පිටියේ සිදුවූ අවාසනාවන්ත අනතුරුවලින් මියගිය ක්‍රිකට් ක්‍රීඩකයින් 7දෙනෙක්

ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත ක්‍රීඩාවක්. අපේ ජීවිතත් ඒ වගේ තමයි. ආවරණ පැළඳගෙන කොයි තරම් ආරක්ෂිතව ක්‍රීඩාවේ නියැළුනත් අවාසනාව කෙනෙක්ව හොයාගෙන එන්නේ හිතන්නේවත් නැති විදිහට. ඒක ක්‍රිකට් විතරක් නෙමෙයි වෙන ඕනෑම ක්‍රීඩාවකටත් පොදුයි. මේ කියන්න යන්නේ අවාසනාවන්ත ආකාරයට ක්‍රිකට් ක්‍රීඩාව අතරතුරදී සිදුවූ අනතුරුවලින් ජීවිතය අහිමි කරගත්ත ක්‍රීඩකයින් 7 දෙනෙක් ගැන…

 

1. Jasper Vinall

Image Source – sportsbeem.com

ක්‍රිකට් පිටියේදී සිදුවූ අනතුරකින් වාර්තා වූ මුල්ම මරණය දහ හත්වන සියවස තරම් ඈතකින් තමයි වාර්තා වෙන්නේ. මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑ ක්‍රීඩකයා තමයි එංගලන්ත ක්‍රීඩක ජැස්පර් විනෝල්. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන එක නීතියක් ඒ කාලේ ක්‍රියාත්මක නොවීම ජැස්පර්ගේ අවාසනාවන්ත මරණයට හේතු වුණා කියල අපිට කියන්න පුළුවන්. ඒ කාලේ පන්දුවට දෙපාරක් වුණත් පහර දෙන්න අවසර තිබිලා තියනවා. මේ තරඟයේදි පන්දුවට පහර දුන් ක්‍රීඩකයා අතින් පන්දු රකිමින් හිටපු ජැස්පර් වෙතට උඩ පන්දුවක් ඇදිලා ගිහින් තියනවා. ඒ පන්දුව රැක ගැනීම වළක්වන්න පිතිකරුවා විසින් පන්දුවට එල්ල කළ දෙවැනි පහර ජැස්පර්ගේ හිසේ වැදීමෙන් තමයි ජැස්පර් අනතුරට ලක්වෙන්නෙ. 1624 අගෝස්තු 28 වැනිදා වුණු මේ අනතුරින් දින 13කට පස්සේ ජැස්පර් මරණයට පත්වෙලා තියනවා.

 

2. Richard Beaumont

Image Source – dailymail.co.uk

2012 අවුරුද්දෙ තමයි මේ අනතුර සිද්ධ වෙන්නෙ. රිචඩ් බෝමන්ට් කියන්නෙ එංගලන්තයේ පෙඩ්මෝර් කණ්ඩායමට ක්‍රීඩා කරපු 33 හැවිරිදි වේග පන්දු යවන්නෙක්. මේ අවාසනාවන්ත සිදුවීම සිදුවෙන මොහොත වන විට රිචඩ් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඕවර් 12ක් තුළදී ලකුණු 31ට කඩුළු 5ක් දවාගෙනයි ඉන්නෙ. නමුත් නොසිතූ විදිහට ඔහු පිටිය තුළ ඇද වැටෙනවා. ප්‍රේක්ෂකයන්ගේ සහ සෙසු ක්‍රීඩකයන්ගේ විමතිය මැද රිචඩ් බෝමන්ට්ව රෝහලකට ගෙන යනවා. නමුත් රෝහලට ඇතුළු කර ටික වේලාවකින්ම ඔහු මෙළොව හැර යනවා. මරණයට හේතුව හෘදයාබාධයක් හැටියටයි සඳහන් වුණේ.

 

3. Abdul Aziz

Image Source – proudpak.pk

අබ්දුල් අසීස් කියන්නේ 1950 ගණන් වල පාකිස්ථානයේ ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කරපු ලාබාල ක්‍රීඩකයෙක්. ඔහු කඩුළු රකින පිතිකරුවෙක් හැටියටයි ක්‍රීඩා කළේ. අපි සාමාන්‍යයෙන් ක්‍රිකට් අනතුරුවලදී දකින්නේ අධි වේගයකින් යවන ලද පන්දුවක් මාරාන්තික ස්ථානයක වැදීමෙන් මරණයට හෝ ආබාධයට ලක්වෙන ක්‍රීඩකයන්වයි. ඒත් අසීස්ගේ මරණයට හේතු වන්නේ දඟ පන්දුවක් පපුවේ වැදීමයි. එහෙම පන්දුව වැදිලා සුළු මොහොතකින් අසීස් පිටියේ ඇදගෙන වැටෙනවා. රෝහලට ගෙනයන අතරතුරදීම අසීස් මිය යනවා. මේ මරණයට හේතුව හැටියට සඳහන් වෙන්නේ පන්දුව පපුවේ වැදීම නිසා ඇතිවුණු හෘදයාබාධයකුයි. මිය යන විට අසීස් 18 වැනි වියේ පසුවුණා.

 

4. Wasim Raja

Image Source – tribune.com.pk

මේ කියන්න යන්නෙ තවත් පාකිස්ථානු ක්‍රීඩකයෙක් ගැන. ඔහු නමින් වසීම් රාජා. වසීම් රාජා 1970-80 දශක වලදි පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරඟ 57ක් සහ එක්දින තරඟ 54කට ක්‍රීඩා කරපු තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. හැබැයි වසීම් රාජා අනතුරට ලක්වෙන්නෙ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියාටත් කාලෙකට පස්සෙයි. 2006 අවුරුද්දෙදි සරේ ප්‍රාන්ත වයස 50න් ඉහළ ක්‍රිකට් තරඟයක් ක්‍රීඩා කරමින් සිටිද්දී වසීම් රාජ ට හෘදයාබාධයක් වැළඳී මරණයට පත්වෙනවා. වසීම් රාජා, ජනප්‍රිය පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩක සහ විස්තර විචාරක රමීස් රාජාගේ වැඩිමහල් සහෝදරයායි.

 

5. Raman Lambha

Image Source – en.wikipedia.org

රාමන් ලම්බා 1980 දශකයේ අගභාගයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු පිතිකරුවෙක්. ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින තරඟ 32කට සහභාගි වෙලා තියනවා. මීට අමතරව ඔහු පසු කාලෙකදි අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කරමින් නිල නොලත් එක්දින තරඟ කීපයකටත් සහභාගි වෙලා තියනවා. රාමන් ලම්බා අනතුරට ලක්වන්නේ 1998 දී බංග්ලාදේශ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියකට ක්‍රීඩා කරමින් සිටියදීයි. මෙහිදී ෂෝට් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ලම්බාගේ හිසට පිතිකරුවා පහර එල්ල කරන ලද පන්දුව විත් වැදෙනවා. ලම්බා ඒ මොහොතේදී හෙල්මටයක් පැළඳ සිටින්නේත් නැහැ. මුලදී ඒ තරම් අපහසුවක් නොපෙන්නුවත් මේ ප්‍රහාරය නිසා ලම්බා පසුව කෝමා තත්ත්වයට පත් වෙනවා. දින තුනකට පසුව ඔහු මරණයට පත්වෙනවා.

 

6. Darryn Randall

Image Source – anandabazar.com

ඩැරින් රැන්ඩල් දකුණු අප්‍රිකානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. කඩුළු රකින පිතිකරුවෙක් හැටියටයි ඔහු ක්‍රීඩා කළේ. 2013 වසරේදී දකුණු අප්‍රිකාණු පළමු පෙළ ක්‍රිකට් තරඟයක පිත්ත හසුරුවමින් සිටි රැන්ඩල් පුල් පහරක් එල්ල කරන්නට උත්සාහ කරනවා. නමුත් පන්දුව අවාසනාවන්ත විදිහට වදින්නේ ඔහුගේ හිසේයි. කඩිනමින් රෝහල වෙත රැන්ඩල්ව රැගෙන යන්නට කටයුතු කළත් ඔහු අතරමගදීම මිය යනවා.

 

7. Phillip Hughes

Image Source – carnegiecc.com

මේ ලැයිස්තුවේ ක්‍රීඩක මරණ අතරින් ලෝකයේ වඩාත්ම කතාබහට ලක් වූ මරණය හැටියට ෆිල් හියුස්ගේ මරණය හඳුන්වන්න පුළුවන්. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කරපු දක්ෂ වමත් ආරම්භක පිතිකරුවෙකු වුණු ෆිල් හියුස්ගේ අකල් මරණය සිද්ධ වෙන්නෙ 2014 අවුරුද්දෙදියි. 2014 නොවැම්බර් 25 වැනිදා නිව් සවුත්වේල්ස් සහ සවුත් ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවැත්වූ ෂෙෆීල්ඩ් ෂීල්ඩ් තරඟයකදී තමයි හියුස් අනතුරට පත්වෙන්නෙ. වේග පන්දු යවන ෂෝන් ඇබට්ගේ පන්දුවක් ෆිල් හියුස්ගේ හිසේ වදිනවා. හියුස් හෙල්මටයක් පැළඳ හිටියත් ඉන් ආවරණය නොවූ ස්ථානයකයි පන්දුව වදින්නේ. මේ හේතුවෙන් නොබෝ වේලාවකින් හියුස් කෝමා තත්ත්වයකට පත්වෙනවා. ඉන් දින දෙකකට පසුව නොවැම්බර් 27 වැනිදා හියුස් මරණයට පත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *