ගෑණු ළමයි ආස කරන විදියේ සීරියස් ඩයල් එකක් වෙන්නේ මෙහෙමයි!

ඇත්තටම මොක්කුද මේ සීරියස් කොල්ලෝ කියන්නේ? දැන් අපි ගොඩක් වෙලාවට දකිනවා ෆුල් ෆන් කොල්ලෝ. කට ඇරියොත් මොකක් හරි පිස්සු විකාරයක් කතා කරන්නේ, එහෙම නැත්තං ෆන් කතාවක් කියයි. මේ වගේ කොල්ලෝ ඉන්න තැනක පාලුවක් නෑ. කෙල්ලොත් මෙහෙම කොල්ලන්ට ආසයි… යාලුවෝ කරගන්න! ඇත්තටම ගොඩක් කෙල්ලෝ ෆුල් ජොලියේ ඉන්න, ෆුල් ෆන් කොල්ලෝ හින්දා සලිත වෙලා යන්නෙ නෑ. ඊළඟට ඉන්නවා හරි ෂෝක්, හරිම නයිස් කොල්ලෝ. මේ අය “සුදු නම්කී” කියාගත්තු ගමන්මයි ඉන්නේ. අද අඳුනගත්තු කෙල්ලෙක්ට වුනත් හරීම ආදරණීයයි. ඕන උදවුවක් කරලා දෙන්න, කෙල්ලව දැනගත්තේ අද වුනත් කෙල්ල කිවුවොත් යාපනේ ගිහින් කොට්ට කිලංගු අරං එන්න වුනත් මේ නයිස් අයියා කෙනෙක් එක පයින්. හැබැයි අවාසනාවකට මේ වගේ ෂෝක්, නයිස් අයියලා නිසාත් කෙල්ලෝ සලිත වෙලා යන්නෙ නෑ.

එතකොට ඉන්නවා සීරියස් කොල්ලෝ. ආන්න පොයින්ට් එකට ආවා. මේ සීරියස් කොල්ලෝ කියන්නේ මහ උද්දච්ච එවුන්වත්, කිසිම තෙතමනයක් නැති එවුන්වත්, එපා කරපු ජරා යක්කුවත් නෙවෙයි. සීරියස් කොල්ලෝ! එහෙම සීරියස් කොල්ලෝ දැක්කහම ඇත්තටම ගොඩක් කෙල්ලන්ගේ හිත සලිත වෙලා යනවා!! දැන් මොකද්ද ඔය කියන වෙනස? කොහොමද ඔය විදියේ සීරියස් කොල්ලෙක් වෙන්නේ?

 

1. අඩුවෙන් පිළිතුරු දෙන්න, වැඩියෙන් ඇහුම්කන් දෙන්න

Image Source – askcheyb.files.wordpress.com

මතක තියාගන්න, මේ කාරණාව අදාළ වෙන්නේ එදිනෙදා කරුණු කාරණා වලදී විතරයි. උදාහරණයක් විදියට අපි කියමු රෙස්ටුරන්ට් එකකට ගියා කියලා. එතකොට ගෑණු ළමයා තමන්ගෙන් මොනවද කන්නේ කියලා ඇහුවහම, හොඳට හිතලා මතලා තමන් කැමති දේ කෙටියෙන් සහ පැහැදිලිව කියන්න. වැනෙන උත්තර දෙන්න එපා, දෙගිඩියාවෙන් උත්තර දෙන්න එපා, උත්තරේ වෙනස් කරන්න එපා සහ රෙස්ටුරන්ට් එක පටන් ගත්තු කාලේ මුත්තගේ ඉඳන් උත්තරේ අදින්න එපා. ඇත්තටම මේ කාරණාව එදිනෙදා ජීවිතේ හැමදේකදීම වැදගත්. කොල්ලෙක් තමන්ගෙන් දෙයක් අහපුවහම මොණරගේ ඉඳන් කරුණු පැහැදිලි කරන්න යන්නේ නැතුව, කෙටියෙන් ඒත් පැහැදිලිව කතා කරන කොට ඒකේ මාරම ගැම්මක් තියෙනවා.

කෙටියෙන් කතා කරනවා වගේම අනෙක් කෙනාගෙන් එයා කැමති දේ ගැන අහන එකත් සීරියස් කොල්ලෙක්ගේ ගතියක්. හැබැයි ඒ අනික් කෙනා/ගෑණු ළමයා කොටින් උත්තර දිය යුතුයි කියලා එකක් මෙතනදී නෑ. අන්න ඒ නිසා තමන් කෙටියෙන් කතා කළත්, අනික් කෙනාට ඉවසිල්ලෙන් ඇහුම්කන් දෙන එකත් මෙතනදි තියෙන්න ඕන.

 

2. බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ!

Image Source – royalfashionist.com

ඒ කියන්නේ ජීවිතේ බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න කියන එක නෙවෙයි. එහෙම ඉන්න අමාරුයිනේ. හැබැයි එදිනෙදා ජීවිතේදී, මනුස්සයෙක්ව මුණගැහීමේදී බලාපොරොත්තු අහස උසට තියාගන්න එපා. උදාහරණයක් විදියට අපි කියමු ෆේස්බුක් එකේ චැට් කරලා ගෑණු ළමයෙක් ෆිට් වෙනවා කියලා. දැන් දෙන්නට දෙන්නා මුණගැහෙන්න දවසකුත් දාගන්නවා. හැබැයි සාමාන්‍ය කොල්ලෙක් නං මේ වෙනකොට ඒ ගෑණු ළමයා ගැන අහස උසට බලාපොරොත්තු හදාගෙන ඉවරයි. මුණගැහුණට පස්සේ කෙලින්ම කසාදේට අත්සන් කරන්න එක්කගෙන යන ලෙවල් එකටම බලාපොරොත්තු. එතකොට වෙන අවුල මේකයි. එහෙම බලාපොරොත්තු පොදිබැඳගත්තට පස්සේ අපිට ඒ දේ නැති කරගන්න ලෝබයි. ඒ නිසා කෙල්ල අපිට බල්ලා මාක් එකට සැලකුවත්, කෙල්ල අපේ හිතට ඒ තරම් සෙට් වෙන්නෙ නැති වුනත් අපි ඕනම දෙයක් කරලා කෙල්ලව ළඟ තියාගන්න හිතෙන් හේතු හදාගන්නවා. හැබැයි සීරියස් මනුස්සයෙක් එහෙම බලාපොරොත්තු සීයෙට සීයකින් වැඩේ පටන් ගන්න තරම් අහේනියකින් පෙළෙන්නෙ නෑ. ඒ නිසා සීරියස් මනුස්සයෙක් වඩා රිලැක්ස් එකේ ඔය කිවුව ගෑණු ළමයව මුණගැහෙන්න තියෙන ඉඩ වැඩියි.

 

3. කොන්ෆිඩන්ස්!

Image Source – gq-magazine.co.uk

ඔව්, ආත්ම විශ්වාසය කියන්නේ ඕකට තමා! සීරියස් මනුස්සයෙක් කියන්නේ කොයි වෙලාවෙත් බුම්මගෙන ඉන්න ඩයල් එකක්වත්, කාවවත් සත පහකට ගණන් ගන්නේ නැතුව ඉන්න හාදයෙක්වත් නෙවෙයි. හැබැයි සීරියස් මනුස්සයෙක් කවදාවත් පාපිස්සක් වෙන්න යන්නෙ නෑ. ඒ කියන්නේ අනික් මිනිස්සුන්ව සතුටු කරන්න කියලා පිස්සුවෙන් දඟලන්නේ වත්, ලෝකේ හැමෝටම උදවු කරන ෂෝයි අයියෙක් වෙන්නවත් යන්නෙ නෑ. සීරියස් මනුස්සයෙක් කාරුණිකයි, අවශ්‍ය මොහොතක අවශ්‍ය කෙනා වෙනුවෙන් ළඟ ඉඳී. මේ හැමදේටමත් වඩා තමන් ගැන උපරිම විශ්වාසයෙන් යුක්තයි.

මේ ආත්ම විශ්වාසය තියෙනකොට අපිට ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා විතරක් නෙවෙයි, තව කෙනෙක්ට තමන්ට සිල්ලර ගාණට සලකන්න ඉඩක් ලැබෙන්නෙත් නෑ. ආන්න ඒ නිසයි සීරියස් මනුස්සයෙක්ගේ මේ ගතිගුණය හැදෙන්නම ඕන කරන්නේ.

 

4. යකඩ ජීවිත!

Image Source – dissolve.com

ඔව්, කෙල්ලෝ පිස්සු වැටෙන සීරියස් මනුස්සයෙක් වෙන්න යකඩයෙක් වෙන එකත් ඉතාම වැදගත්. හැබැයි මේ යකඩ ජීවිත කියලා කියන්නේ දේවල් දෙකකට. එකක් තමයි ගතිගුණ අතින් කොයි තරම් මෘදු සහ නම්‍යශීලී වුනත්, යකඩ වගේ ස්පිරිට් එකක් තියෙන මනුස්සයෙක් වෙන එක. ඒ කියන්නේ ලේසියෙන් ජීවිතේ ඉස්සරහා පරදින්නෙ නැති, සෘජු ගතිගුණ තියෙන, යකඩ ධෛර්යයක් තියෙන මනුස්සයෙක් වෙන එක.

දෙවෙනි කාරණේ තමයි ශාරීරිකවත් යකඩයෙක් වෙන එක. ඔව්, ජිම් ගිහිල්ලා යකඩ තලන එක තමයි අපි මේ කියන්නේ. හැබැයි ජිම් යන්නම ඕන නෑ. වෙනත් ඕනෑම ශරීර සුවතා ව්‍යායාම/ක්‍රීඩා මොනවාහරි තෝරගත්තට කමක් නෑ. මේකෙන් සිද්ධ වෙන තවත් හොඳක් තියෙනවා. ඒ තමයි උඩින් කියලා තියෙන ආත්ම ශක්තිය ඉහළ යෑම.

 

5. තමන්ගේ ස්ථාවරයේ ඉන්න මනුස්සයෙක් වෙන එක

Image Source – entrepreneurs.maqtoob.com

ඇත්තටම මේ කාරණය උඩින් කියලා තියෙන බලාපොරොත්තු කොටසටත්, කොන්ෆිඩන්ස් කොටසටත් අදාළයි. සිරියස් මනුස්සයෙක්ට මනා ආත්ම විශ්වාසයක් තියෙන නිසාම, තමන්ගේ ස්ථාවරය කොයි මොහොතකදී වත් පැන්න ගමන් එළියට දාන්නෙ නෑ. ලන්ච් ගන්න කොහාටද යන්නේ වගේ ප්‍රශ්නයකට වුනත් හිතලා මතලා උත්තරයක් දෙන්න මේ විදියේ සීරියස් මනුස්සයෙක් දන්නවා. එතකොට දෙවෙනි කාරණාව තමයි, ගෑණු ළමයාට තමන් වශී වෙලා ඉන්න නිසාම ගෑණු ළමයා කියන ඕනම දේකට එහෙයි කියන්නත් සීරියස් මනුස්සයෙක් ලැහැස්ති නෑ. ගෑණු ළමයා කියන දෙයක් තමන් හරිය කියලා විශ්වාස කරන තමන්ගේ ස්ථාවරයට විරුද්ධ නම්, ඒක නොපැකිළ ප්‍රකාශ කරන්න සීරියස් මනුස්සයෙක්ට පුළුවන්. කොටින්ම කෙල්ල තරහ වෙයි කියලා හිතලා හැමදේටම ඔලුව නවන්නෙ නෑ සීරියස් මනුස්සයෙක්.

කෙල්ල සම්බන්ධව නෙවෙයි, ජීවිතේ ඕනම දෙයක් සම්බන්ධව සීරියස් මනුස්සයෙක් එහෙමයි. වැනෙන සුළු නෑ!

 

6. මුරණ්ඩු, පණ්ඩිත ඩයල් එකක් නොවෙන එක

Image Source – thearrogantman.wordpress.com

ඇත්තටම කොල්ලෙක් සීරියස් මනුස්සයෙක් විදියට රඟපාන්න යනකොට වෙන්න පුළුවන් දේවල් තමයි ඒ කොල්ලා මුරණ්ඩු, පණ්ඩිත, උද්දච්ච මනුස්සයෙක් වෙලා නවතින එක. ඇත්තටම සීරියස් මනුස්සයෙක් එහෙම නෑ. සීරියස් මනුස්සයෙක් උඩ කියපු විදියට තමන් හරි කියලා විශ්වාස කරන තමන්ගේ ස්ථාවරයේ ඉන්නවා වගේම, අනෙක් පාර්ශවයේ කරුණු දැක්වීම් වලටත් හොඳින් ඇහුම්කන් දෙනවා. එතකොට සීරියස් මනුස්සයාට තේරුම් ගියොත් තමන්ගේ ස්ථාවරය වැරදියි කියලා, වහාම ඒ බව කියලා තමන්ගේ ස්ථාවරය වෙනස් කරගන්නත්, කරුණු දැක්වීමට ස්තුති කරන්නත් ඒ මනුස්සයා පැකිලෙන්නේ නෑ. ඒ කියන්නේ ඕනම දේකට වචනයක්වත් නොකියා නැවෙන එකත්, කිසිසේත්ම අනෙකාට ඇහුම්කන් නොදෙන මුරණ්ඩුකමත් කියන දෙකම සීරියස් මනුස්සයෙක් ගාව නෑ!

 

7. බ්‍රෝස්ලා!

Image Source – esquire.com

දැකලා තියෙනවා නේද කොහේ ගියත් කෙල්ලෝ පිරිවරාගෙන ඉන්න කොල්ලෝ එහෙම. ඉරිසියා හිතලා තියෙනවද ඒ විදියේ කොල්ලො ගැන? ඉරිසියා හිතන්න එපා. ගොඩක් වෙලාවට එහෙම කෙල්ලෝ පිරිවරාගෙන ඉන්න කොල්ලෙක්ව ඒ කෙල්ලෝ හැමෝම දකින්නේ යාලුවා විදියට විතරයි. එහෙම නැතුව කෙල්ලෝ ඒ විදියේ කොල්ලෙක්ව දැක්කහම සලිත වෙලා යන්නෙ නෑ. ආන්න ඒ නිසා සීරියස් මනුස්සයෙක් වෙන්න ඕන නම් තමන්ගේ “බෝයිස්ලා” සෙට් එකත් ජීවිතේ තියාගන්න. එහෙම නැතුව හැමදේටම කෙල්ලෝ සෙට් එකක් එක්ක එළියට බහින මනුස්සයෙක් ගැන පිටින් බලන කෙල්ලෙක්ගේ හිතේ හොඳ හැඟීමක් ඇතිවෙන්නෙ නෑ.

හැබැයි මේ කියන්නේ කෙල්ලෝ ආශ්‍රය කරන්න එපා කියලා නෙවෙයි. ජීවිතේට හොඳ කෙල්ලො යාලුවෝ සෙට් එකක් ඉන්න එක වටිනවා. හැබැයි ඒ වගේම බ්‍රෝ යාලුවෝ සෙට් එකකුත් ඉන්න ඕන. තමන්ට සහ තමන්ගේ බෝයිස්ලා එක්ක තියෙන ඇක්ටිවිටීස් වලටත් ජීවිතේ ඉඩක් තියෙන්න ඕන.

ඇත්තටම සීරියස් කොල්ලෙක් විදියට රඟපාන එකට වඩා, ඇත්තටම සීරියස් කොල්ලෙක් වෙන එක තමයි වඩාත් ප්‍රතිඵලදායක කියන එකත් අපි කියන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *