සිරුරට අහිතකර අන්දමින් බලපාන කාන්තා විලාසිතා

විලාසිතා කරන්න අපි කවුරුත් ආසයි. පිටින් පේන මනුස්සයා නෙවෙයි ඇතුළේ ඉන්න කෙනයි වටින්නේ වගෙ කතන්දර කොච්චර කිව්වත් පිටින් ඉන්න කෙනාව ගණන් ගන්න තමයි අපි ජීවත් වෙන සමාජය පෙළඹෙන්නේ. ඉතින් ලස්සනට ඉන්න හිතාගෙන කාන්තා ඔබ කරන විලාසිතා සමහර විට සිරුරට අහිතකර විදියට බලපානවා වෙන්න පුළුවන්. විලාසිතා කරන එක අද කාලේ අවශ්‍යතාවක්. හැබැයි ඒකෙන් බලපෑම් ඇති කරගන්න එක අත්‍යවශ්‍ය ද?

 

1. අඩි උස සපත්තු

Image Source – bustle.com

ඉස්සර කාලෙකින් මගුලකට වගෙ දාපු උස සපත්තු දැන් දැන් මගතොටෙත් දකින්න ලැබෙනවා. මේවායින් ශරීරයේ අසමතුලිතබවක් හටගෙන වළලුකර පෙරළෙන්න පුළුවන්. දීර්ඝ කාලයක භාවිතය නිසා කොන්දෙ කැක්කුම් සහ බෙල්ලේ කැක්කුම්වලින් නොනැවතී ආතරයිටිස් වගේ රෝග දක්වා මේ අමාරුව පැතිරෙනවා. කොඳු ඇට පේළිය සම්පූර්ණ විකෘතියක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පවතින ආකාරයේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. පළඳින එක නවත්තනවාට වඩා ඉදිරිපස නිරාවරණ වුණ සපත්තු පැළඳීම, දිගු වෙලාවක් එක දිගට නොදා සිටීම, පහසු අඩියක් තෝරාගැනීම වගේ දේවල් කරන්න පුළුවනි.

 

2. හිර ඩෙනිම

Image Source – bustle.com

ලේසියට පහසුවට ඇඳපු ඩෙනිම ටිකක් හිර වෙලා පැන්සල් කොටේ වගේ ආවම වුණේ ඩෙනිම අඳින්නත් හෙන කට්ටක් කන්න වුණ එක. දැන් දැන් කකුලෙන් උඩට දාගන්නත් අමාරුයි. හැබැයි ඇන්දම හරි ලස්සනයි ජර්මන් කෙල්ල වගේ. ඇඟේ හැඩේ තිබ්බටත් වඩා හොඳට පේනවා. හැබැයි ඉතින් ඒකෙන් ලේ ගමනාගමනය අඩු වෙනවා. ඇඳලා ඇඳලා පුරුදු වුණාට පස්සේ අන්තිමේ ගාණක්වත් නෑ ඇඳළා ද නැද්ද කියලවත්. කකුල් නැතිවෙන්න හිරි වැටෙනවා.

 

3. වර්ණක ස්පර්ශ කාච

Image Source – newjerseyeyesite.com

සාමාන්‍යයෙන් ස්පර්ශ කාචයක් ඇස තුළට කෙලින්ම ඇතුළත් කරනවා. කණ්ණාඩි දාන්න අකමැති නම් කාචයක් දාන එකයි ලේසි වැඩේ. දැන් විලාසිතාවක් වෙලා පාට පාට අරුමෝසම් එක්ක ආවත් හරි වර්ණක ස්පර්ශ කාච භාවිතයේ දී ප්‍රවේසම් වෙන්න ඕනි. ස්පර්ශ වර්ගය අනුව කාච වෙනස් වෙනවා. මේවා මාරු කරන්න ඕනි. එහෙම නැතිනම් ඇහේ ආසාදන තත්ත්ව ඇති වෙලා පොට්ට වෙලා යන්නත් පුළුවන්. ඔක්සිජන් කෙලින්ම ඇහැත් එක්ක සම්බන්ධයක් නැති නිසා ආසාදන තත්ත්ව ඇති වෙන්න පුළුවන්.

 

4. කෙරටීන් සත්කාරය

Image Source – allure.com

කොණ්ඩේ පිළිවෙලක් කරගන්න හිතාන කෙරටීන් සත්කාරෙ ගන්නවා වගේ නෙවෙයි ඉතින් කරදර පටන් ගත්තම. මෙතනදී භාවිත කරන CH₂O වායුව නිසා තමයි ඇබැද්දිය. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග, ආසාදන වගෙම වැඩි කාලයක් මේක කරන්න ගත්තම පිළිකා තත්ත්වයක් වුණත් ඇතිවෙන්න පුළුවන්.

 

5. බ්ලීචිං අඩංගු ක්‍රීම් වර්ග

Image Source – shajidasbeautystudio.com

ලස්සන වෙන්න හිතාන ගාන ක්‍රීම් එක රසදිය බැරල් එකකින් නාවලා තියනවා නම් ලස්සන වෙන එක පැත්තක තියෙද්දී හොම්බෙන් ගිහින් ඉඳීවි. රසදියවලින් කරන්නේ හමේ ස්වාභාවිකවම නිර්මාණය කෙරෙන මෙලනින් ප්‍රමාණය අඩු කරන එකයි. එතකොට ඉතින් බලාගෙන ඉඳිද්දී සුදු වෙනවා තමයි. හැබැයි වකුගඩු වගේම සමස්ත ස්නායු පද්ධතියට හානි වෙන්න පුළුවන්.

 

6. සිරුර විදීම

Image Source – liveabout.com

කරාබු දාන එක සම්බන්ධයෙන් කෙල්ලන්ට තිබ්බ තැන උදුරාගෙන දැන් කොයි කවුරුත් කන් විදින්න පුරුදු වෙලා. එතනින් නොනැවතී මුළු ශරීරය පුරාම විදගෙන එක එක සර්ව පිත්තල කෑලි එල්ලගන්න එක තමයි දැන් ට්‍රෙන්ඩ් එක. එක්තරා පරීක්ෂණයකට අනුව ශරීරයේ 20%ක් පමණ බැක්ටීරියා ආසාදනවලට හේතු වෙන්නේ මේ විදපු තැන්.

 

7. ලොකු බෑග්

Image Source – missbagbag.blogspot.com

හෑන්ඩ් බෑග් එකට එහා ගිය ලොකු ලොකු මාදිලියේ බෑග් දැන් ගන්න තියනවා. ඇත්තටම බඩු ගොඩක් දාගෙන යන්න අවශ්‍ය නම් ඒකට සරිලන බැක්පැක් එකක් වගේ ගන්න වෙනවා. සයිඩ් එකෙන් එල්ලන තඩිම තඩි බෑග් දාගෙන බෑ මේක කරන්න. කොන්දේ කැක්කුම්, අතපය කැක්කුම් ෂුවර්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *