හරියට කොන්ඩම් එකක් පාවිච්චි කරන්න දැනගන්න එක ලැජ්ජාවක්ද? එහෙම හිතනවා නම් දිගටම කියවන්න!

මේ දවස් වල කොන්ඩම් ගැන සෑහෙන්න කතාබහ ඇහෙනවනේ. ඒකට ලොකු හේතුවක් තමයි, කෙල්ලෙක්ගේ බෑග් එකක කොන්ඩම් තිබිලා හම්බුණොත් එහෙම එකෙන්ම ඒ කෙල්ලගේ චරිතය ඝාතනය වෙනවා කියන කතන්දරේ. අපිට ඕවට කියන්න තියෙන්නේ ‘වල් බූරු සදාචාරේ’ කියලා තමයි. වැඩිහිටි ගැහැණු, පිරිමි ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම දැනුවත් වෙලා ඉන්න ඕන දෙයක් තමයි කොන්ඩම් කියන්නේ. ඒ කියන්නේ ෆාමසියකින් හරි සුපර් මාකට් එකකින් හරි වෙන්ඩින් මැෂින් එකකින් හරි කොන්ඩම් මිලදී ගන්න කවුරුවත් ලැජ්ජ වෙන්න ඕන නෑ. ඊට වඩා කේස් අනාරක්ෂිත ලිංගික එකතුවීම්.

හරි, දැන් ලැජ්ජ පැත්තකින් තියලා කොන්ඩම් මිලදී ගත්තා කියමුකෝ. කීයෙන් කීදෙනාද දන්නේ හරියට කොන්ඩම් එකක් දාගන්න? සමහරු කොන්ඩම් එක දිග ඇරලා තමයි අහවල් අවයවේට පළන්දගන්නේ. ඉතින් කොහේද ලිංගික එක්වීමකදී ආරක්ෂාවක් ලැබෙන්නේ!

හරි, අපි මේ ආරළු බුළු නැතුව කියලා දෙන්න හදන්නේ හරියට කොන්ඩම් එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියන කතන්දරේ ගැන තමයි!

 

1. හරි කොන්ඩම් එක ගත්තද?

Image Source – verywellhealth.com

මොනවද හරි කොන්ඩම් කියන්නේ? වැරදි කොන්ඩම් එහෙමත් තියෙනවද? මෙහෙමයි. සාමාන්‍යයෙන් සයිස් සම්බන්ධයෙන් ගත්තහම නම් හරි වැරදි කතන්දරයක් නෑ. සාමාන්‍යයෙන් එන්නේ ෆ්‍රී සයිස් තමයි. කොයි තරම් තමන්ගේ පුරුෂ ලිංගය ලොකු වුනත්, පොඩි වුනත් දැන් තියෙන ෆ්‍රී සයිස් කොන්ඩම් ගැලපෙනවා.

ඒ ඇරෙන්න දැන් කොන්ඩම් ගත්තහම එක එක විදියේ ඒවා තියෙනවා. හැමෝම දන්න ප්‍රීති ගත්තොත් එහෙම, සාමාන්‍ය ප්‍රීති කොන්ඩම් වලට අමතරව බෙන්සොකේන් අඩංගු ස්ටැමිනා කොන්ඩම් තියෙනවා. මේ එකක් දැම්මහම තමන්ට අල්ලගෙන ඉන්න පුළුවන් කාලය වැඩි වෙනවා. එතකොට පොඩ්ඩක් රස්නේ ගතිය එන ප්‍රීති හොට් කොන්ඩම් වගේම සිලිකන් ඔයිල් සහ කූලින් ජෙල් එකක් එක්ක එන ප්‍රීති කූල් තියෙනවා. එතකොට ප්‍රීති සුපර් සහ රෆ් රයිඩර් කියන්නේ පෘෂ්ටයෙන් ඉහළට ඉස්සුණු ඩොට් වගේ නිමාවක් තියෙන වැඩි ආශ්වාදයක් ලබාදෙන කොන්ඩම් වර්ග. මේ වලත් තව ප්‍රභේද තියෙනවා. ලයිෆ්ස්ටයිල් මික්ස් බෙරි කොන්ඩම් කියන්නේ විවිධ බෙරි රසයන් සහ සුවඳ එක්ක එන කොන්ඩම්. දැන් අහන්න එපා කොන්ඩම් වල රස වැදගත් වෙන්න කොන්ඩම් කනවද කියලා. කොන්ඩම් දාලා කරන්නේ යෝනි සංසර්ගය හරි ගුද සංසර්ගය හරි විතරක් නෙවෙයි. කොන්ඩම් දාලා මුඛ සංසර්ගයත් කරනවා!

දැන් ඔය කොන්ඩම් දාලා සෙක්ස් කරන එක කොළේ පිටින් ටොපි කනවා වගේ කියලා කියන අයත් ඉන්නවනේ. එහෙම හිතන, හැබැයි ආරක්ෂිත ලිංගික එක්වීමකුත් ඕන අයට ඔන්න රැවුලයි කැඳයි දෙකම බේරගෙන වැඩේ කරගන්න අල්ට්‍රා තින්, ලයිෆ්ස්ටයිල් සෙන්සිටිව් වගේ කොන්ඩම් වර්ගත් පාවිච්චි කරන්න පුළුවන්.

 

2. කොන්ඩම් එක පර්ස් එකේද?

Image Source – muscleandfitness.com

දැන් අපි කියනවනේ ආරක්ෂිත ලිංගික ඇසුරකට අනිවාර්යයෙන්ම කොන්ඩම් ළඟ තියාගන්න කියලා. දැන් ඔහොම කිව්වහම කොල්ලෝ කොන්ඩම් එකක් හැමතිස්සෙම පර්ස් එකේ දාගෙන ඉන්නවා. කෙල්ල ගාවදී වැඩ්ඩෝ වගේ පර්ස් එක ඇදලා කොන්ඩම් එක ගන්නවා. එතකොට හරිද? නෑ සනා. පර්ස් එක කියන්නේ කොන්ඩම් එක දාන්න ආරක්ෂාව අතින් අඩුම තැනක්. කොන්ඩම් එකට ආරක්ෂාව නෑ කියන්නේ, කොන්ඩම් එක දාලා කරන කාරියටත් කොන්ඩම් එකෙන් ආරක්ෂාවක් නැහැයි කියන එක තමයි. ඒ කියන්නේ කොන්ඩම් එක හරි ආරක්ෂාවක් නැතුව තියෙනවා කියන්නේ ඉරෙන්න බලනවා. එතකොට දාපු එකෙනුත් වැඩක් නෑ. ඒ වගේම තමයි ඔය ගෑණු ළමයින්ගේ හෑන්ඩ් බෑග් එකත් දීර්ඝ කාලීනව කොන්ඩම් දාලා තියන්න හොඳ තැනක් නෙවෙයි. හොඳම දේ තමයි තමන්ට අවශ්‍ය මොහොතෙදී කොන්ඩම් මිලදී ගන්න එක. එහෙම නැතිනම් ගෙදර සිසිල් -ඒ කිව්වේ කාමර උෂ්ණත්වයට වඩා අඩු- සහ වියලි තැනක කොන්ඩම් ගබඩා කරලා තිබ්බට කමක් නෑ.

 

3. කොහොමද ඕක දාගන්නේ?

Image Source – verywellhealth.com

ආන්න ප්‍රශ්නේ. සමහර ආධුනික මල්ලිලා නං කොන්ඩම් එක අතට අරගෙන, දිගෑරලා තමයි දාගන්නේ. හැබැයි ඊට වඩා හොඳයි නොදා හිටියනම්.

කොන්ඩම් එකක් හරි විදියට පළඳින්නේ මෙහෙමයි. මුලින්ම කොන්ඩම් පැකට් එකේ කොණකින් අල්ලලා ඉරන්න. හැබැයි මැද්දෙන් ඉරන්න, දත් වලින් ඉරන්න, කතුරු වලින් කපන්න යන්න එපා, කොන්ඩම් එකටත් ඒ ගමන්ම බඩු බනිස් වෙයි. දැන් කොන්ඩම් එක ඉරා නොගෙන එලියට ගත්තට පස්සේ, ඒකේ රෝල් කරලා තියෙන ගැටිය පිටතට හිටින විදියට ශිෂ්ණය උඩින් තියාගන්න. දැන් කොන්ඩම් එකේ උඩම තියෙන පොඩි බුබුලක් වගේ කෑල්ලට වායු බුබුළු ඇතුළු නොවෙන විදියට හොඳින් මිරිකාගෙන, කොන්ඩම් එකේ රෝල් කරලා තියෙන ගැටිය ශිෂ්ණය දිගේ පහතට දිග අරින්න. සම්පූර්ණයෙන්ම ශිෂ්ණයේ මුල කොටසට එනකල්ම කොන්ඩම් එක ඔය විදියට දිග ඇර ගන්න.

 

4. වැඩේ යනකොට ගැලවෙයිද?

Image Source – nypost.com

මෙහෙමයි. කොන්ඩම් එකක් හරි විදියට ශිෂ්ණයට පැළැන්දුවට පස්සේ ඕකත් එක්ක කඩු පයිට් කරන්න යන්නෙ නැතිනම් කොන්ඩම් එක ගැලවෙන්නේ හරි ඉරෙන්නේ හරි නෑ සාමාන්‍යයෙන්. හැබැයි කොන්ඩම් එක ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සංසර්ගය අතරතුරේදී ශිෂ්ණයේ සෘජු බව නැති වුනොත්. ඔව් එහෙම අකරතැබ්බ වෙනවා. වැඩේ යන අතරෙදී ලිංගය අප්‍රාණවත් වෙන්න පුළුවන්. අන්න එතකොට කොන්ඩම් එක ගැලවෙන්න පුළුවන්. ඒ වගේම කොන්ඩම් එකට හානි වෙලා තිබුණොත් හරි, සංසර්ගය දෙදරණ දඟර සුළං ලෙවල් එකට ප්‍රචණ්ඩ වුනොත් හරි කොන්ඩම් එක ඉරෙන්නත් පුළුවන්. ආන්න එහෙම වෙලාවක වැඩේ නවත්තන්න. ඉරුණු කොන්ඩම් එක ප්‍රවේසමෙන් ඉවත් කරලා අලුත් එකක් පළඳින්න. දැන් ආයෙමත් බැට් කරන්න පිටියට පිවිසෙන්න!

 

5. අන්තිමටම දාගත්තොත් ෂේප් නේද?

Image Source – sharecare.com

නෑ, එහෙම ෂේප් වෙන්නෙ නෑ. කොන්ඩම් එකක් පාවිච්චි කරන්නේ මොකටද? එකක් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන්න. අනික ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකි රෝග වලින් ආරක්ෂා වෙන්න. දැන් වැඩේ පටන් අරගෙන ටිකක් වෙලා ගිහිල්ලා ශුක්‍ර මෝචනය වෙන්න ඔන්න මෙන්න වෙනකොට දුවලා ගිහිල්ලා කොන්ඩම් එක දාගෙන ඇවිත් වැඩේට එන්ටර් වුනහම ඒ බලාපොරොත්තු වුණු ආරක්ෂාව ලැබෙයිද?

දෙවෙනි ආරක්ෂාව ඒ වැඩෙන් කොහොමත් ලැබෙන්නෙ නැහැනේ. මොකද සමට සම ස්පර්ෂ වෙලා, තරල හුවමාරුවක් වෙන්න අවස්ථාව ලැබිලා ඉවරයි. ඊළඟට පළවෙනි ආරක්ෂාවටත් කොන්ඩම් එක අන්තිමට දාන එකෙන් අවදානමක් තියෙනවා. මොකද අවසානයේ ශුක්‍ර මෝචනය වෙනකොට විතරක් නෙවෙයි ශුක්‍රාණු යෝනියෙන් ඇතුළු වෙන්න ඉඩකඩ තියෙන්නේ. ශුක්‍ර මෝචනයට කලින් නිකුත් වෙන තරලයේ වුනත් ශුක්‍රාණු තියෙන්න පුළුවන්.

එතකොට කොන්ඩම් එකකුත් අතේ තියාගෙන අවදානමක් ගන්න එක ගොන් වැඩක්නේ!

 

6. හොඳට ලිස්සන්න තියෙන්න ඕන මෙයා!

Image Source – weirdoplace.blogspot.com

දැන් වෙළෙඳපොළේ ගන්න තියෙන්නේ ස්වභාවික ලේටෙක්ස් රබර් වලින් හදපු කොන්ඩම්නේ. මේවා බොහොම ආරක්ෂිතයි. හැබැයි පොඩී ප්‍රශ්නෙකුත් මේ ස්වභාවික ලේටෙක්ස් රබර් කොන්ඩම් වල තියෙනවා. අතට අහුවෙන ඕනම ලිහිසි ද්‍රව්‍යයක් මේවා එක්ක හරියන්නෙ නෑ.

හරි, දැන් ලිහිසි ද්‍රව්‍ය ඕන මොකටද කියලත් කියලා දෙන්න වෙනවනේ. සාමාන්‍යයෙන් යෝනි ආශ්‍රිත ලිංගික සංසර්ගයේදී ස්වභාවික ලිහිසි ද්‍රව්‍ය ප්‍රමාණවත්. ඒත් ලිංගිකව එක් වෙන්න පටන් අරගෙන වැඩි කාලයක් නැතිනම් හරි, මේක මුල්ම වතාව නම් හරි වෙනත් කෘත්‍රිම ලිහිසිකාරකයක් පාවිච්චි කරන එක දෙන්නටම පහසුවක්. එතකොට ගුද සංසර්ගයට යනවා නම් අනිවාර්යයෙන්ම කෘත්‍රිම ලිහිසිකාරක අවශ්‍යයි. කොහොම කළත්, ලිංගික කර්තව්‍යයේ සීසන් වෙච්ච යුවළකට වුනත් පොඩ්ඩක් හරි ලිහිසිකාරකයක් භාවිතා කරන එකේ වෙනම අත්දැකීමක් තියෙනවා.

දැන් මොකද්ද කොන්ඩම් එක්ක තියෙන ලිහිසිකාරක ප්‍රශ්නේ? මෙහෙමයි. සාමාන්‍යයෙන් ඕනම කොන්ඩම් එකක පිටත ලිහිසිකාරකයක් සුළු වශයෙන් ආලේප කරලා තියෙනවා. අර උඩින් කියපු විදියට කෘත්‍රිම ලිහිසිකාරක පාවිච්චි කරන්න ඕන කරන අය ලේටෙක්ස් කොන්ඩම් එක්ක පාවිච්චි කරන්න ඕන කරන්නේ ජලයේ දියවන ලිහිසිකාරක කියලා තියෙන ජලය පදනම් කරගත්, එහෙම නැතිනම් සිලිකන් පදනම් කරගත් ලිහිසිකාරක විතරයි. ඕන ෆාමසියකින් මේවා ගන්න පුලුවන්. ඔය K-Y Jelly, Easy Glide, Easy Glide Delay, Durex Play Saucy Strawberry Lube, Durex Play Cheeky Cherry Lube වගේ නම්වලින් තියෙන එව්වා ගත්තහම හරි. මතක් කරලා උඩින් කියපු විදියට water based නැතිනම් silicon based ලුබ්‍රිකන්ට් කියලා ඉල්ලුවහම හරි.

එතකොට කොන්ඩම් එක්ක පාවිච්චි කරන්න හොඳ නැති ලිහිසිකාරක මොනවද? පොල්තෙල් ඇතුළු තෙල් වර්ග, මසාජ් ඔයිල් වර්ග, ලෝෂන් වර්ග, පැට්‍රෝලියම් ජෙලි පදනම් වුණු ලිහිසිකාරක වගේ හැම එකකින්ම කොන්ඩම් එක දුර්වල වෙලා වැඩේ යන අතරේ ඉරිලා යන්න තියෙන ඉඩ වැඩියි. හැමෝම ලේසියට පාවිච්චි කරන වැස්ලින් වුනත් කොන්ඩම් එක්ක ඒතරම් මිතුරු කමක් නෑ!

ඒ වගේම තමයි දෙයියන්ගෙ නාමෙට කොන්ඩම් එක ඇතුළට ලුබ්‍රිකන්ට් දාලා පාවිච්චි කරන්න නම් එපා!

 

7. කොහොමද ගලවන්නේ?

Image Source – youtube.com.com

ඇත්තටම කොන්ඩම් එකක් දාගන්නවා වගේම වැදගත් කාරණයක් තමයි කොන්ඩම් එකක් ගලවන්නේ කොහොමද කියන එකත්. හරි විදියට මෙහෙමයි. සාමාන්‍යයෙන් පිරිමියෙක්ට ශුක්‍ර මෝචනයට පස්සේ ශිෂ්ණයේ තියෙන ප්‍රාණවත් ගතිය එහෙමම තියෙන්නේ නෑ. අන්න ඒ නිසා කොන්ඩම් එක තියෙන ශිෂ්ණය යෝනියෙන් හෝ ගුදයෙන් හෝ මුඛයෙන් එළියට ගන්නකොට කොන්ඩම් එක ගැලවෙලා ඇතුළේ නොරැඳෙන විදියට ශිෂ්ණයේ පාදමේ තියෙන කොන්ඩම් එකේ මුලින්ම අල්ලගෙන එළියට ගන්න ඕන. ඊලඟට කොන්ඩම් එක ශිෂ්ණයේ පාදමේ ඉඳන් උඩට ලිස්සලා පිටතට ගන්න ඕන. මේක කරනකොටත් කොන්ඩම් එක මුලින් අල්ලගෙනම තමයි ගන්න ඕන. දැන් කොන්ඩම් එක ඇතුළේ තියෙන ශුක්‍ර තරලය ඉහිරෙන්නේ නැති විදියට කොන්ඩම් එක අල්ලලා, පාදමෙන් ගැටගහලා හරි නැතුව හරි ටිෂූ එකක හොඳින් දවටලා තමයි ඉවත් කරන්න ඕන.

එතකොට කොන්ඩම් එකක් දාන්නේ කොහාටද? අනිවාර්යයෙන්ම කසල බඳුනට තමයි කොන්ඩම් එක පාවිච්චි කළාට පස්සේ යන්න ඕන. එහෙම නැතුව සමහරු කරන විදියට බාත් රූම් එකේ කොමඩ් එකට එහෙම දාන්න එපා. පස්සේ දවසක වතුර බහින්නෙ නැතුව ජලනල කාර්මිකයෙක්ට ඇවිත් අර දාපු කොන්ඩම් එලියට ගන්න වෙනවා.

දැන් එක්ස්පර්ට් කෙනෙක් වගේ කොන්ඩම් පාවිච්චි කරන්න බය වෙන්න දෙයක් නැහැනේ? තවත් ෂුවර් නැත්තං තමන්ගේ ආදරවන්ති හෝ ආදරවන්තයා එක්ක ඩිස්ටි ඩිඩින් එකකට යන්න කලින් කොන්ඩම් එකක් හරියට දාලා, ගලවලා බලලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වුනත් අපි මොකුත් කියන්නෙ නෑ. එතකොට අපිට මග ඇරුණු කාරණාවක් එහෙම තියෙනවා නම් ෆේස්බුක් කමෙන්ට් එකක් දාලා පෙන්නලා දෙන්න. අපෙන් කොන්ඩම් ගැන අහන්න දෙයක් තියෙනවා නම් ඒත් ෆේස්බුක් කමෙන්ට් එකක් දාලා අහන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *