි කිරීමයි, maintain කිරීමයි ඒ කියන්නේ පවත්වාගෙන යාමයි කියන කාරණාත් ඇතුළත් වෙනවා. බර වැඩි කරන්නත් ඩයට් කරනව කිව්වම පුදුමයි නේද? ඒ උනාට කතන්දරේනම් ඇත්ත. ඩයට් කියන වචනය වැරදි විදිහට තමයි මෙච්චරකල් තේරුම් අරන් තියෙන්නේ.

ඒ විතරකුත් නෙමෙයි. තවත් හේතු තියෙනවා ඩයට් කරන්න. දියවැඩියාව, ඉරුවාරදය (migraine), අක්මාව ආශ්‍රිත රෝග, සමහර ගර්භාෂය ආශ්‍රිත රෝග එහෙම පාලනය කරන්නත් මේ ඩයට් එහෙම නැත්තම් ආහාර පාලනය පාවිච්චි කරනව.

කොහොම උනත් මෙතනින් ඉස්සරහට අපි කතා කරන්නේ හැමෝම දන්න බර අඩුකරගන්න කරන ඩයට් ගැන.

 

4. ලෝක ප්‍රසිද්ධ ඩයට් ප්ලෑන් වර්ග

Image Source – womansworld.com

සෞඛ්‍ය ගැටළු නැති සාමාන්‍ය කෙනෙක්ට කරන්න පුළුවන් පොදු ඩයට් වර්ග ඕන තරම් තියෙනවා. හුඟ දෙනෙක් කරලා සාර්ථක උන, එකකට එකක් වෙනස් අරමුණු වලට ඩිසයින් කරපු ප්ලෑන්ස් තමයි මේ විදිහට ප්‍රසිද්ධ ඩයට් ප්ලෑන් කියල නම් කරලා තියෙන්නේ. Atkins Diet, Zone Diet, Paleo Diet, Ketogenic Diet, South Beach Diet, GM Diet කියන්නේ අන්තර්ජාලයේ දකින්න තියෙන එහෙම සුලභ ඩයට් ප්ලෑන් වලින් කිහිපයක්.

 

5. වැරදි ඩයටින් වල අතුරු විපාක

Image Source – sitarambhartia.org

සුලභව කතා වෙන මාතෘකාවක් උනාට මේ ඩයටින් කියන්නේ ආවට ගියාට හිතු මනාපෙට කරන්න පුළුවන් කාරියක් නම් නෙමෙයි. හොඳම විදිහ තමයි මොන හේතුවකට උනත් ඩයට් කරන්න බලාපොරොත්තු වෙන අය ඩයටීෂියන් කෙනෙක්ගෙන් හරි, තමන්ට පුරුදු වෛද්‍යවරයගෙන් හරි උපදෙස් අරන් ඉන්න එක. කිසිම සෞඛ්‍ය ගැටළුවක් නැති කෙනෙක් උනත් හිතුමතේ නොකා නොබී ඉන්නේ නැතුව පිළිගත්ත ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරන එක හුඟක්ම වැදගත්. හිතුමතේට කන බොන දේවල් අඩු කරන එකෙන්, නොකා ඉන්න එකෙන් ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන්, කබෝහයිඩ්රේට්ස් වගේ පෝෂ්‍යපදාර්ථ නොලැබී යන්න පුළුවන්. වැරදි ඩයටින් වල කෙටි කාලීන සහ දිගු කාලීන අතුරු විපාක දෙකම තියෙනවා. කෙටි කාලීනව ගත්තොත් නම් එදිනෙදා වැඩ කරගන්න ශරීරයට අවශ්‍ය ජවය නැතිවෙන එක, ගැස්ට්‍රයිටිස් වගේම මිග්‍රේන් වගේ රෝග අවදානම තියෙනවා. දිගු කාලීන අතුරු විපාක ගත්තොත්නම් හිතනවට වඩා භයානකයි. හෘදාශ්‍රිත රෝග, ඔස්ටියෝපොරෝසිස් සහ සමහර පිළිකා වර්ගත් හැදෙන්න පුළුවන්. ඒ නිසා රැල්ලට ඩයට් කරන්න කලින් කල්පනා කරලා බලන එක කෝකටත් හොඳයි.

 

6. අමාරුවේ නොවැටී ඩයට් කරන හැටි

Image Source – dietdoctor.com

දැන් ඔය කලින් කියපු කාරණා හොඳට ඔළුවට දාගෙන හරි විදිහට ඩයට් එකක් කරන්න හිතාගත්ත කට්ටියට තමයි මෙතනින් එහාට තියෙන විස්තරේ වැදගත්.

මුලින්ම ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරන්න කලින් තමන්ගේ ඇඟ ගැන අදහසක් අරන් ඉන්න ඕනෙ. අපි නොදන්න ලෙඩ රෝග තියෙන්නත් පුළුවන්නේ. ෆැමිලි ඩොක්ටර්ව හම්බවෙලා සීනි, කොලෙස්ටරෝල් වගේ මූලික පරීක්ෂණ ටික කරලා බලල දොස්තරගෙන්ම උපදෙසක් ගන්න ඩයට් කරන එක ගැන. එත් එක්කම තමන්ගේ BMI එක, ඒ කියන්නේ උසට අනුව තියෙන බර ප්‍රමාණයත් පරික්ෂා කරගන්න. අන්න ඒ BMI එකට අනුව අඩුකරගන්න ඕන බර ප්‍රමාණය තීරණය කරන්න.

දැන් බර ප්‍රමාණය හිතාගත්ත කියන්නකෝ… හැබැයි එක පාරකට අඩු කරගන්න බැරි තරම් ප්‍රමාණයක්නම් එහෙම? ඒ නිසා අඩු කරගන්න ඕන ගාණ ප්‍රායෝගික විදිහට කොටස් වලට බෙදාගන්න. ඔක්කොම කිලෝ 10ක් නම් මාසෙකට කිලෝ 3ක් හෝ 4ක් වගේ කරන්න පුළුවන් ගාණකට හදාගන්න.

දැන් ඔය ඔක්කොම කරලා ඉවරවෙලා තමන්ට ගැලපෙන ඩයට් ප්ලෑන් එකක් තෝරගන්නයි තියෙන්නේ. කලිනුත් කිව්වා වගේ ඩයට් ප්ලෑන් ගැන අපි කතා කරන්නේ නෑ. පිළිගත්ත ඩයට් ප්ලෑන් එකක් තමන්ගේ කැමැත්ත මත තෝරගන්න පුළුවන්. කොහොමින් හරි ඔය අතරෙදි කරන්න ඕන වැදගත් කාරණා ටිකක්නම් තියෙනවා මතක් කරන්න.

ඩයට් කරද්දී බර මැනල රෙකෝඩ් එකක් තියාගන්න. ඒක ප්තිඵලය බලාගන්න වගේම මෝටිවේට් වෙන්නත් හොඳ ක්‍රමයක්. ඒ වගේම පුළුවන් තරම් වතුර බොන්න. එකෙන් අනවශ්‍ය ආහාර වේල් මඟහැරෙනව වගේම ගැස්ට්‍රයිටිස් වගේ අතුරු අබාධත් ලංකරගන්නෙ නැතුව ඉන්න පුළුවන්.

 

7. ඩයට් කළාම විතරක් ඇතිද?

Image Source – telegraph.co.uk

ඩයට් වලින් විතරක්ම බර අඩුකරගන්න හිතනවනම් ඒකත් එච්චර හොඳ අදහසක්නම් නෙමෙයි. කරන්න බැරිනම් නැහැ. එත් ප්‍රතිඵලයනම් සාර්ථක නැහැ. හීන දකින ස්ලීම් ඇන්ඩ් ෆිට් ඇඟ හදාගන්නනම් ඩයට් එකත් එක්කම ව්‍යායාමත් කරන්නම වෙනවා. ඩයට් වලින් 75%ක් බර අඩුකරගන්න අතරේ ඉතුරු 25% ව්‍යායාම වලින් අඩුකරගන්න එක තමයි නිවැරදිම ක්‍රමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *