ඉන්දීය පාකිස්තාන ගැටුම් ඉතිහාසය

පහුගිය සති පුරාවටම සමහරු බයෙන් හිටියේ අපේ අසල්වැසියෝ න්‍යෂ්ටික ආයුධ හරඹ කරන්න ගනියි කියලා. සමහරු නම් ඒකෙනුත් ආතල් එකක් ගන්න බලන් හිටියා. ඒ රටවල් දෙකෙත් විශේෂයෙන් ඉන්දියාවෙත් එහෙම ඩයල් හිටියා. කොටින්ම පාකිස්තානයෙන් මුදවා හරින ලද ඉන්දියානු ජෙට් ප්‍රහාරක නියමු අභිනන්දන් පවා ගිනි අවුළුවන ඉන්දියානු මාධ්‍ය විවේචනය කරලා තිබ්බා. හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයෙකු වන වසීම් අක්‍රම් පාකිස්තානය සහ ඉන්දියාව සාමයේ මාවතට පිවිසිය යුතුයි කියලා යෝජනා කරද්දි ඉන්දියාවේ සචින් තෙන්දුල්කාර් යුධවාදී ප්‍රකාශයක් කරලා තිබ්බා. ඒ වගේම පාකිස්ථාන විපක්ෂ නායකයා “මේ යුධ උණුසුම නැවතුන් නැති වුණොත් නව දිල්ලියේ පාකිස්තාන ධජය ලෙල දෙනු ඇතැයි” කියද්දි ඉන්දියානු ජනතාව මේ යුද්ධය නරේන්ද්‍ර මෝඩිගේ පහළ යන ජනප්‍රියත්වය රැකගැනීමේ බාල උත්සහයක් කියලා විවේචනය කළා. මේ කොහොම වුණත් පාකිස්තානය සහ ඉන්දියාව කියන රටවල් දෙක බිහිවෙන වෙලේ මහත්මා ගාන්ධි තුමා එක්සත් ඉන්දියාවක් හදන්න උත්සාහ කරලා බැරිම තැන කිව්වේ අනාගතයේදී කැනඩාව සහ ඇමරිකාව වගේ සම්බන්ධයක් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වේවා කියලා. ඒත් ලංකාවේ අපි අද වෙද්දි දෙන්නෙක් අතර ගැටුම් වැඩි නම් කියන්නේ උන් දෙන්නා ඉන්දියාවයි පාකිස්තානයයි වගේ කියලා. මහත්මා ගාන්ධිගේ සිහිනය කවදා ඉටු වේවිද කියන ප්‍රශ්නය අනාගතයට බාරදීලා අපි හිතුවා ඉන්දු පාකිස්තාන් ගැටුම්වල ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරන්න.

 

1. සුන්දර කාශ්මීරය අසුන්දර කළ 1947 ගැටුම

Image Source – leagueofindia.com

ලංකාවෙ ප්‍රශ්නවලට වගේම ඉන්දියාවෙ ප්‍රශ්නවලටත් මූලිකම හේතුව වෙන්නේ ඉංග්‍රීසින් භාවිතා කරපු බෙදා වෙන්කොට පාලනය කිරීමේ මූලධර්මය. ඉන්දියාවට නිදහස ලබා දෙද්දි මහරාජාවරුන් යටතේ පාලනය වුණු රාජ්‍යවලට ඉන්දියාවට හෝ පාකිස්තානයට එකතු වීමේ අවස්ථාව හෝ නිදහස් රටක් ලෙස සිටීමේ අවස්ථාව ලබා දුන්නා. එවකට  කාශ්මීරයේ මහරාජා තීරණය කළේ නිදහස් රටක් ලෙස තමන්ගෙ බල ප්‍රදේශය පවත්වාගෙන යන්න. පාකිස්තානය මේ තීරණයට එකඟ වගේ පෙන්නුවත් කාශ්මීරය තුළ නොසන්සුන්තා ඇති කිරීමට කටයුතු කළා. ඒ වගේම පශ්තුන් ගෝත්‍රික මිලිටරි කණ්ඩායම් කාශ්මීරය වෙත යොමු කළා. කාශ්මීරයේ අගනුවර වුණු ශ්‍රී නගරයට පවා තර්ජන එල්ල වෙද්දි ඉන්දියාවේ සහයෝගය ඉල්ලනවා හැරෙන්න මහරාජාට වෙන විකල්පයක් තිබ්බේ නෑ. ඉන්දියාව මහරාජාට උදව් කරන්නේ කොන්දේසි කීපයක් උඩ. එක කොන්දේසියක් වුණේ කාශ්මීරය ඉන්දියාව සමග එකතු විය යුතුයි කියන කොන්දේසිය. ඒ ගිවිසුම අත්සන් තැබීමත් එක්ක අහසින් සහ ගොඩබිමෙන් ඉන්දියානු ආරක්ෂක අංශ කාශ්මීරය වෙත පැමිණියා. අවසානයේදි යුද්ධය නිමා වුණේ ඉන්දියාවට කාශ්මීරයෙන් තුනෙන් දෙකක කොටසක් සහ පාකිස්තානයට තුනෙන් එකක කොටසක් ලැබීමෙන්. පාකිස්තාන පාර්ශවයට දැඩි හානි මේ යුද්ධය නිසා සිද්ධ වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය කාශ්මීරය පිළිබඳව යෝජනාවක් සම්මත කරගත්තත් එය සාර්ථක වුණේ නෑ.

 

2. 1965 යුද්ධය

Image Source – dawn.com

දවස් දහහතක් පුරාවට පැවතුණු මේ යුද්ධය පටන් ගන්නේ පාකිස්තාන පාර්ශවයෙන්. පාකිස්තානය පාර්ශවය ජම්මු සහ කාශ්මීර ප්‍රදේශවල ගැටුමක් ඇති කරන්න යුධ හමුදා පිටත් කරනවා. මේකට ප්‍රතිප්‍රහාර ඉන්දිය යුධ හමුදාව ලබා දෙනවා. අවසානයේදි එක්සත් ජාතින්ගේ සංවිධානය සහ ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් සංගමයේ මැදිහත් වීමෙන් සාම ගිවිසුමකට එනවා. ටෂ්කන්ට් ප්‍රකාශනය විදිහට ප්‍රසිද්ධ වෙන්නේ මේ ගිවිසුම. අත්පත් කරගත්ත භූමි ප්‍රමාණය සහ ජීවිත හානි එක්ක සලකලා බලද්දි පාකිස්තානය මේ යුද්ධයේ පරාජිතයා විදිහට සලකන්න පුළුවන්. යුද්ධයේ ආරම්භකයා විදිහට ජාත්‍යන්තරයේ දෝෂ දර්ශනයට ලක් වෙන්නත් පාකිස්තානයට සිද්ධ වුණා.

 

3. 1971 බංග්ලාදේශය නිදහස ලැබීම

Image Source – sites.google.com

මේ දක්වා ඇතිවුණු ගැටුම්වලින් කාශ්මීර ගැටලුවට සම්බන්ධයක් නොමැතිව ඇති වුණු එකම යුද්ධය වෙන්නේ 1971 දී ඇති වුණු මේ යුද්ධය. අද පාකිස්තානය කියන්නේ ඉන්දියාවේ වයඹ දිසාවෙන් පිහිටි රට වුණාට නිදහස ලබද්දි පාකිස්තාන දෙකක් තිබ්බා. වර්තමාන පාකිස්තානය බටහිර පාකිස්තානය විදිහටත් වර්තමාන බංග්ලාදේශය නැගෙනහිර පාකිස්තානය විදිහටත් හැඳින්වුණේ. බංග්ලාදේශය පාකිස්තානයෙන් නිදහස ලබා ගන්න උත්සාහ කරද්දි පාකිස්තාන පාර්ශවයෙන් දැඩි ප්‍රතිවිරෝධයක් එල්ල වුණා. අහසින් සහ මුහුදෙන් බංග්ලාදේශයට ඇතුළු වුණු පාකිස්තාන හමුදාව එරට ඇතුළේ කාන්තාවන් දූෂණය කරමින්, සිවිල් ජනතාව සංවිධානාත්මකව මරා දමමින් විශාල විනාශයක් සිදු කළා. ඒ අවස්ථාවේ ඉන්දියානු හමුදාව බංග්ලාදේශයේ සහායට පැමිණියා. දින දහතුනක් බටහිර සහ නැගෙනහිර පෙරමුණුවල සටන් පැවතුණා. අවසානයේදී බංග්ලාදේශයේදී පාකිස්තාන හමුදාව යටත් වුණා. මේ යටත්වීම ලෝක යුධ ඉතිහාසයේ සිද්ධ වුණු ලොකුම යටත් වීමක් විදිහට සැලකෙන්නේ.

 

4. ස්මයිලින්ග් බුද්ධා

Image Source – republicworld.com

1974 මැයි 18 වෙනිදා ඉන්දියාව රාජස්ථානයේදී තමන්ගේ පළවෙනි න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම සිද්ධ කළා. ස්මයිලින්ග් බුද්ධා නමින් තමයි මේක හැඳින්වුවෙ. මේ අත්හදා බැලීම විවේචනය කරමින් ලෝක බලවතුන්ගෙන් දැඩි බලපෑමක් ඉන්දියාවට එල්ල වුණා. තමන්ගේ රට න්‍යෂ්ටික බෝම්බ මගින් බ්ලැක්මේල් කිරීමක් මේ අත්හදාබැලීම මගින් සිද්ද වෙනවා කියලා පාකිස්තානය ප්‍රකාශ කළා. ඒ වගේම එවකට පාකිස්තාන අගමැති සුෆිකර් අලි බූටෝ තමනුත් කෙසේ හෝ න්‍යෂ්ටික බෝම්බයක් තනන බවට වහසිබස් දෙඩුවා. නමුත් ඉන්දියාව හෝ පාකිස්තානය න්‍යෂ්ටික වැඩ පිළිවෙළ ඒ අවස්ථාවේ ඉදිරියට ගෙන ගියේ නෑ

 

5. 1998 න්‍යෂ්ටික අත්හදා බැලීම්

Image Source – timesofindia.indiatimes.com

1998 ඉන්දියාව නැවතත් න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කළා. න්‍යෂ්ටික පිපිරීම් පහක් අත් හදා බැලීමෙන් පස්සේ ඉන්දීය අගමැති අතල් බිහාරි වජ්පායි ඉන්දියාව න්‍යෂ්ටික බලවතෙක් විදිහට ප්‍රකාශයට පත් කළා. ලෝක බලවතුන් ඉන්දියාවේ මේ ක්‍රියාව දෝෂ දර්ශනයට ලක් කළා වගේම පාකිස්තානය මේ සිදුවීමට එකට එක කිරීමෙන් වළක්වා ගැනීමට උත්සාහ කළා. නමුත් නවාස් ශරීෆ් රජය ඊට දින පහළොවකට පසුව තවත් න්‍යෂ්ටික පිපිරීම් හයක් සිදු කරමින් ප්‍රතිචාර දැක්වූවා. මේ නිසා දකුණු ආසියාව ඇතුළේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙක් බිහිවුණා.

 

6. කාගිල් යුද්ධය

Image Source – dnaindia.com

මේ යුද්ධය සමහරු හඳුන්වන්නේ නිල නොලත් යුද්ධයක් විදිහට. මේකත් සිද්ධ වෙන්නෙ 1965 යුද්ධය වගේමයි. එවකට අගමැති නවාස් ෂෙරීෆ්ගේ අනුදැනුමෙන් තොරව ජනරල් පර්වේස් මුෂාර්ෆ් පාකිස්තාන හමුදා ඉන්දියානු ප්‍රදේශයට යොමු කළා. අවසානයේදී කාශ්මීරයේ කාගිල් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන සිද්ධ වුණු මේ යුද්ධය අවසාන වුණේ සුපුරුදු විදිහට ඉන්දියාවට ජය අත් කරමින්.

 

7. 2019 ඇති වුණු ගැටුම්

Image Source – dnaindia.com

මේ සිදුවීම් දැනට සංසිඳිලා වගේ පෙනුනා වුණාට අලු යට සැඟවුණු ගිනි පුපුරු විදිහට ගැටුම් සැඟවිලා තියෙන්නේ. හැබැයි දැනට මෑන් ඔෆ් ද මැච් වෙලා ඉන්නේ නම් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්. ඔහු දිගින් දිගටම සාමය සඳහා තමන්ගේ කැපවීම ප්‍රදර්ශනය කරද්දි ඉන්දීය පාර්ශවය යුධකාමී මානසිකත්වය පෙන්වුවා.

 

එහෙනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකකුත් දානවා නම් හොඳයි. බැරිම නම් ඉතින් රිඇක්ෂන් එකක් හරි දාන් යන්න

 

zvr
Your Reaction

Comments