ලංකාවට පෘතුගීසින් ආවේ නැත්තම් ලංකාව අද කොයි වගේ තියෙයිද?

පෘතුගිසීන් කොළඹට ගොඩ බැහැපු වෙලාවේ රාජ පුරුෂයෝ කෝට්ටේ රාජසභාවට ගිහින් කිව්වේ “රජතුමනි ගල් කුඩු කන, ලේ බොන පිරිසක් අපේ රටට ඇවිත්” කියලලු. ජනප්‍රවාදයේ වගේම සමහර වංශකතාවල එන ඔය කතාවේ තාරබර ඇරලා ගත්තම හිතන්න පුළුවන් පෘතුගීසින්ගේ පැමිණීම අපේ රටේ මිනිස්සුන්ට දැනුනේ අමනුස්සයන් පිරිසක් පැමිණීම වගේ කියලා. ඊළඟ අවුරුදු 100 ඇතුළත ඒ මිනිස්සුන්ට දැනුන දේ 100%ක් ම හරි කියලා ඔප්පු වුණා. යම් විදිහකට පෘතුගීසින් ලංකාවට ආවේ නැත්තන් ලංකාව අද කොයි වගේ වෙයිද කියලා තමයි අපි මේ ආටිකල් එකෙන් කතා කරන්නේ.

 

1. කාන්තා පාර්ශවයට එහෙනන් වෙන්න පුළුවන් දේ

Image Source – oldindianphotos.in

ලංකාවට ආපු දවස්වල පෘතුගීසින් ප්‍රාර්ථනා කළේ ලංකාවේ ගෑණු වගේ ගෑණුන්ව එයාලගේ රටේ ගෑණුන්ට නොදකින්න ලැබේවා කියලලු. හේතුව තමයි ඒ කාලේ ලංකාවේ සියලුම කාන්තාවෝ වගේ ඉඳලා තියෙන්නේ උඩුකය නිරුවත්ව. ප්‍රභූ පැළැන්තියෙ කාන්තාවෝ විතරයි උඩු කයට සළු පැළඳීම කරලා තියෙන්නේ. පෘතුගීසින් පහත රට යටත් කරගැනීමත් එක්ක අපේ රටේ මිනිස්සුන්ව ශිෂ්ට කරන රාජකාරියත් පටන් අරන් තියෙනවා. ඊට පස්සේ තමයි අපේ රටේ කාන්තාවෝ “කම්බායවල්” අඳින්න පුරුදු වෙලා තියෙන්නේ. ඉංග්‍රීසින්ට යටත් වුණායින් පස්සේ කාලේ පවා උඩරට ප්‍රභූ පැළැන්තියට අයිති නැති කාන්තාවෝ උඩුකය වහලා නෑ. සමහර විදේශිකයන්ගේ චිත්‍ර මේ දේට හොඳ සාක්ෂියක්. ඒ නිසා අපිට හිතන්න පුළුවන් දේ තමයි පෘතුගීසින් ලංකාවට ආවේ නැත්තම් සමහර විට තාම අපේ රටේ කාන්තාවෝ උඩුකය වහන එකක් නෑ කියන එක. (චිත්තරූප මැවුණා නේද?)

 

2. සිංහල දෙමළ පරතරය ගොඩක් අඩුවෙයි

Image Source – lakpura.com/serendib.btoptions.lk

පෘතුගීසින් ලංකාවට එන කාලේ වෙනකොට ලංකාවේ රජකම් කරපු රජ්ජුරුවෝ ගැන විද්වතුන් අතර මතභේද තියෙනවා. ඒත් ඒ රජකම් කරපු රජ්ජුරුවෝ හයවෙනි පරාක්‍රමබාහු රජතුමා ඇතිදැඩි කරපු ද්‍රවිඩ කුමාරයෙකු වුණු අම්බුලුගල කුමාරයාගෙන් පැවත එනවා කියන එකට සියලුම විද්වතුන් එකඟ වෙනවා. ඒ වගේම රජ පවුල තුළ දැඩිව ද්‍රවිඩ විවාහයන් වෙලා තියෙනවා. ඒ වගේම “දෙමළ” භාෂාව, උගතෙකු විසින් හැදෑරිය යුතු අත්‍යාවශ්‍ය භාෂාවක් විදිහට ඒ කාලේ පිළිගැනීමක් තිබිලා තියෙනවා. මේ නිසා අපිට හිතන්න පුළුවන් පෘතුගීසින් ලංකාවට ආවේ නැත්නම් සිංහල දෙමළ පරතරය මේ වෙනකොට නැත්තටම වුණත් නැති වෙන්න පුළුවන් කියලා.

 

3. බුද්ධාගමට වෙන්න පුළුවන් දේ

Image Source – britishmuseum.org/hankop.blogspot.com

කෝට්ටේ කාලය වෙද්දි බුද්ධාගමට හින්දු මත වගේම මහායාන ආභාෂය දැඩිව ලැබිලා තියෙනවා. වීදාගම මෛත්‍රීය වගේ හාමුදුරුවරු බුද්ධාගමට එකතු වුණු හින්දු දෙවිවරු සහ වන්දනා ක්‍රම විවේචනය කරලා තියෙනවා. ඒත් තොටගමුවේ රාහුල වගේ හාමුදුරුවරු මහායාන සහ හින්දු අදහස්වලට පක්ෂව අදහස් පළ කරලා තියෙන්නේ. ඒ කාලේ මහායාන බෝසත්වරියක් වුණු තාරා දෙවඟන ඇදහීමත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච කාලයක්. පෘතුගීසින් ආගමික උමතුවෙන් පෙලුණු නිසා මේ තාරා දෙවඟන පිදීම වැළැක්වීම වගේම බුද්ධාගමට සම්බන්ධ සිද්ධස්ථාන විනාශ කිරීම කළා. ප්‍රතිඵලය වුණේ තාරා වන්දනාව අපෙන් සම්පූර්ණයෙන්ම බැහැර වුණු එක.

 

4. උඩ පාත රට භේදය නැතිවීම

Image Source – pinterest.com/serendib.btoptions.com

පෘතුගීසින්ට මුහුදුබඩ පළාත් යටත් වීමත් එක්ක ස්වාධීනව පැවුතුණු මහනුවර ප්‍රදේශය ආශ්‍රිත ජනතාව අතරින් උඩරට පහතරට භේදය ඇතිවුණා. ඒ වගේම පෘතුගීසින්ගෙන් වුණු හිරිහැර නිසා මුහුදුබඩ ජනතාව වැඩි වශයෙන් උඩරටට පලා ගියා. යම් විදිහකින් පෘතුගීසින් ආවේ නැත්නම් මේ වෙනකොට උඩරටට තියෙන විශේෂත්වය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආශ්‍රිතව ජීවත් වෙන අයට ලැබෙන්න තිබ්බා. ඒ වගේම කඳුකරය තුළ ලොකු ජනගහණයක් ඉන්න එකක් නෑ.

 

5. ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙන දේවාලය

Image Source – wikipedia.org

මුලු මහත් ඉන්දියාවෙම තිබ්බ හින්දු දේවාල මුස්ලිම් භක්තිකයෝ විවිධ ආක්‍රමණවලදී විනාස කරලා තියෙනවා. බොහෝ හින්දු කෝවිල් නැවත ගොඩ නගපුවා. ඒත් ලංකාව ඇතුළේ දෙවුන්දර උපුල්වන් දේවාලය ශතවර්ෂ ගණනාවක් පුරාවට කිසිම සතුරු ආක්‍රමණයකට ලක් නොවී පැවතුණා. ලංකාවට පැමිණි විවිධ විදේශ සංචාරකයන් එවකට තිබ්බ උපුල්වන් දේවාලයේ ශ්‍රී විභූතිය මහ ඉහළින් වර්ණනා කරලා තියෙනවා. නමුත් අවසානයේදී මේ දේවාලය කොල්ල කාලා බිමටම සමතලා කරලා දාන්නේ පෘතුගීසින්. අද වෙනකොට දෙවුන්දර ඉදි කරලා තියෙන්නේ මහනුවර යුගයේ ඉදිකරපු දේවාලයක්. යම් විදිහකට ඒ දේවාලය සුරක්ෂිතව තිබුණා නම් අද වෙනකොට ලොකු සංචාරක ආකර්ෂණයක් වෙන්න තිබ්බා.

 

6. ලංකාවේ වෙළඳාම සහ මුස්ලිම් ජනතාව

Image Source – twitter.com

ලංකාවට පෘතුගීසින් එද්දි ලංකාවේ වෙළඳාමේ ඒකාධිකාරිය තියෙන්නේ මුස්ලිම්වරු අතේ.  මුස්ලිම්වරු සහ පෘතුගීසින් පාරම්පරික සතුරන්. මේ නිසා පෘතුගීසින් සහ මුස්ලිම්වරු අතර දැඩි ගැටුම් ඇතිවෙනවා. මේ ගැටුම්වල ප්‍රතිඵලයක් විදිහට පහතරට පාලනය තමන්ගේ යටතට ගත්තට පස්සේ පෘතුගීසින් නියෝග කරනවා මුස්ලිම්වරුන්ට තමන්ගේ පාලන ප්‍රදේශවලින් ඉවත් වෙන්න කියලා. මුස්ලිම්වරු මේ දුක්ගැනවිල්ල කන්ද උඩරට රජතුමාට ඉදිරිපත් කරනවා. රජතුමා තීරණය කරනවා ඒ මුස්ලිම්වරුන්ව රටේ නැගෙනහිර කොටස තුළ පදිංචි කරවන්න. අද වෙනකොට නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනගහණය වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා. යම් විදිහකට පෘතුගීසින් නො ආවා නම් මුස්ලිම්වරු බස්නාහිර වෙරළ තීරය දිගේ විසිරිලා ඉඳිවී. ඒ වගේම ලංකාවේ ආනයන අපනයන වෙළඳාමේ ඒකාධිකාරියත් ඔවුන්ටම තිබේවි.

 

7. පාසල වෙනුවට පන්සල

Image Source – youtube.com

පෘතුගීසින් ලංකාවට කරපු ලොකුම විනාස අතරින් එකක් තමයි ලංකාවේ ඒ කාලේ තිබ්බ අධ්‍යාපන ක්‍රමයට මුල් වෙච්ච සියලුම පිරිවෙන් විනාස කරලා දාපු එක. තොටගමුවේ විජයබා පිරිවෙන, කෑරගල පද්මාවතී පිරිවෙන, පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙන, වීදාගම ඝනානන්ද පිරිවෙන වගේ අධ්‍යාපනය වෙනුවෙන්ම කැපවුණු ආයතන පෘතුගීසින්ගේ කඩුවට ගොදුරු වුණා. මහනුවර යුගයේ වැලිවිට සරණංකර හාමුදුරුවන්ගේ පහළවීම වෙනකන් මේ අඳුරු යුගය තිබ්බා. යම් විදිහකින් පෘතුගීසින් ආවේ නැත්නම් අද වෙනකොටත් අපේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය පන්සල වෙන්න තිබ්බා. එහෙනම් “ප්‍රවුඩ් ටු බී අ තොටගැමියන්”, “ප්‍රවුඩ් ටු බී අ වීදාගැමියන්” වගේ ස්ටේටස් ෆේස්බුක් එකේ අපිට දකින්න තිබ්බා.

අපි මේ කතා කළේ පෘතුගීසින් ලංකාවට ආවේ නැත්නම් අද මොනවගේ වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙට උත්තර කීපයක්. ඔයාටත් පුළුවන් ඔයාගෙම අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ අපිත් එක්ක බෙදාගන්න. ඒ වගේම ෂෙයාර් කියලා බටන් එකකුත් තියනවා කියලා අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *