ලංකාවේ කොයි තරම් ප්‍රශ්න තියෙනවද? අහස උසට තියෙන ඔය ප්‍රශ්න වලින් එකක් තමයි ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට පුරුෂ පක්ෂයෙන් සිද්ධ වෙන අකටයුතුකම්, ලිංගික අතවර, හිරිහැර සහ ලිංගික හිංසනයන්. විශේෂයෙන්ම කාන්තාවකට පොදු ප්‍රවාහන සේවයක ලිංගික හිංසනයකට හෝ හිරිහැරයකට මුහුණ නොපා කොහේවත් යන්න බැරි තරමටම මේ තත්ත්වය බරපතළ වෙලා තියෙන්නේ. මීට විරුද්ධව බොහෝ දෙනෙක් හඬ නැගුවත්, ඇත්තටම තාමත් මේ තත්ත්වය කොයි තරම් දුරට පාලනය වෙලා තියෙනවද කියන එක ගැටළුවක්. අන්න ඒ නිසාම ඒ වෙනුවෙන් විවිධාකාරයේ විසඳුම් රාජ්‍ය පාලන පාර්ශවයන් අතිනුත් ක්‍රියාවට නැංවෙනවා. එයින් එකක් තමයි දුම්රිය සේවයේ කාන්තාවන් වෙනුවෙන් වෙනමම දුම්රිය මැදිරි වෙන් කිරීම. හැබැයි මේ සම්බන්ධයෙන් ප්‍රශංසා වගේම විවේචනත් ගලාගෙන එනවා. දැන් අපි උත්සාහ කරන්නේ මේ ප්රශ්නය, මේ විසඳුම සහ අනාගතය ගැන පොඩ්ඩක් සමබරව සාකච්ඡා කරන්න තමයි!
1. ඇත්තටම කාන්තාවට මේ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවද?
අනිවාර්යයෙන්ම ඔව්. සමහර පිරිමි මේ ප්රශ්නය ගැන බොහොම ලුහුවෙන් කතා කරනවා අපි දකිනවා. ඒ අය විශ්වාස කරනවා ඇත්තටම ඔය කියන තරම් කාන්තාවන්ට ප්‍රශ්නයක් එදිනෙදා ජීවිතේදී නැහැයි කියලා. හැබැයි ඒක නෙවෙයි ඇත්ත. ලංකාවේ ඉන්න සෑම කාන්තාවක්ම පාහේ ගත්තොත්, නිරන්තරයෙන් එදිනෙදා ජීවිතේදී නැති නම් ඇතැම් විට හරි ලිංගික හිංසනයන්ට, ලිංගික හිරිහැරයන්ට ලක් වෙනවාය කියන එක තමයි තිත්ත ඇත්ත. මේ පොදු ප්‍රවාහනයේදී කාන්තාවට විඳින්න වෙන ලිංගික හිංසනයන්, ලිංගික හිරිහැර කියන එක අනවශ්‍ය විහිළු තහළු වල ඉඳන්, බලහත්කාරී යෝජනාවන් දක්වා, අහම්බෙන් සිද්ධ වෙනවා වගේ පෙන්වන අතක් පයක් ඇඟේ වැද්දවීමක, කකුල පෑගීමක ඉඳලා අනවශ්‍ය අතපත ගෑම්, ජැක් ගැසීම් සහ වෙනත් බලහත්කාරී ලිංගික ක්‍රියාවන් දක්වා දිගු වෙන්න පුළුවන්. කොටින්ම කියනවා නම් වයස් භේදයක්, ජාති භේදයක්, ආගම් භේදයක් හෝ ශරීර භේදයක් නැතුව කාන්තාවකට සුළුයි කියලා කෙනෙක් කියන්නට හැකි ලිංගික හිරිහැරයක ඉඳලා බොහොම තදබල ලිංගික හිංසනයන් දක්වා දේවල් පොදු ප්‍රවාහනයේදී අත්විඳින්න සිද්ධ වෙනවා.
2. පිරිමින්ගේ ප්රශ්නය
මෙතනදී ගොඩක් වෙලාවට ගොඩක් පිරිමින්ට තියෙන ප්රශ්නය තමයි ඇත්තටම කාන්තාවන්ට තියෙන ප්රශ්නය මොකද්ද කියලා තේරුම් ගන්න බැරි කම. ඒකට හේතුවක් තියෙනවා. පිරිමියෙක්ට කාන්තාවක් අතින් ලිංගිකමය වශයෙන් සිද්ධ වෙන බලහත්කාරකමකට මුහුණ දෙන්න තමන්ගේ ජීවිතේදී සිද්ධ වෙන්නේ නැති තරම්. එහෙම දෙයක් සිද්ධ වෙනවාය කියමු. පිරිමියෙක් තමන්ට කාන්තාවක් අතින් සිද්ධ වෙන ලිංගික බලහත්කාරකමක් සැබෑවටම බලහත්කාරකමක් විදියට භාර ගනීවිද, එහෙම නැතිනම් ඒක තමන්ට නොහිතූ වෙලාවක කඩාපාත්වුණු වින්දනයක් විදියට භාර ගනීවිද?
ලිංගික අසහනකරුවන් නොවෙන, කාන්තාවකට කිසිම විදියක ලිංගික හිරිහැරයක්, බලහත්කාරකමක්, හිංසනයක් නොකරන පිරිමියෙක්ට වුනත් තියෙන ප්‍රධාන ප්රශ්නය තමයි, ඒ සම්බන්ධයෙන් කාන්තාවට දැනෙන විදිය, කාන්තාවගේ අත්දැකීම හරි හැටි තේරුම් ගන්න බැරි වීම. තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි කාන්තාවක් මේ නිසා කොයි තරම් අමිහිරි අත්දැකීමකට මුහුණ දෙනවද, මේ තත්ත්වය ඇයට කොයි තරම් නරකට මානසිකව බලපානවාද කියන එක ජීවිතේ එක දවසක් හෝ කාන්තාවක් විදියට හිටපු නැති පිරිමියෙක්ට තේරුම් ගන්න බැහැ. ගොඩක් පිරිමි මේ ගැටළුව සම්බන්ධයෙන් අවිඥාණික වෙන්න හේතුවත්, මේ ගැටළුව තේරුම් ගන්න ගොඩක් පිරිමින්ට අසීරු වෙන්න හේතුවත් ඒකයි.
3. පිරිමි හැමෝම ලිංගික අසහනකාරයෝද?
ඇත්තටම පිරිමි හැමෝම ලිංගික අසහනකාරයෝ කියලා කියන්න බැහැ. බොහොම විනීත, ශීලාචාර, කාන්තාවන්ට ගරු කරන පිරිමි ඕනෑතරම් සමාජයේ ඉන්නවා. ඇත්තටම ගත්තොත් කාන්තාවන්ට ලිංගික හිරිහැර, ලිංගික හිංසන, බලහත්කාරකම් හා අකටයුතුකම් කරන පිරිමි ඉන්නේ සාපේක්ෂව අඩු ප්‍රමාණයක් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ අය එක්කෝ ලිංගික අසහනකාරයින් හෝ ඒ ඇරෙන්නට වෙනත් මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන්නන් වෙන්න පුළුවන්. මේ ලිංගික අසහනකාරයින්ගේ කුලකයට ලිංගික කුතුහලයෙන් පෙලෙන බාල, තරුණ කොටස් පවා ඇතුළත් වෙනවා.
හැබැයි පිරිමි හැමෝම කාන්තාවන්ට ලිංගික හිරිහැර, බලහත්කාරකම් කරන ලිංගික අසහනකරුවන් නොවුණත්, තවත් බොහෝමයක් පිරිමි ඉන්නවා සෙක්සිස්ට්ලා. ඒ කිව්වේ ස්ත්‍රී පුරුෂත්වය පදනම් කරගෙන කාන්තාවන්ට වෙනස් විදියට සලකන, කොන් කරන අය. මෙන්න මේ අයත් ඇත්තටම මේ ප්රශ්නයේම කොටස්. මොකද මේ අය තමයි කාන්තාවන්ට විඳින්න වෙන මේ ගැටළුව ලිහිලෙන් සලකන, වැරැද්ද වින්දිත කාන්තාවන්ට පටවන, ඒ නයින් මේ වැරදි කරන පිරිමින්ගේ ක්‍රියාවන් සාධාරණීකරණය කරන්නට හෝ බරපතලකම ලිහිල් කරන්නට උත්සාහ කරන්නන් වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් මේ අය කියන්න පුළුවන් කාන්තාවක් අඳින ඇඳුම අනුව තමයි ඇයට පොදු ප්‍රවාහනයේදී ලිංගික හිරිහැරයක් සිද්ධ වෙන්නේ කියලා. ඔව්වාට කියන්න වෙන්නේ පිංවතුනි කේප්ප ගොන් කතා කියලා තමයි!
4. තනියෙන් යන්න කාන්තාවන් කැමතිද?
දැන් අපි හරියටම අපේ ප්‍රශ්නයට ආවොත්, කාන්තාවන් වෙනුවෙන් දුම්රිය මැදිරි වෙන් කිරීම සම්බන්ධයෙන් කාන්තාවන්ගේ පැත්තෙනුත් විවේචනයන් එල්ල වුණා. ගොඩක් වෙලාවට නිරන්තරයෙන් කෝච්චියේ ගමන් බිමන් යන, එදිනෙදා රැකියාවට යන කාන්තාවන් කියා සිටියේ, ඇත්තටම කාන්තාවට කෝච්චියේදී වුනත් ලිංගික හිරිහැර, ලිංගික හිංසනයන් විඳින්න වෙන ප්රශ්නය තිබුණත්, ඒකට විසඳුම වෙන්නේ මෙහෙම බෙදීමක් කරන එක නෙවෙයි කියන එක. කොටින්ම යම් කෝච්චියක, යම් කෝච්චි පෙට්ටියක නිත්‍ය සාමාජිකයින් වුණු කාන්තාවන් කියන කාරණයක් තමයි, තමන්ගේ ගැන්සියේ පිරිමි සාමාජිකයින් ඇත්තටම තමන්ව ආරක්ෂා කරන බව සහ තමන් එක්ක සමීපව කටයුතු කරන බව. ඇත්තටම දන්නා හඳුනන්නෝ බවට පත් වුණු මේ ගැහැණු පිරිමි කණ්ඩායම් ඇතුළේ කාන්තාවකට ලිංගික හිංසනයන්ට හෝ හිරිහැරයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැති තරම් කියලා ප්‍රායෝගික තත්ත්වය සැලකිල්ලට අරගත්තහම කියන්න පුළුවන්. එහෙම වෙන්නේම නැහැයි කියන්න බැරි වුනත්, සාපේක්ෂව ඉතාමත් අඩුවෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ.
අනික කාන්තාවන් පිරිමින් ආකර්ෂණය කියන එක සොබාවික දෙයක්. හැබැයි ඒ ආකර්ෂණය කියන සාධකය සලකලා බලලා විතරක් අපිට කියන්න බෑ කාන්තාවෝ තමන් වෙනුවෙන් වෙනම කෝච්චි පෙට්ටි තියනවට අකමැතියි කියලා. ලිංගික හිරිහැරවල අමිහිරි අත්දැකීම් හැම කාන්තාවකටම පාහේ තියෙන නිසා, ඒක සාමාන්‍යකරණය කරන කාන්තාවක් හෝ හැමදාමත් තමන්ගේ ගැහැණු පිරිමි යාලු මිත්‍ර කණ්ඩායම් එක්ක ආතල් එකේ කෝච්චියේ යන කාන්තාවක් ඇරෙන්න අනික් කාන්තාවෝ බොහොමයක් කැමති වේවි කාන්තාවන් වෙනුවෙන්ම වෙන් වුණු කෝච්චි පෙට්ටියක් දෙකක් තියෙනවට.
5. තනියෙන් යන්න පිරිමින් කැමතිද?
කොහෙත්ම නෑ. අපි කලිනුත් කිව්වා වගේ ගැහැණු සහ පිරිමි ස්වභාවයෙන්ම ආකර්ෂණය වෙනවනේ. ආන්න ඒ ආකර්ෂණය අතිශයින්ම ශීලාචාර පිරිමියෙක්ට වුනත් තමන් සමලිංගික නොවෙයි නම් දැනෙනවා. එකේ ගැටළුවකුත් නෑ. ඒ නිසාම පිරිමියෙක් බොහෝ විට මේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව පොදු ප්‍රවාහනයේ අවකාශයන් බෙදන එකට විරුද්ධ වෙන්න පුළුවන්. අඩු ගාණේ යටි හිතින් හරි විරුද්ධ වෙන්න පුළුවන්.
කාන්තාවකගේ අතින්වත් නොඅල්ලා වුනත් කයියක් ගහගෙන යන්න ඕන කෙනෙක් ආසයිනේ. එහෙම නැතත් කාන්තාවක් දකින්න ලැබෙන එක වුනත් පිරිමියෙක්ට ඇතැම් විටකදී නේත්රාංජනයක්නේ!
6. වෙනම කෝච්චි පෙට්ටි දැම්මහම හරියයිද?
මෙන්න මේකට අවංකවම දැන්මම උත්තරයක් දෙන්න බැහැ. අපි පොදු ප්‍රවාහන මාධ්‍යයක් විදියට දුම්රිය සේවයේදී කාන්තාවට විඳින්න සිද්ධ වෙන ලිංගික හිරිහැර, ලිංගික අතවර, ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් විතරක් බැලුවත්, මේ වෙනම කෝච්චි පෙට්ටියක් දෙකක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කිරීමෙන් තාවකාලික හෝ විසඳුමක් කාන්තාවන්ට ලැබෙන්න පුළුවන්. ඇත්තටම මේක ස්ථිරසාර විසඳුමක් නෙවෙයි. හැබැයි තාවකාලික පැලැස්තරයක් වුනත් පැලැස්තරයක්නේ!
මේ කටයුත්තේ වෙනත් ප්‍රායෝගික ප්‍රශ්න ඕන තරම් තියෙනවා. එකක් තමයි පිරිමින්ට වෙන් වුණු කෝච්චි පෙට්ටි වල ජනගහණය වැඩිවීම නිසා ඇතිවෙන ප්‍රශ්න සහ අනතුරු. ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න විසඳන්නත් බලධාරීන්ට පුළුවන් වුනොත්, සමහර වෙලාවට මේ වෙනම කෝච්චි පෙට්ටි කතන්දරේ සාර්ථක වෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් අර උඩින් කියලා තියෙන ස්වභාවික ආකර්ෂණය කියන කතන්දරේට නම් මේ වෙනම කෝච්චි පෙට්ටි විසඳුමෙන් කිසිම උදව්වක් වෙන්නෙ නෑ!
7. වඩාත් ප්රතිඵලදායී විසඳුම් මොනවාද?
සරලවම නම් මේ ප්‍රශ්නයට තියෙන වඩාත් තිරසාර විසඳුම වෙන්නේ, කාන්තාවට සමව සැලකෙන, කාන්තාවකට වුනත් පිරිමියෙක්ට වුනත් මනුෂ්‍ය ප්‍රාණියෙක් විදියට එකසේ ගෞරවය ලැබෙන, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගනිමින් කාන්තාවන්ට වෙනස් ලෙසින් නොසැලකෙන සමාජයක් බිහි කරන එක. හැබැයි ඉතින් ඒවා එක රැයින් කරන්න බැහැ. ඒකට කාන්තාවන් පවා හඬ නගන්න ඉදිරියට එන්න ඕන. තමන්ට අත්විඳින්න සිද්ධ වෙන ලිංගික හිරිහැර, අතවර, හිංසනයන් එදිනෙදා සාමාන්‍ය දේවල් කියලා සාමාන්‍යකරණය නොකරන්න ගැහැණු උත්සුක වෙන්න ඕන. ඒ ගැන සංවේදී වෙන්න, සවිඥාණික වෙන්න පිරිමි උත්සුක වෙන්න ඕන. තමන්ට සියයට සියයක් කාන්තාවගේ පැත්තෙන් ඇයට විඳින්න වෙන අසීරුතාවය තේරුම් ගන්නට බැරි වුනත්, තේරුම් ගන්නට උත්සාහ කරන විදියේ සංවේදී පිරිමි ප්‍රජාවක් බිහිවෙන්න ඕන. සෙක්සිස්ම් නැතිනම් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගනිමින් සිද්ධවෙන වෙනස් විදියට සැලකීම හෝ කොන් කිරීම සමාජයෙන් නැතිවෙන්න ඕන.
මේ දේවල් එක රැයින් සිද්ධ කරන්න බැහැ. මේ දේවල් වලට පදනම ගෙදරින්, පාසැලෙන් වැටෙන්න ඕන. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් රාජ්‍ය මට්ටමේ අනුග්‍රහයෙන් යුතුව ජාතික මට්ටමෙන් මෙන්ම ගම් මට්ටමෙන් පවා සිද්ධ වෙන්න ඕන.
කොටින්ම කිව්වොත්, කාන්තාවන් වෙනුවෙන් කෝච්චි පෙට්ටියක් වෙන් කිරීමෙන් නොනැවතී, මේ සම්බන්ධයෙන් සමාජයෙ හැමදෙනෙක්ම සවිඥාණික කරවන්න පසුතලයන් නිර්මාණය වෙන්න ඕන.
කාන්තාවන් වෙනුවෙන් වෙනම කෝච්චි පෙට්ටි දැමීම ගැන ඔබේ අදහස මොකද්ද? කමෙන්ට් එකක් දාගෙනම අපිට කියාගෙන යන්න!
Leave a Reply