කාන්තාවකට ජීවිතයේ විඳින්න වෙන දුක් කම්කටොළු ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ගැහැණියක් වෙන එකම දුකක් කියලනෙ කට්ටිය කියන්නෙ. ඒ වුනත් ගැහැණියකට තමුන්ගේ වැරැද්දක් නැතුව බාහිර පාර්ශවයන් නිසා තැලීම් පෙළීම්වලට ලක්වෙන්නට සිද්ධ වෙන අවස්ථා ගැනයි මේ කතාබහ වෙන්වෙන්නේ. එහෙම අවස්ථා බොහෝමයක් තියෙන නිසාම කාන්තාවකට ජීවිතය නිකරුණේ විඳවන්නට වන අවස්ථා ගැනයි මේ සටහන වෙන්වන්නේ. මේවායින් අත්මිදෙන්නට කාන්තාවකට ඇත්තේ නිවැරදි තීරණ ගැනීම පමණක් වුවත් සමාජය (ගැහැණියද පිරිමියාද භේදයකින් තොරව) ඇයව පහතට ඇද දමන්නට උත්සාහ කරන නිසාම මේ සම්බන්ධයෙන් ලියා තැබීම වටියි.
1. පවුලේ බාලයා විදියට

Image Source – torontosun.com
පවුලේ බාලයා විදියට බොහෝ අවස්ථාවලදි කාන්තාවක් පීඩාවන්ට ලක්වෙනවා. සාමාන්‍යයෙන් අයියලාත් අක්කලාත් දෙමවුපියනුත් බාල දියණියට අතිශය ආදරයෙන් සළකනවා යැයි අසන්නට ලැබුනත් ලංකාවට පොදුවේ මෙම තත්ත්වය උරුම නැහැ. බොහෝවිට නැගනිය වැඩිමල් අයියලා අක්කලාගේ සෙල්ලම් බඩුවක් පමණක් වන බවට ග්‍රාමීය වශයෙන් අසන්නට ලැබෙන පුවත සැබෑවක්. බොහෝවිට කුඩා දරුවන් නිවස හැරයාම, මානසිකව පහළ වැටීම, සියදිවි නසාගැනීම මෙන්ම ඇතැම් මොහොතක ඔවුන් ලිංගික අතකොළු ලෙසිනුත් භාවිතා වීම මෙම අර්බුදයේම කොටසක්. මේ නිසා කුඩා දියණියක් දෙමාපිය බැල්මෙන් මිදුණු මොහොතක ඇයට පාලනය කළ නොහැකි, ඇය සුරැකි යැයි විශ්වාස කරන වටපිටාවකදී මෙවන් විපතකට මුහුණ පෑමට හොඳින්ම ඉඩ කඩ තියෙනවා.
2. නෑදෑයන් ජීවිතයට අතපෙවීම්

Image Source – blog.equalrightsinstitute.com
පවුලේ තරුණයෙකුගේ විවාහයකට වඩා තරුණියකගේ විවාහයකට පවුලේ නෑදෑයන් වැඩි දායකත්වයක් දැක්වීම දැකිය හැකියි. විවාහ කරගැනීමට නියමිත තරුණයා යෝජනාවකින් තෝරාගත්තද, තරුණිය විසින් සොයා ගත්තද සෑම පාර්ශවයකම නෑදෑයින් පැමිණ එය ගැලපෙන යෝජනාවක්ද කියා සොයා බලයි. ඔවුන් විවාහයට උපදෙස් දෙයි. විවාහයෙන් පසු ජීවිතයට උපදෙස් දෙයි. පළමු දරුවාට කාලය කියයි. දෙවැනි දරුවා හදන්නට කල් මතක් කරයි. නමුත් දරුවන් පාසල් යවන්නට, ඒ දරුවන්ට කවන්නට, ලෙඩ දුකකට පිහිට වන්නට නොඑයි. උපදෙස් දී තමන්ගේ ඇරියස් යවා ගැනීමට පමණක් පවුලක දියණියගේ ජීවිතය ඔවුන් තෝතැන්නක් කරගනියි. මෙය ලංකාවේ බොහෝ දියණියන් මුහුණ දුන් ඛේදවාචකයකි.
3. අම්මෙකු වුණු විගස

Image Source – thebump.com
තරුණියක් මවක වුණු විගස දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයට කොයිතරම් බාධාවක් හෝ හානියක් වේදැයි නොහිතා සියල්ලෝ ඒ දරුවා බලන්නට යෑම අම්මෙකු මුහුණ දෙන ප්‍රධානම ගැටළුවයි. එතැන් පටන් තමුන්ගේ කාලයේ තමුන් කිසිම ප්‍රශ්නයක් නැතුව දරුවන් දෙදෙනෙකු උස්මහත් කරපු හැටි, ඇය මුහුණ දුන් ප්‍රශ්නවලින් අඩක් දැන් උන්ට නැති හැටි, දරුවාගේ නහය අප්පාගේ වගේය, කට බල්ලාගේ වගේය කියමින් නොයෙක් සම්ප්‍රප්පලාප කියවමින් මවගේ හිස වියවුල් කරන්නට ඔවුන් පෙළඹෙයි. මෙය විශාල නෑදෑයන් පිරි පවුලක දුවණියකට උරුම ඛේදයකි. එතැන පටන් පළමු දරුවාට දැන් දැන් පාළු හිතෙන හැටි, ගෙදරින් දරුවාට නොදෙන චොකලට් වැනි දෑ නෑදෑයන් සහ වැඩිහිටියන් විසින් දරුවාට හොරෙන් ලබා දෙන හැටි ඉවසා බලා ඉන්නට සිදු වෙයි. මේවා මනසට ලබා දෙන පීඩාවන්ය. ලංකාවේ අලුත් මවකට මේවා උරුමය.
4. වැරදි ස්වාමිපුරුෂයෙක් ලැබුනොත්

Image Source – verywellmind.com
තම අදහස් සිතැඟි හඳුනාගත් ස්වාමිපුරුෂයෙකු ලැබීම කාන්තාවක ජීවිතයේ පතන පරම සතුටයි. එසේ නොවන්නට ඇයට මුහුණ දෙන්නට සිදුවන්නේ මහත් අර්බුදයකටය. ලංකාව කොහොමින් කොහොම කිවුවත් ගෙදර ඉවුම් පිහුම්වල වැඩි බර සහ දරුවන්ගේ වැඩි බර අම්මාට උරුම වූ රටකි. ඉතිං එවන් පරිසරයක ඇයට ආහාර ගෙන පිඟානවත් නොසෝදන, උයන්නට පොල් ටිකක් ගා නොදෙන, දරුවාට බත් කටක් නොකවන පිරිමියෙකු ලැබුනොත් එය තරම් අභාග්‍යයක් තවත් නැතිවනු ඇත. ඒ අතරට ඇයට රැකියාවකුත් කරන්නට සිදුවුවහොත් තත්ත්වය අතිශය භයංකරය.
5. නිදහසේ ජීවත් වෙන්න හැදුවොත්

Image Source – voxspace.in
ගැහැණුන් පිරිමින් කියා වෙනසකින් තොරව මේ ජීවිතයේ ලබන පරම සැපත තමන් කැමති ජීවිතය තමුන් නිදහසේ ජීවත් වීමය. එහෙත් ලංකාවේ ගැහැණියක නිදහසේ ජීවත් වෙන්නට යම් හෝ උත්සාහයක් දැරුවොත් එයට මුලින්ම වැටකොටු බඳින්නේ කාන්තාවන්මය. ඇයට වැඩිහිටි කාන්තාවන් ඇය වලකාලයි. ඇය වටා සිටින ගැහැණුන් ඇයව ලේබල්ගත කරයි. එය බඩුවක් වැනි නමකට ගොනු කරන්නට පෙළඹෙයි. ගැහැණියක තමන් කැමති තැනක ටැටූ එකක් කෙටීම හෝ තමන් කැමති අවන්හලක බීර පානය කිරීම බොහෝ පිරිමින්ට ලේසියෙන් දාගන්න පුළුවන් කෙල්ලෙක් යන්න අඟවන්නකි. නමුත් ගැහැණියක එවැන්නකින් මැනීමම ඇයගේ ජීවිතයට අතිශය අර්බුදකාරී තත්ත්වයකි. කොටිම්ම ඇය ස්වාධීනව ජීවත් වුවහොත් තත්ත්වය පාලනය කළ නොහැකි තරම් කරදර වලින් පිරී යනු ඇත.
6. රැඩිකල් සමාජ සහ ෆෙමිනිස්ට් උන්මාද

Image Source – radio.cz
රැඩිකල් සමාජයක ජීවත්වන තරුණියකට මෙවැනි වූ අර්බුද නොමැති බවත් ඇයට තවත් එවැනි වූ ගැහැණුන් සහ පිරිමින් මුණගැහෙන නිසා ඇයට තනියක් නැති බවත් එකී සමාජයෙන් හදන මතය වෙයි. නමුත් ගැහැණියක යැයි කියා කියන සම්මත කොටුවෙන් පිටත රැඩිකල් කොටුවද සම්මත කොටුව තරමටම මජර පෙරේත ඉසවුවකි. තරුණියකට එහිද නිදහසක් නැති බව පිළිගත යුතුය. ෆෙමිනිස්ට් උන්මාදයන් හිස්වල ඔබ්බන සමලිංගික ආශාවන් පිරීගත් සමාජ, ස්වාධීන වීම හෝ නිදහස අත්විඳීම යනු මත් වීම කියා කියන සමාජයක රැඩිකල් වීම යනු තමනුත් නොදැන තමන්ව අහිමිවීමක් බවට පෙරළෙයි. එතැනින් පසු කතාව ඔබට තේරුම් ගත හැකි වනු ඇත.
7. ලේලියක් විදියටත්/ නැන්දම්මා විදියටත්

Image Source – stuff.co.nz
ගැහැණියට ගැහැණියක් මුණගැසෙන දරුණුම තැනක් විදියට නැන්දම්මා සහ ලේලියගේ භූමිකා දෙක දැක්විය හැක. නැන්දම්මා තම පුතනුවන් තමන්ගෙන් උදුරාගෙන බසට නතු කරගත් මුගටි දෙනක දෙස බලන බැල්මෙන් ලේලිය දෙස බලන සේම, විවාහ වූ පසුවත් තම ස්වාමිපුරුෂයාටත් තමන්ටත් නිදහසේ වෙසෙන්නට ඉඩ නොදෙන සැපින්නක දෙස බලන ලෙස ලේලිය නැන්දම්මා දෙස බලයි. අසන්නට ලැබෙන කතා අනුව මෙයින් එක් පාර්ශවයක හෝ දෙපාර්ශවයේම ඇති වැරදි නිසා මෙම භූමිකාවන් දෙකම පීඩා විඳියි. මත්පැන් බී වාහන පදවන්නට එපා කියන්නේ එයින් අනතුරක් සිදුවුවහොත් යන චේතනාවෙන් වුවත්, බීමතින් රිය පදවන වෙනත් අයකුගේ රියෙහි ගැටී මිය යන්නට නොබී වාහන පැදවූ බොහෝමයක් දෙනෙකුට සිදුව ඇත. මේ ප්‍රශ්නයේදීද එය එසේමය.
මෙයට ප්‍රසිද්ධ වටරවුමක උස්සන බෝඩ් එකක්, නව කලා ප්‍රකාශනයක්, කවි පොතක් වැනි යමකට එහා ගිය පිබිදීමක් ඇවැසිය. රාජ්‍ය නොවන සංවිධානවල අතකොළුවලින් ගැහැණියගේ අසරණකම මුදාගත යුතුය. ඉන්පසු මෙම කාලකන්නි සමාජ සම්මතයේ ගැහැණිය බැඳ ඇති බැමි ලිහිය යුතුය. එදාට කාන්තා දිනයක් සැමරිය හැකි වනු ඇත.
Leave a Reply