අද කාලේ ලැප්ටොප් එකක් එක්ක අනිවාර්යයෙන්ම ගන්න වුවමනා අමතර USB ගැජට් කිහිපයක්!

ඉස්සර කාලේ නම් ලැප්ටොප් එකක් ගන්නවා කියන්නේ පිස්සු හැදෙන කාරණයක්. ඒ කාලේ ලැප්ටොප් ඒ තරම් මිලෙන් අධිකයි, සුඛෝපභෝගියි. හැබැයි ඉතින් දැන් කාලේ කියලත් නවීන ලැප්ටොප් එහෙමට මිලෙන් අඩු වෙලා නෑ. ඒත් ඉතින් දැන් හැමතැනම නවීන ලැප්ටොප් ගෙවන්න ගන්න ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි ඉතින් තමන්ගේ වෘත්තිය වැඩකටයුතු, ඉගෙනුම් වැඩකටයුතු හෝ නිර්මාණ වැඩකටයුතු වලට ලැප්ටොප් එකක් ගන්න හාදයෙක් ලැප්ටොප් එක විතරක් උස්සගෙන ඇවිත් හරියන්නෙ නෑ. තව ගන්න ඕන ගැජට් බැජට් කීපෙකුත් තියෙනවා. සමහර වෙලාවට මේවා ලැප්ටොප් එකත් එක්කම ගන්න බැරි වෙන්න පුලුවන්. හැබැයි හෙමිහිට හරි මේ දේවල් අරගෙන තියාගන්න එක බොහොම ප්‍රයෝජනවත්!

 

1. USB DVD ROM

 Image Source – kiplinger.com

දැන් කාලේ එන ගොඩක් නවීන නෝට්බුක් පරිගණක වල ඩීවීඩී රොම් එකකුත් නෑ. ඇත්තටම දැන් ඩීවීඩී වල යුගයත් ක්‍රමයෙන් අභාවයට යමින් තියෙනකොට, නවීන නෝට්බුක් එකක ඩීවීඩී රොම් එක අයින් කරලා නිෂ්පාදකයින් උත්සාහ කරන්නේ නෝට්බුක් එක තව තවත් සිහින් ප්‍රමාණයකින් ලබාදෙන්න. ඇත්තටම වර්තමානයේදී අපි ඩීවීඩී රොම් එකක් පාවිච්චි කරන්නේ කොයි තරම් කලාතුරකින්ද කියලා හිතනකොට ඒක සාධාරණයි.

හැබැයි අපිට පරණ ඩීවීඩී එකක තියෙන දේවල් ආයෙමත් ගන්න, සමහර දේවල් ඩීවීඩී එකකට රයිට් කරලා තියාගන්න එහෙම වුවමනාවල් එනවනේ. ආන්න එතකොට හිතෙනවා හදිසියකට ගන්න ඩීවීඩී රොම් එකක් තිබ්බා නං හොඳයි කියලා. ඒකට සුදුසුම දේ තමයි පෝටබල් USB ඩීවීඩී රොම් එකක් ගන්න එක. සෑහෙන කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන්.

 

2. USB/Wireless Mouse

Image Source – kiplinger.com

සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක දීර්ඝව වැඩ කරන කෙනෙක්ට හැම වැඩක්ම ටච් පෑඩ් එකෙන් කරන එක අමාරුයි. ටච් පෑඩ් එකට හුරු වෙලා ඉන්න අයත් ඉන්නවා. හැබැයි ටච් පෑඩ් එකෙන් වැඩ කරන එක, මවුස් එකෙන් වැඩ කරන තරම් ෆාස්ට් නෑ කියලා හිතෙනවා නම් අනිවාර්‍යයෙන්ම මවුස් එකක් ගන්න එක හොඳයි.  පොඩි USB මවුස් එකක් අඩු ගාණකට ගන්න පුලුවන්. වුවමනා නම් වයර්ලස් මවුස් එකක් ගන්න පුලුවන්. ඒක වඩාත් ලේසියි. ඉස්සර වගේ සතියකට පාරක් බැටරි දාන්නත් අවශ්‍ය නෑ. දැන් තියෙන ගොඩක් වයර්ලස් මවුස් වලට එක පාරක් බැටරි දැම්මට පස්සේ අවුරුද්දක්වත් වැඩ කරන්න පුලුවන්.

 

3. USB/Wireless Keyboard

 Image Source – radio.com

දැන් ඔය ලැප්ටොප් උපකරණයක් අරගෙන ඒකෙන් සෑහෙන්න ලිපිලේඛන කටයුතු කරන අයත් ඉන්නවනේ. ආන්න ඒ වගේ අයට ලැප්ටොප් එකේ එන කීබෝඩ් එක දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න වෙන්නෙ නෑ. ඒකට හොඳ විසඳුමක් තමයි වෙනම පොඩි පහේ කීබෝඩ් එකකුත් අරගන්න එක. ඒක ලැප්ටොප් එකත් එක්ක එහෙ මෙහේ ගෙනියන්න වුවමනා නෑ. මග දිගට ටයිපින්ග් වැඩ ගොඩක් කරන්නෙ නැහැනේ. හැබැයි අර බොහොම හුරුබුහුටි, ඉතාම සිහින් ප්‍රමාණයේ අලුත් තාලේ කීබෝඩ් එකක් නම් එහෙම බෑග් එකේ දාගෙන යන්න වුනත් ගැටළුවක් නෑ. උඩින් කියපු විදියටම වයර්ලස් කීබෝඩ් එකක් ගන්න එකත් වාසියි.

 

4. Portable Hard disk

 Image Source – missbagbag.blogspot.com

පෝටබල් හාඩ් ඩිස්ක් එකක් ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙන්නේ ඔය ඩිසයිනර්ස්ලට එහෙම තමයි. එහෙම නැතිනම් ඉතින් ඔය ෆිල්ම්, මියුසික්, ටීවී සීරීස් එහෙම ඩවුන්ලෝඩ් කරලා එකතු කරන උදවියටත් සිද්ධ වෙන නස්පැත්තියක් තමයි ටෙරාබයිට් 1 ක හාඩ් ඩිස්ක් එකක් වුනත් මාස හයක් යනකොට පිරෙන එක. අන්න එතකොට තමයි හිතෙන්නේ පෝටබල් හාඩ් එකක් තිබ්බා නම් හොඳයි කියලා.

කොහොම වුනත් මේක අනිවාර්‍ය කාරණයක් නෙවෙයි. පෝටබල් හාඩ් ඩ්‍රයිව් එකක් මිලදී ගන්න වෙන්නේ ලොකු මතක ධාරිතාවක් අවශ්‍ය වෙන විදියේ වැඩකටයුතු කරන අයට තමයි.

 

5. Pen Drive

 Image Source – missbagbag.com

පෝටබල් හාඩ් එකක් ගන්න එක හෝ නොගන්න එක එහෙම තීරණය කරන්න පුලුවන් වුනත්, දැන් කාලේ පෙන් ඩ්‍රයිව් එකක් නම් ලැප්ටොප් එකත් එක්කම ගන්න වෙනවා. සමහර වෙලාවට ලැප්ටොප් එකක් නැතත් පෙන් ඩ්‍රයිව් එකක් නම් වුවමනාම වෙනවා. සාමාන්‍යයෙන් දැන් කාලේ 16GB, 32GB පෙන් ඩ්‍රයිව් එකක් වුනත් බොහොම අඩු මුදලකට ගන්න පුලුවන්. තමන්ගේ සොෆ්ට් කොපි විදියට තියෙන ලිපි ලේඛන, විවිධ කම්පියුටර් ෆයිල්ස් එහා මෙහා ගෙනියන්න පෙන්ඩ්‍රයිව් එකක අගේ කියලා නිම කරන්න බෑ. හදිසියකට යාලුවෙක්ගෙන් ෆිල්ම් එකක් එහෙම ඉල්ලගන්නවත් පෙන් ඩ්‍රයිව් එකක් අතේ තියෙන්න ඕනැනේ!

 

6. Speaker Set/Head Phones

Image Source – ultraprolink.com

මේකත් ඇත්තටම විකල්පයක්. ගොඩක් දෙනෙක් කැමතියි තමන් වැඩ කරන අතරේ සංගීතයට සවන් දෙන්න. වැඩ නැති වෙලාවට වුනත් ආස සිංදුවක් අහන්න කවුද අකමැති? හැබැයි ඉතින් ඕනම ලැප්ටොප් එකක/නෝට්බුක් එකක හොඳ මට්ටමේ හෝ සාමාන්‍ය මට්ටමේ ස්පීකර් පද්ධතියකුත් තියෙනවා. ඒත් ඒකට කැමති නැති කෙනෙක්ට ඕන නම් හොඳ බ්ලූටූත් ස්පීකර් එකක් ගන්න පුලුවන්. විශේෂයෙන්ම දැන් ඉහළ මට්ටමේ සවුන්ඩ්ස් ලබාදෙන, ඒත් හිතන්න බැරි තරම් පොඩි ප්‍රමාණයේ බ්ලූටූත් ස්පීකර්ස් තියෙනවා.

එහෙම අහළ පහළටත් ඇහෙන්න මියුසික් අහන්න වුවමනාවක් නැති නම්, තමන්ගේ රසවින්දනයට මියුසික් ඇහුණහම ඇති නම් ඉතින් හොඳ වර්ගයේ හෙඩ්ෆෝන් යුවළක් මිලදී ගන්නත් පුලුවන්. හැබැයි ටිකක් ගාණ වැඩිවුනත් සෙන්හයිසර්, බීට්ස් වගේ කොලිටි, ජෙනුයින් හෙඩ්ෆෝන් එකක් ගන්න එක වාසියි. අවුරුදු දහයක් වුනත් පට්ට ගහන්න පුලුවන්.

 

7. USB Cooler pad

Image Source – rakuten.com

මෙන්න මේක නම් ලැප්ටොප් එකක් ගන්නකොට අනිවාර්‍යයෙන්ම ගන්න ඕන ගැජට් එකක්. දැන් නවීන ලැප්ටොප් එකක් ගත්තොත්, ඒකේ හාඩ්වෙයාර් කෑලි බෑලි වැඩකරනකොට රත් වෙන ප්‍රමාණය හැකි තරම් අඩු කරන්න උත්සාහ කරලා තමයි එවන්නේ. එතකොට රත් වෙන ප්‍රමාණය වුනත් අවම කරන්න ලැප්ටොප් එක ඇතුළේ කූලින් ෆෑන් එහෙම තියෙනවා. ඔය ටිකක් ඇඩ්වාන්ස් ගේමින් ලැප්ටොප් වල එහෙම මේ ලැප්ටොප් එක සිසිලනය කරන තාක්ෂණය තව ඉස්සරහට ගෙනිහිල්ලා තියෙනවා.

හැබැයි ඔය මොකක් වුනත් ලැප්ටොප් එකක් එක දිගට පාවිච්චි කරනකොට යම් ප්‍රමාණයකට හෝ රත් වෙනවා. ආන්න ඒ රත්වීම දිගින් දිගටම සිද්ධ වෙනකොට, ඒක ලැප්ටොප් එකේ ආයුකාලයට අහිතකර විදියට බලපානවා. අන්න ඒ නිසා හොඳ USB කූලින් පෑඩ් එකක් මිලදී ගන්න එක හොඳ ආයෝජනයක්. ඒකෙන් ලැප්ටොප් එක වඩාත් වැඩි කාලයක් බබා වගේ පාවිච්චි කරන්න පුලුවන් වෙනවා.

හොඳ USB කූලින් පෑඩ් එකක තියෙන ෆෑන්ස් වලින් ලැප්ටොප් එක සිසිලනය කිරීම විතරක් නෙවෙයි වෙන්නේ. ලැප්ටොප් එකේ යට කොටස මේසය මත නැතුව, මේසයේ පෘෂ්ටයෙන් මඳක් ඔසවලා තැබීම නිසා වායු සංවහනයටත් උදවු වෙනවා.

 

8. USB Hub

Image Source – hypershop.com

ලැප්ටොප් එකට ගහන මවුස් එක, කීබෝඩ් එක වගේ එව්වා වයර්ලස් නම් ලොකු අවුලක් නෑ. කොහොමත් දැන් එන අලුත් ලැප්ටොප් වල USB පෝට් දෙකක්වත් එනවනේ. හැබැයි ඉතින් වයර් තියෙන මවුස් එකක්, කීබෝඩ් එකක්, කූලින් ෆෑන් එකක්, පෝටබල් හාඩ් එකක් කියන ඔක්කොම ගත්තට පස්සේ ඕවා ගහන්නෙ කොහේද? ආන්න ඒකට තමයි හොඳ මට්ටමේ USB Hub එකක් වැදගත් වෙන්නේ. මේ විදියේ හබ් එකක USB උපාංග තුනක්, හතරක් විතරක් නෙවෙයි සමහර වෙලාවට පහක් හයක් වගේ ගහන්නත් පුලුවන් විදියට හදලා තියෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ ගෙදර මේසේ උඩට USB Hub එකකුත් තියෙන එක වාසියි!

එතකොට ලැප්ටොප් බෑග් එකක් ගත්තද? ඒක තමයි මුලින්ම ගන්න ඕන දේ. හැබැයි ඉතින් ගොඩක් ලැප්ටොප් මිලදී ගන්නකොටම ලැප්ටොප් බෑග් එකකුත් ලැබෙනවා. හැබැයි ඒක බොහොම මූලික මට්ටමේ, සාමාන්‍ය එකක්. ඒක තමන්ට සෙට් වෙන්නෙ නැහැ කියලා හිතෙනවා නම්, වහාම ලැප්ටොප් එකට උපරිම ආරක්ෂාව සැලසෙන, තමන්ටත් සුවපහසු විදියේ හරහට උරහිසේ එල්ලගෙන යන්න පුලුවන් හෝ අතේ එල්ලාගෙන යන්න පුලුවන් හෝ පිටේ එල්ලාගෙන යන්න පුලුවන් විදියේ ලැප්ටොප් බෑග් එකකුත් ගන්න වුවමනායි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *