හරි දැන් මේ විදියට කිවුව කියල බිරින්දෑවරු කේන්ති ගන්නෙපා. මේ තියෙන දේවල් කියවලා තමන්ගෙ වැරදි හදාගන්න උත්සාහයක් දැරුවා නං ඇති. මොකද කේන්තිගන්න එකෙන් ආයෙත් හානියක් වෙන්නෙ ඔබේම ස්වාමිපුරුෂයාට විය හැකියි. මේ කියන්න යන්නෙ ඇත්ත වශයෙන්ම වයිෆ්ලා නොහිතා නොබලා කරන දේවල් නිසා අසරණ වන ස්වාමිපුරුෂයොන්ගෙ සිද්ධි ටිකක්. මීට වඩා සිද්ධි මේක කියවන හබියලා දන්නවා ඇති. ගෙදර කෑම සලාකෙ කපාගන්නෙ නැතුව ෂේප් එකේ ඒවත් කමෙන්ට් එකකින් කියන්න.
1. අලුත් අලුත් දෑ

Image Source – realfood.tesco.com
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියල ලොකු ලොකු ඈයො කිවුවට කෑම මේසෙ ප්‍රධාන ආහාර වේලට හොඳටම බඩගිනි වෙලා ඉද්දි ඔවුව ගේන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනව. ඔන්න හබියා බඩගින්නෙ ඉන්නව. මෙන්න යන දෙබස.
හබී – දවල්ට හරියට කෑවෙත් නෑ. රෑට හොඳට කන්න ඕන.
වයිෆ් – මොනවද ඕන.
හබී – චිකන් විතරක් ඇති.
හබියා ඔය චිකන් විතරක් ඇති කියල කියන්නෙ හේතු කිහිපයක් ඔලුවෙ තියාගෙන. පළවෙනි එක වයිෆ්ගෙ චිකන් හොද්දෙ රස. දෙවැන්න එකක් විතරක් උයන නිසා ඉක්මනින් කන්න ලැබීම. ඉතිං ඔන්න රෑ කෑම වේල මේසෙට එනකං බලං හිටියට වෙනදට වඩා මස් හොද්දට වෙලා යන තත්ත්වයක් හබියට දකින්න ලැබෙන නිසා කුස්සියට එබෙනව. හප්පටසිරි. චිකන් විතරක් ඉල්ලපු නිසා වැඩි හොඳ කරන්න ගිය වයිෆ් සෂුවාන් ස්ටයිල් එකට චිකන් හදල කියහන්කො. එවුව එක්ක කන්න පුළුවනැයි සුදු බත්. රස මස් හොද්දක් උකුවට බත් එක්ක ගුලි වෙලා කුස පිරවෙන හීනෙකින් හිටපු හිතකින්, පැණි රසට හුරු සෝස් ගුලිය දිහා අසරණ මූණෙන් බලං ඉන්න බඩගිනි හබියෙක් ගැන හිතන්නකො.
2. ගිල්ටි තෑගි

Image Source – horror-shop.com
ඔන්න වයිෆ් යනව හබියාගෙන් සල්ලි ඉල්ලගෙන ෂොපින්. හැමදාම ෂොපින් යනකොට හබියා කියන දෙයක් තමයි, ඔයා දෙයක් ගන්නවනං ඇත්තටම ආසා කරන අල්මාරියෙ නවලා දාලා විතරක් නොතියන ඇඳුමක් ගන්න විතරක් සල්ලි වියදං කරන්න කියන එක. මොකද සල්ලි ඇඳුම් වෙලා අල්මාරිවල පුස්කනවට වඩා බියර් වෙලා මනසට සහනයක් දීම හෝ බැංකු පොතක හීනියට හරි පොළී වීම හොඳ දෙයක්නෙ. හැබැයි මහත්තයො වයිෆ් හැමදාම වගේ ඔලුව වනලා ගියාට ඕක කරන්නෙ නෑ. ඇඳුම අරගෙන කඩෙන් එලියට බහිද්දි වයිෆ්ගෙ හිතේ තියෙන ඔය ගිල්ටිය යන්න එයා අපිටත් තෑගි ලෙසට දැන් ගෙන ආමි කියල පිළිගන්නන්න ඇඳුම් අරගන්නව. ඒ වගේ අවස්ථාවලදි තමයි හැමදාම කලු පාට ඇඳුම් අඳින හබියලා රතු මල් වැටිච්චි ලා රෝස පාට ෂර්ට් ඇඳගෙන ඔෆිස් එන්නෙ.
3. උපන්දිනේ

Image Source – videoblocks.com
ඔන්න ඉතිං තමුන්ගේ දරුවා වෙනුවෙන් ආසාවෙන් කරගෙන ගිය ජොබ් එක නවත්තපු වයිෆ්ගෙ හිත හදන්න හබියා වයිෆ්ගෙ අතට දෙනවා සල්ලි. ඒ දෙන්නෙ හේතු ගොඩක් ඇතුව. වැඩිය ගෙදරින් එළියට බහින්න නොලැබෙන වයිෆ්ට මාකට් යෑමේ භාග්‍යය උදා කරදීම වෙනුවෙන්, හැමදාම මේ එළවලු ටිකද අනේ ගේන්නෙ? කියල අහන දෝස්මුරේ වළක්වා ගැනීම වෙනුවෙන් සහ ගැහැණුන් සතේ ලාබෙත් බලන නිසා තමුන් ඔන්නොහේ හොයාගෙන එනවට වඩා ලාබෙට සහ හොඳ එළවලු ගෙදරට ගෙනේවි කියන බලාපොරොත්තුවෙන්. අනේ ඉතිං ඔය කියන බලාපොරොත්තු තියාගෙන ඉන්න හබියට උපන්දිනේ දවසෙ රස කෑම ගොඩක් මේසෙ උඩ දකිනවා වෙනුවට දකින්න ලැබෙන්නෙ තමුන්ම දීපු සල්ලිවලින් තමුන්ටම අරන් දීපු රුපියල් හතලිස්දාහක් වටින ඔරලෝසුව. හැහ් ගෑවෙන්නැද්ද කියනවකො? ඒ මදිවට තෑග්ගක් දීලා ආදරෙන් බලං ඉන්න ගෑණිට බනින්නද? කියහංකො.
4. වැඩි හොඳ

Image Source – videoblocks.com
හබියලාගෙ වැඩක් තමයි අතට සල්ලි ටිකක් ලැබුනම අරක්කුවලට, කාර් එකට, අත්‍යාවශ්‍යම නැති ගෙදර අලුත්වැඩියා වැඩකට වියදං වීම. ඉතිං එයාලා කරන්නෙ අතට සල්ලි ටිකක් ලැබුනම ඉස්සරහ මාසෙක තියෙන වැදගත් වැඩක් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඔය සල්ලි ටික වයිෆ්ට දෙන එක. ඒ දෙද්දි එයාලා කරනව විශේෂ ප්‍රකාශයක්. ලබන මාසෙ ලොකු වැඩකට ඔය සල්ලි ටික ඕනෙ හොඳේ… කියල තමයි දෙන්නෙ. හැබැයි වැඩේට සල්ලි ඕන වෙලා බැංකුවෙ කාඩ් එක ඉල්ලද්දි තමයි වයිෆ්ගෙ මූණ ඇඹුල් වෙන්නෙ. එයා නිකං තියෙනවට වඩා වැඩි හොඳ කරන්න හිතාගෙන සල්ලි ටික මාස තුනකට එෆ්ඩී දාලා. දැන් දවසක් තිස්සෙ බැංකුවක රස්තියාදු වෙලා නටල නටල සල්ලි ටික ගන්න වෙන්නෙත් හබියටමයි. ඒ අස්සෙ සමහර වයිෆ්ලා අහනව නියම ප්‍රශ්න. ඔය වැඩේ මාස තුනක් ගිහිල්ලා කළොත් මදිද ඒයි?
5. ඔබටයි මේ ආරාධනා

Image Source – youtube.com
හබියලා කියන සත්ව කොට්ඨාසය නිවාඩු දවසක් එනකං ඉන්නෙ නිදාගන්න. පවතින අධික වියදම නිසාම එයාලා ඕටී කරන්න හරි ෆ්‍රීලාන්ස් වෙනිං රස්සාවල් හරි කරන්න පුරුදු වෙලා නිසා එයාලාට ඇඳ දැක්කම හිත ආසම ගෑණි මුළු ලෝකෙම නිදිගත් මොහොතක නිරුවතින් තමුන්ට කතා කරනව වගේ හැඟීමක් ඇතිවෙනවා. ඉතිං නිවාඩු දවසෙ ඔන්න නිදියගෙන ඉන්නකොට එක පාරට පොල්කිච්චො රෑන ගැරඬියා දැක්කාම ඇති වෙන ටයිප් සද්දයක් ඇහිලා හබියා ගැස්සිලා ඇහැරෙනවා.දෙයියනේ වයිෆ්ගෙ යාලුවො. සාමාන්‍යයෙන් නං හබියා වයිෆ්ගෙ යාලුවො ගෙදර ඇවිත් සෙට් වෙන දවසට එයාත් සෙට්වීමක් දාගන්න පුරුද්දක තමයි ඉන්නෙ. හැබැයි මෙදා එයා සර්ප්‍රයිස් වුනා. වයිෆ්ගෙන් පැත්තකට කරලා ඇහුවම කියාපි, “ඔයා නිදියන්න ඕනනෙ…පවුනෙ… ඒකයි ඔයාට නොකිවුවෙ… මමයි එයාලට ඉන්වයිට් කළේ” කියල. කාලා වරෙන්කො මහත්තයො. දැන් නිදියන්නද මේ අවුල් නාදෙ මැද්දෙ?
6. බුදාම්බෝ!

Image Source – terrain.org
ඔන්න ගෙදර එහාපැත්තෙන් ඇහෙනව වයිෆ් බුදු අම්මෝ කියල බෙරිහන් දෙන සද්දයක්.හප්පටසිරි සර්පයෙක්වත්ද කියල තමයි හබියට හිතෙන්නෙ. හැබැයි කර කර හිටපු වැඩෙත් දාලා ගිහින් බැලුවම ඒක එහෙම නෑ. පොඩි එකා ගෙදර පිටිපස්සෙ බිත්තියෙ පැස්ටල්වලින් ඇඳලා. අනේ යකෝ… දැන් ඉතිං කෑ ගැහුව කියල බිත්තියට වතුර වදින්නෙ නැහැනෙ. අනික ඕක මකන්න ඕනෙත් හබියමනෙ. අනිත් එක වැඩිපුරම ඔය විදිහට බෙරිහන් දෙන්නෙ කැරපොත්තෙක් දැක්කම. ඉතිං හිතහංකො පිංවත හිතට එන කේන්තිය.
7. වැඩ වැඩි වැඩ

Image Source – dailyedge.ie
වයිෆ්ට ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න කියල හබියා කිවුවෙ වෙඩින් එකකට ගියාම නිදහසේ බීලා වයිෆ්ට කියල ඩ්‍රයිවු කරගෙන එන්න පුළුවන් නිසායි. හැබැයි ඉතිං මේක පවක් කියල හිතෙන්න ගන්නෙ වයිෆ් යාලුවො එක්ක ගමන් බිමන් යන්නත් කාර් එක ඉල්ලුවට පස්සෙ. නොදිත් බෑ. හැබැයි ගෑණු පටවගෙන ගියාට පස්සෙ වාහනේ ඇතුළෙ තියෙන ටිෂූ ටිකයි, චොකලට් කොළයි, අඹ අච්චාරු පැකටුයි අයින් කරන්න ගියාම සසර එපා වෙනවා. ඊට හපං එන ගමන් පිටිපස්සෙන් ගිහින් වෙනිං වාහනේක ඇනලා ගෙනාවම. දැන් පලයන්කො ඉතිං නිවාඩු දවසෙ ගරාජ් ගානෙ.
Leave a Reply