යාලුවො ඔයාව සෙට්වීම් වලින් හලනවනම් ඒ මේ නිසා වෙන්න පුළුවන්

දැන් ඔය යාලු මිතුරු කල්ලි සෙට් එකේ තියෙන ප්‍රශ්නයක් ගැනයි අද කතාව. කල්ලි විදියට සෙට් වෙන කොල්ලො වගේම කෙල්ලොත් ඉන්නව. මේ දෙගොල්ලොම පොදුවේ සෙට් වෙන කල්ලිත් තියෙනවා. ඒවයෙදි සෙට් වෙන්නෙ වෙනස් ප්‍රාණීන් නිසා කොච්චර හිතින් සෙට් වුනත් හිත් යටින් නොහොඳ තියෙන්න පුළුවන්. ඔය තියෙන නොහොඳ නිසා සමහරුන්ව සෙට්වලින් ෂේප් එකේ හැලෙන්න පුළුවන්. ඔයත් එහෙම හැලිච්ච කෙනෙක්නං ඔයත් මේ කතාව තේරුං ගන්න. මේ ලියන සටහන ඇතුළෙ ඔයා හැලිච්ච හේතුව තියෙන්න පුළුවන්. ඒවගේම ඔයාලගෙ සෙට් එකෙන් මේ හේතු නිසා කෙනෙක්ව හැලුවා නං එයාටත් දකින්න එක්ක මේක ෂෙයා කරන්න. මෙතන ඒ හේතුව නැත්තං ඒක කමෙන්ට් කරන්න.

 

1. අදින්නපුබ්බකයෙක්ද ඔයා?

ජාතක කතාවක් කියන්න නෙමෙයි යන්නෙ. දායක සභාව කලබල වෙන්න ඕනෙත් නෑ මේකට. හැබැයි ඔයත් අදින්නපුබ්බක ටයිප් එකේ ලෝබ බුවෙක්නං ඔයාව යාලුවො සෙට් එකෙන් කැපෙන්න හේතුව ඒකම වෙන්න පුළුවන්. යාලුවො සල්ලි දාලා බොද්දි ඔයා සල්ලි නොදා බොන එක, ඒ යාලුවො කොයිතරං කල් දරාගනියිද? යාලුවො එක්ක ඉද්දි හැම වැඩේටම ගාණට මිම්මට සල්ලි මැන මැන දාන්න බෑ තමයි. හැබැයි යාලුවො ඔයාටත් එක්ක ටිකට් ගත්තොත්, ඔයා යාලුවොන්ටත් එක්ක පොප්කෝන් අරගන්න. තවත් ටිකට් නොගත්තු යාලුවෙක් පොප්කෝන් අරං දුන්නොත් ඔයා බොන්න දෙයක් අරං දෙන්න. අතේ සල්ලි නැත්තං කෙලින් කියන්න. යාලුවොන්ට දෙයක් කියන්න ඇඹරෙන්න එපා. හරිහමං යාලුවො නං සල්ලිවලින් මිනිස්සුන්ව ජජ් කරන්නෙ නෑ. එහෙම යාලුවොන්ට ලෝබකං කරලා එයාලව දුරස් කරගන්න එපා.

 

2. ටෝක්ස්

මිනිස්සුන්ට පාණ්ඩිත්‍යය තියෙන එක හොඳ දෙයක්. බොහෝ දේ ගැන දැනුම. ඕනෑම දෙයක් ගැන දැනීම. යම් යම් දේ පරතෙරට හදාරා තිබීම. උදාහරණයක් විදියට සියළු විද්‍යාවන් ගැන දැන සිටීම සහ රසායන විද්‍යාව ගැන පරතෙරට දැන සිටීම. දැන් ඔයත් එක්ක සෙට් වෙන යාලුවො රසායන විද්‍යාවෙන් මහා වැඩ නොගන්න ඈයො නං ඔයා පරතෙරට දැනගත්තා කියලා අරක්කුවලට සෝඩා දැමීමෙන් වෙන විපරියාසය, ඒ ටික බොක්කට යද්දි මොකද්ද වෙන්නෙ, ඊට ටිකකට පස්සෙ ඉස්ටු දාපු හරක් මස් කෑල්ලක් ඒ උඩට වැටුනම මොකද වෙන්නෙ? වගේ දේවල් ඒ අයට කියන්න යන්න එපා. වැඩක් නැහැනෙ. අපි කාටත් ඕන රහට කාලා පදමකට එන්න. ඔය විදියට දිගින් දිගටම පාණ්ඩිත්‍යය පෙන්වන්න ගියාම ඔයා බයිට් එකක් වෙන්න පුළුවන්. පස්සෙ එයාලට බයිට් කරලත් එපා වුනාම ඔයා හැලෙන්න පුළුවන්.

 

3. ඩෝ!

යාලුවො යාලුවො අතරෙ බයිට් කිරීම් කියන්නෙ සාමන්‍ය දේවල්. ඔයාට කට්ටියව බයිට් කරන්න පුළුවන් වගේම එයාලටත් පුළුවන් ඔයාව බයිට් කරන්න. හැමදාම එකම මිනිහෙක් බයිට් වෙවී ඉන්න ඕන නැහැනෙ. දැන් ඔහොම කිවුව ගමන් එහෙම එකෙක්ව මේකට ටැග් කරන්නෙපා. කොහොමින් ​කොහොම වුනත් යාලුවො බයිට් කරද්දි ඒකට අනිත් පැත්තට බයිටක් දානවා හෝ තමුන්ට දාන බයිටෙන් මිදෙනවා මිසක් කේන්ති ගන්න හදන්න එපා. නැත්තං ඔයත් අර සෝෂල් එක්ස්පෙරිමන්ට් කරපු බුවාට අනිත් මිනිස්සුන්ගෙ විහිළු දරාගන්න බැරුව කිචවුණු තත්ත්වෙට පත්වෙයි.

 

4. වුමනයිසර්

ඔයා හෙන ගෑනු සීන් එකේද ඉන්නෙ? ඔයාට යන යන තැන කෙල්ලොද? ඔයා ට්‍රයි කරන ඕන එකක් ඔයාට සෙට් වෙනවද? ඔයාගෙ විහිළුවලට හැම ​කෙල්ලම හිනා වෙනවද? ඒ නිසා ඔයත් දකින දකින කෙල්ලට සිද්ධිය දාන්න යනවද? අන්න එහෙමනං ඔයාටත් නොදැනිම ඔයාවත් ඒ යාලුවන්ගෙ සෙට් එකෙන් හැලෙන්න පුළුවන්. නිකමට හිතන්නකො මෙහෙම. ඔයා වටේටම පැණි හල හල ඉන්න එක ඔයාගෙ වැඩක්. ඒත් බඩේ බත් වගේ ඉන්න යාලුවො සෙට් එක ඇතුළෙත් ඒක සිද්ධ වෙද්දි කෙල්ලෙක් කොහොමද යාලුවෙක් විදියට ඒ සෙට් එක ඇතුළෙ නිදහසේ ඉන්නෙ? ට්‍රිප් එකක් යන්නෙ? ගඟක මූදක නාන්නෙ? තව කොල්ලෙක් කොහොමද එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව සෙට් එකට අරගෙන එන්නෙ? අවුල් නේද? මේ නිසා ඔයාවත් ඒ යාලුවො සෙට්වලින් නිකංම හැලෙන්න පුළුවන්.

 

5. පෙරේතකං

ලෝබකංවලට හපං පෙරේතකං. මෙවුව කට්ටිය නොහිතුවට මාර ප්‍රශ්න. කන්න ගත්තම යාලුවොන්ටත් නැතිවෙන්න කාගෙන කාගෙන යන එක සමහර වෙලාවට අවුල්. ඕනතරං කන්න අරගන්න අතේ සල්ලි තියෙන වෙලාවකනං මොකා මොනවා කෑවත් අවුලක් නෑ. කොහොමත් බඩගිනිකාරයො ඉන්නවනෙ. හැබැයි කට්ටිය අමාරුවෙන් සෙට් වෙන දවසට එහෙම කරන්න හොඳ නෑ. තත්ත්වය තේරුං ගන්න ඕන. දෙමාපිය, සහෝදර, ආදර ඕනම සම්බන්ධයකට ඒ තේරුංගැනීම වැදගත්. කවදාහරි යාලුවො ඔයාව හැලුවෙ මේ හේතුව නිසානං මෙන්න මේ දේත් හිතට ගන්න. එයාලා ඔයාව හලපු එකේ තේරුම ඔයාගෙ පෙරේතකමම නෙමෙයි. ඒ ඔයා එයාලා ගැන හිතන්නෙ නෑ කියන එක පෙරේතකම ඇතුළෙන් මතුවෙන නිසායි.

 

6. මං හරි ආසයි!

තමන් කැමති දේම සිද්ධ වෙන්න ඕන කියන ආඥාදායකත්වයක් සෙට් එකක් ඇතුළෙ තියෙනවානං ඔය කියන හැලීමේ අවුලට මුල ඒක වෙන්නත් පුළුවන්. නිකමට මේ දේවල් හිතන්න. ඔයා බලන්න කැමතිම ටෙනිස් නිසා යාලුවො සෙට් එකම ටෙනිස් බලන්න ඕනද? ඔයා බලන්න කැමතිම මලයාලම් චිත්‍රපටි හින්දා හැමෝම මලයාලම් බලන්න ඕනද? ඔයා බොන්න ආසම බ්‍රැන්ඩි නිසා හැමෝම බ්‍රැන්ඩි බොන්න ඕනද? ඔයා යන්න ආසම නුවරඑළියෙ නිසා හැම ට්‍රිප් එකම නුවරඑළි යන්න ඕනද? ඔයා කන්න ආසම කොත්තු නිසා හැමදාම එකම කොත්තු කඩේට කට්ටිය ගාටන්න ඕනද? එහෙම කරන්න හොඳ නෑ. ඔයා දැන් ඒ සෙට් එකේ නැත්තෙත් ඒ හේතුව නිසාම වෙන්න පුළුවන්.

 

7. පොලු!

මෙන්න මේකනං බොහෝ අවස්ථාවල දකින්න ලැබෙන දෙයක්. ඔයා සාමාන්‍යයෙන් පොලු කාරයෙක්ද? යාලුවො සෙට් වෙන්න අහන ඕනම වෙලාවක මට නං ඕන දවසක්, මං රෙඩී! වගේ ටෝක්ස් දීලා අන්තිම මොහොතෙ සෙට් වීමට පොල්ල තියනවද? නැත්තං පැය හතරපහ පරක්කු වෙනවද? අන්න එහෙම කෙනෙකුට ඇත්තටම මේ සෙට්වීම එපා වෙලා කියලා යාලුවොන්ට හිතෙන්න පුළුවන්. ඒ නිසාම එයාලා ඔයාටත් නොකියා ඔයාව හලන්න පුළුවන්.

කොහොම වෙතත් අවුල් තියෙන යාලුවොන්ට මූණටම කියලා හදාගන්න එක තමයි කරන්න හොඳම දේ. මොකද වයසින් මෝරපු, කාලයක් තිස්සෙ කතාබහ කරලා ඉන්න යාලුවොන්ට දෙයක් මූණටම කියන්න බැරි නැහැනෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *