ටැටූ එකක් ගහන්න කලින් අනිවාර්යෙන්ම හිතන්න ඕන දේවල්

ටැටූ කියන්නෙ කලාවක්. ඉස්සර පච්චා කියලා හැඳින්වෙච්ච ටැටූ ගැන සමාජය බැලුවෙ රස්තියාදුකාර බැල්මකින් වුනාට මේ වෙද්දි ටැටූ කියන්නෙත් ෆැෂන් එකක් බවට පත් වෙලා ඉවරයි. ඒක තරමක් රිදුම් දුන්නත්, තරමක මිලක් වැය වුනත් තමුන්ගේ හෘදය ප්‍රකාශනය තමුන් තුළම තියාගන්න පුළුවන් කදිමම විදියක් විදියට ටැටූ කලාවට ලැදි මිනිස්සු ඒ්ක දකිනවා. ඒ වෙනුවෙන් ලැදියාවක් නැති මිනිස්සු සල්ලි අපරාදයක් සහ බොරු ෂෝ එකක් විදියටත් මේක දකිනව. කොහොමින් කොහොමහරි අපි අද කියන කතාව ටැටූ එකක් ගහගන්න කලින් අනිවාර්යෙන්ම හිතන්න ඕන දේවල් කිහිපයක එකතුවක්. මේ ගැන ලියන්නෙම බොහෝ අය ටැටූ ගහලා විඳවන්නත් පෙළඹිලා ඉන්න නිසායි.

 

1. හිතිච්ච ගමන්ම එපා!

Image Source – mag.octoly.com

ඕනම දෙයක් සිතිවිල්ලක ආරම්භයක්නෙ. ටැටූ එකක් ගහන්නත් හිතෙන්නෙ අන්න ඒ විදියෙ එකපාරටමයි. මොකක් හෝ හිතට වැදුණු දෙයක් නිසා ටැටූ එකක් ගහන්න හිතෙන එක අතිශය සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි ඒ සිතුවිල්ල ආපු ගමන්ම ඒකට රියැක්ට් කරන්න යන එක කිසිසේත්ම හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසාම ඒ ආපු සිතුවිල්ල කාලයක් හිත ඇතුළෙ පැළපදියම් වෙන්න දෙන්න. හදිස්සියට ටැටූ ගහගෙන කාලයක් විඳවන්න වෙන එක හෝ ලේසර් තාක්ෂණයෙන් මකන්න යන එක ලොකු ප්‍රශ්නයක් නිසා ටැටූ ගැහිල්ල හිතිච්ච පරක්කුවට කරන්න කිසිසේත්ම උත්සාහ දරන්න එපා.

 

2. මොකද්ද?

Image Source – teenvogue.com

ටැටූ එකක් කරන්න හිතුනම මුලින්ම බලන්න ඕන මොකද්ද කරන්නෙ කියලා. සමහරු තමන්ගෙ ජීවිතේට ළඟම දේවල් ටැටූ විදියට තමන්ගෙ සිරුරේ රඳවා ගන්නවා. සමහරු ආසා කරන නිර්මාණ, පුද්ගලයෝ වගේම විවිධ වූ දේ ඒ විදියට එකතු කරගන්නවා. තවත් අ​ය කරන්නෙ එයාලා දකින ලස්සන රටාවක් හෝ වෙනත් කෙනෙකුගේ දකින ලස්සන ටැටූ එකක් තමුන්ගේ ඇඟේ යොදාගන්න එක. ඔය කොහොම කළත් හරි විදියට තමුන්ගෙ ටැටූ එක තමුන්ට ගලපගන්න ඕන. එහෙම නැතුව තමුන්ගෙ හමෙන් ඉඩක් නිරපරාදේ වෙන් කරන්නෙපා. ඒ වගේම වෙනත් කවුරුත් ළඟ නැති තමුන්ටම ආවේණික ටැටූ එකක් තමුන්ටම ඩිසයින් කරගන්න පුළුවන්නම් ඒක කදිමටම ගැලපෙනවා සහ ඒකෙ අගය තවත් වැඩියි.

 

3. ඒක වෙනස් වෙන්න පුළුවන් දෙයක්ද?

Image Source – tattoo-ideas.com

ඔබ තීරණය කරන ටැටූ එක කොන්ස්ටන්ට් දෙයක්ද කියන එක හිතට එකඟව තීරණය කරන්න. තවත් විදියකට කිවුවොත් ඔබ ඔබේ සහකරුවාගේ නම තමුන්ගේ ඇඟේ ටැටූ කරගන්නවානම් එම බැඳීම සදාකාලිකයිද යන වග ප්‍රත්‍යක්ෂ කරගන්න. දරුවෙකුගේ නමක් ඒ විදියට ටැටූ කරගන්න එක ප්‍රශ්නයක් නැති වුනත්, සහකරුවන් සහකාරියන්ගේ නම් ටැටූ විදියට සිරුරට එකතු කරගෙන විඳවන බොහෝදෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔබ චිත්‍රපටයක් නැරඹූ පසු එයට අදාළ ටැටූ එකක් යොදාගන්නට ඔබට සිතුනත්, එය කරන්නට එපා. තවත් කාලයක් ඒ ගැන ඔබ සිතිය යුතුමයි. මොකද අපිට බලන බලන හොඳ ෆිල්ම් එක ගානෙ ටැටූ කරගන්න බැහැනෙ. අන්න ඒ නිසා නොවෙනස් යැයි ප්‍රත්‍යක්ෂ දෙයක් ටැටූ එකක් විදියට එක් කරගන්න.

 

4. අවට ලෝකෙන් ප්‍රශ්නයක් වෙයිද?

Image Source – indystar.com

අපිට කවුරුත් අදාළ නෑ ඩෝ! අපි තමයි රජ්ජුරුවෝ ලයින් එකෙන් ඔයාලා හිතුවත්, නොහිතා නොබලා ටැටූ එකක් ගැහුවොත් අවට ලෝකයෙන් ප්‍රශ්න එන්න පුළුවන්. අපි මේ කියන්නෙ ටැටූ දිහා බලලා රස්තියාදුකාරයො ගාණට මනින නූගත්තු ගැන නෙමෙයි. ඇතැම් රැකියාවලදී බාහිර ලෝකයට නිරාවරණය වෙන තැන්වල ටැටූ කරලා තියෙන එක ප්‍රශ්නයක්. ප්‍රධාන වශයෙන්ම හෝටල් ක්ෂේත්‍රයේදී ඒක ප්‍රශ්නයක් විදියට ඉදිරියට එනවා. ඒ වගේම සමහර රටවල්වලත් ටැටූවලට තියෙන්නෙ තරමක අඩු තත්ත්වයක්. අන්න ඒ නිසා තමුන්ගේ රැකියාව වගේම අනාගත බලාපොරොත්තු ගැනත් ටැටූ එකක් කරන්න කලින් අනිවාර්යෙන්ම හිතන්න.

 

5. කොතනද ටැටූ එක ගහන්නෙ?

Image Source – theinkedgeneration.com

මේකත් ටැටූ එකකට කලින් තමුන් විසින් තීරණය කළ යුතු අතිශය වැදගත් දෙයක්. ටැටූ එක ගහන්නෙ කොතනද කියලා හිතද්දි සාධාරණ තර්ක කිහිපයක් ගැන හිතන්නට උවමනායි. අපි මුලින් කියපු රැකියාවලදි නිරාවරණය නොවිය යුතු තැනක් නම් තමුන් අඳින ඇඳුම් අනුව වැරදීමකින්වත් පිටට නොපෙනෙන ටැටූ එකක් විය යුතුයි. ඒ නිසා ටැටූ එක ගහන තැන වගේම ටැටූ එකේ ප්‍රමාණය ගැනත් සැළකිලිමත් වෙන්න ඕන. ටැටූ එක යොදන තැන ගැන සිතිය යුතු අනිත් කාරණය වෙන්නෙ සමහර තැන්වල ටැටූ කරද්දි දරාගන්නාට එය තරමක් රිදෙන්නට ඉඩ ඇති නිසායි. ඒ නිසා රිදුම් අඩු තැනක ටැටූ එකක් යොදන එකත් ඔබට පහසුවක් වේවි.

 

6. කාගෙන්ද ටැටූ එක ගහන්නෙ?

Image Source – theinkedgeneration.com.com

ටැටූ එක කරගන්න ටැටූ නිර්මාණ ශිල්පියෙකුව තෝරාගන්න එක තමයි ඊළඟ වැඩේ. ටැටූ කරපු කිහිප දෙනෙකුගෙන් අහන්න. අන්තර්ජාලයේ හොයන්න. ෆේස්බුක් යූසර් රිවීවුස් කියවන්න. ඒ විදියට තමන් තෝරාගන්නා ටැටූ ආටිස්ට් ගැන විශ්වාසය තහවුරු කරගන්න. ඊටපස්සෙ ඒ ටැටූ ආටිස්ට්ව අධ්‍යනය කරන්න. දැන් බොහෝමයක් ටැටූ ආටිස්ට්ලා ෆේස්බුක් පේජ් පවත්වාගෙන යන නිසා ඒ අයගෙ වැඩ ගැන අවධානය යොමු කරන්න ලේසියි. එයාලා අමාරු ඩිසයින්ස් නීට් එකට කරනවද කියන දේ ගැන ප්‍රත්‍යක්ෂ කරගන්න. ඊටපස්සෙ හිතන්න ඕන වැදගත්ම දේ තමයි මිල. කවදාවත් ටැටූ එකක් කරගෙන ඉන්න මනුස්සයෙකුගෙන් ඕකට කීයක් ගියාද කියල අහන්න එපා. ඒක එතිකල් වැඩක් නෙමෙයි. අනිත් එක එයාගෙ අඟල් හයක ටැටූ එකට විසිදාහයි ගිහින් තියෙන්නෙ, ඒ හින්දා මගේ අඟල් තුනේ ටැටූ එකට තුන්දාහක් යයි වගේ නිගමනවලට එන්නත් එපා. වැඩෙන් වැඩේට ගණං වෙනස්.

 

7. කැපකිරීම්

Image Source – bustle.com

මෙන්න මේ කියන කාරණා එක්ක ඔයත් ටැටූ එකක් කරගන්න සූදානම් නම් ඔයාටත් පොඩි පොඩි කැපකිරීම් ටිකක් කරන්න සිද්ධ වෙනවා. මොකද මේක සදාකාලිකව තමුන්ගෙ ඇඟේ තියෙන දෙයක්. ඒ බව හිතේ තියාගෙනම තමුන්ගෙ ටැටූ ඩිසයින් එක තමුන්ම අධ්‍යයනය කරන්න. හැම තිස්සෙම ඒක වෙනස් කරමින් දියුණු කරන්න. ටැටූ එක කරන තැන මවිල් තියෙනවානම් ෂේවු කරන්න. ටැටූ කරාට පස්සෙත් ෂේවු කරලා, ටැටූ එක පේන විදියට ලස්සනට තියාගන්න. ටැටූ කරාට පස්සෙ සමේ තෙතමනය රඳන්න වැස්ලීන් ආලේප කරලා, ඇන්ටිබයොටික් ක්‍රීම් ආලේප කරලා ටැටූ එක ආරක්ෂා කරගන්න. ඒ වගේම ටැටූ ආටිස්ට්ගෙන් වැඩේ කරගන්න මොහොතකට පෙර ඩිසයින් එක සහ ස්ටෙන්සිල් එකේ සියුම් තැන් පවා ටැටූ ආටිස්ට්ට අවබෝධ කරලා දෙන්න. වැඩේ නිමවුනාට පස්සෙත් සියුම් හෝ අඩුපාඩුවක් නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න. ගෙදර ආවට පස්සෙ අවුලක් දැක්කොත් ආයෙ ටචප් එකකට යන්නත් පැකිලෙන්න එපා. මේ කැපකිරීම් කරන්න බැරිනම් ටැටූ එකක් ගහන්න එපා!

Cover Image Source – bustle.com

 

2 responses to “ටැටූ එකක් ගහන්න කලින් අනිවාර්යෙන්ම හිතන්න ඕන දේවල්”

  1. […] විදියට වුනත් ටැටූ එකක් ගහන්න කලින් හිතන්න ඕන දේවල් තියෙනවා. ඔය හැමදෙයක්ම හිතුවට පස්සේ තමන්ට […]

  2. […] විදියට වුනත් ටැටූ එකක් ගහන්න කලින් හිතන්න ඕන දේවල් තියෙනවා. ඔය හැමදෙයක්ම හිතුවට පස්සේ තමන්ට […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *