අපි හැමෝටම ඉල්ලීම් තියෙනවා. ඒ ඉල්ලීම් පොදු ඒවා වුනාම ඒ සඳහා අපිට පොදුවේ හඬක් නගන්න ඕනි වෙනවා. ඒ විදියට ඉල්ලීම් මතක් කරන්න, ඉල්ලීම් ගැන පාලකයින් අවදි කරන්න අපි උද්ඝෝෂණ කරනවා. මේ උද්ඝෝෂණ කොළඹ ඇවිත් තිබ්බාම තමයි ගතියක් තියෙන්නේ. ඉතින් කොළඹ ඇවිත් උද්ඝෝෂණයකට සෙට් වෙනකොට අපි මොනව ගැනද හිතන්න ඕනි? අපි ඒ ගැන ටිකක් සොයා බලමු.
1. අපි යන්නේ කොයි පාරේ
අපි යන්නේ කොයි පාරේ, අහවලා ගිය පාරේ කියලා උද්ඝෝෂණ වල කියනවා. කොළඹ කිව්වාම පාරවල් ගොඩයි. ගමේ නම් එක හන්දියයි, කොහෙන් කැරකුණත් අවසානේ එතන. කොළඹ එහෙම නැහැ. ඉතින් ඔන්න උද්ඝෝෂණ තියෙන දවසට කට්ටිය බස් වලින් ගෙනත් බස්සනවා බත්පැකට් සහ උත්ප්‍රේරකත් දීලම. බස්සලා උද්ඝෝෂණේ රැලිය ඉවර වෙලා ගෙදර යන්න බැලුවාම කෝ අපි ආපු බස් එක? ඒක හොයාගන්න නැහැ. ආපු සෙට් එකත් හතර අතේ විසිරිලා. ආන්න ඒ නිසා අපි යන්නේ කොයි පාරේ කියලාත්, බස් එක නවත්වන්නේ කොයි පාරේද කියලත් ටිකක් ඇලට් එකේ ඉන්න එක වටිනවා. තරුණ වයසේ සෙට් එකක් නම් බස් එකේ අයගේ හෑන්ඩ්ෆෝන් නම්බර් ඉල්ලගෙන, අනික් අයගෙත් කන්ටැක්ට්ස් දෙක තුනක් තියාගන්න එක බොහොම වටිනවා.
2. වතුර දෙනකල් වතුර අරන් යමු
උද්ඝෝෂණ පෙලපාලි වලට එන ජනයාට සිසිල් බීම ආදිය දෙන අවස්ථා තියෙනවා. ඒත් බොහෝ වෙලාවට උද්ඝෝෂණවලට පොලිසියෙන් අධිපීඩන ජල ප්‍රහාර විදියට තමයි වතුර දෙන්නේ. එහෙම පොලිසියෙන් දෙන වතුර මොනවද කියලා සමහර විට පොලිසියවත් දන්නේ නැහැ. කොළඹ උද්ඝෝෂණ තියෙන පැතිවල සතොස, ෆුඩ්සිටි, කඩකෑලි නැතිවෙන්න පුුළුවන්. ඒ නිසා වතුර බෝතලයක් අරගෙන යන එක වටිනවා. ඒ වගේම කොළඹ කියන්නේ නුවරඑළිය නෙමෙයි. ඒ නිසා රස්නේට ඔරොත්තු දෙන්න ඇඳ පැළඳගෙන, කුඩයක් තොප්පියක් එහෙමත් අරන් එන්න මතක තියාගන්නට ඕනා.
3. අපි ඉන්න ඕනි කොතනද?
ඇත්තටම උද්ඝෝෂණ තියන්නේ සංවිධාන වලින්. පෙළක් වෙලාවට ඒවාට සහභාගි වෙන අපිට ඒ ගැන ලොකු දැනුමකුත් නැහැ. ඒත් ඉතින් උද්ඝෝෂණයට ගිහින් පොඩි පොටෝ කෑල්ලක් පත්තරේට, ටීවී එකට හෝ යූ ටියුබ් එකට වැටුනොත් කොහොමද ඉතින්? අපිට නේද ආඩම්බර? ඒ නිසා මීඩියා කට්ටිය ගැවසෙන වෙලාවට ලැජ්ජ නොවී ටිකක් මූණ දෙන්න ඕනි. ඒ වගේම වතුර පාරක්, කඳුලු ගෑස් පාරක්, මොනාහරි බැටන් ප්‍රහාරයක් එනවා නම් දඩස් ගාලා කටුව අස්සේ හැංගෙන ඉබ්බා වගේ හැංගෙන එකත් සමහර ඔය සංගම් වල නායකයන්ගෙත් හොඳ ලක්ෂණයක්.
4. පමණ දැන ගමු උත්ප්‍රේරක
දුර ගමනක් යනවා කියන්නේම සෙට් වීමක් නේ. එක්කෝ යාලුවෝ, නැත්තම් ඔෆිස් එකේ අය, එහෙමත් නැත්තං ඉතින් කොහෙන් හරි සෙට් එකක් නේ එන්නේ. ඔය වගේ තැනකට පොඩියට එතනෝල් ටිකක් ගේන එක ලොකු මැජික් එකක් නෙමෙයි. ඒත් බීලා වැටිලා වර්චස් වෙලා, චොර වෙලා පිංතූරත් ගන්න මට්ටමට එන එක අවුල්. බිව්වට කමක් නැහැ ටිකක් ඔලුව කෙලින් තියාගන්න හැකි වෙන්න. තමුන්ට ඔලුව කෙලින් තියාගන්න පුළුවන් ෂොට් කීයක් වෙනකන්ද කියන එක තමුන්ගේ ඔලුවේ තියෙන්නට ඕනි. ඒක ඉතින් ආයෙ වෙන අයට කියා දෙන්න අමාරුයි.
5. ෆීලින් හොට් ඇට් අයෑම් ඔන් ස්ට්‍රගල්
ස්මාට්ෆෝන් එකකුත් තියෙනවා නම්, ඒකෙ ෆේස්බුක් එහෙමත් තියනවා නම් උද්ඝෝෂණය ගැන ජනතාව දැනුවත් කරන්න ඔයාටත් පුළුවන් ෆේස්බුක් යූස් කරන්න. ෆේස්බුක් කියන්නේ හොඳ සමාජ ජාල මාධ්‍යයක්. ටීවී එකේ, රේඩියෝ එකේ අපේ වැඩේ ගියේ නැතත් අඩුගාණේ අපේ දන්න කියන යාලුවෝ ටිකටවත් අපේ ප්‍රශ්නය පෙන්වන්න උද්ඝෝෂණ සෙල්ෆි වැදගත් වෙනවා. ඒ වගේම වැඩේට ගැම්මෙන් දායක වෙනවා කියලා අනික් අයට පෙන්වන්නත් උද්ඝෝෂණ සෙල්ෆි, එෆ් බී දැමීම හේතුවාසනා වෙනවා.
6. අලුත් යාලුවෝ අඳුනාගනිමු
උද්ඝෝෂණයක්, දානයක්, මළගෙයක් විතරක් නෙමෙයි, පාටියකට ගියත් සමහර අයට ඉන්නේ එකම සෙට් එක. උද්ඝෝෂණයක් යූනියන් එකකින් තියෙනවා නම් මේ අපේ සර්කල් එක, එහෙම නැත්තන් යාලුවෝ පිරිස වැඩිකරගන්න ලොකු චාන්ස් එකක් උදා වෙනවා. තනිකඩ ගර්ල් කෙනෙක් නම් ඔය පිරිසේ ඉන්න අයියෙක් මල්ලියෙක් එක්ක පොඩි කතාවක් දාගෙන යන එක අනාගතයට පහසුවෙන් කරන ආයෝජනයක් වේවි. ඒ වගේම වෘත්තිය මට්ටමින් සිසුන් විදියට ගත්තා වුනත් අනික් අයට තියෙන ප්‍රශ්න, දුර පළාත්වල දුෂ්කර අයට තියෙන ප්‍රශ්න, නාගරික අයට තියෙන ප්‍රශ්න ආදිය අඳුනාගන්නත් හැකියි අනෙක් අය එක්ක කතා කළොත්. සෙට් එකත් එක්ක ගියානම් ආයේ එනකල්ම ඒ සෙට් එක අස්සේම රිංගගෙන ඉන්නේ නැතිව වටේ පිටේ අය අඳුනාගන්න එක උද්ඝෝෂණයකින් ගන්න පුළුවන් තවත් එක හොඳ ප්රයෝජනයක්.
7. ආපු නැති අයට මොකද කරන්නේ?
දේශපාලනය වේවා, ජාතික ප්‍රශ්නයක් වේවා, වෙනත් ඕනෑම ගැටලුවක් වේවා හැමෝටම ඒ ප්‍රශ්නය එකම විදියට හැඟෙන්නේ නැහැ. සමහර විට උද්ඝෝෂණය නොකළොත්, වෘත්තිය ක්‍රියාමාර්ග නොගත්තොත් ඊළඟ මාසේ අපේ ජීවන ගමනත් අභියෝගයකට ලක් වෙන්න පුළුවන්. ඒත් ඇත්ත කතාව තමයි ඕවා හැමෝටම එක වගේ දැනෙන්නෙ නැහැ කියන එක. ඉතින් කවුරු හරි එක්කෙනෙක් හරි කිහිප දෙනෙක් හරි අපි එක්කම ඉඳලා වැඩේට ආවේ නැත්තං පරණ තාලේ ගෑණු වගේ ඒක ගැනම හැමතිස්සේම මතක් කර කර හින්ට් අරින එක හොඳ වැඩක් නෙමෙයි. එහෙම කොන් කළාම වෙන්නේ ඒ පුද්ගලයා හෝ කණ්ඩායම කිසිම වැඩකට ආයේම දායක කරගන්න බැරිවෙන එක. ඒ නිසා කවුරුහරි එන්නේ නැතිනම් පුළුවාන් තරම් ඒක නෝමල් විදියට අරගෙන එකපාරක් විතරක් ඒකේ වැරැද්ද පැහැදිලි කරලා දුන්නම හොඳටම ඇති.
උද්ඝෝෂණ කියන්නේ විසඳුමක් නෙමෙයි. ඒක ඇවිල්ලා අපේ විරෝධය, අපේ ඉල්ලීම් බලධාරීන්ට පෙන්වන ක්‍රමයක්. ඒ තුළින් ඉන් පස්සේ සාකච්ඡා මාර්ගයෙන් තමයි විසඳුම් ගන්න වෙන්නේ. උද්ඝෝෂණ කියන්නේ වැරදි දෙයක් නෙමෙයි. ඕනෑම සංවිධානයක් තමුන්ගේ ඉල්ලීම් සමාජගත කරන්න ක්‍රියාමාර්ග ගන්නවා. එයින් එකක් තමයි උද්ඝෝෂණ. ඉතින් උද්ඝෝෂණයකට කොළඹ එනවා නම් කොහොමද වෙන්න ඕනි කියලා ඔයාලට යම් අදහසක් මේ හරහා එන්නට ඇති.
Leave a Reply