හිතත් පිරෙන්න, බඩත් පිරෙන්න කන්න නම් යන්න ඕන කොළඹ අවට තියෙන ෆුඩ් කෝට්ස් කීපයක්!

දැන් ඔන්න අපි එළියේ ඉන්නකොට ලොකු බඩගින්නක් එනවා. අපි කියමු දෙන්නත් එක්ක නිවාඩු දවසේ පොඩි රවුමක් දාන්න කොළඹ අවට සැරිසරන්න ගියා කියලා. දැන් එතකොට ඕන නම් අපිට ඔය පාර අයිනක තියෙන කඩේකට හරි, පේස්ට්‍රි ෂොප් එකකට හරි, අයිස්ක්‍රීම් පාලර් එකකට හරි, බර්ගර් ජොයින්ට් එකකට හරි, කොෆී ෂොප් එකකට හරි, තේ කඩේකට හරි, ලොකු චේන් රෙස්ටුරන්ට් එකකට හරි ගිහින් බඩගින්න මැකෙන්න බඩට මොනවහරි දාගන්න පුළුවන්.

හැබැයි ඕන නම් අපිට අහළ පහළම තියෙන ෆුඩ් කෝට් එකකට යන්නත් පුළුවන්. දැන් මේ ෆුඩ් කෝට් එකකට ගිහින් කෑම කන එකේ තියෙන අමතර වාසිය මොකද්ද? මෙහෙමයි. එකක්, ෆුඩ් කෝට් එකක් කියන්නේ කෑම බීම තියෙන පොඩි පොඩි අවුට්ලට්ස් ගණනාවක් තියෙන තැනක්. මේ අවුට්ලට්ස්වල තියෙන කෑම බීමත් විවිධාකාරයි. ආන්න ඒ නිසා තමන්ට විවිධත්වයක් තියෙනවා තෝරාගැනීමක් කරන්න. එහෙම නැතුව පාරක් අයිනේ තියෙන කඩේකට, රෙස්ටුරන්ට් එකකට ගියොත් එයාලගෙ මෙනු එකේ හරි, ෂෝ කේස් එකේ හරි තියෙන අයිටම්ස් විතරයි. හැබැයි ෆුඩ් කෝට් එකක එහෙම අයිටම්ස් තියෙන ජොයින්ට් ගණනාවක් තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට විවිධ රටවල, විවිධ රසවල, විවිධ කෑම වර්ග වල කෑම බීම තියෙන රෙස්ටුරන්ට්ස් වල අවුට්ලට්ස්. ඒ නිසා විවිධත්වය උපරිමයි.

දෙවෙනි වාසිය තමයි හිත පිරෙන එක. අපිට මේ වෙලාවට හරියටම හරියන්නේ මොන කෑමද කියලා බලන්න අපි ෆුඩ් කෝට් එකේ තියෙන අවුට්ලට්ස් එකකින් එකකට ගිහිල්ලා එනකොටම අපේ හිත බාගයක් පිරිලා ඉවරයි. දැන් තියෙන්නේ ඕඩර් කරන්න තමයි!

 

1. ඔඩෙල් ෆුඩ් කෝට්

Image Source – d3dz4rogqkqh6r.cloudfront.net

ඔඩෙල් එකේ අවුරුදු ගාණකට කලින් තිබුණු ෆුඩ් කෝට් එක, ඔඩෙල් එකේ නවීකරණ කටයුතුත් එක්කම වෙනස් වුනා. ඒ වගේම ඉස්සර ඔඩෙල් ෆුඩ් කෝට් එකේ තිබුණු රෙස්ටුරන්ට් අවුට්ලට් වෙනුවට අලුත් අවුට්ලට්ස් ඒ තැන් අරගත්තා. ඇත්තටම හවස් වරුවක, ඉර බැස්සට පස්සේ දෙන්නත් එක්ක ගිහින් වාඩිවෙලා මොනවා හරි කාලා බීලා එන්න ඔඩෙල් ෆුඩ් කෝට් එක මරු. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. ඉස්සර ඔඩෙල් ෆුඩ් කෝට් එක තිබුණේ හිරු රැස් වලින් ආවරණය වුණු ආකාරයේ සැකැස්මක් එක්ක. ඒ එක්කම සීතල වතුර බිංදු ඉසින පිටත වායුසමීකරණ පද්ධතියකුත් එතන තිබුණා. කොහොම වුනත් දැන් නම් උදේම හරි හවස් යාමේ හරි තමයි අපි මෙතනට යන්න රෙකමන්ඩ් කරන්නේ. ඔඩෙල් එක ඇත්තටම සුපර් මෝල් එකක් බවට පත්වෙන ව්‍යාපෘතිය අතරමග තියෙන්නේ. ඒ නිසා ගොඩක් දුරට ඔඩෙල් ෆුඩ් කෝට් එකේත් හැඩරුව තවත් වෙනස් වෙන්න පුළුවන් නුදුරු අනාගතේදී.

 

2. දියත උයන ෆුඩ් කෝට්

Image Source – slvisitguide.blogspot.com

දියත උයන කියන්නේ මේ වෙනකොට කොළඹ තියෙන ජනප්‍රියම එළිමහන් ෆුඩ් කෝට් එකක්. ගොඩක් වෙලාවට හවස් අතේ බත්තරමුල්ල, රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර අවට තියෙන ඔෆිස් ඇරිලා එන සෑහෙන දෙනෙක් සෙට් වෙන තැනක් තමයි මෙතන. මෙතන බොහොම විවිධාංගීකරණයක් තියෙන කෑම බීම අපිට දකින්න පුළුවන්. මිල ගණන් වුනත් අවුලක් නෑ. ඒ වගේම දැන් තියෙන නම් දරපු සමහර ආහාර පාන බ්‍රෑන්ඩ්ස් එහෙම පටන් ගත්තේත් දියත උයන ෆුඩ් කෝට් එකෙන් තමයි.

මෙතනත් කන්න බොන්න, වාඩි වෙලා ඉන්න සිමෙන්තියෙන් හදපු බංකු සහ මේස තියෙනවා. එතකොට ෆුඩ් කෝට් එක වටේටම තියෙන්නේ පැල වර්ග විකුණන කඩ. නිවාඩු දවසක නම් මල් පැලයක් එහෙමත් මිලදී අරගෙන, ෆුඩ් කෝට් එකෙන් හොඳට කාලා ගෙදර යන්න පුළුවන්.

 

3. එම් සී ෆුඩ් කෝට්

Image Source – a1travels.lk

එම් සී එකේ ෆුඩ් කෝට් එක නම් නොදන්න කෙනෙක් කොළඹ අහල පහල ඉන්න විදියක් නෑ. ඇත්තටම මීට අවුරුදු දහයකට පහළොවකට කලින් කොළඹ ෆුඩ් කෝට් සංස්කෘතියක් තිබුණේ නැති තරම්. ඒ කාලේ තිබුණේ එම් සී ෆුඩ් කෝට් සංස්කෘතියක්ය කියන එක වැරදි නෑ. ඇත්තටම දැන් පොඩ්ඩක් විතර පරණ පාටක් ඇවිල්ලා තිබුණත්, තාමත් හදිසියකට දවල්ට කෑම වේලක් කන්න එම් සී එකේ ෆුඩ් කෝට් එක ඉස්තරම්. මොන්ගෝලියන් බාබක්‍යු එකේ ඉඳන් තායි එක්ස්ප්‍රස් එක වෙනකල් එදා වගේම අද දක්වා තියෙන අවුට්ලට්ස් අතරට අලුතිනුත් විවිධ කෑම වර්ග තියෙන කඩ පිල් එකතු වෙලා තියෙනවා මෙතන. මෙතන පොඩ්ඩක් සද්දේ වැඩි එක නම් ගණන් ගන්න දෙයක් නෑ.

 

4. ක්‍රෙස්කැට් ෆුඩ් කෝට්

Image Source – youtube.com

ක්‍රෙස්කැට් එකට ඇතුළු වෙනකොටම කෙනෙක්ට පේනවා ෂුගර් බිස්ත්‍රෝ එක තියෙනවා. ඉන් පස්සේ ක්‍රෙස්කැට් එක ඇතුළට යනකොට පේනවා තැන් තැන් වල තියෙන පුංචි පුංචි කුකී විකුණන කඩ, ඇට ජාති විකුණන කඩ, චොකලට් විකුණන කඩ එහෙම. හැබැයි ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ක්‍රෙස්කැට් එක පහළම අංග සම්පූර්ණ ෆුඩ් කෝට් එකකුත් තියෙනවා කියන එක. ක්‍රෙස්කැට් එකේ ෆුඩ් කෝට් එක කලම්බු සිටි සෙන්ටර් වගේ ෆුඩ් කෝට් එකක තරම් අවකාශයක් නෑ. ගොඩක් දුරට එම් සී ෆුඩ් කෝට් එකට සමාන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි ඉතින් දවල් වෙලාවක බඩගින්න නිවෙන්න, කූල් පරිසරයක ඉඳලා මොනව හරි කාලා එන්න මෙතන මරු. එම් සී එකේ වගේම කෑම කඩ සිලෙක්ෂන් එකක් තමයි මෙතනත් තියෙන්නේ.

 

5. වේරැස් ගඟ පාක් ෆුඩ් කෝට්

Image Source – yamu.lk

වේරැස් ගඟ පාක් එක තියෙන්නේ බොරලැස්ගමුවෙන් හැරිලා පොඩ්ඩක් බෙල්ලන්විල පැත්තට යනකොට. එතන ගඟ පේන මානේ තියෙන පාක් එක ගොඩක් ප්‍රසිද්ධ සයිකල් පදින්න තමයි. හැබැයි එතන කෑම බීම කඩ ගණනාවක්ම තියෙන එළිමහන් ෆුඩ් කෝට් එකක් හදලා තියෙනවා. ඊට එහායින් වාඩිවෙලා කන්න බොන්න පුළුවන් විදියට සිමෙන්ති බංකු සහ මේස හදලා තියෙනවා. හුළං වැදි වැදී රස විඳින්න තමයි තියෙන්නේ.

හැබැයි එකක්. සති අන්තෙට, නිවාඩු දවස් වලට එහෙම වේරැස් ගඟ පාක් ෆුඩ් කෝට් එක ඇඟිල්ලක් ගහන්න බැරි තරමට පිරෙනවා කියන එකත් කියන්නම ඕන.

 

6. මරිනෝ මෝල් ෆුඩ් කෝට්

Image Source – marinomall.com

කොල්ලුපිටියේ තියෙන මරීනෝ මෝල් එක අති දැවැන්ත ගොඩනැගිල්ලක්. ගාලු පාරේ ඉඳලා මෙරීන් ඩ්‍රයිව් එකට යනකල් විහිදුණු මේ ගොඩනැගිල්ල තට්ටු 12ක්. ඇත්තටම මරීනෝ මෝල් කියන්නේ සුපර් මෝල් එකක්, ෆුඩ් කෝට් එකක් වගේම හොටෙල් එකකුත් වෙනවා. හැබැයි මෙතන ෆුඩ් කෝට් එකට මේ අය කියන්නේ ෆුඩ් එම්පෝරියම් එකක් කියලා. ඒ කියන්නේ ෆුඩ් කෝට් එකකටත් වඩා විශාලයි. මෙතන ඇත්තටම බැලූ බැල්මට බොහොම ඉඩ කඩ තියෙන විදියට, නවීන තාලෙට, නිස්කලංක ආකාරයට තමයි ෆුඩ් එම්පෝරියම් එක නිර්මාණය කරලා තියෙන්නේ. සෑහෙන පරාසයක දිවෙන ආහාර පාන මෙතන තියෙන අවුට්ලට්ස් වලින් ලබාගන්න පුළුවන් කියලත් බැලූ බැල්මට කෑම කඩ දිහා බල බලා ඇවිදගෙන යනකොට හිතෙනවා. කෑම බීම වලත් වරදක් නෑ. මිල ගණන් වුනත් ෂේප්. විශේෂයෙන්ම හවස් අතේ හරි රෑ පානේ හරි මොනවා හරි කාලා යන්න එන්න මෙතන මරු.

 

7. කලම්බු සිටි සෙන්ටර් ෆුඩ් කෝට්

Image Source – youtube.com

කලම්බු සිටි සෙන්ටර් කියන්නේ කොළඹ සංස්කෘතියට අලුතින්ම එකතු වුණු සාමාජිකයෙක්. කලම්බු සිටි සෙන්ටර් එකේ අංග සම්පූර්ණ පහසුකම් මැද්දට තට්ටු දෙකකට තියෙන ෆුඩ් කෝට් එකකුත් එකතු වෙනවා. ඇත්තටම කලම්බු සිටි සෙන්ටර් ෆුඩ් කෝට් කියන්නේ කොළඹ ලෝලීන්ට වෙනස්ම අත්දැකීමක්. ඇතුළත හිඳගන්න තියෙන අවකාශය වායුසමීකරණය කරලා තියෙන්නේ. පිටත බේරේ වැව පැත්තට විවෘත වුණු අවකාශය හවස් වරුවක ඉඳගෙන, කොළඹ සිරි නරඹන්න මරු.

මෙතන පොඩ්ඩක් විතර මිලෙන් අධික ආහාර වගේම, සාමාන්‍ය මිල ගණන් යටතේ වන ආහාර පානත් ලබාගන්න පුළුවන්. ඒ වගේම කොළඹ වෙන මොන ෆුඩ් කෝට් එකකවත් නැති තරමට මෙතන අර කැෆේ සංස්කෘතියක් හිතට දැනෙනවා කියන්නත් පුළුවන්.

 

8. ගෝල් ෆේස් ග්‍රීන් ෆුඩ් කෝට්

Image Source – yamu.lk

මොකද්ද මේ අපි නොදන්න අලුත් ෆුඩ් කෝට් එක? ඇත්තටම මේක අලුත් තැනක් නෙවෙයි. අපි හැමෝම දන්න ගොල් ෆේස් එක ගැන තමයි මේ කියන්නේ. එතකොට ෆුඩ් කෝට් එකක් කිව්වේ? ඇයි නානලාගේ කඩ පේළිය, ඉස්සෝ වඩේ කරත්ත, බීම විකුණන කඩ අරවා මේවා දිගටම තියෙන ගෝල් ෆේස් එකත් එහෙම බැලුවහම එළිමහන් ෆුඩ් කෝට් එකක් නෙවෙයිද? නිර්වචනය අනුව නම් එහෙමයි. මෙතන කෑම වල විවිධත්වය හොඳයි වගේම ගණනුත් ඉතාම අඩුයි. නාන් රොටී එක්ක ඕන මස් මාලු ජාතියක්, කොත්තු ඕන නම් ඕන ජාතියකින්, බාබක්‍යු පාරක් ඕන නම් එහෙමයි. මුහුදු හුළං වැදි වැදී බඩ පැලෙන්න කාලා එන්නයි තියෙන්නේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *