කොළඹ අවටින් ගමේ තාලෙට කෑමක් කමු

කොළඹ කියන්නේ ලොකු ලොකු හෝටල්වල ඉඳන් පොඩි වඩේ කරත්තයක් දක්වා පරාසයක ආහාර සංස්කෘතියක් තියෙන පළාතක්. ගොඩක් වෙලාවට ලේසියට පහසුවට ක්ෂණික ආහාර ගිල දැම්මට මොකෝ ඉඩක් ලැබුණ වෙලාවට කටට රහට කන්න ආසයි. ඉතින් අන්න එහෙම ගමේ තාලෙට කන්න පුළුවන් තැන් විශාල ප්‍රමාණයක් කොළඹ අවට තියනවා. මේ ඉන් කීපයක්.

 

1. ප්‍රණීත ගමේ බත් කඩේ

Image Source – d3dz4rogqkqh6r.cloudfront.net

නම වගේම තමයි වැඩත්. කොල්ලුපිටියේ බෝඩරේ ඕනම ඔපීසියකින් ඇහුවොතින් කියයි මෙයාලගේ තියෙන වටිනාකම. ගමේ තාලෙට හොඳට තුනපහ වැටිච්ච කෑමක් කන්න ඒ පැත්තේ හැමෝම ඇදෙන්නේ මෙතනට තමයි. අපි දන්න කියන ශ්‍රී ලාංකික ව්‍යංජන ටික පැත්තකින් තියන්නකෝ. අම්මේ මෙයාලගේ මස් ව්‍යංජන ටික කියලා වැඩක් නෑනෙ අප්පා. ලංකාවේ රහට සෙට් වෙන විදියට ඌරු මස් කරියක රහ බලන්න නම් යන්න ම ඕනි ප්‍රණීතෙට තමයි ඉතින්. කිරට උයපු කොස් ව්‍යංජනයක් එක්ක හොඳ බීෆ් පාරක් සෙට් කරගන්න දොළ දුකක් හැදුණොත් ප්‍රණීතෙට යනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ.

 

2. නෙළුම් කොළේ

Image Source – nelumkole.lk

නුගේගොඩ පාලම යට (යට කිව්වට තියෙන්නේ උඩ තට්ටුවක) පිහිටලා තියන නෙළුම් කොළේ ඇත්තටම හරි ආසා හිතෙන තැනක්. පන් වට්ටියකට නෙළුම් කොළයක් දාලා ඒ උඩට අපේ රස පදම තියන ව්‍යංජන 4ක් එක්ක එනවා රහම රහ බත් එකක්. මෙතන හයිලෙවල් එක අද්දර නිසා හරියට සෙනග එහෙම එනවා. හැබැයි ඉතින් කවුරුවත් හිටගෙන ලත වෙවී ඉන්නේ නම් නෑ. ගොඩක් වෙලාවට මෙහේ කවුරු හරි ගිටාරයක් ගහන ගමන් සිංදුවක් කියනවා. ඒ වගේ වයිබ් එකක ඉඳන් ගමේ කෑම පාරක් කනවා කියන්නේ ඉතින් මල් මසුරන්.

 

3. රන්බත්

Image Source – tripadvisor.com

කොළඹට අලුත් සංකල්පයක් එක්ක එකතු වුණ රන්බත් එක පිහිටලා තියෙන්නේ තුම්මුල්ලේ. සම්බුද්ධත්ව ජයන්ති මන්දිරේ දන්නවා කියන්නේ රන්බත් එකත් දැනගත්තා වගේ තමයි. මෙයාලගේ හැම එළවළුවක්ම කාබනිකයි. හාල් වර්ගයත් අපි එදිනෙදා කන විශේෂය නෙවෙයි අමුතු අලුත් රහක් තියනවා. බුෆේ ක්‍රමයට පිහිටා තියෙනවා. ලොකු මැටි පළඟනාවක් ලැබෙනවා, උඩට නෙළුම් කොළේකුත් තියෙනවා. ඉතින් ඕකට හිතේ හැටියට බෙදාගන්න පුළුවන්. මෙයාලගේ අඹ මාලුව නම් සුපිරි.

 

4. නුග ගම

Image Source – timeout.com

මෙතන ගාණ පොඩ්ඩක් සැරයි ඉතින්. හැබැයි රහ වගේම පාරිසරික වශයෙන් ලබා දෙන අත්දැකීම එක්ක බලද්දී අවුලක් නෑ කියලත් හිතෙනවා. පොෂ් යාළුවෙක්ව වෙනසකටත් එක්ක එක්කන් යන්න පුළුවන් තැනක්. එහෙමත් නැත්නම් අපේ රහ හොයන විදේශිකයෙක්ටත් අල්ලලා යන පොට් එකක්. ඇත්තටම ගොඩක් විදේශිකයන් මේ තැනට ආසා කරනවා. සිනමන් ග්‍රෑන්ඩ් කස්ටියගේ තමයි ඉතින්.

 

5. බත් අම්මා

Image Source – nelumkole.lk

බම්බලපිටියේ කලබලෙන් මිදිලා ගෙදරක සාලේ ඉඳන් අම්මා කෙනෙක්ගේ අතින් හැදුණ කෑම වේලක රහ බලනවා කියන එක කරන්න පුළුවන් වැඩක්. බැරි වැඩක් කියලා හිතේ තියාන හිටියට මේ තැනට ගොඩ වැදුණා විතරයි කන්නත් කලින් බඩ පිරිලා ඉවරයි. එක බත් පිඟානක් දෙන්නෙක්ට ඇති. ඒ තරම් බත් ගොඩක් හම්මේ. අම්මා කෙනෙක්ගේ අතින් හැදෙන නිසා රස ගැන වාද කරන්න දෙයක් නැහැ. එළවළුවලින් හදාපු ව්‍යංජනවල ඉඳන් හොඳ මස් මාළු වර්ග ආසාවෙන් කන්න පුළුවන් මේ ගෙදර ඉඳන්.

 

6. Upali’s by Nawaloka

Image Source – timeout.com

කොළඹ කිව්වම හිතේ මැවෙන පිච්චෑර් එකත් එක්ක බත් වේලක් කන්න යන්න හොඳ තැනක් තමයි මේ. ඒ කියන්නේ ඉතින් එදා වේල ටුවර්ස් බත් කඩ වගේ නෙවෙයි. සෑහෙන සැප. සැපට හරියන්න ගාණත් ටිකක් වැඩියි. හැබැයි රස සහ පරිසරය ගැන හිතුවම මේක නම් ජීවිතේ එක වරක් හරි අත්දකින්න ඕනි දෙයක් කියලා හිතේවි. ගණන් වැඩි වුණා කියලවත් ඉහළ පෙළේ ජනකායක් ඇදෙන නිසාවත් ශ්‍රී ලාංකික අනන්‍යතාව පොඩ්ඩක්වත් වෙනස් කරලා නැහැ.

 

7. Curry Pot

Image Source – currypotlk.com

මැරීන් ඩ්‍රයිව් එකේ හොඳ සිරි ලාංකික කෑම හදන කඩයක් කියන්නේ ඉතිං කැපිලා පේනවා එතන. ඒ පැත්තේ මේ නමින් ඉන්නේ මෙයා විතරමයි. ලොකු වළං විස්සක් තිහක් පුරා මෙන්න බොළේ කෑම පිරිලා. ඔතනින් 5ක් 6ක් තෝරගෙන කන්න තියෙන්නේ. ගාණ තමයි හිතාගන්න බැරි තරම් අඩු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *