අටමස්ථාන වන්දනාව හැර අනුරාධපුරයේ විඳින්නට දකින්නට තියෙන දේවල්

අටමස්ථාන වන්දනාව ලංකාවේ බෞද්ධ බැතිමතුන් අතර ඉහළ තැනක් ගන්න වන්දනා ගමනක්. ඉස්සර කාලේ පටන්ම අපේ අනුරාධපුර පුරාණ රාජධානියේ වෙහෙර විහාර අටක් පාදක කරගෙන අපේ බෞද්ධයින් වන්දනාමාන කටයුතු කළා. සියවස් 15කට අධික කාලයක් අනුරාධපුරය රාජධානියක් වෙලා තිබුණා. කොච්චර අනුරාධපුරේ පරණද කියනවා නම් අනුරාධපුරයේ මුල් යුගයේ නටබුන් පසුකාලීන නටබුන් වලින් යටවෙලා තියෙනවා. මේ ලේයර් දෙක අතර පරතරයත් මීටර හත අටක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ යම් දියුණු ශිෂ්ටාචාර ලක්ෂණ ආරම්භ වුණු කාලයේ පටන්ම අඛණ්ඩව සියවස් ගණනාවක් පුරා අනුරාධපුරය ජනාවාස වෙලා තිබුණා.

1. විජයාරාමය

විජයාරාමය කියන්නේ තවමත් සෑහෙන මට්ටමක හොඳින් තියෙන නටබුන් ටිකක්. අනුරාධපුරයේ එකම ආරාමයක්වත් සම්පූර්ණයෙන් එදා පිහිටි ආකාරයටම දකින්න නැතිවීම කණගාටුවට කරුණක්. ඒත් විජයාරාමයේ උලුවස්ස සවි වෙලා තිබුණ තැන පහළ ඇති යකඩ පතුරක් පවා සොයාගන්නට හැකි වුණා. දොර ඇරෙද්දි පොළව හීරිලා ගියපු හැටි තියෙන ගල් පතුරු එහෙමත් සුරක්ෂිතව තිබුණා. මුරගල්, සඳකඩපහන් වගේ පැරණි නිර්මාණත් බොහෝම හොඳට ආරක්ෂා වෙලා තියෙනවා. වැසිකිලි පද්ධති දිහා බැලුවම මළපහ කරන එක, මුත්‍රා කරන එක ගැන පවා කොච්චර සීරියස්ව එදා හිටපු මිනිස්සු හිතලා තියෙනවාද කියලා හිතෙනවා. විජයාරාමය අනුරාධපුරේ තිබුණාට අනෙක් නටබුන් වගේ කාෂ්ඨක අව්වේ නරඹන්න ඕනා නැහැ. බොහොම නිසංසල තපෝ වනයක් වගේ සෙවණදායී පරිසරයක තමයි විජයාරාමය පිහිටලා තියෙන්නේ.

2. අනුරාධපුරය ගල්පාලම

සුද්දා ගල විද්දාය, විද්දට පස්සේ මහනුවර උන්නු සිංහල මිනිස්සු කොළඹට ආවාය කියන එක බොහොම ප්‍රසිද්ධ කතාවක්. සුද්ද කළේ කඩුගන්නාව වගේ තඩි ගලක හිලක් හදපු එක නේ. ඒත් එදා අපේ මුතුන් මිත්තෝ අද වෙද්දි මිනිස්සු දහ දෙනෙකුටවත් ලේසියෙන් ඔසවන්න බැරි කුඩා ඔරු වගේ විශාල ගල් කුට්ටි කපලා, මැදලා, උස්සලා ගෙනිහින් පාලම් හදල තියෙනවා. සැක නම් අනුරාධපුරේ ගල්පාලමට ගිහින් බලන්න. මේ ගල්පාලමට යන පාර ගල්පාලම පාරම තමයි. ගූගල් මැප් එකේ ගැහුවත්, අනුරාධපුරේ කාගෙන් හරි ඇහුවත් පාර ලේසියෙන් හොයාගන්න පුළුවන්. දැනට ගල්පාලමේ කොටස් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මේ කොටස් මෑතකාලීනව නැවත පිහිටුවල තියෙනවා. ඒත් ඒ මහා ගල්කුට්ටි එදා රජදරුවන් කාලේ අපේ මුතුන් මිත්තෝ උස්සගෙන ඇවිල්ලා තියපු ඒවාම තමයි.

3. වැවේ නාමුද?

“යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ…” අපේ ඉස්සර කාලේ ඇහුන සිංදුවක කිහිප වතාවක් ඇහෙන පද පේලියක් තමයි ඒ. ඒ පදවැල් වල තියෙනවා වගේම තිසා වැවේ වැව් බන්ට් එකේ ඇවිදිනකොට අමුතුම රොමාන්තික ගතියක් තියෙනවා. අද නම් පස් කියුබ් කිහිපයක් එහා මෙහා කරන්න යකඩ ඇතෙක් වගේ ඉන්න ජේ සී බී එකකට යන්නේ විනාඩි කීපයයි. ඒත් එදා? ඒ තිසා වැවේ බන්ට් එක උඩට ගියොත් පොඩ්ඩක් කල්පනා කරල බලන්න, ඒ අපිට පේන මානේ තියෙන වැව් බන්ට් එක හෙවත් වැව් බැම්ම හදන්න කොච්චර මහන්සියක් වෙන්නට ඇතිද? තිසා වැවේ නාන එක එච්චරම හොඳ නැහැ. ඒත් ඉතින් රුවන්වැලිසෑය, ථූපාරාමය ආසන්නයේම තියෙන නුවර වැවේ නාන සෙනග බොහොම වැඩියි. ඒ නිසා කට්ටිය තිසා වැවෙත් නානවා. අනුරාධපුරේ ගියොත් වැවකින් නාන්න අමතක කරන්න හොඳ නැහැ. නුවර වැවේ එහෙම නාන, සබන් ගාන පිරිස දිහා බැලුවම අපි බැස්සොත් ආයේම සබන් ගාන එකේ තේරුමක් තියෙද කියලා හිතෙනවා. ඒත් ඉන්දියාවේ ගංගා නම් ගඟේ එහෙම නාන බැතිමතුන් එක්ක බලද්දි අපේ බැතිමතුන් වාසනාවන්තයි. කොහොම වුනත් අනුරාධපුරේ වැව් වතුර ටික පිරිසිදුයි.

 

4. බයිසිකල් ටුවරක්

වැව් බන්ට් එකක් උඩින් බයිසිකලයකින් යන දර්ශනයේ අමුතු ලල් එකක් තියෙනවා. ඒ වගේම ටිකක් එකිනෙකට දුරින් පිහිටලා තියෙන සිද්ධස්ථාන බලන්න යන්න බයිසිකල් පාවිච්චිය හොඳ වැඩක්. ලොකු වාහන වගේ නවත්තලා ගොඩාක් දුර පයින් යන්න ඕනත් නැහැ. එතනම නවත්තලා ඇවිදලා, වැඳලා කියලා ආයේ බයිසිකල් එකේ එන්නත් පුළුවන්. කකුල් වලට නම් ටිකක් අමාරුයි. ඒත් බයිසිකල් ගමන කියන්නේ අපි කැමති වැවක් ගාව, කැමති පුරාවස්තුවක් ආදී අපිට වැදගත් තැනක නැවතිලා බලලා යන්න ලැබෙන හොඳ ට්‍රිප් අත්දැකීමක්.

 

5. නයිට් සවාරි

දවල්ට අනුරාධපුර කියන්නේ අව්වට පිච්චෙන තැනක්. වැස්ස කාලෙට හෙවණ වුනත් වැස්සට තෙමෙන්න ගියාම එපා වෙනවා. ඉතින් ඒ නිසා රෑ ඇවිදින්න අනුරාධපුරය කියාපු තැන. ඒත් පරෙස්සමෙන්. රෑ 10න් පස්සේ සමහර සිද්ධස්ථාන වලට පිවිසීම නවත්වනවා. රුවන්වැලි සෑයේ, ථූපාරාමයේ සුදුපාට සෑයට වැදුණු ලයිට්පාර මළුවට වැටෙනවා. අභයගිරිය, ජේතවනය රෑට දුඹුරුපාටට ගුප්ත ස්වභාවයෙන් පේනවා. මහා ගල් කණු අස්සේ හැංගිලා ඩ්‍රැකියුලා එහෙම ඉඳීවිද කියලා හිතට බය හිතෙනවා. රෑ අනුරාධපුරයේ ඇවිදීම ෆොටෝ ගහන්නත් හොඳයි. කෙනෙක් හිනාවෙයි දවල් එළියේ ගහන්නේ නැතුව රෑ මොන ෆොටෝද කියලා. ඒත් වන සත්තු, ගහ කොළ වගේ පුරාවස්තු සෙලවෙන්නේ නැහැ. ඉතින් කැමරාවේ හෝ ෆෝන් එකේ ෂටර් එක අපි අතින් හෙලවුනේ නැතොත් ගොඩක් වෙලා ෂටර් එක ඇරිලා හරි ලස්සන ෆොටෝ රෑට අපිට ගන්න පුළුවන් වෙනවා.

 

6. කුඹුරෙ බහිමු වැඩ හුරුවෙමු

අපි ජාතියක් විදියට එදා සිට හදා වවාගෙන කෑව මිනිස්සු. රාජ් සෝමදේව මහත්තයාගේ සොයාගැනීම් එක්ක අපි ප්‍රාග් යුගවලදී පවා වැවීම කළ ජාතියක් බව සනාථ වෙලා තියෙනවා. ඒත් ඉතින් ඉඳලා හිටලා රූපවාහිනියක, එහෙම නැත්තං අන්තර්ජාලයේ තැනක කුඹුරක් දැක්කොත් ඇර අපිට කුඹුරක තියෙන අත්දැකීම ඇඟට ගන්න අවස්ථාවක් නැහැ. කුඹුරු මඩවන කාලේ මඩේ බහින්න, කරල් පැහෙන කාලෙට නියරේ ඇවිදින්න, කරල් කපා පෑගෙන පාවර අරින කාලේට ඒ වැඩ වලට දායක වෙන්න පුළුවන් නම් ඒක හොඳ අත්දැකීමක්. දරුවන්ට වුනත් ගෙදර පාඩම් පොතකින් මෙහෙමයි පුතේ වී කරලක් හැදෙන්නේ කියලා කියලා දෙනවාට වඩා කුඹුරක නියරකට ගොඩවෙලා වී කරලක් අතගාල කියාදෙන්න හැකිනම් වටිනවා. ඉතින් අනුරාධපුරේ ගියොත් පොඩ්ඩක් කුඹුරකට බැහැලා ඒ අත්දැකීම විනාඩි ගාණකට හරි දරුවන්ට විඳගන්න සලස්වන එක හොඳ දෙයක්.

 

7. කලා වැඩ කිඩ බලාගමු

අනුරාධපුර රන්මසු උයන මේ දවස්වල රාවණා මිත්‍යා කතා එක්ක කියවෙන තැනක්. ඉන්දියාවේ පරණ පොතක තිබිලා එදා සිට පැවත එන රාවණා මිත්‍යා කතාවකින් අපේ රජදරුවන්ගේ සනාථ කළ හැකි අනගි නිර්මාණ ආදිය වැහෙන එක ඇත්තටම පාපයක්. ඉසුරුමුණියේ පෙම් යුවළ එදා ගල් වඩුවා හදන්නේ අද ෆොටෝෂොප් වලින් ෆොටෝ එකක් හදනවා වගේ ලේසියෙන් නෙමෙයි. රන්මසු උයනේම තියෙන ගල් එක්ක කරපු ශිලා මාලිගාව සැලසුම් කළේ අද වගේ ඔටෝ කැඩ්, ත්‍රී ඩී තියෙන කාලෙක නෙමෙයි. සාමාන්‍යයෙන් අද ගලක් හමුවුනොත් අපි ගන්න ඉඩමක මොකෝ කරන්නේ? අපි කරන්නේ මුලින්ම අර හම්බන්තොට වරායේ ගල කුඩුකළා වගේ ගල පුපුරුවනවා. ඒත් එදා අනුරාධපුරයේ හිටපු නිර්මාණකරුවෝ ගලත් දායක කරගෙන ඒකෙත් කැටයම් කරලා ඒ ගල් ගෙඩි ආසන, ශයනාගාර විදියට හැඩ කරලා නිර්මාණ කරලා තියෙනවා. රන්මසු උයන, ඉසුරුමුණිය, වෙස්සගිරිය වගේ තැන් කිහිපයකම ඒ ආකාරයේ නිර්මාණ තියෙනවා. ඒවා බලාකියාගැනීමත් වටින වැඩක්.

අනුරාධපුර චාරිකාවකදි සෙනග ඉන්න තැන්වල පැය ගණන් තෙරපිලා තෙරපිලා එපා වෙනවා. සෙනග අඩු, ඒත් වටින තැනුත් ගොඩක් අනුරාධපුරයේ විසිරිලා තියෙනවා. අටමස්ථානය වගේ පූජනීය ස්ථානයක් අපිට අමතක කරන්නට බැහැ. ඒත් තව දවසක් වැඩියෙන් ගමනට එකතු කරගෙන හරි වෙනදාට වඩා වැඩි යමක් අනුරාධපුරේ ගිහින් බලන්නට තියෙනවා කියලා ඔයාලට මේ පෝස්ට් එකෙන් වැටහෙන්නට ඇති. ඉතින් ඒ ගැන යාලුවන්ට පේන්නත් එක්ක මේ ලයිෆි අටමස්ථානය හැර අනුරාධපුරය ගැන ලිපිය ෂෙයාර් කරගමු නේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *