සිංහලෙන් මුල්වරට විද්‍යා ප්‍රබන්ධයක් ලියපු කුමාරතුංග මුනිදාස

කුමාරතුංග මුනිදාස කියන්නේ කවුද කියලා ඔයාගෙන් ඇහුවොත් ඔයා මොනවගේ උත්තරයක් දෙයිද?බොහෝ විට ලැබෙන්න පුළුවන් උත්තරයක් තමයි භාෂා විශේෂඥයෙක්, ව්‍යාකරණඥයෙක්, ළමා ගී රචකයෙක්, ළමා පොත් රචකයෙක්, කවියෙක් වගේ  උත්තර. 1887 ජූලි 25 වෙනිදා දික්වැල්ලේදී ඉපදුණු එතුමා 1944 මාර්තු 02 වෙනිදා මිය යන දවස වෙනකොට ලියපු ලිපි ලේඛන සලකා බැලුවොත් අපිට පේනවා එතුමා අපේ රටේ බිහි වෙච්චි සුවිශේෂී ප්‍රාඥයෙක් කියලා. විශේෂයෙන් එතුමා කාලයට සාපේක්ෂව ඉදිරි දැක්මක් සහිත පුද්ගලයෙක්. ඒ නිසා අපි හිතුවා එතුමා දායකත්වය දීපු, ඒත් අපි වැඩිපුර කතා නොකරන ක්ෂේත්‍ර කීපයක එතුමා ලියපු කියපු දේවල් කීපයක් ගැන කතා කරන්න.

 

1. කුමාරතුංග මහතා ලුණු දුටු හැටි

Image Source – amazon.co.uk

කුමාරතුංග මහතා ශික්ෂා මාර්ගය කියලා පොත් පෙළක් පාසල් දරුවන් වෙනුවෙන් ලිවුවා. මේ පොත් පෙළේ පස්වෙනි පොතේ ලුණු ගැන සඳහන් කරද්දි මෙන්න මෙහෙම ලියනවා.

“සෝඩියම් පුදුම ලෝහ විශේෂයෙකි. එය පිහියකින් කැපිය හැකිය. වෙන් කර තබා ගැනීම ඉතා අමාරුය. ක්ලෝරීන් වනාහි පැහැයක් නැති වායුවෙකි. ඉන් ස්වල්පයකුදු ආශ්වාස කළ හොත් මරණය ඒකාන්තය. මේ වැනි  වූ මේ ධාතුහු දෙකම සම ප්‍රමාණයෙන් මිශ්‍ර වීමෙන් ලුණු සෑදේ… ලුණු හෝ සෝඩියම් මිශ්‍ර කවර සංයෝගයක් උණුසුම් කළ කල්හි විශේෂයෙන් කහ පාට එළියක් විහිදුවයි. සෝඩියම් ඇති නැති බව පරීක්ෂා කිරීමට සුදුසු උපක්‍රමයෙකි”

මේ මෙතුමා පස්වෙනි ශ්‍රේණියේ දරුවන්ට ලුණු ගැන රසායනික විද්‍යාත්මක අවබෝධයක් දුන්න හැටි. මේ විද්‍යාත්මක කරුණු සිංහලයෙන් ලියැවුණු මුල්ම අවස්ථාවක්.

 

2. රෝස ගසේ කටු දුටු කුමාරතුංග

Image Source – lankanewspapers.com/ almanac.com

“රෝස මලේ නටුවේ කටු

වන බඹරෝ ඔහොම හිටු

නටුව නොවේ මල සිඹිමි

මම ළමයෝ පැණි උරමි”

මේ අපි හැමෝම දන්න සහ අපි පුංචි කාලේ ආසවෙන් කියවපු ආනන්ද රාජකරුණාගේ කවිය. හැබැයි හොඳට කල්පනා කරලා බැලුවොත් මේ කවියේ පොඩි වැරැද්දක් තියෙනවා. රෝස මලේ නටුවේ ඇත්තටම කටු තියනවද?එතකොට අපි පොඩි කාලේ ඉඳන් කියලා තියෙන්නේ වැරදි අදහසක් තියෙන කවියක් නේද? කුමාරතුංග මහත්තයා ළමයින් වෙනුවෙන් කවි ලියද්දි ඉතාම පරිස්සම් වෙලා තියෙනවා. එතුමා රෝස ගැන ලියන්නේ මෙන්න මෙහෙම.

“එ බඳු විසිත්

මලැකි පසත්

රෝස ගසෙත්

කටු පෙළ ඇත්”

කුමාරතුංග මහත්තයා මේ විදිහට නිවැරදි නිරීක්ෂණයට ළමා මනස හුරු කරවනවා.

 

3. සිංහලයෙන් ලියැවුණු පළමුවැනි විද්‍යා ප්‍රබන්ධය

Image Source – youtube.com

1934 ජූලි 3 වෙනිදා තමන් කතෘත්වය දරපු ලක්මිණි පහන පුවත්පතට “සේනගේ සිහිනය” කියන නමින් විශේෂාංගයක් කුමාරතුංග මහතා රචනා කරනවා. මේ කතාව සිංහලෙන් පළවුණු පළවෙනි විද්‍යා ප්‍රබන්ධය විදිහට සලකන්න පුළුවන්. කතාව පටන් ගන්නේ අද්භූත පුද්ගලයෙක් සේනව අපූරු යානයකට නංවා ගැනීමත් එක්ක. යානය තුළදී සේනට ගුරුත්වාකර්ෂණය නොමැති වීමේ අපූරු අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම යානයේ ඉන්න ඇතෙකුත් සේන වගේම පාවෙනවා. මේ තමන් දැක්කේ සිහිනයක් කියලා සේනට අවබෝධ වෙන්නේ නැගිට්ටුනාම.

 

4. එදා විද්‍යාත්මක ප්‍රවණතා ගැන අවබෝධයක් තිබුණු කුමාරතුංග

Image Source – fanpop.com

ලංකාවට ඒ කාලේ අලුත් විද්‍යාත්මක දැනුම පැම්ණීමේ යම් ප්‍රමාදයක් තිබ්බා. නමුත් කුමාරතුංග මහත්තයට එවක තිබ්බ විද්‍යාත්මක ප්‍රවණතා ගැන තරමක් දුරට හෝ යම් අදහසක් තිබ්බ බව අපට පේනව. නිදසුනක් විදිහට ඇල්බට් අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදය ගැන එතුමාගේ අවධානය යොමු වෙලා තිබ්බා කියලා ලක්මිණි පහනට ලියපු මේ කතු වැකි කොටසින් පැහැදිලි වෙනවා.

“දර්ශන විශාරද අයින්ස්තීනයෝ තමන් මැ නිපැයූ ‘සම්බන්ධවාදය’පවසත්වා. අපගේ ඇතැම් වයෝවෘද්ධ කෙනෙකුන් එතන්හි වුවහොත්, අතර තුරෙහි හෙළන පණ්ඩිත වාක්‍යයක් නිසා, අයින්ස්තීනයනට එ තැනින් දිවෙන්නට සිතෙනු නිසැකය’

 

5. කෙසෙල් ගස කප් රුකක්

Image Source – thedailymeal.com

රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම පිළිබඳව කුමාරතුංග මහතා දිගින් දිගටම ලිව්වා. දේශපාලන වශයෙන් එතරම් ප්‍රිය නොකළත් ඩී. එස් සේනානායක මහතා ලංකාවේ කෘෂිකර්මාන්තයට කළ සේවාව කුමාරතුංග මහතාගේ හරසරට ලක්වුණා. වී ගොවිතැන වගේම අතුරු බෝග වගාවන් ජනප්‍රිය කිරීමටත් කුමාරතුංග මහතා තමන්ගේ පෑන භාවිතා කළා. මේ එතුමා කෙසෙල් ගස කප් රුකක් ලෙස දැකපු ආකාරය.

“පුදුම උපදවන තරම් විවිධ ක්‍රමයෙන් කෙසෙල් ආහාර බවට පැමිණේ. දලුව පිසූ කළ හොඳ මාලුවෙකි. ගෙඩිය ඉදවා කෑ හැකිය. වියලා හෝ තිබිය හැකි වේ. සිය ලෙසකින් එය පිස ගනු ලැබේ. රමණීය වූ ජෑම් සෑදීමටද ඉතා සුදුසුය. යුෂයෙන් ඉතා මිහිරි මධුවෙක් පෙරා ගනු ලැබේ. වියලි ගෙඩි කොටා පිටි කොටැ ගෙන, තිරිඟු පිටියෙන් කැරෙන තාක් දෑ ද කළ හැකිය.”

 

6. අලි මිනිස් ගැටුම

Image Source – spaceforgiants.org

කුමාරතුංගයන් ජීවත් වුණු කාලය තුළදි ලංකාවේ අලි මිනිස් ගැටුම බරපතළ තත්ත්වයක තිබ්බෙ නෑ. ඒත් ඒ කාලෙ අප්‍රිකාවෙ පැවැතිච්ච අලි මිනිස් ගැටුම ගැන කම්පා වුණු කුමාරතුංග මහතා මෙහෙම ලියනවා.

“පුරාතනයෙහි අප්‍රිකා මහද්වීපයෙහි ඝන වනයෝද ඇතුන්ගෙන් ගහන වූහ. එහෙත් මේ සතුන්ගේ මාහැඟි වූ දත් මැ මොවුන්ට සතුරුකම් පෑය. ධන ආශාවෙන් මිරිකුණු මිනිස්සු ඒ දළ ගැනුමට අවුරුදු පතා සිය ගණන් ඇතුන් මරන්නට වන්හ. ඇතැම් උඩඟු මිනිසුන්ගේ විනෝදය සඳහා දිවි පිදීමටද මේ සත්වයෝ කැඳවනු ලබති. දැන් ඒ වනයන්හි වසන ඇතුන්ගේ ගණන ඉතා අල්පය. අසත්පුරුෂයන්ගේ මේ නොබිනා ක්‍රියාව රජ අණින් නොවැළකුණහොත් කල් යත් යත් පොළොව යට මුත් මතු පිට අප්‍රිකා ඇතකු දැකීම දුෂ්කර විය හැකිය.”

 

7. විප්ලවකාරී අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳව සිහින මැවු කුමාරතුංග

Image Source – unicef.org

හුදෙක් කාර්යාලවලට කොටු වූ පුද්ගලයන් බිහි කරන අධ්‍යාපන ක්‍රමවේදයට කුමාරතුංග මහතා එරෙහි වුණා. එකිනෙකා සතු සහජ දක්ෂතා හඳුනාගත හැකි අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව සහ එමගින් රටේ ආර්ථික සහ සාමාජීය සමෘද්ධියට හේතු වන බව කුමාරතුංග මහතා මෙහෙම සඳහන් කළා.

අප විසින් කල් නොයවා කළ යුත්තේ රට වැසියන්ගේ සහජ ශක්තිය පිබිදැවීමට උපක්‍රමයෙකි. ඇතැම්හු නොයෙක් කලා අතට ගිය සහජ ශක්තියෙන්‍ යුතු වැ උපදිති. ඇතැම්හු ශාස්ත්‍ර මාර්ගයට වැටුණු සහජ ශක්තියෙන් යුක්ත වෙති. ඇතැමුන්ගේ සහජ ශක්තිය අලුත් නිපැදැවීම් අතට නැමුණේයැ. මේ එක් එක් අතට ගිය ශක්තිය හැඳිනැ ගෙනැ එයට රුකුල් දීම නම් ජාතිය බලවත් කිරීමෙනි. එහි අගය මෙතෙකැයි නියම කළ නොහැකි තරම් මහත් වූවද එයට අප රටෙහි දැක්වෙන සැලකිල්ල නම් ඉතා අල්පය

කුමාරතුංග අපේක්ෂා කළ පරිදි තවම අපගේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වී ඇද්දැයි යන්න නම් තවත් ප්‍රශ්නයකි.

මේ මාර්තු 02දට කුමාරතුංග මහතාගේ 75 වැනි සමරුව පැවැත්වුණා.මේ ලිපිය  පරක්කු වෙලා අපි පළ කරන්න හිතුවේ ඒ වෙනුවෙන්. එහෙනම් මේ ලිපිය ගැන අදහස් පළ කරන්න වගේම ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.