ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයට අපේ කණ්ඩායම නිසා සිද්ධ වෙන දේවල්

ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ ජාත්‍යන්තර ක්‍රීඩාවක් විත්තිය ඒ ක්‍රීඩාවෙ කප් ගහපු අපේ වගේ රටකට අමුතුවෙන් කියන්න ඕන නෑ. කප් ගහපු? ඔවු අපි කප් ගහපු රටක්. මේ ටිකේම ඒ විදියෙ කුසලාන උණුසුමක් ක්‍රිකට් වලින් ලබන්න අපේ රට පිං කරලා නැහැ. ඒ නිසාම අපේ වර්තමාන ක්‍රිකට් කණ්ඩායමට සහ බලධාරීන්ට මේ දවස්වල අහන්නට ලැබෙන කතන්දරවල නිමක් නැහැ. හැබැයි අපේ ටීම් එක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට කරන බලපෑම නම් මේ නිසා අඩු වෙලා නැහැ. මේ කියන්නෙ අන්න ඒ විදියට සිද්ධ වෙන බලපෑම්වල වගතුග ටිකක්. අමුතුයි දුකයි වගේ හැඟීම් දැනෙයි. දරාගෙන කියවන්න.

 

1. ඩෙබියුටන්ට්ස්

Image Source – joke.lk

සාමාන්‍යයෙන් යම් රටකින් ඩෙබියුටන්ට්ස්ලා තමුන්ගේ කණ්ඩායමට යොදවන්නේ එදා දවසේ ඔවුන්ට ලබාදෙන අවස්ථාව ඔවුන් ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියලා දැකගන්නයි. මේ දවස්වල ඉතිං සාමාන්‍යයෙන් ලංකාව එක්ක ටූනමන්ට් එකක් සෙට් වෙනවා කියන්නෙ ඩෙබියුටන්ට්ස්ලා තුන් හතර දෙනෙකුටවත් නව ලොව දකින්න ඉඩ හැදෙන එක තමයි. කොහොමින් කොහොම වුනත් අපි එක්ක කරලියට ආවොත් ඩෙබියුටන්ට්ස්ලාගේ සැබෑ හැකියාවන් දකින්න ලැබෙන්නෙ නැති එක දුකක්. මොකද ඒ අය අපි එක්ක පෆෝම් කරන විදිය බලලා අතිශය සෑහිලා ඉදිරි තරග සංචාරවලටත් අවස්ථා හිමිකරගත්තත්, ඒවයේ මේ විදියටම වැඩ පෙන්වාවි කියලා හිතන්න බැහැ. ඉතින් ඇත්තටම අපි එක්ක ඩෙබියුටන්ට්ස්ලා අත්හදාබැලීම පාඩුවක්.

 

2. ටීම් ෆෝමේෂන්

Image Source – topsimages.com

කලින් කිවුව කතාව ඩෙබියුටන්ට්ස්ලාට වගේම මුළු ටීම් එකටත් අදාළයි. සාමාන්‍යයෙන් ටීම් එකේ සංයුතිය, බැටින් ඕඩර් එක, බෝලිං ස්ට්‍රෙන්ත් එකට නොයෙක් වූ විපරියාස කරමින් වඩාත් අයිඩියල්ම ක්‍රිකට් කෙමිස්ට්‍රිය තමන්ගේ ටීම් එක ඇතුළෙ හදාගන්න ඕනම කණ්ඩායමක් විවිධ වූ පර්යේෂණ සිද්ධ කරනවා. හැබැයි ඔය පර්යේෂණ අපි එක්ක කරලා වැඩක් නෑ මහත්තයො. මොකද අපි ඔය කොයි ෆෝමේෂන් එකටත් පරදිනවා. ඒ වගේම හිතාගන්න බැරි විදිහට ස්ටීවු වෝගේ කැප්ටන්සියටත් ගහලා දාන්න පුළුවන් අනපේක්ෂිත ටීම් එකක් ඉන්න රටක්. ඒ නිසා අපි එක්ක නං ඔය පර්යේෂණ කරන්න තියාගන්න එපා.

 

3. ෆෝම් ගොබ්බයෝ

Image Source – fastnews.gr

මුල්ම කාලෙ බංග්ලාදේශයයි අපියි අතරෙ මැච් තිබ්බම අපි දිනන බව ගැන සියයට සියයක විශ්වාසයක් තිබ්බා. වැරදිලාවත් එකක් පැරදුනොත් අපි සති ගණං ඒ ගැන කතා කළා. වර්තමානයට ටිකක් ළං වෙනකොට සීරීස් එකක මැච් එකක්වත් පරදින තත්ත්වයකට ආවා. ඊටත් පස්සෙ අනිවාර්යෙන් සීරීස් එක පරදින බවත්, එක මැච් එකක් හෝ දිනාගත හැකි බවටත් තියෙන තත්ත්වයකට අපි පත්වුනා. මේ වෙද්දි බංග්ලාදේශය මෙහෙ ආවත් අපි එහේ ගියත් වයිට්වොෂ් වෙයි කියන බය අපිට තියෙනවා. බංග්ලාදේශෙත් අපිට ගහලා ෆෝම් පිට ගියාට වෙනිං රටවලින් අන්ඩර්ටේකර්ට අහුවෙච්ච ෂාරුක් ඛාන් වගේ නාලු වෙන්න කනවා.

 

4. මොරාල් බැස්සීම

Image Source – crickettoast.com

අපිත් එක්ක ළඟදීම තරගාවලියක් පවත්වලා ගිය එංගලන්ත පිළ මේ කතාවට හොඳ නිදසුනක්. අපිත් සමග තරග කරන්න පිටියට එද්දි එංගලන්ත පිළ ලෝකයේ අංක එකේ කණ්ඩායම විදියට බැබලෙමින් හිටියෙ. චන්දිමාලුත් ඒක කියලයි පරාජයෙන් ඇඟ බේරාගත්තෙ. අපිත් එක්ක සෙල්ලං කරලා, ඇති පදං දිනලා දිනලා ඒ අය ගියා වෙස්ට් ඉන්ඩීස්. හැත්තෑ ගණංවලට ඉනිං ඉවර කරගෙන එහෙදි පරදින්න එංගලන්ත පිලට සිද්ධ වුනේ අපි නිසා කිවුවොත් ඔබ විශ්වාස කරනවාද? අපිට තියෙනවා අන්න ඒ මොරාල් බස්සන හැකියාව. එංගලන්තෙ අපිට ගහන්න එන්නෙ ෆුල් මොරාල් පිට. අපි ඔවුන්ට පෙන්වනවා අපිට ගහන්න ඔච්චර මොරාල් ඕන නෑ කියලා. ඉතිං ඒ අය අපේ රටෙන් පිටවෙලා යන්නෙම මොරාල් බස්සගෙන. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විවිධත්වය ඇති කරවන්න පුළුවන් අපිටයි.

 

5. පාඩුව ෆෑන්ස්ලටයි

Image Source – thequint.com

ලංකාව එනවා කිවුවම වෙනිං රටවල එවුන් ජොබ්වලින් නිවාඩු දාගෙන සෙට් වෙන්නෙ දිනන සීරීස් එකක් බලන්න හිතාගෙන. හැබැයි කොච්චර දිනලා ඔවුන්ගේ හිත හැදුවත් ප්‍රේක්ෂක මනස රිදවලා දාන්න අපේ ටීම් එකට පුළුවන්. අපේ ඈයො කොහොමත් මැච් එකේ තුන්වෙනි දවසෙ පළවෙනි සෙෂන් එක වෙද්දි තරගෙ අවසානයක් දකින නිසා ෆෑන්ස්ලට වෙන්නෙ නිවාඩු දාපුවත් තුරුල් කරගෙන හුලං බිබී ඉන්න තමයි. අපි එහෙමයි මහත්තයො පළිගන්නෙ. ළඟදීම ඕක දවස් දෙකට බස්සන එක තමයි චන්දි ඇතුළු කොල්ලන්ගෙ බලාපොරොත්තුව.

 

6. එක්ස්පෙරිමන්ට්ස්

Image Source – crickethours.com

ටීම් එකක් විදියට ස්ට්‍රැටජිකල් ප්ලෑනක් ගැසීම කියන එක්ස්පෙරිමන්ට් එකට අපි ඉඩක් නොතිබ්බත්, ඒ ටීම් එකේ බෝලර්ස්ලට, බැට්ස්මන්ලට වෙනස් දේවල් කරන්න අපි ඉඩ හසර හදලා දෙනවා. කාලයක් තිස්සෙ විකට් කීප් කරපු කෙනෙකුට ඕවරයක් දාන්න, වමෙන් ගහන බැට්ස්මන් කෙනෙකුට දකුණෙන් ගහන්න, අලුතෙන් බෝලයක් දාලා බලන්න වගේ සමහර වෙලාවට නෙට් ප්‍රැක්ටිස්වලවත් ඉඩක් නොලැබෙන දේවල් අපිත් එක්ක කරන්න පුළුවන් ඉඩ අපි හදලා දෙනවා.

 

7. අසරණ කිරීම

Image Source – independent.co.uk

සාමාන්‍යයෙන් මැච් එකක් හෝ සීරීස් එකක් ඉවර වුනාම පැවැත්වෙන අවෝඩ් සෙරමනියේ ටීම් දෙකම සමව දිදුලීම තමයි හොඳ තරගාවලියක් පැවැත්වුනා කියන්න තියෙන හොඳම සාක්ෂිය. මේ සම්මාන තෝරන්නෙ විශේෂඥ විස්තර විචාරක මඩුල්ල විසින්නෙ. අපේ අය ඔවුන්ව හොඳටම අසරණ කරන්නෙ එහෙමයි. අන්තිමටම ඒ මිනිස්සුන්ට කතා කරලා සම්මානයක් දීගන්න බැරිම තැනට හිරකරවන්න අපේ ටීම් එකට පුළුවන්. අන්තිමටම මෙහෙම ගිහින් අපිට සම්මානයක් ලැබෙනවා හොඳම කන්සිස්ටන්සිය පවත්වාගත්තු කණ්ඩායම විදියට දවසක.

8. ජජින්

අපේ ටීම් එක ජජ් කරන්න බෑ. අපි ජජ් කරන්න ඉඩක් තියන්නෙත් නෑ. සාමාන්‍යයෙන් පිටරටක ටුවර් එකකට ගියාම අපේ කණ්ඩායමත් එක්ක සෙල්ලං කරන්න ඒ ටීම් එකකට හෝ සභාපතිගේ පිලකට අවස්ථාව ලබාදෙන එක සාමාන්‍ය සිද්ධියක්. එහෙම කරන්නෙ අපේ ටීම් එකේ දක්ෂයෝ කවුද සහ ඔවුන්ගේ නැගී එන ක්‍රීඩකයන් හඳුනාගන්න. අපි රටක් විදියට අන්න ඒ ජජ්මන්ට් එක අරගන්නට විදෙස් කණ්ඩායමට ඉඩ තියන්නෙ නෑ. ඒ මුළු කණ්ඩායමම හොඳටම පර්ෆෝම් කරාම ඒ පැත්තෙ බලධාරියො අවුල්. අපේ උන් පොඩ්ඩක් පෆෝම් නොකරමත් ඒ කට්ටිය අවුල්. ඒ මදිවට අපෙන් යන්තමින් හෝ එකෙක් පෆෝම් කරොත් පොරව මැච් එකේදි හලන නිසා ඒ ටීම් එකට අපි ගැන ජජ්මන්ට් එකක් ගන්නම බෑ. ඒ නිසා ෆ්‍රෙෂ් පිට සෙල්ලම් කරන්න අපිට ඉඩ ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *